සුළං සීනු -13

නිසල්ගෙන් ලැබුණු පණිවිඩය මගේ කුතුහලය අවුලන්නට සමත් විය. මගේ මුළු රාත්‍රියම ගත වූයේ ඔහුගෙන් ඒ ගැන අසන්නට ය.නමුත් ඔහු මගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ම නැත.

“මුණ ගැහිලා කියන්න ඕන කතාවක් පවී.. පොඩ්ඩක් ඉවසන්නකො..”

ඔහු එවැනි පිළිතුරක් එවා නින්දට වැටී තිබිණ.

ඔහු පවසන්නට යන්නේ මට ආදරය කරන බව යැයි සිතමින් මම රෑ පුරා සිහින මවන්නට පටන් ගතිමි.ළපටි අතක් මගේ ළයට හිස ගසාගෙන නින්දට වැටී සිටියදී පවා මා ඇගේ තාත්තාව අමතක කර වෙනත් මිනිසෙකු ගැන ප්‍රේමයකින් මත් වී සිටියෙමි.නිසල් මට ආදරය කරන්නේ නම් මගේ ළයට තුරුලුව නිදන සීනු ද රැගෙන ඔහු වෙත යන්නට මා දෙවරක් සිතිය යුතු නැති බව මම විශ්වාස කරමින් සිටියෙමි.සියලු සැපපහසුකම් සලසන තාත්තා කෙනෙකුට වඩා ආදරය උතුරා යන තරම් දෙන තාත්තා කෙනෙකු සීනුට ලබා දීම ගැන ඈ මා සමඟ උරණ නොවෙනු ඇත. ආදරය මිස අන් කිසිවක් ගැහැනියකට වැදගත් නැත.ආදරය නැති ලෝකයක මා තනිකර දමා ආදරය උතුරන නංගිගේ නිවසට වී හිඳින අම්මාත් තාත්තාත් සිහි කරමින් මම සීනුව සිප ගතිමි.

නැත. මා ආදරය සොයා යන්නේ ඈ සමඟ ම ය.

උදා වූ දවස බොහෝ දීප්තිමත් බව සිතෙන තරමට මා සිටියේ සන්තෝසයෙනි. බොහෝ වෙලා රැගෙන ඇඳ පැළඳගත් මා දෙස සංකල්ප බලන්නේ අලුත් දෑසකින් යැයි මට නොසිතුණා නොවේ. එහෙත් අකුණු සැරයක් වැනි බැල්මක් සහිත නිසල්ගේ දෑසේ පැටලෙන්නට මට ඕනෑ විය. බොහෝ හැඩ වැඩ වෙන තිසුරිට වඩා මා රූමත් නැතිදැයි කැඩපතේ හිඳින පවනිගෙන් අසමින් මම තොල් ආලේපන තවරා ගතිමි.

“අම්මි දැන් එන්න එන්න ලස්සන වෙනවනෙ..”

සංකල්ප එහෙම කියමින් මගේ කම්මුලක හාදුවක් තැවරුවේ ඒ මොහොතේ ය.

“කෙල්ලන්ගෙ ලස්සන බලන්න ඔයා දන්නවද?”

මගේ ප්‍රශ්නය සුන්දර එකක් වූයේ නැත. නමුත් ඔහු කළේ හිනැහීම ය.

“මල් වත්තක් වගේ අම්මයි දූයි ඉන්නකොට මට ඉතිං වෙන කෙල්ලන්ගෙ ලස්සන වැඩක් නෑ.. හැබැයි මගෙ කෙල්ලො දෙන්නා ලස්සනයි කියලනං මං දන්නවා..”

ඔහු පිටව ගියේ තවත් හාදුවක් මගේ කොපුල මත තැබීමෙන් පසු ය.තාත්තා අම්මාට හාදුවක් දීම ගැන ඉරිසියා සහගත වූ සීනු කිකිණි හඬින් හිනැහෙමින් සංකල්ප පසුපස දිව ගියා ය. මම ඔවුන් පසුපස වැටුණෙමි.බොහෝ කලකට පසු ඔහුගෙන් ලද ආදරය නිසා නිසල් ගැන මැවෙමින් තිබු සිහින දියව යන බවක් මට හැඟිණ. මට ඒ සිතුවිල්ල දරා ගත නොහැකි විය.

නැත. ඉඳහිට ආදරය කරන්නට සිහිපත් වූව ද සංකල්ප ආදරය ගැන ඒ තරම් දන්නේ නැත. හදිසි සිතුවිල්ලක පැටලී ඔහුගෙන් වෙන් වීමේ තීරණය අතැර ගත යුතු නැත.නමුත් සංකල්පගෙන් වෙන් විය යුත්තේ ඔහුව හතුරු තනතුරක රඳවා නොවන බව මම තීරණය කළෙමි. ආදරය කරන්නට නොදත් මුත් ඔහු මහත්මා ගතිගුණ ඇති මිනිසෙකි.මා වෙනත් තරුණයෙකුට ආදරය කරන බව ඇසූ විට ඔහු දික්කසාදය දෙන්නට කොහොමටත් නොපැකිලෙනු ඇත.

මම සීනුව සිප ගනිමින් ඇයට සමු දෙන සංකල්ප දෙස බලමින් සිතුවිලි අහුරක පැටලී ගෙන බොහෝ වෙලා ගෙවෙන්නට ඇත. මට යළිත් පියවි සිහියට එන්නට ඔහුගේ හඬම ඕනෑ විය.

“පවී, ඔයාලත් මාත් එක්කම එනවද?”

“කමක් නෑ සංක..මම ටැක්සි එක දාලත් ඉවරයි..”

සංකල්ප සීනුගෙන් මිදී යන්නට ගියේ ය.නිසල් දකින ආශාවෙන් මා කාර්යාලයට ගියේ වාහන තදබදයට සිතින් දෙස් දෙමිනි.සැබෑවට මා සිටියේ මලක් මෙන් පිබිදීගෙන ය. ප්‍රමෝදය පුරවාගත් හදවතක් සහිතව ය.

“මොකක්ද කියන්න තියෙන්නේ..”

මා ඔහු ළඟින් අසුන් ගත්තේ දහ අට වියැති යෞවනියක සේ කෝල වතක් මවාගෙන ය.නිසල් හිනැහී මදෙස බැලී ය.

“බලන්න තිසූ එනවද කියල..” ඔහු කියන්නේ ඉදිරි දොර දෙස විමසුම් බැල්මක් හෙළමිනි.

“මං පවී ලේට් වෙනකොට කෝල් එකක් දෙන්නත් හිටියේ. ඊයේ රෑ අයිඩියාස් කීපයක් හිතන්න ඕන නිසයි කියන්න බෑ කීවේ. තිසූ එන්න කලින් කියන්නං.. මේක දැන ගන්නම ඕන නැත්තේ එයා..”

සැබෑවකි.මෙය ඇය දැන ගන්නට කොහොමටත් උවමනා නැත.මගේ හිතලු සහ ඔහු කියන්නට යන දෙය සසඳමින් මම එසේ සිතුවෙමි.

“දන්නවද අද දවස කවද්ද කියලා..”..

නිසල් එසේ අසද්දී මා දුරකථනයේ තිරය දෙස බැලීමි.අද ජූනි මාසයේ එකොළොස් වැනිදා ය.අකුණු දහසක් හිස මත පුපුරන බවක් මට දැනිණි.ජීවිතයේ පළමු වතාවට මට ඒ දිනය අමතකව ගියේ කෙසේදැයි මටම නිනව් නැත.නිසල් කෙරෙහි ආසක්ත වෙමින් හිඳින මට පැරණි මා අමතකව යමින් තිබෙනවා විය හැක.නමුත් අද දිනය අමතක කිරීම ගැන මට මගෙන්ම සමාවක් හිමි විය හැකි ද?

දුරකථන තිරය මත ලෝචනාගෙන් ඇමතුමක් දිස් වූයේ එවෙලේ ය.මම එයට පිළිවදන් දුන්නේ විසිර යන හිත අල්ලා ගන්නට යත්න දරමිනි.

“පවී… රත්තරං..වෙන කවුරුහරි ඔයාට කෝල් කරන්න කලින් මම මේ ගත්තේ.. අවුල් නොවී කලබල නොවී නිසල් ඔයාව එක්කන් එන තැනට එන්න පැටියෝ..බය වෙන්නනං කිසිම දෙයක් නෑ.. දැන් නිසල් හරි භාතියට හරි ෆෝන් එක දෙන්න..”

ඈ කියන්නේ කුමක්දැයි වටහා ගත නොහැක. නමුත් “ලෝචිට කතා කරන්න ඕනලු” යැයි කියමින් මම ප්‍රශ්නාර්ථයක් මුහුණේ අලවා ගත් නිසල් අත මගේ දුරකථනය තැබීමි.නිසල් ඇමතුම අසා හුන්නේ නළල රැලි ගන්වාගෙන ය. අනතුරුව මිනිත්තුවකට වඩා මදෙස බලා සිටි ඔහු මගේ උරහිසින් ප්‍රවේසම් සහගතව අල්ලා ගත්තේ ය.

“පවී,කලබල වෙන්න ඕනෑ නෑ හොඳේ. අපි ඉන්නවනෙ.ඉක්මනින් හොස්පිටල් එකට යං.. සංකල්ප ඇක්සිඩන්ට් වෙලාලු..”

මම නිසල්ට වාරු වී ගතිමි. හරියටම සත් වසරකට පෙර මගේ ආදරණීය දේවකගේ නිවසේ තාප්පයකට හිස ගසාගත් යොවුන් පවනිගෙන් නිකුත් වූ විලාපය අද ද මවෙතින් නික්මෙමින් තිබිණ.

5 1 vote
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Sudharshana Abeyrathne
6 months ago

අනේ සංකල්පට මුකුත් කරන්ඩ එපා 🙏🙏🙏