පරණ යකඩ හට්ටි මුට්ටි 09

හිතේ හිරවුනු මහා බලයකි
ලොවක් දිනුමට හැකි එයින්
නුඹ නොදන්නා නුඹට පුලුවනි
සොයනු අද මේ දැන් ඉදන්

නෙලුම් පිපුනේ ගොහුරු මත නොවෙද
කඩන් වැටෙනා තරු පැතුම් හෙව්ව…
නුබත් සමගින්   අලුත් ඉර එලිය..
රටම සැනසුම් සුව සුසුම් හොයන

රවි චන්දර ලියපු පද තුන හතරක් මිනිසුන්ගේ ජාතික ගීය වෙලා තිබුණා.

හිතුවටත් වැඩිය වැඩසටහන සාර්ථක වෙලා තිබිච්ච හින්දා ජයසංක ලොක්කා දෙවෙනි පාරටත් ජනාධිපති විදිහට පත් වුණා. ඊට පස්සේ පටන් ගත්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ඇතුලෙන් කරගෙන ගිය ව්‍යාපෘතියේ දෙවන අදියර පටන් ගත්තා.විපක්ෂයෙන් දිගින් දිගටම කෑගහන්න පටන් ගත්තා මේ ක්‍රිකට් කියන්නේ මිනිස්සුන්ව රවට්ටන්න ගත්තු නාඩගමක් කියලා.
ඒ වගේම ජයසංක ලොක්කාගේ ජාත්‍යන්තර සබඳතා  කොයිතරම් ප්‍රභලයි ද කියලා මට  තේරුණෙත් ඒ වෙලාවේ තමයි. ගමේ ගොඩේ කොල්ලෝ කුරුට්ටෝ දාලා ජාත්‍යන්තරයට ගහන්න පුළුවන් ටීම් එකක් හදන්න පුළුවන් චිත්‍රපටි වල විතරයි කියලා විපක්ෂය එක දිගටම කෑ ගහන්න ගත්තා.
ආණ්ඩුවට පක්ෂව තිබිච්ච ෆේස්බුක් පේජ් ගොඩක් ඒ  වගේම ක්‍රිකට් ආදරයෙන් අන්ධ වෙලා හිටපු සාමාන්‍ය පේජ් කාරයෝත් එක දිගටම විපක්ෂයට බනින්න ගත්තා  කුහකයෝ කියලා.
පේජ් එකසිය පනහකට රටක පාලනය වෙනස් කරන්න පුලුවන් හැරීපෝටර් බලයක් තියෙනවා කියලා ජයසංඛ හිනාඋනා .
ඒ හුඟක් පේජ් ජය සංඛ සල්ලි දීල අරගෙන තිබුණා. රටේ ඉන්න කලාකාරයෝ පරිපාලනයෙන් ඉහළ මිනිස්සු, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයො බලයට පත්වෙච්ච ජයසංකට පක්ෂපාතීව කතා කරන හඬ පට විවිධ ප්‍රධාන මාතෘකා යටතේ මේ පේජ් වලින්  සැරිසරුවා.

අපි අම්මගේ බඩේ ඉඳන් ක්‍රිකට් ගහපු මිනිස්සු..

බවුන්සර් නෝබෝල් නොදන්න මෝඩයා….

රටේ ප්‍රශ්න හැමදාම තිබුණා .. ඒවගෙම වැලලෙන්නෙ මෝඩයෝ…

කුහකයො සහ අමුකුහකයො අඳුනගන්නේ මෙහෙමයි…

ඔන්න ඔය වගේ දහසක් එකක් මාතෘකා වැටිලා තිබුණා.

ඇත්තටම ඒ විදිහට කදුගැට දිගේ වැව් පාරු අස්සෙන්  හොයාගත්ත ළමයි  පුහුණු කරලා ඔපමට්ටම් කරලා ගන්න සෑහෙන කාලයක් ගතවෙන බව ඒ වෙනකොට පත්වෙලා හිටපු ක්‍රිකට් බෝඩ් එක ජයසංඛ ට දැනුම් දීලා තිබුණා.

දැන්  සර්..කරන්න තියෙන්නේ මේකයි. කොළඹ ඉස්කෝලවල ඉන්න හොඳ ළමයි දෙතුන් දෙනෙක් ගමු.ක්ලබ්  වලින් ඉන්න ස්පිරිට්ම කෑලි ටික ඩුක් ගාලා ගමු. කොහෙන් ආපු ටීම් එකක් ද කියලා කාටවත් ඇත්ත නැත්ත කියන්න ඕනේ නෑනේ. මේ ඉන්නේ ගමේ ටීම් එක තමයි කියලා සාමාන්‍ය මහජනතාව හිතා ගත්තහම ඇති.
මේ ටීම් එක දාල අපි මැච් දෙක තුනක් ගස්සමු. අර ගම්මානවලින් තෝරා ගත්තු ළමයි ටික ඒ වෙනකම් අපි කොළඹ කොහේ හරි නවත්තමු. එතකොට මේක පිට යන්නේ නෑ..

මම එහෙම කිව්වහම ජයසංඛ

සදිසෝ උබට මොකටද ඇමතිකං… උඹ මගේ උපදේශක වෙයන් කියලා හයියෙන් හිනා උනා.
ඒ කතාව මම එදා අඩිමංකඩකට සෙට් වෙලා ඉද්දි  පේදුරු ජුදාස්  අයියට කිව්වෙ හිනාවෙන්න.

එව්වා නම් කොහෙද පුතෝ.. ඔව්වා හඳේ.. උඹ දන්නවනේ මම මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි කියලා.. අමාත්‍යාංශයක් නැතුව නම් මේ පැත්ත පළාතක බඩගාන්නෑ…
කියලා පේදුරු ජුදාස් අඩි හැප්පුවා.

ඒ වෙනකොට අපේ සම්බන්ධය කනින් කොනින් මෙලනිගේ ගෙදර අය දැනගෙන තිබුණා. මෙලනිගේ තාත්තා එදා ඉඳලම ජීවත් වූනේ බොහොම ස්වාධීන මනුස්සයෙක් හැටියට.මෙලනිගේ මහප්පා දේශපාලනය කළාට රණසිංහ නානායක්කාර  ව්‍යාපාර කරගෙන හිටපු කෙනෙක්. මෙලනිගේ මගෙයි සම්බන්ධය දැනගත්තට පස්සේ මෙලනිගේ මහප්පා මගේ ඉතිහාස කතාව අකුරක් නෑර මෙලනිගේ අම්මටයි තාත්තටයි කියලා තිබුණා.එක අතකට ඒ මනුස්සයාට මට වැරැද්දක් කියන්න බෑ.කිසිම දෙයක් ඒ මනුස්සයා ගොතපු දෙයක් එතන තිබුණෙ නැහැ.අමූලික ඇත්ත මිසක..

මට මහප්පා  එක්ක තරහයි.අනවශ්‍ය වැඩක් එයා කරලා තියෙන්නේ.එයාට මොකද මම කාත් එක්ක කසාද බැන්දත්..

එදා හවස මෙඩිගෝ එකේදී මෙලනි කිව්වේ අඩන්න ලං වෙලා.

ඉවසීමෙන් ඉන්න මෙලා.. මේ පාර ඡන්දෙන් අනිවාර්යෙන්ම මට අමාත්‍යාංශයක් හම්බ වෙනවා.අමාත්‍යාංශයක් අයිති ඇමති කෙනෙක් හැටියට මම ඔයාගේ අම්මාවයි තාත්තාවයි හම්බවෙන්න එන්නම්. එතකන්  ඔය මොකා උඩ පැන්නත්  එච්චර ගණන් ගන්න එපා…
අම්මයි තාත්තයි මොකද මේ ගැන කියන්නෙ..

ඉස්සෙල්ලා යාළුවෙලා හිටපු ත්‍රස්තවාදියා එක්ක පැනල ගියා නං ඉවරයි කියලා අම්මා කිව්වා.

මට බකස් ගාලා හිනා ගියා.

මට නිකං ඔයාව පේනවා..තැඹිලි පාටයි රතු පාටයි සාරියක් ඇඳගෙන  ඇලුමිනියම් මුට්ටියක් උකුලෙ තියාගෙන තල් ගස් අස්සෙන් වතුර ගේන්න යනවා..

කොහෙන් ගියත් ඔයාට ඇලුමිනියම් නං වරදින්නේ නෑ නේද.. කියපු මෙලා කොමඩු වීදුරුවට අස්සෙන් හිනාවෙනකොට ලස්සනයි කියලා මට හිතුණා.

මට මෙන්න මේක කියන්න ඔයා හරියටම..
ඇමැතිකම හම්බ වුණාට පස්සේ මම ඔයාව කසාද බඳිනවා.මට කැමති අකමැතිකම් කියන්න මගේ කියලා කිසි කෙනෙක් නැති බව ඔයා දන්නවා.ඒ වෙනකොටත් ඔයාගේ  අම්මයි තාත්තයි කැමති නැත්තං ඇත්තටම මෙලා ඔයා මොකද කරන්නේ..

මම ඔයාට ආදරේ කරන්න පටන් අරන් ඉවරයි. රගුනාදන්  කියන්නේ
පිච්චිලා ගිය  අතීතයක් විතරයි.
ඔයා ගන්න ඕනම තීරණයකට මම එකඟ වෙනවා. ඡන්දෙන් පස්සෙ එක සැරයක් ඔයා ඇවිල්ලා අම්මවයි තාත්තවයි හම්බවෙලා කතා කරන්න.ඊට පස්සේ අපි බලමු මොකද කරන්න ඕනෙ කියල.

මම මෙලනිගෙ නලල ඉම්බා. මෙලනි වගේ ආදරණීය ගැහැනියක් ලඟ සඳමාලි කියන්නේ දිමියෙක් කඩියෙක් ගානයි කියලා මට හිතුනා.

ඉන්දියාව පකිස්ථානය භූතානය වගේ අපේ බොක්කවල් ටික ලංකරගෙන ජයසංඛ ලොක්කා ක්‍රිකට් තරගාවලි කීපයක් කොහොමහරි අටවගෙන තිබුණා.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හරහා ඒ දේවල් නීත්‍යානුකූලව සිද්ධ කරගන්න ජයසංඛ ලොක්කාට පුදුමාකාර හැකියාවක් තිබුණා. අලුතෙන් හදාගෙන තිබුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බොහොම ලස්සනට තරඟාවලිය  ජයග්‍රහණය කළා. ඊට දවස් දෙකකට පස්සේ තමයි පාර්ලිමේන්තු මහා මැතිවරණය තිබුණේ .ජයසංඛ ලොක්කාගේ ගිනි පන්දම පක්ෂය උඩින්ම දිනලා තිබුණා.
ඒ දවස් වල  පේදුරු ජුදාස් අයියා අපේ ඡන්ද බල ප්‍රදේශයේ හිටපු හුඟක් ළමයින්ව ක්‍රිකට් නගාසිටුවීමේ සංගමය හරහා ඇති කරලා තිබිච්ච ක්‍රිකට් සමිතියට බන්ඳ ගත්තා. සදිස අතපත්තු පදනම යටතේ කියලා  හැම තැනම බෝඩ් ගහලා තිබුන. අඩු ආදායම්ලාභී පවුල්වල පිරිමි ළමයින් ක්‍රිකට් පුහුණු කිරීමේ වැඩසටහනට බඳවගන්න  විශේෂ වැඩපිළිවෙළක් මගේ නමින් කරගෙන ගියා.
හිතුවටත් වඩා මනාප ගොඩකින් මාව පාර්ලිමේන්තුවට තේරිලා තිබුණා.

ජයසංඛ ලොක්කා අසරණ සරණ හා යළි නගා සිටුවීමේ අමාත්‍යාංශය මට බාර දුන්නහම
පේදුරු ජුදාස් අයියා  සලුපාලිය නැටුවා.

සදිසො.. තෝ ගොනෙක් වගේ කට වහගෙන හිටිය ද.. මං උඹට කොච්චර වියදම් කළාද.
වරාය ඇමතිකම ඉල්ලන්න උබේ කට පණ නැති වුණා ද..

පේදුරු අයිය නිකං හරි දැනගෙන හිටිය නං ජනාධිපතිවරණයයි මහ මැතිවරණයයි දිනවන්න මමයි ජයසංඛ යි ගහපු ගේම ගැන මෙතන වෙන්නේ මොනාද කියන එක මටත් හිතාගන්න බැරුව යයි.
මට දීලා තිබිච්ච අමාත්‍යාංශය ගැන ඇත්තටම හිත යටින් මට සහනයක් තිබුණා.මට හිතුන විදිහට ඒ අමාත්‍යාංශය පේදුරු අයියට කිසිම වටිනාකමක් නැති එකක්.පේදුරු අයියගේ උවමනාවේ විදිහටම වරාය ඇමැතිකම හම්බ වුනා නම් මට වෙන්නේ සතියකින් බෙල්ලෙ වැල දාගන්න කියන එක මට නිකමට හිතුනා.

පේදුරු අයියා  කලබල නැතුව ඉන්න. මොනවා හරි පේදුරු අයියාගේ වැඩ වල අවුලක් වුනොත් මම කොහොමහරි ඇතුල ශේප් කරන්නම්..

එදා ඒ වෙලාවේ මම කොහොමහරි පේදුරු අයියව අයියා ව ශේප් කරගත්තා.

ඇත්තටම ඒ වෙනකොට මට උවමනා වෙලා තිබුණේ මෙච්චර දුරක් මාව තල්ලු කරගෙන ආපු මෙලනි ට ඕනේ කරණ ඒ ගෞරවය දෙන්නමයි.
අපේ කසාද ගැන කතා කරගන්න ජයසංක ලොක්කා ට මං කතා කලේ ඒකමයි.
සදිසෝ.. මැතිවරණ දෙකක් උබ නෙළුම් මලක් වගේ ගොඩ දාලා දුන්නා. ඔය කෙලිපැටික්කිට කැමැත්ත මං අරං දෙන්නං කොල්ලො කියලා ජයසංඛ  ආරක්ෂකයෝ පිරිවරාගෙන එයාගෙ වාහනයෙන්ම ගිහිල්ලා මෙලනි ලගෙ ගෙදර මිදුලට බහිනකොට මෙලනිගේ තාත්තා වෙච්චි නානායක්කාර මහත්තයා ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා ජයසංඛ ට වම් පැත්තෙන් වාඩි වෙලා හිටපු මම හොඳටම දැක්කා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles