අවුලක් නැති පවුලක් තියෙන්න පුළුවන්ද?

“අවුලක් නැති පවුලක් තියෙන්න පුළුවන්ද?” කියලා මම ඇහුවොත් මොකද්ද ඔයාලා දෙන උත්තරේ?

වර්තමාන සමාජයේ පවුල කියන සංකල්පය ගොඩක් අභියෝගවලට මුහුණ දීලා තියෙනවා. 

ආර්ථික ප්‍රශ්න, දරුවන්ගේ අධ්‍යාපනය, වෘත්තීය ජීවිතයේ තරඟකාරීත්වය, සහ සමාජ මාධ්‍ය නිසා ඇතිවෙලා තියෙන පීඩනය වගේ දේවල් නිසා පවුලේ සාමාජිකයන් අතර දුරස්ථභාවයක් ඇති වෙන්න පුළුවන්. 

මේ ගැටලු පිරිමි අයට වගේම කාන්තාවන්ටත් බලපානවා, නමුත් කාන්තාවන් ඒවාට මුහුණ දෙන විදිය විශේෂයි.

අන්න ඒ නිසාමයි අපි අද කතා කරන්න හිතුවෙ මේ “පවුල් සංස්ථාව ඇතුලෙ කාන්තාවකට තියෙන භූමිකාව මොකද්ද?” කියන කාරණාව ගැන.

ඇත්තටම පවුලක් විදියට මුහුණ දෙන ගැටළු මොනවද?

සමාජය තුළ තියෙන කුඩාම ඒකකය තමයි පවුල. ඇත්තටම මේ කොරෝනා කාලේ වගේ ගෙදරට වෙලා උන්න pandemic එකකින් පස්සෙ තමයි පවුලෙ අය එකිනෙකාව හරියාකාරව අඳුරගත්තෙ. ඒ කාලෙ තමයි අපිට වැඩි කාලයක් පවුලෙ හැමෝම එක්ක එකට ඉන්න අවකාශය ලැබුනෙ.

ඒ දවස්වල සමාජ මාධ්‍ය වල පෝස්ට් එහෙම ගියානේ “ගෙදර අය හරි ශෝක්නෙ” වගේ කියලත් විහිලුවට වගේ. 

අද කාලෙ ඉන්න තරුණ ළමයි වගේම වැඩිහිටියන්ට පවා තියෙන්නෙ උදේ වැඩට යනවා, හවස ගෙදර එනවා ජිවීතයක්. තරුණ ළමයි බටහිරකරණය වුණ ජීවිතේකට පුරුදුවෙන්න උත්සහ කරනවා. 

ඒත් ලේසියෙන් අපේ අක්මුල් බිඳින්න අමාරුයිනෙ. අපි තාම යම්තාක් දුරකට හෝ අපේ පවුලා සහ ඒ වටා බැඳිච්ච සංස්කෘතිය එක්ක බැඳිලා ඉන්නවා. ඒ නිසා තමයි ඔය විවාහය, ආදරේ වගේ කතාබස් අස්සෙදි අපිට අහන්න ලැබෙන්නෙ “අපෙ ගෙදර එහෙම නෑ, අපෙ අම්මලා නම් මෙහෙමයි” වගේ කතන්දර.

එතනින් අපිට පේනවා කොච්චර අපි බටහිරකරණය වෙන්න හැදුවත් අර සංස්කෘතියෙන් සහ පැවැත්මෙන් ආව සමහර කාරණා අපි අදටත් යම්තාක් දුරකට හෝ පිළිගන්නවා කියන එක.

Young Generation එකත් එක්ක ඉන්න එක අමාරුද?

මේ තරුණ පරම්පරාව කියන්නේ අපේ වැඩිහිටි අවධිය විසින් එලියට දාපු එක product එකක්. එතකොට එයාලා, අපි සහ අපේ දෙමව්පියන් කියන පරම්පරා තුනක් මෙතන ජීවත්වෙනවා.

මේ පරම්පරා අතර වෙනස්කම් සහ අභියෝග තේරුම් ගැනීම වැදගත් වෙන්නෙ අන්න ඒ එකට ජීවත්වීම නිසා.

අද තරුණ පරම්පරාව හැදිලා වැඩුණේම තාක්ෂණයත් එක්ක. එයාලා තොරතුරු හොයන්නේ සහ කතා කරන්නේ ඩිජිටල් මාධ්‍ය හරහා. ඒත් වැඩිහිටි පරම්පරාවන්ට තාක්ෂණය එච්චරටම හුරු නැහැ. ඒ නිසා අදහස් හුවමාරුවේදී ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට, වැඩිහිටියෙක් ෆෝන් එකෙන් වැඩක් කරගන්න උදව් ඉල්ලුවාම, “මොකද්ද අනේ ඔච්චර පොඩි දෙයක් මං කියල දෙන්න ඕන ද” කියලා අහන දරුවො ඉන්නවනෙ.  ඒවා ගැටළු සහ හිත් අමනාපකම් ඇතිවෙන්න හේතුවක්.

ඒ වගේම තමයි තරුණ පරම්පරාවට තියෙන්නේ වෙනස්ම වටිනාකම් සහ අදහස්. එයාලා ස්වාධීනත්වයට, පෞද්ගලිකත්වයට සහ තමන්ගේ කැමැත්තට ගොඩක් ලොකු වැදගත්කමක් දෙනවා. ඒත් වැඩිහිටි පරම්පරාවල අයට පවුල, සම්ප්‍රදාය සහ සමාජීය පිළිගැනීම් තමයි ගොඩක් වැදගත් වෙන්නෙ. මේ වෙනස්කම් නිසා එකිනෙකාව තේරුම් ගන්න අමාරු වෙන අවස්තා එනවා. උදාහරණයක් විදියට, දෙමව්පියෝ දරුවෙක්ට රැකියාවක් තෝරද්දි “සම්ප්‍රදායට ගැලපෙන, ස්ථාවර රැකියාවක්” කරන්න කියලා බලකරද්දි, දරුවා “තමන් කැමති රැකියාවක්” කරන්න කැමති වෙන්න පුළුවන්. 

ඒ වෙනස අපි පිළිගන්න සහ තේරුම්ගන්න ඕන. තරුණ දරුවන් විතරක් නෙවෙයි වැඩිහිටියන් පවා ඒක තේරුම්ගන්න ඕන.

අද තරුණ පරම්පරාවට තියෙන්නේ වැඩිහිටි පරම්පරාවන්ට තිබුණට වඩා විශාල ආර්ථික අභියෝග. අධ්‍යාපනය, රැකියා සහ ජීවන වියදම ගොඩක් වැඩි වෙලා. මේ නිසා එයාලට තීරණ ගැනීමේදී, විශේෂයෙන්ම විවාහය, දරුවන්, වැනි කාරණාවලදී, වැඩිහිටි පරම්පරාවට වඩා වෙනස් විදියකට හිතන්න සිද්ධ වෙනවා. මේකත් පරම්පරා අතර ගැටුම් ඇතිවෙන්න හේතුවක්.

ප්‍රශ්න නැති පවුල් නැහැ

පවුල් වල අවුල් තියෙනවම තමයි. මේ අවුල් එහෙමත් පවුලෙ එකිනෙකාට ආවේණික වෙච්ච ගැටළු තමයි තියෙන්නෙ. අපේ සමාජයේ සංස්කෘතියක් තියෙනවා වගේ එක එක පවුල්වලට ආවේණික වෙච්ච සංස්කෘතීන් තියෙනවා.

ආගම, ජාතිය, ජීවත්වෙන ප්‍රදේශය වගේ ගොඩක් සාධක උඩ එක එක පවුල්වලට තියෙන්නෙ එක එක සංස්කෘතින්.

සමාජයේ දැන් ගොඩක් තියෙන්නෙ න්‍යශ්ටික පවුල්. ඉස්සර තමයි විස්තෘත පවුල් තිබ්බෙ. ඒ විස්තෘත පවුල් ඇතුලෙ අපි ඉගෙනගත්තා සමාජය එක්ක ජීවත්වෙන්නෙ කොහොමද, ආදරය, කරුණාව, මනුස්සකමක් බෙදාගන්නෙ කොහොමද කියන එක ගැන.

ඉස්සර වගේ “අම්මා කියන්නෙ ගෙදරට වෙලා දරුවො බලාගන්න කෙනෙක්” කියන සංකල්පෙ අද වෙනස්. අද අම්මා ඊට වඩා කාර්‍යබහුලයි. රැකියාව, අධ්‍යාපනය වගේ දේවල් එක්ක updated. ඒත් තවමත් ගැහැනියකට තමන්ගෙ පවුල ඇතුලෙ ලොකු ඉඩක් වෙන් වෙනවා. ලොකු කාර්‍ය භාරයක්, වගකීම් සහ යුතුකම් අයිතිවෙනවා.

මේ මවගේ/කාන්තාවගේ භූමිකාව පවුලකට ඉතාම වැදගත්. ඉස්සර තමයි අපි කියන්නෙ “අනේ අපේ අම්මා/බිරිඳ ගෙදර ඉන්නෙ” කියලා. දැන් එහෙම නෑනෙ. අම්මත් රැකියාවට යනවා. හවසට ගෙදර ඇවිත් ඒ ඇඳුම් පිටින්ම උයනවා. අද ඉන්න අම්මා ගොඩක් socialized වෙනවා. 

හැබැයි මේක පවුල ඇතුලෙ එක්තරා විදියක ප්‍රශ්න මවන්න හේතු වෙනවා. මොකද සැමියා සහ බිරිඳ කියන දෙන්නම ගෙදර එන්නෙ මහන්සි වෙලා. ගොඩක් ගෙවල් වල එහෙම ආව ගමන් සැමියා වොශ් එකක් දාගෙන ටීවි එක බලනවා. ඒත් බිරිඳකට එහෙම බෑ. අර ඇඳන් ඉන්න ඒව පිටින්ම කුස්සියට යනවා. උයනවා. මේසෙට අරිනවා. දරුවන්ට කවනවා. සැමියට කන්න කියලා කියනව. වලං පිඟන් හෝදනවා. මේ පවුල ඇතුලෙ ගැහැනියකගෙ වැඩ රාජකාරි ලියලා ඉවර කරන්න බෑ අපිට.

මේ තත්ත්වයට විසඳුම් හොයන එක ඉතාම වැදගත්. පවුලේ සාමාජිකයන් අතර විවෘත සන්නිවේදනයක් තියෙන්න ඕන ඒ නිසා. සැමියා තේරුම් ගන්න ඕනේ බිරිඳත් තමන් වගේම රැකියාවේ මහන්සි වෙලා එන කෙනෙක් කියන එක. ගෙදර වැඩ කටයුතු දෙන්නාම බෙදාගෙන කරන එකෙන් බිරිඳට තියෙන පීඩනය අඩු කරන්න පුළුවන්. ඒ වගේම, දරුවන්ව මේ වැඩවලට සම්බන්ධ කරගන්න එකත් වැදගත්. මේ විදියට එකිනෙකාට උදව් කරගෙන, එකිනෙකාගේ වගකීම් තේරුම් අරගෙන වැඩ කළොත්, පවුල් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්.

Nature and Nurture කියන දේට පවුල සහ තමන් ජීවත්වෙන පරිසරය හරි වැදගත්

Nurture කියන්නේ අපි ජීවත් වෙන පරිසරය. අපි ඉපදුන මොහොතේ ඉඳලා ඔයා ලබන හැම අත්දැකීමක්ම මේකට අයිතියි. ඔයාගෙ පවුල, සංස්කෘතිය, යාළුවෝ, ඉගෙන ගන්න තැන් සහ ඔයා ජීවත් වෙන ප්‍රදේශය මේ හැමදේම ඔයාව හදනවා. ඒ කියන්නේ, ඔයා කවුද කියන එක තීරණය කරන්න ඔයා ජීවත්වෙන පරිසරය ගොඩක් බලපානවා.

ඇත්තටම මේ දෙකෙන් එකක් විතරක් අපිට බලපානවා කියලා කියන්න බැහැ. Nature සහ Nurture කියන මේ දෙක එකට ක්‍රියා කරනවා. ඔයාගෙ ජාන (Nature) ඔයාට යම් හැකියාවක් දුන්නත්, ඔයාගෙ පරිසරය (Nurture) තමයි ඒ හැකියාවන් යථාර්ථයක් බවට පත් කරන්නේ. උදාහරණයක් විදිහට, කෙනෙකුට උස යන්න ජානමය හැකියාවක් තිබුණත්, අවශ්‍ය පෝෂණය නොලැබුණොත්, උපරිම උසට වැඩෙන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා, පවුලෙන් ආව ජාන ඔයාට මුල් දේවල් දුන්නත්, ඔයාව හදන්නේ ඔයා ජීවත් වන පරිසරය කියන එක අමතක කරන්න එපා.

මේක ගොඩක්ම වැදගත් වෙන්නෙ දරුවන් සම්බන්ධව. ඒ කියන්නෙ දරුවො උස්මහත් වෙන්නෙ දෙමව්පියන් දිහා බලලනෙ. 

ඒ හන්දා අම්මා සහ තාත්තා අතර තියෙන සබඳතාවය දරුවන්ව nurture කරන්න ගොඩක් බලපානවා. මෙතනදිත් අම්මා කියන කෙනා දරුවන් එක්ක කරන communication එක ගොඩක් ඉහල නිසා දරුවන්ව හරියට nurture කරන එක අම්මා කෙනෙක්ට තියෙන විශාල අභියෝගයක් සහ වගකීමක්.

නූතන සමාජයේ මේ අභියෝගය තවත් වැඩි වෙලා. 

අද අම්මලා ගෙදර දොරේ වැඩ වගේම රැකියාව, අධ්‍යාපනය වැනි දේවල් එක්කත් කාර්යබහුලයි. එහෙම වෙලාවක වුණත් දරුවාට අවශ්‍ය මානසික සහයෝගය, ආදරය සහ නිසි මඟ පෙන්වීම දෙන්න වෙනවා. දරුවෙක්ගේ ජීවිතේ මුල් කාලයේදී ලැබෙන මේ මානසික සහයෝගය තමයි දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න අවශ්‍ය පදනම දාන්නේ. ඒ නිසාම දරුවෙක්ව හැදීම කියන්නේ පුංචි වැඩක් නෙවෙයි, ඒක මුළු සමාජයකම වගකීමක්.

මේ නිසා, පවුල ඇතුළේ අම්මා සහ තාත්තා දෙන්නම එකට එකතු වෙලා දරුවන්ට අවශ්‍ය පරිසරය හදලා දෙන්න ඕනේ. ඒ වගේම දරුවන් එක්ක කතා කරලා, එයාලගෙ සිතුම් පැතුම් තේරුම් අරගෙන කටයුතු කිරීම ඉතා වැදගත්.

පවුලක හදවත කාන්තාව.

එයා නැතිව පවුලක් සම්පූර්ණ වෙන්නේ නැහැ. 

අතීතයේ ඉඳන්ම පවුල් සංස්ථාව ඇතුළේ කාන්තාවට හිමි වුණේ ලොකු තැනක්. ඒ භූමිකාව අද වෙනකොට ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉස්සර කාන්තාව කියන්නේ ගෙදරටම වෙලා දරුවන් බලාගෙන, සැමියාට උදව් කරන කෙනෙක්. ඒත් අද කාන්තාව ඊට වඩා වැඩි භූමිකාවක් රඟපානවා.

1. පවුලේ රැකවරණය සහ නායකත්වය

කාන්තාව කියන්නේ පවුලකට රැකවරණය සපයන කෙනෙක්. එයා දරුවන්ගේ අම්මා, සැමියාගේ සහකාරිය වගේම ගෙදර දොරේ කටයුතු කරගෙන යන ප්‍රධානියා වෙනවා. එයා තමයි පවුලේ හැමෝම අතර සම්බන්ධය පවත්වාගෙන යන්නේ. දරුවන්ට ආදරය, කරුණාව, සහ සදාචාරය උගන්වන්නේ ගොඩක් වෙලාවට අම්මා. එයා තමයි පවුලට ශක්තියක් වෙන්නේ.

2. ආර්ථික සහයෝගය

අද කාලේ බොහෝ කාන්තාවන් ආර්ථිකයට දායක වෙනවා. රැකියාවක් කරලා පවුලට ආදායමක් ගේනවා. මේකෙන් පවුලේ ආර්ථික තත්ත්වය දියුණු වෙනවා වගේම කාන්තාවටත් සමාජයේ හොඳ තැනක් ලැබෙනවා. රැකියාවෙන් එන මහන්සියත් එක්ක ගෙදර වැඩත් බැලන්ස් කරගෙන යන එක ලොකු අභියෝගයක්.

3. බහු කාර්ය භූමිකාව

පවුලක කාන්තාවකට තියෙන රාජකාරි ගොඩක් වැඩියි. එයා අම්මා, බිරිඳ, රැකියා කරන කෙනෙක්, ගෙදර වැඩ කරන කෙනෙක් වගේම සමාජයේ සාමාජිකාවක්. මේ හැම භූමිකාවක්ම හොඳින් කරගෙන යන්න ඇයට විශාල කැපවීමක් සහ ශක්තියක් තියෙන්න ඕනේ.

මේ හැමදේම කරගෙන යද්දී කාන්තාවට ගොඩක් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පිරිමි අයට වගේම තමන්ටත් නිසි විවේකයක්, ආදරයක් සහ ගෞරවයක් අවශ්‍යයි කියන එක කාන්තාව දන්නවා. නමුත් සමහර පවුල්වල මේ දේවල් නිසි විදියට ලැබෙන්නේ නැහැ.

අනාගතයේදී පවුල් සංස්ථාව සාර්ථක වෙන්න නම් කාන්තාවන්ගේ මේ භූමිකාවට නිසි ගෞරවය සහ සහයෝගය ලැබෙන්න ඕනේ. 

සැමියාට වගේම දරුවන්ටත් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ ඇය කරගෙන යන දේවල්වල වටිනාකම. 

පවුලේ වැඩ දෙදෙනාම බෙදාගෙන, එකිනෙකාට උදව් කරගෙන ජීවත් වෙන එකෙන් පවුල් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles