සුළං සීනු – 21

ලෝචනා මගේ මිතුරිය වූයේ අහම්බයකින් නොවේ.මට ඈ හමු වූයේ විවාහය නිසා ය.සංකල්පගේ හොඳම මිතුරා චානක වීමත් ලෝචනා සංකල්පගේ බිරිඳ වීමත් නිසා ඇය විවාහයට සූදානම් වීමට පවා මට බොහෝ උදව් කළා ය.බොහෝ සේ ඒ වෙනුවෙන් කැප වූවා ය.දන්නා දවසේ පටන් මගේ මිතුරිය වූයේ තාරුකා ය. නමුත් ඇගේ අයියාගේ වියෝවට මගේ අවාසනාව හරස් වන්නට ඇතැයි සිතූ ඈ මගෙන් දුරස් වූයේ මා මහත් කම්පනයට ඇද දමමිනි. සරසවියේ මිතුරියන් මගේ තනිකම නැති කරන්නට සිතමින් ජෝඩු කරන්නට ආ කොල්ලන් ගණනට සමානුපාතිකව මිතුරුදම් ද බිඳී ගියේ ය.විවාහය මුවවිටට එද්දී පවා මා සිටියේ මිතුරියකගේ හිස්තැනක් ඇතිව ය.

බලහත්කාරයෙන් මා සමඟ මිතුරු වූ ලෝචනා මගේ ආදර ලෝචි වී පස් වසක් ගෙවී ගොස් ය. ඈ ඒ මුළු කාලය පුරාම දරුවෙකු නැති සොවින් පීඩා වින්දා ය. ගබ්සා වීම් කිහිපයක කටුක මතක අත් වින්දා ය.සීනුව තුරුළු කරගනිමින් ද ඇයට කෙළවරක් නැති සෙල්ලම් බඩු රැගෙන දෙමින් ද ලෝචනා ද චානක ද පුරවා ගන්නට තැත් දරන හිස්තැන අප බලා හුන්නේ කම්පිත ව ය.

ඇය ගැබිණියක වී ඇතැයි තහවුරු කරගෙන වැළපෙන හඬ මා දරා සිටියේ සොම්නසිනි.තවකෙකුගේ කඳුළක් සහ හැඬුමක් නිසා අපේ හදවත ප්‍රීතියෙන් පුරවන මොහොතවල් පවා එළඹේ. මේ එවැනි මොහොතකි.දරුවෙකු නැති සොවින් ලෝචනා බොහෝ වාරයක් මා ඉදිරිපිට ඉකි බිඳ ඇත. නමුත් මල් පිපෙන වසන්තය එළඹී අහවර ය.

“මට හිතෙන්නෙ නම් ලෝචිට තියෙන්නෙ හයි රිස්ක් ප්‍රෙග්නන්සි එකක්..”

චාරුනි එදින දහවලේ මට කෙටි පණිවිඩයක් තබා තිබිණ. බොහෝ වාරයක් ලියමින් මකමින් සිටි පැනය මා චාරුනීගෙන් ඇසුවේ තැතිගත් හදිනි.

“අපිට මේ පාරත් ලොකුවට ට්‍රස්ට් කරන්න බැරිද චාරු?”

මෙවර ද ගබ්සාවක් වුවහොත් ලෝචනා මානසික රෝගියෙකු වේදැයි මට අනියත බියක් හට ගත් අතර චාරුනී පිළිතුරක් එවන තුරුම මා සිටියේ ගැහෙන හදිනි.

“නෑ..බය වෙන්න දෙයක් නම් නෑ.ඒත් ලෝචි හොඳට රෙස්ට් කරොත් හොඳයි. ඔය ජොබ් එක පවා මේ වෙලාවෙ එයාට රිස්කි..”

මා ඕනෑතරම් සරසවි පාඨමාලා සඳහා සුදුසුකම් ලබද්දී පරිගණක විද්‍යාවම හැදෑරීමට සූදානම් වීම ගැන එදවස තාත්තා ද දේවක ද වැඩි කැමැත්තක් දැක් වූයේ නැත.

“තරගෙත් වැඩී.. වැඩත් වැඩි.. වෙන කෝස් එකක් තෝරා ගමු. නැත්නං ආයේ පාරක් එක්සෑම් කරලා කොහොමහරි මෙඩිසින්ම යන්න..” දේවක මගෙන් ඉල්ලා සිටියේ ය.නමුත් මගේ සිහින වෙනස් ඒවා වු අතර මට පරිගණක විද්‍යාවම හදාරන්නට ඕනෑ විය. රැකියාව වෙහෙසකර බව පවා මට වැටහුණේ දින කිහිපයකට පෙර ය. ඒ වඩා වටින්නේ පවුල යැයි හදිසි සිතුවිල්ලක් පැන නැගුණු නිසා ය. ලෝචනා රැකියාව හැර දමන්නේ නම් ඒ ගැන ඇය සමඟ වැඩිදුර කතා කරන්නට මම කල්පනා කළෙමි.අද හවස් යාමයේ ඈ දකින්නට යන නිසා මේ ගැන ඈ සමඟ කතා කළ හැකි ය.

“ලෝචනා රෙසිග්නේෂන් දීලාලු අන්න..”

ඕපාදුපයක් පියඹා ආවේ හවස් යාමයේ ය.ඈ මටවත් නොදන්වා තීරණයක් ගෙන තිබිණ.

“මේ හදිස්සියෙ රස්සාව අතාරින්න ලෝචනාට මොකෝ උනේ..” අපේ අංශය කැළඹිණ. නමුත් ඈ ගර්භනී බව ඔවුන්ට දන්වන්නට මට සිත් දුන්නේ නැත. ඒ ඇගේ පෞද්ගලිකත්වය ය.

“ලෝචනා අයින් උනා කියන්නෙ පවනිට නිකංම ප්‍රමෝෂන්. දැන් මේ ඩිපාට්මන්ට් එකේ හෙඩ් වෙන්න මෙයාට පුලුවං..”

තවත් මතයක් මගේ සවනේ හැපිණ.ලෝචනා අනුව යමින් අස්වීමේ ලිපිය ලබා දෙන්නට කල්පනා කළ මම ගැහැනු ලෝබකමකින් පිරී ගියෙමි. උසස්වීමක් හැර දමා නිවසට වී හිඳීම ඵල රහිත නොවේදැයි මම යළි යළිත් සිතීමි.

අම්මාකමත් බිරින්දෑ පදවියත් පිළි ගන්නට සිතා රැකියාවට සමු දෙන්නට සිතූ මට නව උසස්වීම තවතවත් කාර්යාලයට බැඳෙන්නට හේතුවක් නිර්මාණය කර දී තිබිණ.

උසස්වීම සහ ලෝචනාගේ අවදානම මැද හෝ ගෙවී යන ගර්භනී භාවය මට සතුට මවා දෙන හේතු විණි.පැමිණිලි කිරීම ද නිරන්තර කෝප ගැනීම ද නවතා දමා මා සතුටින් හිඳීම අරඹා තිබිණ.

“සංක ඇක්සිඩන්ට් උනත් හරි, පවී මා එක්ක තරහ උනා වගේ.. ඒ දවස් ටිකේ මගෙන් හිත රිදෙන්න මොකුත් උනාද?”

අතිශය කාර්යබහුල කාර්යාල වේලාවක් අතර මඳ ඉඩක් ලද මොහොතක නිසල් මගෙන් විමසී ය.මම නිරුත්තර වීමි.

“අනේ එහෙම එකක් නෑ නිසල්. සංක යන්තන් ඔෆිස් යන්න පටන් අරන් තාම දවසයි දෙකයි.එයාගෙ වැඩ කරන්න උනා.දැන් ලෝචිව බලා ගන්න වෙලා.. අනික මට මේ බොස් වෙලා පුරුදුත් නෑ..”

දාසය හැවිරිදි පෙම්වතිය මිතුරෙකු සමඟ ඇගෑලුම් පෑමක් වෙනුවෙන් පෙම්වතාට කරුණු දක්වන ලෙස මම කාර්යබහුල මොහොතක විනාඩි කිහිපයක්ම අපතේ හරිමින් නිසල්ට කරුණු දැක්වීමට පටන් ගතිමි. ඔහු එය අසා මොහොතක් නිහඬව හුන්නේ ය.

“පහුගිය ටිකේ මට ඔයාව හුඟක් මිස් උනා. ඇත්තටම හරි පාළුවක් දැනුණා. මං ආදරෙන් ළං කරගන්න මිනිස්සු මගෙන් ඉක්මනින් ඈත් වෙන්නෙ ඇයි හිතලා හරි මහන්සියක් දැනුණා..”

ඔහු කම්පිත ස්වරයකින් කියන්නට පටන් ගත්තේ ය.ඕනෑවට වඩා අපේ ජීවිතයට එබෙන්නට තැත් කරන මිනිසුන් ගැන ලෝචනා කියූ දේවල් මම වහා අමතක කළෙමි.

“අනේ එහෙම නෙවෙයි නිසල්.. අනික ඔයාට මොකුත් ප්‍රශ්නයක් කියලා මම හිතුවෙ නෑ..”

ගෙවී ගිය කටුක කාලයක දැල් වී එළිය දුන්නේ ඔහු ය. හේතුවක් නැතිවම ඔහු මා සතුටින් තබන්නට බොහෝ වෙහෙස වූ බව මුසාවක් නොවේ. මා යළි ජීවත් විය යුතු බව ඔහු නිතර දෙවෙලේ මට සිහි කළේ ය.නමුත් මා ඔහු හදිසියේ අතැර දැමුවේ ඉතා ආත්මාර්ථකාමීකමකින් නොවේදැයි මගේ හදවත මට දොස් නගන්නට පටන් ගත්තේ ය.

“ඇත්තටම ඔයා ප්‍රශ්නෙක ද නිසල්? ඇයි මොකෝ උනේ?”

ඔහු කිසිත් නොකියා මිනිත්තු කිහිපයක් ගෙවා දැම්මේ ය. අනතුරුව දෑසින් තිසුරිව පෙන්වූවා ය.

3 3 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments