පළිඟු මන්දිර – 35

0
929

කිසල් ගේ ඇස් දෙස පළිඟු කෙළින් බැලුවා ය. එහෙම කරන්නට බැරි අපහසුවක් ඇය ට දැනුණේ නැත. එහෙම අපහසුවක් දැනිය යුතු විදිහේ වරදක් ඈතින් සිදු වී තිබුණේ ත් නැත. එතෙක් ඔහු ගේ ඇස් මත වූ ආවේගය, ඇගේ ඒ බැල්මත් සමග තුනී වී ගියා විය යුතු ය. නමුත් ඔහු ඒ බව ඇයට දන්වන්නට ඉක්මන් නො වුණේ ය.

“කතා කරන්න බැරිද…මොකද්ද මේ වෙලා තියෙන්නෙ…”

කිසල් ගේ කෑ ගැසිල්ලට යළිත් වරක් පළිඟු තිගැස්සුණා ය.

“මොකාද මූ…කතා කරනව”

“මං දන්නෙ නෑ”

පළිඟු ඒ වචන තුන කීවේ ඉතාමත් නිවුණු හඬකින් බිම බලා ගෙන ය. හදවතේ වූ සියලු ගිනි, එක පවන් පොදකින් නිවී ගියා සේ ඔහු ට දැනිණ.

“ඒ කියන්නෙ…”

“එදා…අර ඔයා එනකල් මං මැයි ගහ ළඟ බලං ඉඳපු වෙලාවෙ…මේ මනුස්සය මාව වෑන් එකකට දාං ගියා”

“මොකක්…”

“මට කෑ ගහන්නවත් පුළුවන් වුණෙ නෑ. වෙඩි තියනව කිව්ව. කොහෙ හරි තැනකට අරං ගිහිං බලෙං ම මාව බදාගන්න දැඟළුව. මං ඒ මිනිහගෙං බේරෙන්න දැඟළුව. ඒ වෙලාවෙ මං දැක්කෙ නෑ කවුරුත් ෆොටෝස් ගන්නව. හැබැයි දැං මට හිතෙනව මේ වැඩේ කරන්න ප්ලෑන් කරලයි මාව අරං ගිහිං තියෙන්නෙ කියල”

“එහෙම දෙයක් වුණා කියල එහෙනං මට කිව්වෙ නැත්තෙ ඇයි…”

“ඔයාව ප්‍රශ්න වලට පටලන්න බයට කිසල්. අනික මට මුකුත් කරදරයක් වුණෙත් නෑ. මං දන්නව ඔයා මේක විශ්වාස කරන්නෙ නෑ කියල. කාටවත් විශ්වාස කරන්න බැරි වෙයි.එහෙම කරන්න කියල මං ඉල්ලන්නෙත් නෑ…”

ඇය බිම බලා ගත්තා ය. කිසල් ඇගේ නිකටින් අල්ලා වත ඔසවමින් පළිඟු ගේ ඇස් ඔහු වෙතට යොමු කර ගත්තේ ය. ඇය ට දුක හිතිණි. අයහපතක් වන එක වළකනු වස් වී ද, එකට ජීවිතය බෙදා ගන්නට පොරොන්දු වූ මිනිසාට යමක් සඟවන එක වරදක් විය හැකි ය. ඒ වරද කිරීම වැරදිද නිවැරදිද කියා සිතන්නට දැන් ඇයට උවමනා නැත. වරදක් නම්, ඇය එය කළා ය. 

“මං කිව්ව නේද මං කියන දෙයක් ඔයාට විශ්වාස කරන්න වෙයි කියල…ඒ වගේ ම…ඔයා මොකද්ද කියන්නෙ…මං ඒක විශ්වාස කරනව කියල…”

පළිඟු ගේ ඇස් විසල් විය. ඒ කියන්නේ මේ මොහොතේත් ඔහු ඇය ව විශ්වාස කරන්නට සූදානම් බව ද?

“මට ඔයාව විශ්වාසයි පළිඟු”

දෑතින් ම කිසල් ගේ අතක් තදින් අල්ලා ගත් යුවතිය ඒ අත් ගොබයේ නළල තියාගෙන ඉකි ගසා හැඬුවා ය. ඒ ඡායාරූප දකිත්දී පළිඟු ට වුව සිතුණේ ඇත්තට ම ඈ එසේ සිටියා ද කියා ය. නමුත් කිසල් ඇයව විශ්වාස කරයි!

“ඒ විශ්වාසෙ මගෙ අතිං කවදාවත් කැඩෙන්නෑ කිසල්”

“ඒත් මීට පස්සෙ මගෙං කිසි දෙයක් හංගන්න ඔයාට බෑ”

“ඒ පාඩම මං අද ඉගෙන ගත්තා. ඔයත් ඒව විශ්වාස කළානං මට වෙන්නෙ මැරෙන්න”

“එතකොට කාගෙ උවමනාවටද මෙහෙම දෙයක් වුණේ…”

කිසල් එය පළිඟු ගෙන් ඇසුවා නොව තමුන්ගෙන් ම අසා ගත්තා සේ ය. මෙහෙම දෙයකින් ඔහු ගේ හිත ඈ කෙරේ බිඳවීමේ උවමනාව වන්නේ අක්ෂි ට හෝ මොරින් ට බව ඔහු නො දන්නවා නොවේ. කිසිදු පිරිමියෙක් ඔහු පෙම් කරන ස්ත්‍රිය වෙනත් පුරුෂයෙකු ගේ තුරුලේ හිඳ ගත් ඡායාරූපයක් දකින්නට කැමති වන්නේ නැත. ඒ අතින් බලත්දී ඔවුන් දෙදෙනාගෙන් තතතකවරෙකු හෝ වී ද යොදා ගත් උපක්‍රමය සාර්ථක ය. නමුත් පෙම් කරන තැනැත්තාව විශ්වාස කිරීම, ගැටළු විසඳා ගැනීමේදී වඩාත් ප්‍රබල මාර්ගය බව ඔවුන් තුළ තචච දන්නවා විය හැක.

ඒ සිදුවීම වී හෝරාවක් ගත වන්නටත් පෙර පළිඟු ගේ අතැඟිල්ලක් පටලා ගත් කිසල් ගේ රුව දුටු අක්ෂි බෙහෙවින් විශ්මිත වූවා ය. මුළුමනින් ම අකර්මන්‍ය වූවා සේ ඇයට දැනිණ. බලාපොරොත්තු සුන් වීමේ අපේක්ෂා භංගත්වය ඊර්ෂ්‍යා සහගත කෝපයක් බවට පෙරළී තිබුණත්, ඇය මේ වෙලාවේ කිසල් ට කතා කරන්න ට නො පෙළඹුණා ය.

කියවන්න :  පළිඟු මන්දිර - 16

එදා හැන්දෑවේ සනත් ඇතුළු පිරිස ආලින්දයෙහි වට වී සාකච්ඡා කළේත් මේ ඡායාරූප වලට අදාල සිදු වීම ගැන ය.

“ඒ වගේ දේවල් දැක්කට පස්සෙ මොන කොල්ලෙක්ද ආයෙ ඒ කෙල්ලගෙ පස්සෙං යන්නෙ. අප්පිරියයි මටනං”

මොරීන් පිළිකුල හඟවන්නට දෙඋරහිස් හැකිළවූවා ය. කිසල් අඩ සිනහවක් නගාගෙන ඉවත බලා ගත්තේ ය. ඒ සිනහවේ වූ අවඥාව, මොරීන් ගේ කෝපය අවුළුවන්නට සමත් විය.

“මටනං හිතා ගන්න බෑ කිසල්…ඔයා මේ තරං ලැජ්ජ නැති මිනිහෙක් වුණේ කොහොමද කියල”

“ලැජ්ජ වෙන්න ඕනෙ ඒ වගේ කැත වැඩ කරන මිනිස්සු නේද අම්ම…”

“පිස්සුද ළමය…තමුං කියන්නෙ මං ඔය වගේ පින්තූර ටිකක් හදවල දාල කියලද…අර කෙල්ල මේ ළමයගෙ ඔළුව එහෙම්පිටිංම වෙනස් කරල. තුට්ටු දෙකේ පවුල් වල එවුං…”

“පුතා”

මොරින් ගේ සමච්චල් හඬ යටපත් කර ගෙන සනත් කතා කළේ ය.

“ඔයා දැං පොඩි ළමයෙක් නෙවෙයි තමයි. ඒත් ඕක බොහොම ආවේගශීලීව කටයුතු කරන වයස. ඒකයි දෙමව්පියන්ගෙ මග පෙන්වීම තාමත් ඕගොල්ලන්ට ඕනෙ. අන්තිම තත්පරේදි හරි ජීවිතේ වරද්දගන්න එක වළක්වන්න. මං මේ කතා කරන්නෙ ඒ ළමයගෙ පවුල් වල තත්වෙ ගැන නෙවෙයි. හැබැයි…ඔහොම දෙයක් කරගන්න එක ගෑනු ළමයෙක්ගෙ ආත්ම ගෞරවේට හොඳ මදි නේද…ඉතිං එහෙම කෙනෙක්…”

“තාත්ති…”

මැද්දෙන් පැන්නේ වර්ෂා ය. මොරින් ඇයට නිහඬ වන ලෙස ඉඟි කළත් වර්ෂා එය තැකූ බවක් නො පෙනිණි.

“ඔය සිද්දිය වෙච්ච දවසෙම පළිඟු මාත් එක්ක කිව්ව. එයා පාරෙ ඉන්නකොට ඔය ෆොටෝස් වල ඉන්න මිනිහයි තව දෙතුන් දෙනෙකුයි පළිඟු ව බලෙංම වාහනේකට දාං ගිහිං…”

“ආ…ඒ කියන්නෙ මේ බල කරල ඔය ෆොටෝ ශූට් එක කරල…”

“අනේ අම්මි. ගෑනියෙක් වෙලා ඉපදිලා තවත් ගෑනු ළමයෙක්ට ඔහොම පද හදන්න හොඳ නෑ”

“මට හිතාගන්න පුළුවන් කවුද ඕක කෙරෙව්වෙ කියල”

“අනේ මේ කිසල්. ඒ කෙල්ල ඕගොල්ලොන්ට ඉනාවක් දීල රවට්ටගෙනද කොහෙද. ඔය වගේ වැඩකට මං කොහෙත්ම සම්බන්ධ නෑ සනත්. අනිත් එක…මං හිතන්නෑ කවුරුවත් එහෙම කළා කියල. ඒ කෙල්ලගෙ බොරු”

කිසල් අසුනෙන් නැගිට ගත්තේ ය. මේ වාගේ සංවාද කොහොමත් ඔහු ට ගෝචර නැත. 

“මං දැන්ම ඉන්ෆෝම් කරනව. ඔය කෙල්ල තවත් කැම්පස් එකේ පැත්ත පලාතට වද්ද ගන්නෑ. වර්ෂාටත් ඉගෙන ගන්න ඕනනං ඉගෙන ගන්න. නැත්තං අශේන් ව මැරි කරල හවුස් වයිෆ් කෙනෙක් වෙලා නිකං ඉන්න. මීට පස්සෙ මං ඕගොල්ලංගෙ තර්ජන වලට බයේ වැඩ කරන්නෙ නෑ”

නික්මෙන්නට ගිය කිසල් නැවතත් එතැන නතර වූයේ ය.

“අනේ කමක් නෑ අම්ම. කරන්න පුළුවන් ලොකුම දේ ඔය ස්කොල් එක කෑන්සල් කරන එකනෙ. ඉතිං ඒක කරන්න. මං ඩිග්‍රි එකක් තියෙන ගර්ල් කෙනෙක්වම හොයන්නෑ දවසක මැරි කරන්න. පළිඟුට උපාධියක් තිබුණත් නැතත් මට ඒකෙ ප්‍රශ්නයක් නෑ”

ඉතා සන්සුන් ව වුණත් ස්ථිරසාර ලෙස එසේ කියා කිසල් නික්ම ගියේ ය. වර්ෂා ගේ මුහුණේ සහෝදරයා පිළිබඳව ආඩම්බරකාර මඳහසක් ඇඳී තිබිණි. පිරිමියෙකු නම් අවස්ථාවට ගැලපෙන පරිදි එසේ තීන්දු තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතු යයි ඇය විශ්වාස කරයි. 

සනත් දිගු සුසුමක් හෙළුවේ ය. මොරීන් ඔහු වෙතට දැඩි බැල්මක් හෙළුවා ය.

“පේනව නේද ඔයාගෙ පුතා අම්මට කතා කරන හැටි…ඔයා ලොකු ඉස්කෝල වල ප්‍රින්සිපල් කෙනෙක් නේද සනත්…”

මඳක් හඬ නැගෙන සේ සනත් සිනහ වුණේ ය.

“මගේ පුතා…එතකොට දැංද මොරින් එයා මගෙ පුතා වෙලා තියෙන්නෙ…මං ලොකු ඉස්කෝල වල ප්‍රින්සිපල් කෙනෙක් වුණාට මං ආස විදිහට ඒ ඉස්කෝලෙකට දාල කොල්ලට උගන්නන්න ඔයා ඉඩ දුන්නද…ඔයාට ඕන වුණේ ළමයිංව ඉන්ටනැෂනල් ස්කූල්ස් වලට දාල ඒගොල්ලො සාමාන්‍ය සමාජෙට අයිති නැති අමුතු සත්ව කොට්ටාසයක් වගේ හදන්න. ගේ ඇතුළෙ සමාදානෙ පවත්තගන්න ඕන නිසා මං ඔයා ආස දේවල් ළමයි පිටිං කරගන්න ඉඩ ඇරල බලං හිටියා. එතකොට ළමයි ඔයාගෙ. දැං ඒගොල්ලො ඔයා කියන දේ අහන්නෙ නැති වෙනකොට මගේ”

කියවන්න :  පළිඟු මන්දිර - 44

වර්ෂා ට හිචිස් ගා සිනා ගියේ ය. මොරීන් ඇයට රැව්වා ය. යුවතිය අතින් කට වසා ගත්තා ය.

“ඔයා නිසා තමයි ළමයි මාව විහිළුවක් කරගෙන තියෙන්නෙ”

කියාගෙන ඇය කේන්තියෙන් නැගිට ගත්තා ය. 

“විහිළුවක් කරගෙන නෙවෙයි මොරින්…විහිළුවක් වෙලා. දෙමව්පියො දැනගන්න ඕනෙ ළමයින්ට විහිළුවක් නොවී ඉන්න”

සනත් ගේ ඒ කතා නෑසෙන තරම් මොරීන් ගමන ඉක්මන් කොට තිබුණා ය.

“දුප්පත් වෙලා ඉපදුණා කියල…පෝසත් මිනිස්සු ඉස්සරහ අර මිනිස්සු තමංගෙ ආත්ම ගෞරවේ නැති කර ගන්න ඕන නෑ නේද තාත්ති… අපි පොඩි කාලෙ ඉඳල තාත්ති අපි එක්ක කතා කරපු සමානාත්මතාවය ඒකනෙ…”

“ඔය පළිඟු කියන්නෙ කොහොම ළමයෙක්ද චූටි…”

“ආත්ම ශක්තිය තියෙන හරිම  වැදගත් ගෑනු ළමයෙක් තාත්ති. මං හිතන්නෙ අපේ අයියව බලා ගන්න පුළුවන් හොඳම ගෑනු ළමය. දැං ඔහොම වුණාට දවසක අම්මිටත් එයාව නැතුව බැරි වෙයි”

“ඔයාට එහෙම විශ්වාසයක් තියෙනවනං එච්චරයි”

“ඒ කිව්වෙ තාත්ති…”

“නෑ ඉතිං…තව ගෑනු කෙනෙක්ගෙ හොඳක් දකින්න අමාරු ගෑනු කෙනෙක්ටමනෙ. ඒත් ඔයාට එයාව ඔච්චර හොඳට පේනවනෙ”

“හ්ම්. එයා පොළොවෙ පය ගහල ජීවත් වෙනව වගේ ම අපේ අයියට හුඟාක් ආදරේ කරන කෙනෙක්. දවසක මං තාත්තිට එයාව මුණගස්සන්නං”

“මට හරි ආඩම්බරයි චූටි”

“ඇයි තාත්ති…”

“ඔයා වගේ දුවෙක් හදපු එක ගැන. ඔයා පුතාල දහයකගෙ ඉඩ පුරවන දුවෙක්”

“ඔන්න ඉතිං මාව මුරුංගා අත්තට නග්ගන්න හදනව. මං දන්නව මුරුංගා අතු හයිය නෑ කියල”

සනත් උස් හඬින් හිනැහුණේ ය. දියණිය මොරින් ගේ පන්නයට හිතන කෙනෙක් නො වීම ගැන අවංක සතුටක් සනත් වෙත විය. ඇය කියනා පරිදි පවුලට සම්බන්ධ වෙන්නට සිටින ලේලියත් ඒ පන්නයේ ම වීම, පියෙකු වශයෙන් සනත් ට ඉතා විශාල සතුටකි.

වත්සලා බලවත් සිත් පීඩාවකට පත් වූවා ය. පළිඟු සම්බන්ධයෙන් මේ පැතිරුණ දූෂමාන කතා ඇය කලබලයට පත් කරන්නට ද සමත් විය.

“උඹ මට හරි කියන්න තිබුණා. ඔයිට වඩා දෙයක් සිද්ද වුණත් ඔච්චරනෙ”

පළිඟු හමුවේ ඇය දුම්මල වරම අතට ගත්තා ය.

“පුංචාව බය කරන්න ඕන්නැති නිසයි කිව්වෙ නැත්තෙ”

“මොකද්ද බං කලබලේ…දැං මේ සිද්ද වුණ දෙයිං අපි කලබල වෙන්නැද්ද…අනිත් එක මතක තියාගනිං තමුංගෙ අතිං මිනිහෙක් මැරුණත් ළඟම උන්ට ඒක කියන්න ඕනයි කියන එක. කෙල්ලෙක් ඔහොම දෙයක් තමංගෙ කොල්ලට හරි කසාද මිනිහට හරි හංගනවයි කියන්නෙ…මොන තරං යහපත් චේතනාවෙං කළත් ඒක පරහට හිටින්න පුළුවන්. ඒ සම්බන්දෙ කෙලවර වෙන්න ඒ හේතුව ඇති”

“මං ආයෙ එහෙම කරන්නෑ පුංචා”

“එදා අපි ඔය ගැන පොලීසියෙ හරි පැමිණිල්ලක් දාල තිබුණනං අද උඹේ නම කැත වෙන්නෑ. කිසල් උඹව විශ්වාස කරනව තමයි. ආදරේ නිසා. ඒත් එයාගෙ දෙමව්පියන්ට උඹ නම කැත කර ගත්ත ගෑනු ළමයෙක් වුණොත්…ඒ කැළල සදහටම මකල දාන්න ලේසි වෙන්නෑ”

වත්සලා ගේ ඒ වචන ටික පළිඟු ගේ මනසේ ප්‍රතිරාව නංවමින් තිබිණි. ඕ සැඳෑ අහස දෙස බලාගෙන කල්පනා කරන්නට වූවා ය. වැහි ලිහිනි යුවළක් අහස අරා චමත්කාර ජනක පියාසැරියක යෙදී සිටිති. උන් ගේ නිදහසට බාධා කරන කිසිවෙකුත් නැත. නමුත් ඇගේ කල්පනා ලෝකයට බාධා කරමින් දුරකතනය හැඬවෙන්නට ගති. අක්ෂි ගේ නම තිරය මත සනිටුහන් ව තිබුණෙන්, පිළිතුරු දෙන්නට ඉක්මන් නොවී පළිඟු කල්පනා කරන්නට වූවා ය. ඇය මේ වෙලාවේ කතා කරනු ඇත්තේ කුමට ද?

5 3 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments