පරණ යකඩ හට්ටි මුට්ටි 07

ඇත්තටම ඒ සිද්ධිය මතක් වෙන හැම වෙලාවකම මට හිතුනෙ ගේබ්‍රියල්  වගේමයි මමත් කියලා.මට ඇහුම්කන් දෙන්න කෙනෙක් හිටියා නම් මේ තරම් අසරණ වෙනවද කියලත් හිතුනා .

මෙලනි  කිව්වා වගේ
ජාතියේම ළමයින්ට ආදරය කරන්න තරම් මගේ ලග ලොකු හිතක් තියෙනවද කියන එක මම ගොඩක් කල්පනා කළා.

මේ වැඩසටහනත්  මගේ අමාත්‍යාංශය යටතේ යන හින්දා මෙලනි  හරි කැමැත්තෙන් ඒකෙ වැඩ කළා. මෙලනි  ස්වේච්ඡාවෙන් වැඩ කළා. ආණ්ඩුවෙන් ඕන තරම් සල්ලි හොරකම් කරන හින්දා මෙලනිට පුළුවන් තරං කිව්වා මේකට අය කිරීමක් කරන්න කියලා.ඒ උනාට  එයා කැමති උනේම නෑ.

ධර්මසේන කාරයා නං මට හොඳේ කිව්වා මැඩම්ගේ නම දාලා සර් චෙක් එක ගන්න කියලා.
මේ තරම් තක්කඩි වැඩ කරලා තියන මට ඇයි ඒ වැඩේ කරගන්න බැරි උනේ කියලා තාමත් හිතාගන්න බෑ.සමහරවිට මම මෙලනිට ගොඩක් ගෞරව කරනවා ඇති.

තාමත්  බියගම හරහා ගමන් බිමන් යනකොට මගේ පරණ අතීතය අමතක කරන්න කොන්ක්‍රීට් කිලෝ හත අටක් දැම්මත් බැහැයි කියලා හිතෙනවා.

එදා කිරිපිටි ෆැක්ටරියේ වැඩ ඉවර වෙලා  මම ගෙදර එනකොට පේදුරු ජුදාස්  ලෙමන් ජින් එකෙන් බාගයක් තනියම ඉවර කරලා ත්‍රී රෝස් එක හුරතල් කරකර උන්නා.

ආක්ටික් අමීන්  අයියා ඉන්න කාලේ මාත් එක්ක නයි වෛරයෙන් ඉඳලා එකපාරක්ද දෙපාරක් ද මාව මරන්නත් ට්‍රයි කරපු  පේදුරු ජුදාස්  මං සේදර් ගාව ඉන්නේ කියලා දැන ගත්තහම දැන් ටිකක් ශේප් එකේ වැඩ කරනවා කියලා මට හිතුණා.

පේදුරු බොස්… ප්‍රස්නෙකද මංදා..කියලා මං හිනා උනාම

සදිසෝ වරෙන්කො පුතේ ..

කියලා පේදුරු කිව්වම මට හිතාගන්න බැරුව ගියා.

ප්‍රස්නයක් තමා බං … මම දන්න හැම තාලෙන්ම ඒක විසඳගන්න හැදුවා. හැබැයි  බැරුව ගියා.

මොකද්ද පේදුරු අයියා වැඩේ..

කස්ටම් එකේ අලහප්පෙරුම මල කරදරයක්. මට හෙල්ලූං පෙරලුං
නෑ.. ඌට මරණ තර්ජනය කලා..
ඕනේ තරමක් සල්ලි දෙන්නම් කිව්වා.එකකටවත් මිනිහා නම්මගන්න විදිහක් නෑ.

ඉතින් බොස්… ඉවරයක් කරලා දාන්න බැරිද…

බෑ සදිසෝ.. ඒක නිකන් කරදර ඇඟේ දා ගනිල්ලක්..එතකොට අනික් උන් අපිව අතඅරින්නෙම නෑ. මීට වඩා වෙන ක්‍රමයක් නැද්ද…

නෑ ඉතින් පේදුරු අයියලා කතාවට ඉස්සෙල්ලා උන්ඩෙ බස්සන හින්දයි මම එහෙම අහල බැලුවේ කියලා  කියන්න  මට හිතුනත් ලෙමන් ජින් බෝතලෙන් භාගයක් දැන් තියෙන්නේ ජෝසප් අයියගේ ආමාසෙ  හින්දා මං නිකන් හිටියා.

පුළුවන් අයියේ .. ඔය කොයි දේටත් නැමෙන්නේ නැති මිනිස්සු තමන් වැඩිපුරම ආදරය කරන මිනිස්සු ගාව දණ ගහනවා. මම එදා ජෝසප් අයියට එහෙම කිව්වෙ මාවම උදාහරණයට අරගෙන වෙන්න ඇති.කොච්චර කයිය ගැහුවත් සඳමාලි ඉස්සරහ මං තාමත් පණ නැතුව යනවා.
ඉස්සර මිරාල් අයියා හිනාවෙනවා
සඳමාලි  ඇන්ටි කියලා. තමන්ට වඩා අවුරුදු ගානක් වැඩිමල් ගෑනු ආත්මයක් ළඟ වුණත් පිරිමි හිතක් හොලවන්න පුළුවන් කමක් සමහර ගෑනු ලග තියෙනවා කියලා  මාත් එක්ක තමන්ගෙ ගෑණිගෙ හොර මිනිහා මරලා හිරේට  ආපු රත්නම් දවසක් කිව්වා .

මම ගෙදර එනකොට උන් දෙන්නා එකට හිටියා.මල් කපන පිහියෙන් එක පාරයි ඇද්දේ… ඌ ක්ලෝස්…

ඇයි යකෝ… ගෑනි හොඳයි ද එතකොට ..උබ ඌට විතරක් ටිකට් එක ඇද්දෙ කියලා  පූස් ගැට්ටා එවෙලෙ ඇහුවා..

ගෑණි හොඳ නෑ බං..හැබැයි ඒකි ළමයින්ට පණ වගේ.. කොහොමත් අර කාලකන්නියා හින්දා  මට මේකට එන්නම වෙනවා.ගෑනිවත් ඉවර කරා නම් ළමයින්ට බල්ලෙක් වත් නැතුව යනවා නේ.. එච්චර වෛරයක් හිතේ තියෙන කොටත් මට ඒකිට මොකුත් කරන්න හිතුණේ නැහැ බං.. කියලා රත්නම් කිව්වා ….

හරි … මම ජුදාස් අයියට උදව් කරන්නම්.. එහෙම කියපු මම එදා ඉඳලා වෙඩි උණ්ඩ නැතුව මානසිකව මිනිහෙක් වටන්න පුළුවන් හොඳම ක්‍රමය කොහොමද කියන එක කල්පනා කළා..

එදා ඉඳලා සතියක් යනකම් මම කළේ අලහප්පෙරුම කාරයගෙ පෞද්ගලික විස්තර පුළුවන් තරම් හොයන එක. මගේ ප්ලෑන් එක වෙනස්ම විදියෙ එකක් වුණා.හැමදාම අලහප්පෙරුම කාරයට කෝල් එනවා ඇත්තේ
තමුසෙ මැරුම් කන්න දඟලන්න එපා..
එක උන්ඩෙකින් තමුසෙව මම ඉවර කරනවා.

මං කියන දේ අහන්න බැරිනම් එළියට බහින්නේ නැතුව ඉන්නවා…

වගේ පණිවිඩ වෙන්න ඇති.මේවා අහලා අහලම ඒ මිනිස්සුන්ට ඇති වෙලා ඇති.සමහර නහර කාරයෝ ඉන්නවා නේ තමන්ගෙ රස්සාව දේවකාරිය කියලා හිතාගෙන කරන එවුන්. උන් දන්නෙ නෑ ඊට උඩින් ඉන්න ඇමතිලා දෙන්නේ රජගේම් කියලා.

සේරම විස්තර හොයා ගත්තට පස්සෙ  උදේ වරුවෙ මම අලහප්පෙරුමට කෝල් එකක් ගත්තේ පේදුරු අයියා ඉස්සරහ දිමයි. ඊට පැය භාගයකට කලින් මහ ඉස්පිරිතාලෙ ගාවදි පික් පොකට් ගහපු පෝන් එකක් අපේ වැඩේට ගෙනල්ල දුන්නෙ රෙඩ්ඩා.

අලහප්පෙරුම කාරයා හෙලෝ කිව්වම මං මගේ දෙබස් ටික කියාගෙන ගියා.

මහත්තයට ඉන්නවා තුන වසරේ දුවයි  සෙන්සිටිව් ඩේ කෙයාර්  එකට යන පුතයි.

ඔව්.. ඔය කවුද …

නතාශා සිනිදුනී අලහප්පෙරුම ..
කොන්ඩෙ කර්ල් සුදු උස අඩි තුනයි. අද ගෙනිච්චෙ  රතුපාට පොත් බෑග් එකක් … අද ගෙනිච්ච දම්පාට වතුර බෝතලයක්.
විසිදෙකයි පනස් අට නොම්බරේ  තියෙන ස්කූල් වෑන් එකේ පිටිපස්සෙම සීට් එකේ කෙලවරේම…

තමුසේ කවුද ඕයි…

දසිදු නුමිත අලහප්පෙරුම ..
හරියටම උදේ 7:00 වෙනකොට daycare එක ළඟට යනවා එයාගේ අම්මත් එක්ක. ඊයේ ගියෙ ආච්චිත් එක්ක.

අදිති අනුලා රනසිංහ..ඒ  කියන්නේ මිසිස් අලහප්පෙරුම.

දුව යන ඉස්කෝලෙම සංගීත ටීචර්. එයා යන්නෙත් විසි දෙකයි පනස් අට නොම්බරේ දරන වෑන් එකේ ඉස්සරහම සීට් එකේ.පුතා ව ඩේ කෙයාර්  එකෙන් දාල තමයි උදේට යන්නේ.

මගේ යකා අවුස්ස ගන්නෙ නැතුව තමුසෙට මොනවද ඕනේ කියලා කියනවා….

ඉස්කෝලේ ඇරෙන්නෙ එකහමාරට. ආපහු එන්නෙත්  අම්මත් එක්කමයි ..ඒ වෑන් එකේමයි ..

සඳුදා දෙකහමාර වෙනකොට විද්යෝදය එකට දුව ශිෂ්‍යත්ව පන්ති යනවා.. ආපහු ඇරෙන්නෙ පහට..
අඟහරුවාදාට ස්විමින් ක්ලාස් යනවා රෝයල් එකේ..
බදාදාට කෙලින්ම ගෙදර
බ්‍රහස්පතින්දාට කෙලින්ම ගෙදර
සිකුරාදා හවස ඉස්කෝලේ පන්ති තියෙනවා ඇරෙන්නෙ හතරට..

මොනාද අයිසෙ මේ කියවන්නේ

තව හැමදාම හැන්දෑවට daycare එකෙන් අරගෙන එන්නේ ඔබතුමා.. හැමදාම හැන්දෑවේ හතරට..
අනූව ඩෑශ් විසිපහ ඇලියොන් සුදු…
ඇඩ්ලින් අලහප්පෙරුම ඒ කියන්නේ ඔබතුමාගේ අම්මා.දවල්ට ගෙදර ඉන්නේ තංගම්මා එක්ක. තංගම්මට වැඩිය කන් ඇහෙන්නේ නෑ.

තමුසෙට මොනවද ඕනේ කියලා කියනවා..

එතකොටනම් අලහප්පෙරුමගේ කටහඬ අඬන්න ලංවෙච්ච ගතියක් තිබුණා.

ගෙදර පිටිපස්සෙ දොර දුඹුරුපාට තේක්ක ලීයෙන් හදපු දොරක්..
උඩ අගුල විතරයි වැඩ කරන්නේ යට අගුල වැඩ කරන්නේ නෑ.
ගෙදර ඉස්සරහ දොර දුඹුරුපාට ගහපු මැහෝගනී ලීයෙන් හදපු ශක්තිමත් දොරක්. ඒකෙ යතුරෙ කොපියක් දැන් මං ගාව තියෙනවා.
ගෙදර ඉඳල ගේට්ටුවට  මීටර් දහයයි දුර…

අයිසේ කවුද ඔය…

කලබල වෙන්න එපා මිස්ට අලහප්පෙරුම.වෙඩි තියනවට වඩා කරන්න වැඩ ගොඩක් අපි ගාව තියෙනවා..දැන් තමුසෙට තේරෙනවා ඇතිනේ මොනවද කරන්න ඕන කියලා…කල්පනා කරලා බලලා වැඩ කරනවා..මේ දූපත ඇතුළෙ කොහාට ගියත් ඔය විදියටම විස්තර අපි තමුසෙට කියනවා…

එහෙම කියපු මම ෆෝන් එක කට් කළා. රෙඩ්ඩා ෆෝන් එක අරං ගියා හොස්පිට්ල් හන්දිය ඉන්න කවුරුහරි ආච්චියෙක්ගෙ බෑග් එකකට දාන්නං කියලා.

ජෝසප්  අයියා මන් දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්.

ඊට සති දෙකකට පස්සේ අනිවාර්ය නිවාඩු ගත්තු  අලහප්පෙරුම එයාගෙ පවුලෙ කට්ටියව අරගෙන එංගලන්තයට ගියා. ඊට පස්සෙ පත්වෙලා ආපු ෆාහිල් අපේ ජෝසප් අයියා ට කීකරු පැටියෙක් උනා.

සදිසෝ මෙදාපාර උබ පන්දමෙන් නගර සභාවට ඉල්ලන්න ම ඕනේ.උබ  බයවෙන්න එපා උඹ උඩින්ම දිනනවා.  ඊට පස්සේ කෙලින්ම උඹ පාර්ලිමේන්තු යන්න ඕනේ.යකෝ උඹ වගේ එකෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා කියන්නේ අපිට රීරි යකාටවත් බය වෙන්න ඕනේ නෑ.

එහෙම කියපු ජෝසප් අයියා  මගේ බඩ ඉම්බා.
ගොඩ දවසකට පස්සෙ මට ආපහු මෙලනි ව  හම්බ වෙන්න ඕනේ කියල හිතුනා.  තමන්ව හරියට තේරුම් ගත්තු ගෑනු හදවතක් පිරිමි හදවතකට කොයිතරම් ඕනෙද කියන එක.අනං මනං විස්තර මුකුත් නොකියා මම මේ පාර නගර සභා ඡන්දයට ඉදිරිපත් වෙනවා කියන එක විතරක් මම මෙලනිට කිව්වා.එයාගෙ පවුල්  පවුල් පසුබිමෙත් දේශපාලනය තියෙන හින්දා මම ඡන්දයට ඉදිරිපත් වෙනවා කියන එක මෙලනිට ලොකු වෙනසක් වුණේ නැහැ.

කොයිතරම් හොඳයි ද..සාම්ප්‍රදායික ජරා දේශපාලඥයෙකු ට වඩා ඔයාට පුලුවන් සදිස මේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න. දේශපාලනඥයෙක් කිවුවහම අපේ ඔළුවේ මැවෙන්නෙ ජරාම ජරා චරිතයක්.ඒත් ඔයාට පුලුවන් උඩුගම් බලලා පීනලා හරි මේක වෙනස් කරන්න.

මං හිනාඋනා. මං ගාව සල්ලි ටිකක් තියෙනවා ඔයා කැමති කොහාටද තේ බොන්න යන්න..

ලොකු ලොකු තැන්වල තේ බොනවට වඩා මම ආස පොඩි තැනක තේ බොන්න යන්න.
චිත්‍රපටියක් බලන්න යනවට වඩා මම ආස කිසිම සද්දයක් නැති තැනක ඔයත් එක්ක කතා කර කර ඉන්න..

හරිම අහිංසක විදියට මෙලනි මාත් එක්ක එහෙම කියනකොට මට වඩා අවුරුදු බර ගාණක්  බාල මේ කෙල්ලගේ හිත කොයි තරම් මට වඩා ඉදිරියෙන් තියෙනවද කියන එක හිතුනා.

තරුණ  කෙල්ලෙක්ගෙ හිතට රිංග ගත්ත නාකි ආත්මයක් ඔයා ළඟ තියෙන්නේ…

මම එහෙම කිව්වහම මෙලනි හිනා උනා.

  එදා තමයි ජීවිතේ පලවෙනි වතාවට මෙලනි  එයාගෙ ආදර කතාව මුහුදු වෙරළ ගාවදි මාත් එක්ක කිව්වේ..
එදා  තමයි මගේ ජීවිතේ හොඳටම වටිනා කියලා ගත්තු පළවෙනි තීරණය අරගත්තේ..
ඔව් මෙලනි ව  කසාද බඳින්න තීරණය කරපු දවස..

ඇත්තටම සදිස මම ඔයාට කියන්නේ.. මෙලෝ දෙයක් නොදන්න මෝඩම මෝඩ දේශපාලනඥයෙක් වෙනවට වැඩිය ඔයා දෙයක් කරන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles