පරණ යකඩ හට්ටි මුට්ටි 08

එදා හවස අපි හරි සන්තෝසෙන් ගත කළා.එදා තමයි ජීවිතේ පලවෙනි වතාවට මම  මෙලනිට ආදරෙයි කියලා කිව්වේ. මම හිතුවා එයා පුදුම වෙයි කියලා එහෙම කිව්වහම..

මම ඔයාට ගොඩක් කල්  ඉදං ආදරේ කලා සදිස..

එහෙම කියපු මෙලනි මගේ උරහිසට ඔලුව තියාගත්තා.

ඊට පස්සේ මෙලනිගේ මගපෙන්වීම හින්දම මම සිංහල සාහිත්‍යය සිංහල භාෂාව ඉගෙන ගන්න විශේෂ ගුරුවරු ළඟට ගියා.ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න විශේෂ ගුරුවරු ළඟට ගියා.ඉස්කෝලේ  හය වසරට විතරක් ගිහිල්ලා හිටපු මට හරියට රවුමට අකුරක්වත් ලියා ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ.
නවකතා  කතා පොත් වල පිටු ගණන් මම රූල්පොත්වල ආපහු ආපහු ලිය ලිය අත්අකුරු රවුමට ලියන්න පුරුදු වුණා.

ඉංග්‍රීසි පුංචි පුංචි පොත් මෙලනි මට ගෙනල්ලා දුන්නා.
වාහනේ යන හැම වෙලාවකම ඉංග්‍රීසි රේඩියෝ චැනල් වලට ඇහුම්කන් දුන්නා.මෙලනි එක්ක පුළුවන් තරම් ඉංග්‍රීසියෙන් කතා කළා. මෙලනි එක්ක ඉඩක් හම්බවෙන හැම වෙලාවකම ඉංග්‍රීසි චිත්‍රපටි බැලුවා.

පාර්ලිමේන්තු මැතිවරණයට පේදුරු ජුදාස්  අයියා සෑහෙන්න මහන්සි වුනා.
පක්ෂ නායකයා එක්ක මගේ සම්බන්ධතාවය වැඩි කරන්න පේදුරු ජුදාස් අයියා හුඟක් මහන්සි වුණා.
පක්ෂ නායක ජයසංඛ ඒ වෙලාවේ රටේ තිබිච්ච දේශපාලන ගැටලුත් එක්ක  තමන්ගේ පක්ෂය දිනවා ගන්න බැරි මට්ටමකට පත් වෙලා හිටියෙ.  ඒ වගේම ජයසංඛට ඕනවෙලා තිබුණා කලවම් ආණ්ඩුවක් නැතුව තනි බලය පාවිච්චි කරලා ප්‍රබල ආණ්ඩුවක් හදාගන්න.ඒ වෙනකොට ජයසංඛ උපදෙස් ගන්න පුළුවන් හැම කෙනෙක්ගෙම උපදෙස් අරගෙන තිබුණා.ගොඩක් අය ජයසංක ට උපදෙස් දීලා තිබුණේ ජාතිවාදී ටොපිය ආපහු අලුත් කරන්න කියලයි.

එපා සර්.. ඒකේ රස දැන් හැමෝම දන්නවා..ඒ ටොපියට මිනිස්සු නම්මගන්න දැන් සර්ට බැරි වෙයි..

එහෙනම් සදිසම කියන්නකෝ ක්‍රමයක්..

ජයසංඛ ලොක්කා  මට එහෙම කියනකොට මට වඩා ආඩම්බරයෙන් ඒ දිහා බැලුවේ පේදුරු ජුදාස් අයියා ..

ජයසංඛ සර්ගෙන් සදිසො උඹට පට්ට අමාත්‍යාංශයක් කොහොමහරි ඉල්ල ගන්න ඕනේ.
එක්කෝ වරාය නැත්තං ආරක්ෂක .. පේදුරු ජුදාස්  අයියා නිතර නිතර කිව්වා .

පේදුරු ජුදාස් අයියා  බලාපොරොත්තු වෙන තරම් ලොකු ලොකු අමාත්‍යාංශය ගන්න තරම් මම පළපුරුදු මනුස්සයෙක් නෙමෙයි කියන එක  තේරුම් කරවන්න මට හුඟක් අමාරු වුණා.

යකෝ..මගේ මොන එකක අමාරුවකටද මම එහෙනම් කෝටි ගණනක් වියදම් කරන්නේ උබ  වෙනුවෙන්.. උඹ හිතන්නේ ජනාධිපතිකමට ජයසංඛ ලොක්කා  සුදුසුයි කියලද..
යකෝ ඉහළම පුටුවේ ඉන්න එකා නුසුදුස්සෙක් උනහම උගේ පල්ලෙහා පුටු සේරම ඌ පුරවන්න උත්සාහ කරන්නේ ගැලපෙන මිනිසුන්ගෙන් නෙමෙයි.ඌට පාලනය කරන්න ඌට හසුරවන්න පුළුවන් මිනිස්සුන්ගෙන්..

පේදුරු ජුදාස් අයියා මළ යකෙක් වගේ කෑ ගහනකොට මට තිබුණේ බූරුවෙක් වගේ ඔලුව නමාගෙන ඉන්න චරිතය කරන්න.කොයිම විදිහකින් හරි අමාත්‍යාංශයක් හම්බ උනාම පිළිකාවක් වගේ පේදුරු මගේ සාරය උරා ගෙන බොන බව මට හොඳටම තේරුණා.අන්තිමේදී මට මාවම නැති වෙන තත්ත්වයත්   මට තේරුනා.

පහුවදා ජයසංඛ  රියෝ එකේදි මාව හම්බ වෙච්ච වෙලාවේ මගෙන් ඇහුවේ

සදිසගෙ අලුත් ටොපිය කියමු බලන්න කියලයි. මට හිනාත් ගියා.දිරාපු යකඩ ටිං බෙලෙක්ක  එකතු කරපු කුඩු කාරයගෙන් රට කරවන්න රට බාරගන්න ඉන්න නායකතුමන් උපදස් ඉල්ලනකොට..

ජාතිවාදී කතා දැන් හරි යන්නේ නැහැ සර්..පිලිමෙකට ගල් ගැහුවා කියලා කොත්තුවකට ළමයි නැති වෙනවා කියලා එහෙන් මෙහෙන් ආයුධ මතු වුණා කියලා දැන් මිනිස්සු රවට්ටන්න බෑ.සර් අපි මෙහෙම කරමු. අපි කොච්චර කොහොම කිව්වත් මේ රටේ ඉන්නේ  බාගෙට බාගයක් දුප්පත් මිනිස්සු. දුප්පත් පෝසත් බේදයක් නැතුව හැම මනුස්සයාම ක්‍රිකට් වලට කැමති.දැන් සර් දිගටම මැච් පැරදෙනවා. වැඩිය ඕනේ  නෑ අපේ ඇඟේ වුණත් ලේ නටනවා උන් ගහන හැටි දැක්කහම. තව ඡන්දයට තියෙන්නේ මාසයයි. සර් ගෙ  බලය පාවිච්චි කරලා ක්‍රිකට් බෝඩ් එක විසුරුවාහරින්න. ඔය බෝඩ් එකේ ඉන්න ඉහළම දෙතුන් දෙනෙක්ව දූෂණ චෝදනා වලට ඇතුලට ගන්න.සර්ගෙ මැදිහත්වීම ප්‍රමුඛ විදිහට ඉස්සරහට දාලා අපේ පරණ හොඳට ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයෝ ටිකෙන් හොඳ  බෝඩ් එකක් හදන්න. දැනට ක්‍රීඩා කරන සම්පූර්ණ ටීම් එකම සර්ගෙ මැදිහත්වීමෙන් අයින් කරන්න. ඊට පස්සේ පරණ කප් එක දිනපු අයගෙන් හදපු අලුත්  බෝඩ් එක කියන විදිහට ක්ලබ් වලින් ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැනිල්ල නවත්තලා ගම්මාන වලට ගිහිල්ලා හද්ද ඩොටේ ඉන්න කොල්ලෝ ටිකක් තෝරන වැඩසටහනක් පටන් ගන්න.අපිට සහයෝගයට ඉන්න  මීඩියා දෙක තුනෙන්ම මේ සම්බන්ධ ව විතරක් කතා කරන්න පටන් ගමු. ෆේස්බුක් පේජ් කාරයෝ ටිකක් අල්ලගෙන මේකම මිනිස්සුන්ගේ ඔලුවලට දාන පෝස්ටර් එක දිගට ශෙයා කරවමු…

අම්මටසිරි .. සදිස තමුසෙ බුලට් බඩුවක්… ඒත් අයිසෙ ඒ විදිහට අපිට ඕන වෙන විදිහට ක්‍රිකට් බෝඩ් දාගන්න ජාත්‍යන්තරය ඉඩ දෙයිද..

මාසයක් මේක අපි රන් කර ගත්තොත් සර්ට වැඩිම මනාප වලින් ඡන්දය දිනනවා කියන එක නතින්.. ඊට පස්සේ පාර්ලිමේන්තු මහා මැතිවරණය එනවනේ. ඒ අතරෙදි අර අළුතෙන්  හදාගත්ත ටීම් එක දාලා  කොහොමහරි පොඩි පොඩි තරග දෙක තුනක් දිනවමු. සර්ට සපෝට් කරන රටවල් තියෙනවනේ..ඒගොල්ලන්ව පොඩ්ඩක් හේත්තුකරගෙන කොහොම හරි අපේ ටීම් එක දෙතුන් පාරක් දිනවමු. ඊට පස්සේ ඔටෝ පේජ් කරයො ඉතුරු හරිය කරල දෙයි. සර්ට පාර්ලිමේන්තු බලය නැතුව ගියොත් ආපහු අපේ ක්‍රීඩාව වලපල්ලට යන බව මිනිසුන්ගේ ඔළු වලට රිංගවමු.

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පස්සේ සර්ට බලය හම්බුනාට පස්සේ ටික දවසකින් ජාත්‍යන්තරයෙන් ගන්න ක්‍රිකට් නීති වලට ඉඩ දෙමු.එතකොට සර් හැම පැත්තෙන්ම බේරිලා.

අඩේ සදිසෝ..උබනං.. කියපු ලොක්කා එදා මාව බදාගත්තා.

හැබැයි සර් වැදගත්ම දේ.. මේ ගැන දන්නේ සරුයි මායි විතරයි..

හරි හරි… කුක්කෝ… හරි  කියපු ජයසංක හිනාවෙනකොට සිරියාවයි කියලා මට හිතුනා.

ලොක්කා ක්‍රිකට් වලට කරපු දේ නම් ලොකු දෙයක්.. මෙච්චර කාලෙකට කිසිම නායකයෙකුට ඕක කරගන්න බැරුව ගියා නේ..පගාවට එහාට මෙහාට නැමි නැමී.. හිටියා මිසක..

කියලා  මෙලනිගේ තාත්තා උදේ ප්‍රවෘත්ති බලන ගමන් කිව්වා කියලා  මෙලනිත් ඒ දවස් දල මාත් එක්ක කිව්වා.

මේක සම්බන්ධයෙන් රට පුරාම මාර රැල්ලක් ෆේස්බුක් පේජ් කාරයොයි මීඩියා කාරයෝයි එකතුවෙලා හැදුවා.ක්‍රිකට් බේරා බේරාගැනීමේ සංගමය කියලා නිලනොවන මොකක්ද සංවිධානය කුත් කොහොමහරි ඇටෙව්වා. හාමුදුරු ගොල්ලො දෙතුන් දෙනෙක් මූලිකත්වය අරගෙන වැඩ කළා.අපේ සෙට් එකේ පාර්ලිමේන්තු මන්ත්‍රී හාමුදුරුවෝ තමයි මූලිකත්වය අරගෙන වැඩ කළේ.
ගේබ්‍රියල් ෆාදර්  එතකොට  නිදහස් වෙලා ඇවිල්ල හිටිය. ලෝගුව නැතිවෙලා හිටපු හින්දා ආගමික සංවිධානයක පාස්ටර් කෙනෙක් විදිහට වැඩ කරගෙන හිටියා. ඒකෙම ස්වේච්ඡාවෙන් වැඩකරපු ගෑනු ළමයෙක්ව කසාද බැඳලා එතකොට පොඩි එකෙකුත් හිටියා.
මෙයත් ප්ලොරිඩා වගේමයි කියලා මාව හම්බ වෙච්ච පළවෙනි දවසේ ගේබ්‍රියල් හක හක ගාලා හිනා උනා.ක්‍රිකට්  බේරාගැනීමේ සංවිධානයේ ප්‍රධාන සංවිධායක ධූරයක් ගේබ්‍රියල් ටත් හම්බවුණා. පොරවගෙන හිටපු සුදු ලෝගුවට  හුඟක් අය කැමති වුණා.ජාති භේද බේද ආගම් බේද නැතුව ක්‍රිකට්  වලට හරි මෙහෙම එකතු වෙන්න හම්බවෙච්ච එක ලොකු දෙයක් කියලා ගොඩක් අදහස් සමාජ මාධ්‍ය ජාලාවල එහාට මෙහාට ගියා. ගේබ්‍රියල් පාදර්ට තේ එකක් දාලා දෙන හාමුදුරු කෙනෙකුගේ ෆොටෝ එකකට යටින් තමයි ඒ වගේ හෑලි ලියවෙච්ච ලිපි එහාට මෙහාට ගියේ.. හිතුවටත් වැඩිය සාර්ථක විදියට මේ ටොපිය මිනිස්සුන්ට ගිල්ල ගන්න පුළුවන් වුණා.ක්‍රිකට් බෝඩ් එක අයින් කරලා ලොක්කට ඕන විදිහට පරණ ක්‍රිකට් ටීම් එකේ කට්ටියව ක්‍රිකට් බෝඩ් එකට දැම්මහම මුළු රට පුරාම මිනිස්සු පාරට පැනලා රතිඤ්ඤා පත්තු කරන්න පටන් ගත්තා.කිසිම ජාති බේදයක් නැතුව පක්ෂ භේදයක් නැතුව සිංහ කොඩිය අරගෙන මිනිස්සු ගෝල්ෆේස් එකේ නටන පොටෝ පත්තරවල  පිරිලා තිබුණා.
හද්ද ඩොටේ කොල්ලො ක්‍රිකට් ටීම් එකට තෝරන වැඩසටහන් ඇඟේ හිරිගඩු පිපෙන සංගීත  එක්ක මීඩියාවලින් තරඟයට වගේ ඉදිරිපත් කළා. ලෝක කුසලානය ගන්න ක්‍රීඩා කරපු දක්ෂ ක්‍රීඩකයෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ වාහනවලින් ගිහිල්ලා කඳුගැට නැග ගෙන ගිහින් මීදුම් වලින් වටවෙලා තිබිච්ච ගම්මාන වලට යන විදිහ
කැරට් බෝංචි ලීක්ස් පාත්ති වල වැඩ කර කර ඉන්න පොඩි පොඩි කොලු ගැටයන් ව අඬ ගහ ගන්න විදිහ බොහොම දුෂ්කර පළාත්වල පාරුවෙන් එගොඩ වෙලා ගිහිල්ලා ඉස්කෝල වල විදුහල්පතිවරු එක්ක සාකච්ඡා කරන විදිහ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෝ බෝල දමමින් තෝරා ගන්නා ළමයි ඒවාට පහර දෙන විදිහ බල බල ඒවට ලකුණු දෙමින් ටීම් එකට අළුතෙන්ම ක්‍රීඩකයෝ තෝරන විශාල කර්තව්‍යය කරන විදිහ ඇඟ මයිල් කෙලින් වෙන විදිහට මාධ්‍ය කාරයෝ තරඟයට ඉදිරිපත් කළා.
ඒ හැම වෙලාවකම ක්‍රීඩා අමාත්‍යාංශයේ වාහන හයිලයිට් කරලා පෙන්නන්න කියලා අපි එයාලට දැනුම් දුන්නා. ඒකෙන් අපි මහජනතාවට දැනුම් දෙන්න උත්සාහ කළා මේ වැඩේට සියයට සීයක්ම  රජය මැදිහත් වීමකින් තමයි කරන්නේ කියලා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ බොහොම දුප්පත් ගම්මාන වලින් මීදුම අස්සෙන් තෝරා ගත්ත කොලු ගැටව් එක්ක පල්ලම් බැහැගෙන එනකොට ඉස්සරහට හම්බවෙන හාමුදුරු නමක් පිරිත් නූල් බඳිනවා..
ෆුට් සයිකලයක පොල්ලෙ ඉඳගෙන එන ෆාදර් කෙනෙක් එතනින් බැහැලා බෙන්සාරු කරනවා. කඳු ගැටේ පහළ තියෙන කෝවිලේ පූසාරි ගිනිපත්තු කරපු තැටිය අල්ලලා ආශිර්වාද කරනවා. මුස්ලිම් පූජකතුමා ආශිර්වාද කරනවා. මේ සේරම විනාඩියකට එකතු කරලා හදපු ස්පිරිට්ම වෙළෙඳ දැන්වීමකුත්  නිතර දෙවේලේ හැම චැනල් එකකම විකාශනය වුණා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles