පළිඟු මන්දිර – 1

මේ නම් කදිම දවසකැයි පළිඟු ට සිතිණ. ඊයේ වන තුරුත් පැවති වැස්ස නැවතී අහස සන්සුන් වී තිබෙන්නේ හාස්කමකින් මෙනි. දින ගණනක් අහස වෙලා ගෙන පැවති වැහි වලා පා ව ගොස්, නිල් අහස පෑදී තියේ. ඔය නිල, අද නම් වැහි වලාවක් නිසා බොර නො විය යුතු ය.

“පළිඟු…අනේ කෙල්ලෙ ඔය ෆිෂ් රෝල්ස් ට්‍රේ එකක් දාන්න ෂෝ කේස් එකට. මේක ඉවරයි. බඩු නැතුව හිස් වෙලා තියෙන්න දෙන්න එපා. තේරුණද…හැම වෙලේම මේක කෑම වලිං පිරිල තියෙන්න ඕන. එතකොට තමයි කට්ටියට වුණත් මේ පැත්තට හැරෙන්න හිත ඉඩ දෙන්නෙ”

වත්සලා ඉක්මනින් කියවාගෙන ගියා ය.

“පුංචා හෙටනං තව ටිකක් වැඩිපුර කෑම ඕන වෙයි”

“අනේ ඔව් කෙල්ලෙ. දෙයියංගෙ පිහිටයි. අපිට මේ කැම්පස් එක ළඟිං මේ වගේ පොඩි ඉඩක් හරි හම්බ වුණේ පරණ පිණකටද කොහෙද”

වත්සලා කඩිමුඩියේ එහෙට මෙහෙට දුවමින් වැඩ කළා ය. කොහොමටත් ඇය අනලස් – කඩිසර ගැහැනියකි. විවාහයෙන් වසර හතරක් ගත වෙන්නටත් පෙර තරුණ සැමියෙකු අකාලයේ මිය යත්දී ඒ සඳහා වග කිව යුතු ය යන චෝදනාව මුළුමනින් පැටවෙන්නේ ඔහු ගේ බිරිඳ මත ය. වත්සලා ට කියා ද එහි වෙනසක් වූයේ නැත. සැමියා ගේ පාර්ශවයෙන් එන සියලු නින්දා අපවාද හා පරිභව ඉවසා ගන්නට ඇයට සිදු විය. ඒ මදිවාට ඒ වෙත්දී වත්සලා සිය වැඩිමල් සහෝදරිය ගේ වැඩිමල් දියණිය තමන්ගේ ම දරුවෙකු සේ හදා වඩා ගන්නට බාර ගෙන තිබිණ. ඉතාම තරුණ වියේදී ජීවිතය මැද තනි ව අසරණ වී ද වත්සලා කිසි සේත් ඇගේ සේ ම අක්කා ගේ දියණිය පළිඟු  ගේ ද ජීවිත අත්හැර දැමුවේ නැත. දැඩි අධිෂ්ඨානයකින් ඕ සියල්ල ග්‍රහණය කර ගෙන ඉරණමට මුහුණ දුන්නා ය.

මුලින් වත්සලා කළේ කෑම සාදා කඩ වලට දමන එක ය. අලුතෙන් ඉදි වූ පෞද්ගලික විශ්ව විද්‍යාලය ඉදිරියේ තැනුණ කඩ පෙළක වන මේ කුඩා කඩ කාමරය ඇයට ලබා දුන්නේ එහි හිමිකරු ගේ බිරිඳ එක්ක ඇගේ වූ හිතවත්කම මත ය. එහි ආරම්භක දිනය අදයි. දැනටමත් විශ්ව විද්‍යාල සිසුන්, කෑම වලින් අඩකට වගකියා අහවර ය.

තවත් තරුණයන් දෙදෙනෙකු අවන්හල වෙත එනු දුටු පළිඟු මඳ සිනහවක් නගා ගත්තා ය. නමුත් ඒ එක් තරුණයෙකු ගේ පෙනුම අවුල් සහගත බව ඈ දුටුවේ දෙවන වරට හෙලු බැල්මෙනි. ඔහු ගේ ඇඳුම් කිළිටි වී ද, නළලත වූ පැලුම් තුවාලයකින් ලේ බින්දු වෑහෙමින් ද තිබිණ. ජෙල් ගා සකසන ලද හිස කේ අවුල් වී ය. නමුත් යෞවනයා ඉහළ පැලැන්තිය නියෝජනය කරන්නෙක් බව බැලූ බැල්මට පෙනේ. කොහොමත් මේ වගේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලට පැමිණෙන්නේ ධනවත්, බලවත් පවුල් වලට අයත් ළමයින් ය.

තුවාල කාරයා ගේ මිතුරා පළිඟු වෙත විත් කෑම ඇනවුම් කළේ ය. ඒ අතරේත් ඇගේ නෙතු කැරකුණේ තුවාල කාරයාගේ නළලේ වූ තුවාලය වටායි.

“තුවාල වෙලා නේද ඔය…”

තවත් බලාගෙන ඉන්නට බැරි ම තැන ඇය ප්‍රශ්න කළා ය. තුවාල කාරයා නො සැලකිලිමත් එක බැල්මකින් ඉවත බැලුවත්, ඔහු ගේ මිතුරා ඇය වෙතට බයාදු සිනහවක් පෑවේ ය. පළිඟු වහා ම කුඩා ප්‍රථමාධාර පෙට්ටියත් ගෙන යෞවනයන් දෙදෙනා හිඳ උන් මේසය වෙත ගියා ය. එක බැල්මක් පමණක් හෙලූ වත්සලා මුණිවතින් දිගට ම සිය කාරියෙහි නිරත වූයේ පළිඟු ගේ ස්වභාවය දන්නා නිසාවෙනි.

“කෝ මෙහෙට වෙන්න”

පුළුන් ගුලියක් අතට ගෙන තුවාල කාරයා වෙත නැඹුරු වූ හුරුබුහුටි පුංචි කෙල්ල ගේ හැසිරීම ගැන තරුණයන් ගේ හිත් වල කුතුහලයක් මෝදු වන්නට ඇත. ඇය තුවාලයේ ලේ පිස දැමුවේ එහි අයිතිකාරයාගෙන් කිසිදු අවසරයක් නො ගෙන ම ය.

“ගුටි ඇනගත්ත නේ…අනේ ඇත්තට ඕගොල්ලන්ට ලැබිල තියෙන අවස්ථාවෙ වටිනකම ගැන කිසි ගාණක් නැති හැටි නේ…ඕගොල්ලංගෙ තාත්තලට සල්ලි තියෙනව…ඒකනෙ මෙහෙම තැං වලට දාල හරි උගන්නන්න බලන්නෙ. ඒත් කැම්පස් එකකට සිලෙක්ට් වෙන්න ලකුණක් දෙකක් මදි වෙන නිසා හූල්ලන තරුණ ළමයි ලක්ෂ කීයක් ඉන්නවද මේ රටේ…මාත් ඒ අතරිං එක්කෙනෙක් නිසා හොඳට තේරෙනව. ඉගෙන ගන්න ආපු එකේ ඒක කරගන්න. නිකං අපරාදෙ දෙමවුපියංගෙ සල්ලි නාස්ති කරන්නෙ නැතුව”

තුවාලයට බෙහෙත් දමන අතරේ යුවතිය කියවා ගෙන ගියා ය. තුවාලකාරයා ගේ මිතුරා වන උතුම් ගේ දෙතොලතර දිගට ම පැවතියේ බයාදු මඳහසකි. පේස්ට්‍රි ශොප් එකක වැඩ කරන කෙල්ලකගෙන් මෙහෙම ලුණු ඇඹුල් ඇතුව අසාගෙන ම නැත.

තුවාල කාරයා වූ කලී කිසල් බෝගොඩ ය. ඔහු කිසි සේත් මෙවන් ගුටි ඇනගැනීම් වලට පැටලෙන ජාතියේ කෙනෙක් නොවන බව උතුම් නම් හොඳට ම දනී. මේ සිදු වූයේ කොහෙත් ම නො විය යුතු දෙයකි. නමුත් සැබවින් ම එය සිදු ව තියේ.

කිසල් ගේ පෙම්වතී, අක්ෂි, ඔහු ගේ ම පන්ති සගයෙකු වන අශේන් සමග පෙම් පලහිලව්වක් ඇති කරගෙන තිබේ. කිසල් හා අශේන් අතර මීට ටිකකට පෙර ගුටි හුවමාරුවක් සිදු වූයේ කෙල්ලක නිසාවෙනි. කිසල් මෙවන් සිදුවීමකට මුහුණ දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. 

“උඹෙයි මගෙයි යාළුකං අද මෙතනිං ඉවරයි කියල හිතාගනිං. මෙතනිං”

අනිතිමට අශේන් වෙතට ඇඟිල්ල දිගු කළ කිසල්, සිය පරණ පෙම්වතිය දෙස බලන්නේවත් නැති ව එතැනින් නික්මිණි. උතුම් මිතුරා ව අවන්හල වෙත කැටිව ආවේ ය.

නන්නාඳුනන යුවතියක් හිසේ වූ තුවාලයට බලහත්කාරයෙන් ම බෙහෙත් දැමුවා ට, හිතේ වන තුවාලය දිගින් දිගට ම ඔහු පාරමින් වැඩෙන බව කිසල් ට දැනේ. අක්ෂි එහෙම කළේ කොහොම දැයි ඔහු ට සිතා ගත නො හැකි ය. කිසල් ට ඈ හමු වූයේ උසස් පෙළ උපකාරක පන්තියකදී වන අතර ඒ ඇසුරට දැන් දෙවසරක් පිරී ගොසිනි. ඒ කිසල් ගේ ප්‍රථම ප්‍රේමයයි. අතර මගකදී ඇය අතැර යන්නට ඔහු සිහිනයෙන් හෝ හිතා තිබුණේ නැත. ඇති හැකි පවුලක පුතෙක් වූවාට, එබඳු පවුල් වල බොහෝ යෞවනයන් මෙන් ඔහු සෙල්ලක්කාරයෙක් නො වුණේ ය. කුඩා කල සිට ම හෙතෙම නිවුණු, තැන්පත් ළමයෙකි. මේ බිඳ වැටීම ඔහු ට දරා ගත නො හැක්කේ එබැවිනි. පෙම්වතිය සේ ම මිතුරා ද දැන් ඔහු ට අහිමි ය.

“අශේන් සීරියස් එකෙක්නං තව කමක් නෑ බං”

කල්පනා ලෝකයේ කිමිද ගෙන සිටි කිසල් මිමිණුවේ ය. උතුම් මිතුරා ගේ පරාජිත දෑස් දෙස බැලුවා මිස කිසිත් නො කීවේ ය.

“ඌ කෙල්ලො මාරු කරන්නෙ ඇඳුම් මාරු කරනව වගේ”

“කිසා. මං උඹට එක දෙයක් කියන්නද..”

කිසල් ට, සිය මිතුරා ට කිව යුතු ම යයි හිතේ නලියන යමක් උතුම් වෙත වේ. එය කියා ගත නොහී මෙතෙක් ඔහු ඉවසා සිටියේ ය. නමුත් කියා දමන එක නො කියනවාට වඩා හොඳ ය.

“අක්ෂි කියන්නෙ උඹට හරියන ජාතියෙ එකියක් නෙවෙයි. ඒක නිසා ඕක ඔහොම හරි ක්ලෝස් වුණ එක හොඳයි. උඹේ හිත රිදෙයි මචං. ඒත් ඇත්ත ඒක. ඒක නිසා අපි හිත හදාගන්න බලමු. ම්…”

එදා දේශන සඳහා සහභාගී වන්නට කිසල් ගේ හිත දුන්නේ නැත. ඔහු ගෙදර ගියේ ය.

“ආ…මේ මොකද මේ…ඔළුව පළාගෙන…අදනං කෙල්ලෙක් දීල තියෙනව වගේ ඔළුව පැලෙන්නම”

පිවිසුම් දොරටුව ළඟදී ම මුණගැසුණු වර්ෂා, කිසල් ට විහිළුවක් කළා ය. නමුත් ඒ විහිළුව අයියා ට ගැලපෙන එකක් නො වන බව එසැනෙන් ඇයට වැටහිණ. අනිත් අතට කිසල් ගේ මුහුණේ වූයේ කොහෙත් ම විහිළුවක් කර හිනැහිය හැකි ස්වරූපයක් නොවේ.

“අයිය…මොකද වුණේ…”

“මේක මේ පොඩි දෙයක්”

කියමින් කිසල් ගෙට ගොඩ වූයේ ය. කොහොමටත් ඔහු එහෙම ය. අඩුවෙන් කතා කිරීම හා ලජ්ජාශීලී ආඩම්බරය, බොහොමයක් කොල්ලන් වෙතින් දැකිය නො හැකි, සිය සහෝදරයාගේ විශේෂත්වයක් බව වර්ෂා හොඳහැටි දනී.

කාමරයට වැදුණු කිසල් යහනෙහි උඩුකුරු ව වැතිරුණේ ය. මුළු ආත්මය ම එක ම තුවාල වේදනාවකින් ඇදුම් කනු ඔහු ට දැනේ. කෙල්ලකට පිරිමි ආත්මයක් මත්තේ මේ විදිහට යකා නැටිය හැකි යයි කෙසේ නම් විශ්වාස කරන්නද? නමුත් මේ කිසිදු රිදුමක් තව දුරටත් අක්ෂි ට හෝ අශේන් ට නො පෙන්වන්නෙමැයි මේ මොහොතේ ඔහු තදින් සිතට ගත්තේ ය.

“කිසල්…කිසල්…පහළට එනව…කිසල්…”

පහළ මාලයෙන් අම්මා – මොරින් ගේ උස් හඬ නැගී ආවේ ය. දැන් ඉතින් ඇය යකා නටනු ඇත. 

මොරින් යනු ඉහළ පැලැන්තිය නඩත්තු කරනු වස් හැම මොහොතක ම වෙහෙසෙන තැනැත්තියකි. ඇය, සිය පැරණි මිත්‍රයෙකු වන ඩලස් ගේ උසස් අධ්‍යාපන ආයතනයෙහි අධ්‍යක්ෂ මණ්ඩල තනතුරක් හොබවන අතර, ඩලස් ගේ පුත් අශේන් ට සිය දියණිය වර්ෂා ව විවාහ කර දීමේ සිහිනයක පසු වන්නී ය.

“මොකද්ද කිසල් මේ නටල තියෙන නාඩගම…තමුං හදන්නෙ මගෙ ඔක්කෝම ප්ලෑන්ස් අවුල් කරල  අපේ මුළු පවුලම විනාස කරල දාන්නද..”

කිසල් පිය ගැට පෙළ බහිනකොටත් මොරීන් දුම්මල වරම අතට ගෙන සිටියා ය. 

“මොකද මොරීන් මේ…මොකද කෑ ගහන්නෙ…”

සනත් වරුසවිතාන කාමරයෙන් පිටතට ආවේ නො රිස්සුම් සහගත මුහුණකිනි.

“කෑ ගහන්නෙද…ඒ ගමන ඔයාගෙ පුතා චණ්ඩියෙක් වෙලා සනත්. මෙයා කැම්පස් එකේදි අශේන් එක්ක ගුටි ඇනගෙන. ඩලස් දැං මට කතා කළේ. අහන්න මෙයාගෙං…ඒ ගමන මැරයෙක් වෙන්නද හදන්නෙ කියල”

“මොරීන්…කොල්ලො වුණහම ඔය වගේ පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන්. ඕක ඔච්චර කෑ ගහන්න දෙයක්ද…”

“ඔයත් මෙයාට සුදු හුණු ගාන්න හදන්නෙපා සනත්. අශේන් කියන්නෙ අපේ පවුලට බැඳෙන්න ඉන්න ළමය. ඩලස්ලලෙ හැම දේකම අයිතිකාරය. වර්ෂාව ඩෝටර් ඉන් ලෝ විදිහට බාර ගන්න ඩලස්ල කැමති වෙලා ඉන්න වෙලාවෙ…මොනාද මෙයා මේ කරන්නෙ…”

“මං නංගිව ඌටනං දෙන්නෙ නෑ අම්ම”

කිසල් ගේ ඒ කතාවට මුළු ගෙදර ම මොහොතක නිහැඬියාවකට පත් විය.

“අම්ම දන්නවද ඌ මොන ජාතියක එකෙක්ද කියල…”

ටික වෙලාවක් විදා ගත් නෙතින් පුතු දෙස බලා උන් මොරීන් දැඩි ව කතා කළා ය. 

“අශේන් කියන්නෙ කොල්ලෙක්. ඔයා අමුතු ග්‍රහ ලෝකෙකිං ආපු ජීවියෙක් වුණාට මට කරන්න දෙයක් නෑ”

කිසල් හැරී යළි මතු මහළට නැගෙන්නට ගියේ පාලනය කර ගත් කේන්තියෙනි. අම්මා ගේ අදහස් කවදත් ඔහු රිස්සුවේ නැත. නමුත් රජයේ උසස් පිරිමි විද්‍යාල වල විදුහල්පති ධූරය වසර ගණනාවක් තිස්සේ හොබවන සනත් ටත් ඈ මෙල්ල කළ නො හැකි වූ එකේ, ඇගේ මත වලට එරෙහි වී පළක් නො වන බව කිසල් දනී.

“කිසල්…පුතේ…පුතේ මේ අහන්නකො”

කිසල් පස්සෙන් මොරීන් පියගැට පෙළ දිගේ දිව ආවා ය. කාමරයේ දොර ළඟ දී ඔහු නතර වී අම්මා දෙස බැලුවේ ය.

“හොඳ ළමය වගේ රණ්ඩු වලට යන්නැතුව අශේන් එක්ක හොඳින් ඉන්න පුතේ”

කිසල් අඩ සිනහවකින් ඉවත බැලුවේ ය. ඒ සිනහවේ අවඥාව කැළතී ඇති බව මොරීන් ට නො පෙනෙනවා නොවේ. නමුත් මේ අවස්ථාවේ උපායශීලී වන්නට ඇය සිතුවා ය.

“ඔයා කැමති නැද්ද නංගි සැපෙං ජීවත් වෙනවට…අපිට පුළුවන් ද අශේන් වගේ රිච් කොල්ලෙක්ව හොයල දෙන්න නංගිට…”

‘සැප නෙවෙයි අම්මෙ. සතුටයි ඕනෙ ජීවත් වෙන්න’ කියා කියන්නට ඕන වුණත් කිසල් මුණිවත රැක්කේ ය.

“ඔයා පොඩ්ඩක් කලබල නොවී ඉන්න. නංගි හෙමිහිට අශේන්ව හදා ගනී එයාට ඕන විදිහට”

“හරි. මං පාඩුවෙ ඉන්නං. හැබැයි කන්ඩිෂන් එකක් තියෙනව. අම්ම ඒ වෙනුවෙං කැම්පස් එකට ස්කොල් එකක් හදල දෙන්න ඕන ළමයෙක්ට. එකඟයිද…”

මොරීන් කිසල් දෙස බලා උන්නේ අවිනිශ්චිත බවකිනි. නමුත් කිසල් ගේ බැල්ම ස්ථිරසාර විය. ඔහු කවදත් වැඩ කරන්නේ එසේ බව මොරීන්ට අමුතුවෙන් කියා දිය යුතු නොවේ.

“හරි. මං ඒක කරන්නං”

මොරීන් අමාරුවෙන් කොඳුරා ගත්තා ය. ඒ ළමයා කවුද කියා අසන්නට වුව ඇයට සිහිපත් වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles