fbpx

තවමත් දරු පැටවුන් සොයා නුවර වීදි වල සරනා ඇහැලේපොල කුමාරිහාමිගේ කඳුළු කතාව.

ඇය උතුරු මාතලේ උඩුගොඩ උඩසියපත්තුවේ මොනරවිල ග්‍රාමයේ ගොලහැළ නිලමේගේ සහ මොනරවිල කුමාරිහාමිගේ දියණියයි. ඉංග්‍රීසි ආක්‍රමණිකයන්ගෙන් රට බේරාගන්න වර්ෂ 1817 දී වෙල්ලස්සේ කැරැල්ල මෙහෙයවූ වීර කැප්පෙටිපොළ දිසාවේගේ සොයුරියයි. ඇහැලේපොල අදිකාරම්ගේ ආදරණීය බිරිඳයි. ඉතිහාසය දන්නා ඕනෑම කෙනෙක් හඳුනන වීර මද්දුම මණ්ඩාරගේ අම්මායි. ඉතිහාසයේ ඛේදනීයතම ඉරණමට ලක්වූ ඇහැලේපොළ කුමාරිහාමියි.

රාජදෝහියෙකු අල්ලා ගැනීමට නොහැකි වුවහොත් ඔහුගේ අඹුදරුවන්ට දඞුවම් කිරිමේ බලයක් නීත්‍යානුකූලව රටේ රජුට පැවරී තිබුණ ඒ කාලයේ ඇගේ ස්වාමිපුරුෂයා වූ ඇහැලේපොල අදිකාරම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දෝෂ දර්ශනයට ලක් වුණා. ඒ වෙනුවෙන් ඇහැලේපොල කුමාරිහාමිට ඒ අමානුෂික ඉරණමට මුහුණ දෙන්න සිදුවුණා. තනිවමත් නෙවෙයි, තමන්ගෙ දරුවනුත් එක්ක ඈ ඊට මුහුණ දුන්නා.. මේ කතාව අද කාලේ ස්මාර්ට් කාන්තාවන්ට වැදගත් වෙන්නෙ ඉතිහාස කතාවක් නිසා ම නෙවෙයි. ඒ අඳුරු ඉතිහාසයේ මේ සිදුවීමට මුහුණ දුන් ඇගේ චිත්ත ධෛර්යය, ආත්ම ශක්තිය සහ පතිවත රැකගැනීම හමුවේ නොසැලී සිටින්නට ඈ සතු ව පැවති අධිෂ්ඨාන ශක්තිය නිසයි. මරණය පෙනි පෙනී, තමන්ගේ ම කුසින් උපන් දරුවන්ට වන විපත පෙනි පෙනී ඈ ගත් ඒ තීරණය ගැන ඉතිහාසයේ ඇත්තටම ලියැවී ඇති කරුණු ප්‍රමාණවත් නොවන තරම්.

දඞුවමට හේතුව

මේ දඞුවමට හේතුවුණේ තමන්ගේ සැමියා රාජද්‍රෝහී වීම පමණක් ම නොවෙයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අදිකාරම කෙනෙක් හැටියට කටයුතු කරපු ඇහැලේපොළට රාජදෝහියෙකු වන්නට ඕනෑ වුණේ නැහැ. ඇහැලේපොල කුමාරිහාමි සමඟ රජුගේ පැවති නොමනාපයත් මේ සිද්ධියට බලපෑ ප්‍රධාන හේතුවක් වුණා. මේ ශෝකාන්තය ආරම්භ වන තැන හරියටම තේරුම් ගන්නට ලැබෙන්නේ ශ්‍රී වික්‍රමරාජසිංහ නමින් රජකමට පත්වන කන්නසාමි කුමාරයා ගැන ඉතිහාස කතාවත් දැනගත් විටයි. ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි රාජාධි රාජසිංහ රජුගේ දෙවැනි බිසවගේ, සොයුරියගේ පුතා තමයි කන්නසාමි කියන්නේ.

රජු සහ පිළිමතලාවේ අතර ගැටුම

කන්නසාමි කුමරුට රජකම ලබාගන්නට උදවු කළේ පිළිමතලාවේ දිසාවේයි. ඔහුට ඕනැ වුණේ දුර්වල රජෙකු බවට කන්නසාමි පත්කොට, ඉන්පසු රජු මරා හෝ නෙරපා දමා හෙළ රජ පරපුරක් ඇතිකිරීමටයි. එහෙත් ඒ වෑයම සාර්ථක වුණේ නැහැ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජකම ලබා ටික කලකින්ම පිළිමතලාවේගේ සියලු කුමන්ත්‍රණ අවබෝධ කරගත්තා.

වැවක් තැනීමේ දී ගොවීන්ට සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් සහ 1803 දී ඉංග්‍රීසි හමුදා සමඟ සටනේ දී පසු බෑ නිසා රජු විසින් ලෙව්කේ නිලමේ වෙලක් මැදදී ම ඝාතනය කිරීම හේතුවෙන් පිළිමතලාවේ සහ රජු අතර ගැටුම් ඇතිවුණා. අවසානයේ අසන්ජා නමැති මුස්ලිම් මුහන්දිරම්වරයෙකු ලවා රජු මැරවීමට කළ කුමන්ත්‍රණ හෙළිවීමෙන් 1811 දී පිළිමතලාවේගේ හිස ගසා දමනු ලැබුවා.

හිස් වූ අදිකාරම් ධුරයට ඇහැලේපොල පත්වෙයි

පිළිමතලාවේගෙන් හිස් වූ මහා අදිකාරම් ධුරයට ඔහුගේ බෑණා කෙනෙක් වූ ඇහැලේපොල පත්කරනු ලැබුවා. මුලින්ම වාසල පණිවිඩ කරන නිලමේ ලෙස පත්වූ ඇහැලේපොල ඉන්පසු මඩුවේ ලේකම්, පල්ලෙවාසල නිලමේ, මහ ගබඩා නිලමේ, සත් කෝරළේ දිසාවේ සහ ඌව දිසාවේ යන තනතුරු දැරුවා. ශක්තිමත් පාරම්පරික පසුබිමකට උරුමකම් කියූ ඇහැලේපොළ ප්‍රභූන් රැසකට නෑකම් කියූ අතර, රජුට පවා එවැනි උසස් පාරම්පරික උරුමයක් තිබුණේ නැහැ.

රජුට ඇහැළේපොළ එපාවීම

කෙසේ වෙතත් ඇහැලේපොල අදිකාරම්ට රජුගේ යකඩ දෝලියක වූ අලුත්ගම බිසෝ මැණිකා සමඟ රහස් සම්බන්ධයක් තිබූ බව සඳහන්. මෙය දැනගත් පසු ඇහැලේපොළ සමඟ නොසන්සිඳෙන වෛරයක් රජුට ඇතිවුණා. ඇහැලේපොල කුමාරිහාමි සමඟ සම්බන්ධයක් ඇතිකරගැනීමට රජු උත්සාහ කළේ ඉන්පසුවයි. ඒ විතරක් නොවෙයි, ඇහැළ යන වචනය පවා අසන්නට රජු ඉන්පසු කැමති නොවූ බවත් මහනුවර ආශ්‍රිතව තිබූ සියලු ඇහැළ ගස් පවා කපා දමන්නට රජු පියවර ගත් බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. එතැනින් ද නොනැවතුනු රජු මොල්ලිගොඩ නිලමේගේ කේලම් අසා ඇහැලේපොල අදිකාරම් ටික කාලයකට සබරගමුවට ගොස් ගොවිතැන් දියුණු කරන ලෙස දන්වා පිටත් කර තිබෙනවා. මොල්ලිගොඩ නිලමේ එසේ ඇහැලේපොලට විරුද්ධව කේලම් කියන්නට හේතු වී ඇත්තේත් ඇහැලේපොල කුමාරිහාමිට කළ රහස් යෝජනා ඇය විසින් ප්‍රතික්ෂේප කිරීම බව සඳහන් වෙනවා.

කුමාරිහාමිගේ වගතුග

ඇහැලේපොල කුමාරිහාමි නියම උඩරට කාන්තාවක් ලෙස ඉතා මැනවින් ඇඳුම් පැළඳුම් හැඳ පැළඳ සිටියා. වලව්වේ දී ඇය නිතර ම නැවුම් මල් ගෙල පළඳින්නට කැමැත්තක් දැක් වූ තැනැත්තියක්. ඇය තමන්ගේ දරුවන්ට ඉමහත් සේ ආදරය කරමින්, දරුවන් නිතර ම තමන් ඇසගැසෙන මානයේ ම රඳවා ගනිමින් කටයුතු කළ තැනැත්තියක් බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නිතර ම රජවාසල සඳළුතලයේ සිට ඇහැලේපොල කුමාරිහාමි දෙස බලමින් කටයුතු කළ බව ද කියවෙනවා. රජු සමඟ මඟුල් මඩුවේ පැවති සාද සම්භාෂණවලට පවා ඇහැලේපොළ අදිකාරම් සමඟ ඇහැලේපොල කුමාරිහාමි සම්බන්ධ වි තිබෙනවා. රජු මුල් කාලයේ දී ඔවුන්ට ඉතා ලෙන්ගතු ව සලකා ඇති බවත් සඳහන්. එහෙත් ඒ ලෙන්ගතුකම් කණපිට හැරෙන්නට වැඩි දවසක් ගතවී නැහැ.

යෝජනාවට පයින් ගැසීම

ඇහැලේපොල අදිකාරම් සබරගමුවට යැවීමෙන් අනතුරුව රාත්‍රී කාලයේ ඇහැලේපොළ කුමාරිහාමි බැහැදකින්නට වලව්වට ගොස් ඇයට අයුතු යෝජනා ඉදිරිපත් කරන්නට රජු කටයුතු කර තිබෙනවා. මේ කිසිදු අවස්ථාවක ඇහැලේපොල කුමාරිහාමි රජුට අවනත වී නැහැ. දාසයන් ලවා ගස්බැද නිලමේවරුන්ට දන්වන බව පවසමින් ඇය රජු දැඩි ව ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙයින් ආශාවන් සංතෘප්ත කරගැනීමට නොහැකිවූ ලැජ්ජාවට හා කෝපයට පත් වූ රජු ඇගෙන් පළිගැනීමේ කෲර චේතනාව ඇතිව පිටව ගොස් වහාම දරුවන් සහ ඇහැලේපොල කුමාරිහාමිව නිවාස අඩස්සියේ තබන්නට නියෝග කොට තිබෙනවා.

ඒ කාලයේදීත් නැවත නැවතත් රජු අයුතු යෝජනා ගෙන ආවත් ඒ කිසිදු අවස්ථාවක ඇහැලේපොල කුමාරිහාමි ඊට අවනත වී නැහැ. දෙමළ වඩුග රජු යනුවෙන් රජුට ප්‍රසිද්ධියේ ම බැනවැදීමට තරම් ඈ නිර්භීත වී තිබෙනවා.

ඇහැලේපොල පිළිබඳ වෛරයත්, රදලයන්ගේ කේලාම් බස් සහ, කුමාරිහාමිගේ අහංකාරකමත්, ප්‍රසිද්ධියේ තමාට දෙමළ වඩුගයා යැයි බැනවැදීමත්, හේතුවෙන් නිතර ම මත්වතුර පානය කරමින් සිටි රජුගේ කෝපය ඉහවහා ගිය බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.

නීති නොතකා දුන් අමානුෂික තින්දුව

සිංහල රාජ නීතියෙන් තහනම් කර තිබූ කාන්තාවන් හා දරුවන් මරා දැමීමේ නීතිය නොසලකා හැර නිවාස අඩස්සියේ සිටි ඇහැලේපොල කුමාරිහාමි සහ දරුවන්ට මහනුවර නාථ දේවාල භූමියේ දේව සංහිඳ අසල දී 1814 මැයි දෙවැනි දා මරණ දණ්ඩනය ලබාදෙන්නට රජු නියෝග කළා.

නරුම රජුගේ සිත අවසාන මොහොතේ හෝ වෙනස් වී කුමාරිහාමි ඇතුළු දරුවන් මරණයෙන් නිදහස් වනු ඇතැයි වැසියන් සිතුවා. ඔවුන් ශෝකයෙන් හා සංත්‍රාසයෙන් තැති ගැනී සිටියා. ඒ මොහොතේ දීත් නිහඞව තමන්ට සුපුරුදු සන්සුන් සහ උදාරම් ලීලාවෙන් සිටි ඇහැලේපොළ කුමාරිහාමි අත කිරි බොන වයසේ සිටි බිළිඳියත් සිටියා.

“දරුවනි, බිය නොවන්න, කෲර වඩුගයාගේ පිපාසය මේ ලෙයින් සංසිඳේවා. මේ බිලි පූජාවෙන් නුඹලාගේ පියාට යහපතක් ම වේවා”යි පත්තිරිප්පුවේ සිටි රජුට ඇසෙන සේ ඈ උස් හඞින් පැවසුවා. ගෙල සිඳිනු දරාගත නොහැකිව බියෙන් පසුබාන එකොළොස් වියැති ලොකු බණ්ඩාර හමුවේ දෙවැනි දරුවා වූ නව වියැති මද්දුම බණ්ඩාර අභිතව මරණයට පෙනී සිටියා. අයියන්ඩියෙ බිය වන්න එපා. මැරෙනා හැටි මම පෙන්වන්නම් කියමින් ඔහු දංගෙඩියට ගෙල තැබුවා. ලොකු බණ්ඩාර, මද්දුම බණ්ඩාර, සය වියැති ඇහැලේපොල ටිකිරි මැණිකේ යන දරුවන්ගේ හිස් ගසා දැමුණු අතර, මවගෙන් කිරි උරමින් සිටි ඩිංගිරි මැණිකා වධකයින් විසින් උදුරාගෙන ඇගේ ගෙල සිඳ මුවින් වැගිරෙන කිරි ද සමඟ වංගෙඩියකට දමා මෝල් ගසකින් කොටන ලෙස මවට අණ කරනු ලැබුවා. එසේ නොකළහොත් උඩරට කුල කාන්තාවකට විඳිය හැකි උපරිම අවමානය වන කුලහීන ගහලයෙකුට පාවා දෙන බව ද නියෝග කළා. මේ අවස්ථාවේ දී සිහිසුන් වූ කුමාරිහාමිගේ ගෙලෙහි ගල් බැඳ බෝගම්බර වැවේ ගිල්වා මරණයට පත්කරනු ලැබුවා.

නුවර අඳෝනාව

රජවාසල හැර මුලු නුවර ම අඳෝනාවලින් පිරි සොහොනක් මෙන් දිස්වුණා. නුවර වැසියන් නොකා නොබී රජු සමඟ ද්වේශයෙන් උපවාසයෙන් කල් ගෙවූ බව ද සඳහන්. ඇහැලේපොළ මහාදිකාරම් මුරුසි දිවයිනට පිටුවහල් කරනු ලැබුවා. කෙසේ වෙතත් තමන් කළ සාහසික ක්‍රියාව ගැන රජු දැඩි සිත්තැවුලෙන් හා පීඩාවෙන් ගත කළ බව ඉතිහාසයේ සඳහන් වනවා.

එදා ඈ ගිල් වූ බෝගම්බර වැව පරිශ්‍රයේ අද තිබෙන්නේ ක්‍රීඩාංගනයක්. ඒත් තවමත් සුදු ඔසරිය ඇඳ, හිසට ගසා ගනිමින් ඇය විලාප දෙමින් සිටින ආකාරය වැව අබියසින් දකින්නට ලැබෙන බව ඒ ප්‍රදේශයේ නිතර ගැවසෙන ඇතැම් පිරිස් පවසනවා. දරුවන් කොහිද විමසමින් විලාප තබන ඇගේ අවතාරය පැරණි ඇහැලේපොල වළව්ව දෙසට හා පත්තිනි දේවාලය දෙසට පාවී යන බවයි ඔවුන් පවසන්නේ. ඇතැම් පිරිස් මේ සුදු ඇඳගත් රූමත් කාන්තාව දරුවන් ඉල්ලා විලාප තබමින් වැවට පනින අයුරු ද දැක තිබෙන බවට තොරතුරු සඳහන් වෙනවා. මේ කතාවල සත්‍යඅසත්‍යතාව විද්‍යාත්මකව තහවුරු කර නොමැති වුවත්, ඈ ඉතිහාසයේ මුහුණ දුන් අතිඅමානුෂීය ඉරණම හමුවේ නැඟුණු සහසක් සුසුම් තවමත් මේ වා තලයේ රැඳී නැතැයි කියන්නට බැහැ. කඳුලින් පෙඟුණු ඇගේ විලාපයේ දෝකාරය අදටත් හෙටටත් එපරිද්දෙන් ම ඇසෙනු ඇති.

අභියෝග හමුවේ නිර්භීත වන්නට ශක්තිය අවශ්‍යයි. කෙතෙක් බලපෑම්වලට මුහුණ දුන්නත් තමන්ගේ උදාර ස්ත්‍රීත්වය නිකැළැල්ව පවත්වාගන්නට, ඇහැලේපොල කුමාරිහාමි දිවි පරදුවට තබා කැප වුණා. දරුවන් වෙනුවෙන් හෝ ඇගේ පතිවත පාවා දෙන්නට ඈට නොහැකි වුණා. ඉතිහාසයේ සිදුවූ කෲරතම, අමානුෂික වද හිංසාවට ලක්වූ ඇහැළේපොළ කුමාරිහාමිගේ නිර්භීතකම ඔබටවත් මටවත් ඔරොත්තු දෙන්නට පුළුවන් තත්වයක් නොවෙයි. ඒත්… මේ වාතලයේ සරන ඇයගේ සුසුම් තවමත් ඔබටත් මටත් පවසන සත්‍යයක් තියෙනවා. ගැහැනුකම අපට ආභරණයක්. බලයට, ධනයට, හෝ අන් කිසිවකට යටත්ව එය ගලවා දමන්නට එපා. ඈ වෙනුවෙන් අද දවසේ කාන්තා අපට කළ හැකි හොඳම උපහාරය එය නොවේ ද?

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
7
0
Would love your thoughts, please comment.x
()
x