ආතුරයන් මැද ආදරෙන් 11

“පිස්සු ද බං.. ඌ අවුරුදු ගාණක් ගැටබේ කාරයා ගාව ඉන්න එකා..”

“අවුරුදු ගානක් හිටියට ඌ තාම ඉන්නේ  තනි කාමරයේ  පුංචි ගෙදරක. ළමයි දෙන්නා තාම ඉස්කෝලෙ යන්නේ ගමේ ඉස්කෝලෙට. කාල ඇඳලා හිටියට පවුල ඇතුලේ බොහොම ප්‍රශ්න තියෙන මිනිහෙක්.අපිට මිනිහව ලේසියෙන්ම නමා ගන්න පුළුවන්..සර් මං කියන ගාන දෙන්න..මං මිනිහ ලව්වා වැඩේ කරවලා දෙන්නම් ..”

ජාදු  එහෙම කිව්වේ වීසි කරන්න මේසේ උඩ දාල තිබිච්ච කොලයක් පංචරයෙන් හිල් විදින ගමන්.

ඉටිපන්දමක් පත්තුවෙලා නිවිලා යන තරං වෙලාව වෙනකොට ජාදු  හැමදේම ලෑස්ති කරලා තිබුණා.

බලාපොරොත්තු වෙච්ච විදිහටම..නෑ සමහර විට බලාපොරොත්තු වෙච්ච විදිහට වඩා වැඩිපුර විදිහට ගැටඹේ ඇමතිවරයාගේ ඩ්‍රයිවර් රන්සිරි වැඩේට කැමති වුණා..මාස ගානක් ජාදු  ඉව අල්ලන කොටියෙක් වගේ හරියටම හරි යන අවස්ථාව එනකන් මග බලාගෙන ඉන්න දළ ඇතෙක් වගේ ගැටඹේ ඇමතිගෙ පස්සෙන් ගියා.. උකුස්සෙක් වගේ ඒ දිහා බලාගෙන උන්නා.

“අද සර්ට පොඩි ගමනක් තියෙනවා .. මාලතී හවුස් එකේ… කතා කර කර ඉන්න බැහැ..ඒ වැඩේ ඉවර වෙනකොට රෑ එක විතර වෙයි.අපිට ආපහු තංගල්ලට යන්න තියෙනවා. හයිවේ එකේ…”

“හරි… හරියටම ගල් පාලම පහුවෙනකොට ලෑස්ති වෙලා ඉඳපන්..කියපු විදිහට වැඩේ කරපන්.. “

කලින් කියලා දීලා තිබ්බ විදිහටම රන්සිරි ජාදු ට කතා කළේ දුරකථන කුටියකින්..හරියටම මාලති  හවුස් එකෙන් ගැටබේ ඇමැති පිටත් වෙනකොට පාන්දර එකහමාරයි. එතන ඉදන් ජාදු  හැමදේම නූලට මෙහෙයවන වැඩේ මල්හතට කලා.. එදා මොරටුවේදී ශාන්තට එලොව පෙන්නපු කන්ටේනර් රථය ඒ වෙනකොටත් ගාලු අධිවේගී මාර්ගයට ඇතුළු වෙන්න බලාගෙන හිටියා. ඇමතිවරයාව දාගත්ත රන්සිරිගේ ජීප් එක ගාලු අධිවේගී මාර්ගයට ඇතුළු කරන්න විනාඩි දහයක් තියෙනකොට ජාදු කන්ටේනරයේ කොල්ලට දැනුම් දුන්නා . ඒ වෙනකොට ගල්වංගුව පහු කරන්න කන්ටේනර් එකට පුළුවන් වෙලාවක් තියලා තමයි කිව්වේ. ඊට පස්සේ හරියටම ගත වුනේ විනාඩි පහලවයි.රන්සිරි හරියටම වැඩේ කළා.. වේග සීමාවේ යන්න පුළුවන් උපරිම වේගයෙන් ගිහිල්ලා ගල්වංගුව හරියේ  ගාට ගාට ගිය කන්ටේනර් රථයේ ඇමතිගේ පැත්ත හැප්පුවා. පිටිපස්සෙන් දුර තියාගෙන ආපු ජාදු  වැඩේ හරියටම වුණා කියල දැක්කහම හෙමින් සීරුවේ තමන්ගේ රතය  ඉස්සරහටම දාවනය කළා..

අපි තමයි අපේ ලොකු සර්ලාව පන වගේ රකින්නේ..මුං අවුරුදු ගානක් වැඩ කළත් සල්ලි දැක්ක ගමන් හැමදේම අමතකයි. ජාදු කුටු කුටු ගගා කේසර ට කෝල් එකක් ගන්නකොට හරියටම පාන්දර දෙකයි විස්සයි…

පිටිපස්සේ ආසනයේ වර්ණාසි යි නර්මදයි ලොකු කතාවක යනකොට  චිකාගෝ චිත්‍රපටයක දර්ශන ආපහු ආපහු ජාදු ගෙ හිතේ මැවි මැවී පෙනුනා.

රේවත ලොකු හාමුදුරුවෝ කේසර ලොකු සර්ගේ කුණු ගොඩවල් අවුස්ස අවුස්ස කෑගහනකොට කේසර බොහොම ඉවසීමෙන් හිනාවෙලා හිටියට ජාදු ට ඒක දරාගන්න බැරුව ගියා.”

“මේ ඝන ගෙඩියා දෙන දානෙ කාලා දන්න බණක් කියාගෙන.. සසරින්ද කතරින්ද එතෙර නොවී මොන රෙද්දක් කරනවද…උන් කරන වැඩ හින්දා ගන ගෙඩියො ඔක්කොම මට එපා වෙනවා. මේකා මේ තරම් උඩ පනින්නේ රජකම ගන්නද නැත්නම් ලොකු සර්ගේ පුටුවට කෙලවන්නද”
කියලා ..ඉවසීම කියල දෙයක් නොදන්න ජාදුගෙ හිත කෑ ගැහුවා.හෙට්ටිපොළ තියෙන කේසරගේ අක්කර පනස් ගණනක පොල් වත්ත මැදදී මහ රෑ රේවත හිමිගේ සිවුර ගලවලා සරමක් ඇන්දෙව්වා.

“සංඝයා මැරුවොත් නෙ බොල පව්.. තෝ දැන් නිකම්ම නිකං රේවතා… එහෙම එවුන් මැරුවට පව් නෑ…”

කියලා ජාදු රේවතට වෙඩි තුනක් තිබ්බා.වත්ත මුරට ඉන්න නාදන් එක්ක මිනිය ජීප් එකේ දාගෙන ගිහින් දැදුරු ඔය හැඩ පාරට දාලා ගෙදරත් ආවා.ඊට දවස් දෙකකට පස්සේ රේවත හිමිගේ අතුරුදහන් වීමට සැකපිට ජාදුවට අත්අඩංගුවට ගන්න උසාවි නියෝග නිකුත් වුණා.මැරුවත් කෑල්ලෙන් කෑල්ල ඉරුවත් වචනයක් වත් නාදන් නං   නොකියන බව ජාදු ට හිතා ගන්න පුළුවන් උනත් මේක එළිවුනේ කොහොමද කියලා හිතාගන්න බැරි වුණා.

“තෝ පරයා… මගෙන් නාහා පණ්ඩිත වැඩ කරන්න එපා කියලා මංතොට කී පාරක් කියලා තියෙනවද… ඕනවට වඩා නටන්න ආවොත් මම තෝවත් මරනවා… දැනගනින් බූරුවා…”

කියලා කේසර පොලිස් කූඩුවේ දොර ළඟ ඉඳන් දත් මිටි කකා බොහොම හෙමිහිට ජාදු ට කිව්වා.

“ලොකු සර්ට ඕනෙනම් මාව මරල දාන්න… මට ඒකට දුකක් නෑ …. හැබැයි ලොකු සර්ට කුණු කතා එක එකා  කියනව මට බලන් ඉන්න බෑ…”

කියලා ජාදු බිම බලා ගත්තා.තමන්ව කුණු කානුවේම මැරෙන්න නොදී බේරගත්තු ඒ උත්තම පුරුෂයාට වචනයක් කියන එක තමන්ට අහගෙන ඉන්න බැරි බව ඇයි ඒ උත්තම පුරුෂයාට තේරුම් ගන්න බැරි කියලා ජාදු  තනියම හිතුවා.දන්න අඳුරන හැමෝම තමන් නැති තැන ජාදු කේසරගේ බලු කුක්ක බව කියනවා කියලා ජාදු  දැනගෙන උන්නා .

“එදා උඹ රේවතයට වැඩේ දෙනකොට වත්තට හොර පොල් කඩන්න ආපු බූරුවෙක් ගහ මුදුනේ ඉඳලා තියෙනවා.ඌ සේරම බලන් ඉඳලා.ඒක තනියම හිතේ තියාගන්න බයේ  ඌ ගෑණිට කියලා.. ගෑනි දවස් දෙකකට පස්සේ  පොලිසියට ගිහින් කියල තියෙන්නේ..”

කේසර එදා පොලිස් කූඩුව ගාවදී කුටු කුටු ගාලා තමන්ට කිව්වා ජාදුට  මතක් උනා.
කේසර එදා ආපහු ගියේ
උසාවි දවසට මං එන්නේ නෑ..කෙරෙන්න ඕනේ දේවල් ඔක්කොම කරලායි තියෙන්නේ..කියලයි ..
හොර පොල් කඩන්න දක්ෂ පොල් බණ්ඩා පහුගියදා රාත්‍රියේ මොකක්දෝ හේතුවකට හිත රිදිලා වගා ළිඳකට පැනලා සියදිවි නසාගෙන තිබුණා. දිගින් දිගටම දිගින් දිගටම නිල නොවන සංවිධාන වලින් පොල් බණ්ඩාගේ මරණය සිය දිවි නසා ගැනීමක් නෙමෙයි මිනී මැරුමක් කියලා කෑ ගහන්න පටන් ගත්තා.ඒ වුනාට ඒක ඔප්පු කරගන්න විදිහක් තිබුණෙ නෑ. ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකාරයා සියදිවි නසා ගත්ත හින්දා නඩුව නිෂ්ප්‍රභා වුණා.රේවත හාමුදුරුවන්ගේ මිනියවත් හොයාගන්න නැතත් හාමුදුරුවන්ගේ ඝාතනය ගැන මිනිස්සු තදින් කෑගහනකොට මහා විශාල මැණික් ගලක් හැටන් ප්‍රදේශයේ නාය ගිය තේ වත්තකින් හම්බවුණා. එතකොට කේසර වරාය ඇමති වෙලා හිටපු කාලේ.

නාය ගිය තේ වතු කෑල්ලක පදිංචි වෙලා උන්නු අහිංසක දුප්පත් රෙංගස්වාමි ගැන හැමෝටම දැනගන්න ඕන වුණා. 
රෙංගස්වාමි නාය ගිය තමන්ගේ වැසිකිළිය ආපහු හදාගන්න ඕන හින්දා වැසිකිළි වළක් කපන කොට තමයි මේ මැණික් ගල මතුවෙලා තියෙන්නේ.ලෝක මැණික් වෙළඳපොලේදී මේ මැණිකට ලැබෙන මිල කොච්චරක්ද කියලා හැමෝම හෙව්වා. රෙංගස්වාමිගේ ඉඩම රාජසන්තක වෙනවද කියලත් දැනගන්න ඕන උනා.
හැම මාධ්‍යයකම රෙංගස්වාමි ගැනත් මැණික ගැනත් තොරතුරු පිරී ඉතිරී ගියා ගියා. රෙංගස්වාමි පිරිසිදු කිරිපාට වේට්ටියකුත් ඇඳගෙන රජයේ නිලධාරින් රොත්තකුත් එක්ක මුළු රටටම අත වනල කටුනායකින් පිටත් වුණේ  ඒ මැණිකට ලංකාවෙදි නියමිත මිලක් නියම කරගන්න බැරි නිසා ලෝක මැණික් වෙළඳ පොලේදී ලැබෙන මුළු වටිනාකම අරගෙන නැවත ඒ මේ බලාපොරොත්තුවෙන්..නියමිත වටිනාකම ලැබුණොත් රටේ විශාල ණය ප්‍රමාණයක් ඒ මුදලින් වහගන්න පුළුවන් කියලත් රටට විශාල වාසියක් වෙන බවත් ආර්ථික ඔස්තාර්ලා ගණන් හැදුවා.දිගින් දිගටම නාය යන නිසා ජීවත්වීම අතහැරලා ඉඩම් දාලා ගිය ඒ පැත්තෙ මිනිස්සු ගිනි ගනන් වලට මේ ඉඩම් මැණික් වෙළෙන්දන්ට විකුණන්න පටන් ගත්තා.රෙංගස්වාමි දේශපාලනයට එනවද කියලත් ප්‍රශ්න කරපු මාධ්‍යකාරයෝ උන්නා.කම්කරු පක්ෂයෙන් නම් එන්නේ ඡන්දය දෙන්න කැමතියි කියලා තවත් අය කියලත් තිබුණා.රේවත හාමුදුරුවන්ගේ ඝාතනය අමතකද කියලා කුණු  අවුස්සන විකල්ප මාධ්‍යවේදීන් ආපහු කෑගහන්න පටන් ගත්තා.රත්නායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා කියන අහිංසක මිනිහා කිසිම හිතේ අමාරුවකට සියදිවි නසා නොගත් බවත් බලහත්කාරයෙන් වගා ළිඳකට එබූ බවත් කියන්න පටන් ගත්තා.රේවත හාමුදුරුවෝ ගැන වගේම ටිකිරි බණ්ඩා ගැනත් නිල නොවන මානව හිමිකම් සංවිධාන රට පුරා කෑගැහුවා.බට කැලේට නැවතත් ගිනි අරගෙන තිබුණා.ජාදු ට එළියට බහින්න බැරි තත්ත්වයක් ආයෙමත් පටන් ගත්තා.

“රට ගිය නිල් මැණික.. මහා විශාල තිරුවානා කැටයක් වෙයි”

කියලා පොල් ගෙඩි අකුරෙන් මේ ජරමර අස්සේ පත්තරවලත්  ප්‍රවෘත්ති වල  බ්‍රේකින්  නිවුස් හැටියටත් යන්න ගත්තා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles