සතියෙන් ජීවිතය වෙනස් කරමු

අමල් කියන්නෙ අපි වගේම ජීවිතේ ගැන අනන්ත හීන දැක්ක තරුණ කොල්ලෙක්.

 තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. හොඳට ඉගෙනගන්න. Exercise කරලා සුපිරි ඇඟක් හදාගන්න. ජීවිතේ ටික ටික හරි ඉස්සරහට ගෙනියන්න අමල්ටත් හීන තිබ්බා.

ඒ හැමදේම කරන්න අමල්ට ඇත්තටම ඕනෙ වුණා. ඒ නිසා හැම රෑකම නිදාගන්න කලින් අමල් ඊළඟ දවසේ කරන්න ඕන දේවල් ගැන ලොකු සැලැස්මක් හදාගන්නවා.

“හෙට උදේ පහට නැගිටිනවා. නැගිටලා exercise කරනවා. ඊට පස්සේ පැයක් පාඩම් කරනවා. දවල් වෙන්න කලින් මගේ business එකේ වැඩ ටිකක් කරනවා” කියලා.

ඒත් උදේ ඇහැරුණාම වෙන්නේ වෙනම දෙයක්.

ඇඳෙන් නැගිටින්නත් කලින් අත යන්නේ කොට්ටෙ ළඟ තියෙන phone එකට.

“පොඩ්ඩක් Facebook බලලා ඉන්නවා”

ඒ “පොඩ්ඩක්” කියන එක විනාඩි පහක් වෙනවා. විනාඩි පහ, තිහක් වෙනවා. තිහ පැයක් වෙනවා. පැය, පැය දෙකක් වෙනවා.

එක reel එකක් ඉවර වෙනකොට තව එකක්. TikTok එකෙන් Instagram එකට. Instagram එකෙන් Facebook එකට. ආයෙත් TikTok එකට මාරුවෙනවා. අමල්ට තේරෙන්නෙවත් නෑ වෙලාව ගෙවිලා යනවා. දවල් වෙද්දි තමයි මිනිහට එකපාරටම මතක් වෙන්නේ“අඩේ දවසෙන් බාගයක් ගිහින් නේද?” කියලා

ඊට පස්සේ පසුතැවෙනවා.

පොතක් අරගෙන පාඩම් කරන්න වාඩි වෙනවා. හැබැයි විනාඩි කිහිපයක් යන්න කලින් හිත ආයෙත් phone එක පැත්තට යනවා.

පොතේ අකුරු නිකන් බරයි වගේ. පාඩම් කරන එක කම්මැලියි. Exercise කරන්න හිතෙන්නෙ නෑ. වැඩක් පටන්ගන්න හිතෙන්නෙ නෑ.

හැබැයි phone එක අතට ගත්තම? කිසිම මහන්සියක් නෑ. එකින් එක video ඕන තරං බලන්න පුළුවන්. එකින් එක post කියවන්න පුළුවන්.

ඒ නිසා අමල් තමන් ගැනම හිතාගෙන හිටියෙ “මම මහ කම්මැලියෙක්” කියලා.

හැබැයි සමහර වෙලාවට ප්‍රශ්නේ කම්මැලිකමම නෙමෙයි. ප්‍රශ්නේ වෙන්න පුළුවන් අපි අපේ මොළයට පුරුදු කරලා තියෙන ක්ෂණික සතුට.

ඩෝපමයින් කියන්නේ සතුටේ hormone එක විතරක් නෙමෙයි

ඩෝපමයින් ගැන අපි ගොඩක් වෙලාවට අහලා තියෙන්නෙ සතුට දෙන chemical එක කියලනෙ.

හැබැයි කතාව ඊට වඩා ටිකක් වෙනස්. ඩෝපමයින් කියන්නේ අපිට යම් දෙයක් අවශ්‍ය කරවන්න, ඒ දේ හොයාගෙන යන්න, ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න සම්බන්ධ වෙන brain chemical එකක්.

ඒ කියන්නේ,

“ තව එක video එකක් බලන්න.”

“තව එකක් කන්න”

“තව notification එකක් check කරන්න”

“තව reel එකක් බලන්න” වගේ දේවල්වලට අපිව තල්ලු කරන reward-seeking system එකේ වැදගත් කොටසක්. අපේ දෛනික ජීවිතේ මේ system එකට ඉතාම පහසුවෙන් access වෙන්න පුළුවන් දේවල් දැන් ගොඩක් තියෙනවා.

Social media. Short videos. Games. Highly processed foods. Notifications.

අපිට තත්පර කිහිපයකින්ම අලුත් දෙයක්, රසවත් දෙයක්, පුදුම දෙයක්, විනෝදජනක දෙයක් හොයාගන්න දැන් කාලෙ තාක්ෂනය එක්ක හරිම ලේසියි. ඉතින් මොළය ඒකට පුරුදු වෙන එක පුදුමයක් නෙමෙයි.

එතකොට සාමාන්‍ය වැඩ කම්මැලි වෙන්නේ ඇයි?

හිතන්න. ඔයා විනාඩි 30ක් reels බලලා ඉවර වෙලා පොතක් අරගන්නවා.

Reel එකකින් reel එකකට මාරු වෙද්දි තත්පර කිහිපයකින්ම අලුත් image එකක්, අලුත් joke එකක්, අලුත් story එකක්, අලුත් information එකක් එනවා.

හැබැයි පොතක් කියවද්දි? එකම පිටුවේ වචන ගොඩක්. එක අදහසක් තේරුම් ගන්න වෙලාවක් ඕන. ඉස්සරහට යන්න concentration එක ඕන. Exercise කරන්න නම් ඇත්තටම ඇඟ මහන්සි කරන්න ඕන. Business එකක් පටන්ගත්තා කියලා එක දවසකින් result එකක් ලැබෙන්නේ නෑ. Exam එකකට පාඩම් කරන්න නම් දවස් ගණනක් එකම වැඩේ කරන්න ඕන.

ඒ නිසා ක්ෂණික stimulation වලට පුරුදු වුණාම, මේ වගේ slow-reward activities අපිට “මාර කම්මැලි” වගේ දැනෙන්න පුළුවන්.

ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ මොළයේ dopamine ඉවර වෙලා කියන එක නෙමෙයි. ඒ වෙනුවට, ක්ෂණික reward වලට පුරුදු වෙලා තියෙන attention සහ reward-seeking habits, ලොකු කාලයක් යන වැඩවලට focus කරන්න අමාරු කරලා තියෙන්න පුළුවන් කියන එක.

එතකොට dopamine detox එකක් කරන්න ඕනෙද?

Dopamine detox කියන වචනය දැන් ගොඩක් ජනප්‍රියයි.

හැබැයි ඇත්තටම ඔයාට dopamine සම්පූර්ණයෙන්ම detox කරන්න බෑ. ඒ වගේම dopamine කියන්නේ ශරීරයෙන් ඉවත් කරලා දාන්න ඕන විෂක් නෙමෙයි.

මෙතන අදහස වෙනස්. ඔයාට කරන්න ඕනේ dopamine නවත්වන එක නෙමෙයි. ඔයාගේ මොළයට නිතරම ලැබෙන අධික stimulation ටික අඩු කරන එක. ඒක දවසක්, දවස් තුනක් හෝ හතක් කියලා magic reset එකක් වගේ කරන්න ඕන දෙයක් නෙමෙයි. ඔයාට කරන්න පුළුවන් practical වෙනස්කම් කිහිපයක් තියෙනවා.

Step1 – Phone එකට ටිකක් ඈත් කරන්න

උදේ ඇහැරුණු ගමන් phone එක අතට ගන්න එක නවත්වලා බලන්න. Phone එක ඇඳ ළඟින් අයින් කරලා තියන්න. Notifications off කරන්න. වැඩ කරන වෙලාවට phone එක වෙන කාමරයක තියන්න පුළුවන් නම් තවත් හොඳයි.

“මම විනාඩි පහක් විතරයි බලන්නේ” කියලා phone එක අතට ගන්න එක තමයි ගොඩක් වෙලාවට ලොකුම trap එක. 

Step 2- කම්මැලිකමට ඉඩ දෙන්න

මේක ටිකක් අමාරුයි.

Phone එක නැතුව ඉන්න පටන්ගත්තම එකපාරටම හිතෙන්න පුළුවන්,

“දැන් මොනවා කරන්නද?”

“අනේ boring.”

“මොනවහරි බලන්න ඕන.”

ඒ වෙලාවට ඇවිදින්න. ටික වෙලාවක් නිහඬව ඉන්න. පොතක් කියවන්න. කඩදාසියක් අරගෙන ඔළුවේ තියෙන දේවල් ලියන්න. Meditate කරන්න. නැත්නම් කිසිම දෙයක් නොකර විනාඩි කිහිපයක් ඉන්න. මොකද අපිට හැම මොහොතකම entertainment එකක් ඕනෙ කියන පුරුද්දෙන් ටිකක් එළියට එන්නත් පුරුදු වෙන්න ඕන.

Step 3-  ලේසි සතුට වෙනුවට දිගුකාලීන සතුට තෝරගන්න

දැන් තමයි වැදගත්ම කොටස. Phone එක අයින් කරලා හිස්ව ඉන්න එක විතරක් solution එකක් නෙමෙයි. ඔයා අයින් කරන පුරුද්ද වෙනුවට හොඳ පුරුද්දක් ආදේශ කරන්න.

විනාඩි 20ක් exercise කරන්න. පිටු 10ක් කියවන්න. ඔයාගේ business idea එක ගැන research කරන්න. Course එකක් පටන්ගන්න. ඔයාගේ වැඩේට වැදගත් skill එකක් ඉගෙනගන්න. හොඳට නිදාගන්න. යාලුවෙක් එක්ක face-to-face කතා කරන්න. පවුලේ අයත් එක්ක කාලය ගත කරන්න.

මුලින් මේ කිසිම දෙයක් reel එකක් බලන තරම් exciting නොවෙන්න පුළුවන්.

හැබැයි ඒකේ තියෙන වෙනස තමයි එක තත්පර කිහිපයක සතුටක් නෙමෙයි. ඒවා එකතු වෙලා කාලයක් ගියාම ඔයාගේ ජීවිතේ ඇත්තටම වෙනසක් කරනවා.

ඒක තමයි අපිට සමහර වෙලාවට අමතක වෙන දේ.

හැම ලේසි සතුටක්ම අපිව සතුටු කරන දෙයක් නෙමෙයි. සමහර සතුටු දේවල් අපිව ඒ මොහොතේ entertain කරනවා විතරයි.

More Stories

Don't Miss

Latest Articles