fbpx

සුළං සීනු – 11

එහෙත් මට ඇය හඹා යන්නටවත් ඈ හා කතාවට වැටෙන්නටවත් ඕනෑ වූයේ නැත. සමහරවිට ඇය මා හඳුනා ගන්නට ඇත.නමුත් ඇය මඳ සිනාවක් මවෙත පා කර යන්නට ගියා ය.ලෝචනා එනතුරු නිසල් සමඟ පණිවිඩ සංවාදයක පැටලවී සිටි මට ඒ අහම්බයකින් දුටු තරුණ වෛද්‍යවරිය ගැන ඔහුටවත් කියන්නට ඕනෑ වූයේ නැත. ඈ මෙහි වෛද්‍යවරියක් ද ඈ පදිංචිව හිඳින්නේ කොහේ ද වැනි ගැටලු මට ගලා ආවේ ද නැත. බොහෝ කාන්තාවන් තමන්ගේ ජීවිතය තුළ දකින්නට නොකැමති ගැහැනු චරිතයක් මගේ දෑස් ඉදිරිපිට හිඳින විට පවා මා ඇය නොදන්නා සේ සිටීමෙන් සැනසුණෙමි.නමුත් ඈ දුටු වගත් ඒ ඇයම විය යුතු බවත් නිසල් ට නොපැවසීම ගැන මම අදට ද සතුටු වන්නෙමි.

මා ජීවිත කාලය තුළ කළ බොහොමයක් අනුවණ දේ ය.නමුත් එක් නුවණක්කාර ක්‍රියාවක් ගැන මගෙන් කවුරුන් හෝ අසන්නේ නම් ඒ ඇය දුටු බව නිසල්ට නොපැවසීම ය.

කාලය ගලා යමින් තිබිණ.ඔරලෝසු සහ කැලැන්ඩර වලට ඕනෑවට මෙන් ගලා යන කාලය අතර මගේ සම්පූර්ණ සැනසුම නිසල් අත්පත් කරගනිමින් තිබෙන බව මට නොවැටහුණා නොවේ. සීනුට පිදිය යුතු කාලය පවා ඔහුට වැය වෙමින් තිබෙන බවත් ආදරයක් ගැන නොපවසන මිනිසෙකු සමඟ ඔහේ කියවමින් හිඳින්නට මම දහසය හැවිරිදි කෙල්ලක නොවන බවත් මට අනන්ත වාරයක් සිතෙමින් තිබිණ.ඔහු ආදරය ගැන වචනයක්වත් දොඩන්නට ඉක්මන් වූයේ නැත.නමුත් ඔහුට මා අසා හිඳින්නටත් මා ගැන සොයා බලන්නටත් ඕනෑ තරම් කාලය තිබිණ.මොනවා හෝ ගිල දමන්නට හෝ බඩගින්න උසුලා ගත නොහැකි නම් පමණක් කන්නට පුරුදුව සිටි මම නීතාගේ ඇස් උඩ යවමින් විවිධ ආහාර පිසීම ඇරඹුවෙමි.ඒවා ඡායාරූපයට නගා නිසල්ට යවද්දී ඔහුගේ සුන්දර විහිලු තහලුවලට ලක් වීමෙන් මා ලැබුවේ අප්‍රමාණ සතුටකි. සැනසීමකි.

“මේවා අද නෝනානෙ හැදුවේ..” නීතා සංකල්පට ඒවා ලබා දෙන්නේ විශේෂ සඳහන් කිරීම් සහිතව ය. ඔහු මගේ උයමන් අගය කළේ ය.නමුත් මා උයන්නට නොදන්නා කාලයේ පවා වතුර රසැති ව්‍යාංජන වදනකුදු නොදොඩා ගිල දැමූ සංකල්ප දැන් පවසන්නේ ඇත්තදැයි දැන ගන්නට මට ඕනෑ වූයේ නැත.ඔහු වඩවඩාත් මගේ හිතෙන් ගිලිහී යමින් සිටියේ ය.මා ගැන ඕනවටත් වඩා සොයා බලන නිසල් මට ප්‍රේම කරන දවසක් ගැන පවසන තුරු මම ඇඟිලි ගැන්නෙමි.නමුත් ඒ මොහොත එළඹියේ නැත. නොසිතූ මොහොතක සිදු වූ තිසුරිගේ ආගමනය ඒ කතාබහ ප්‍රමාද වන්නට තවත් හේතුවක් වන්නට ඇත.
තිසුරිගේ පළමු රැකියාව අප සමඟ ඇරඹීම නිසා ඇයට ඉගෙන ගන්නට බොහෝ දෑ විය.අපේ අංශ ප්‍රධානියා ඈ නිසල්ට බාර කළේ මා කෝපයෙන් පිළිස්සෙන විට ය.

“දැන් ඉතිං අලුත් ස්ටෝරියක් බැලුවැකි ළඟදි…”

භාතිය මහ හඬින් කියද්දී තිසුරිගේ මුව රත් පැහැ විණි. එහෙත් ඈ එපමණ කෝල ලෙස නිසල් දෙස බැලීම ගැන මට කෝපය ද ශෝකය ද අතරමැද හැඟීමක් හට ගති.

“නැතුව මෙතන ඉන්න බැඳපු ගෑනු එක්ක යාළු වෙන්නයැ නැද්ද බං නිසල්?”

කාවින්ද කොහොමත් නොතරම් කටක් ඇති මිනිසෙකි.ඔහුට අනුව මෙලොව හිඳින හැම ගැහැනියකම වරදෙහි බැඳෙන්නට කාරණා සොයන්නියන් ය.”ආතල් එක ගන්නට ” ගැහැනියක් සිටීම ප්‍රමාණවත් බව සිතන ඔහු අපට අප්‍රියජනක මිනිසෙකු විය.

“මෙතන අපේ සෙක්ෂන් එකේ ගෑනු ඉන්නේ පවී, ලෝචියි මායිනෙ.. දරුවො ඉන්න නාකි අපි එක්ක මොකටද පොඩි කොල්ලො යාළු වෙන්නේ? අනික අපේ ගෙවල්වල ඉන්න මිනිස්සු උඹලාට වඩා ඉස්තරං..”

කාවින්දට තියුණු පිළිතුරක් ලැබුණේ අපට වඩා වසර කිහිපයකින් වයසැති වින්ධ්‍යා අක්කාගෙනි. ඒ පිළිතුර සියල්ලන්ම නිහඬ කරන්නට සමත් වූ අතර කරන්නට අප්‍රමාණ වැඩ ඇති බව සිහිව සියල්ලෝම තමතමන්ගේ පරිගණක දෙස දෑස් යොමා ගත් හ.නමුත් මගේ දෑස් පරිගණකය අතැර නිසල් සහ තිසුරි හඹා යමින් තිබිණ.අහිමිවීමක වේදනාව දුර නැති බව මොර ගසන හදවත නිහඬ ඉකි ගැසුමක ය. මම සහමුලින්ම අවුල් වෙමින් සිටියෙමි.

“තිසුරි හොඳයි ද?”

මම නිසල්ගෙන් එසේ ඇසුවෙමි.

“මගේ වැඩ ශෙයා කර ගන්න නං හොඳයි..”

ඔහු එහෙව් නොසැලකිලිමත් පිළිතුරක් දුන්නේ ය.

“වැඩ ගැන තමා මං ඇහුවෙ..”

පරදින්නට මට ඕනෑ වූයේ නැත.ඔහු මදෙස බලා හිනැහුණේ ය.

“කසාද බඳින්නත් හරියන් නෑ.අනික මං කෙනෙක්ට ආදරෙයි පවී. තිසුරිගෙ ඔලුවට එහෙම ඔයාලා විකාර දාන්න එපා..”

ඔහු යන්නට ගියේ එහෙම කියාගෙන ය.

“නිසල් මොකක්ද බං ඔච්චර තියන ඇයි හොඳයිය?”

ලෝචනා හදිසි කුණාටුවක් ව එතැනට කඩා වැදුණා ය.මේ කුණාටුව දිනෙක කඩා වැදිය හැකි එකක් බව මට සහතික වුව මා ඇය දෙස තද බැල්මකින් බලා සිටියෙමි.

“එකට වැඩ කරන අය එක්ක හිතවත්කං නැතුවයැ…”

එහෙත් ලෝචනා මදෙස බලා සිටියේ මා සතයකට ගණන් නොගන්නා බැල්මකිනි.

“හරි, උඹ සංකල්පට නින්ද ගියාම කාටද පණ යනකං චැට් කරන්නෙ?”

ඇය අසන්නේ විනිසුරුවරියකට ඇඳගෙන ය. මට ලෝචනා සමඟ රණ්ඩුවක පැටලෙන්නට ඕනෑ විය.තිසුරි නිසා හිතේ ඇති වූ ආවේගය ඈ පිට දමා නිදහස් වෙන්නට මට ඕනෑ විය.

“නිසල්ට…”

ලෝචනා මගේ උරහිසින් අල්ලා ගත්තේ කෝපයෙනි. අනතුරුව ඈ මවෙත හෙළුවේ ශෝකයකි.

“අනේ පවී..උඹ රෑ තිස්සෙ ෆෝන් එක ඔබනවා, එච්චර මාත් එක්ක කියෝන දුක මොකක්ද කියලා මගෙන් සංකල්ප අහලා දවස් ගාණක්. මං එච්චර හිතුවෙ නෑ. මොකක්ද බං මේ කරගන්න යන විනාසේ..”

මම මහත් දැඩි හැඟීමකින් ගල් වූයෙමි.සමහරවිට ලෝචනා මාර්ගයෙන් ම මගේ හිතේ ඇති හැඟීම් නිසල්ට දැනෙන්නට ඉඩ දිය හැකි ය. මට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට හදිසි හැඟීමක් පහළ විණි.

“මං හිතන්නෙ මං නිසල්ට ආදරේ කරනව..”

ටැක්සිය පැමිණි අතර මම එයට ගොඩ වී ලෝචනා දෙස නොබලන්නට ප්‍රවේසම් වුණෙමි.ඇය නොනවත්වා ඇමතුම් ගනිමින් සිටියා ය. මම දුරකථනය විසන්ධි කළෙමි

මාර්ගය දැඩි තදබදයක ය.මට ඉක්මන් ගමනක් ඕනෑ වූයේ නැත.තදබද මාර්ගයේ කොතැනකින් හෝ අතුරු පාරකට වැටී මා නිවසට හැරලවීම රියදුරාගේ වගකීමකි.

මම දෑස පියා ගත්තේ එහෙව් හැඟීමකිනි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x