සුහදිනි – 55

“තාත්තා අහස්ට කැමති වෙන්න ඇත්තෙ ඔයාගෙ සතුට ගැන හිතල.”

අම්මා එසේ කියද්දී සකී කළේ හිනැහීම ය.ඇයට අම්මා සමඟ ඕනෑවට වඩා තර්ක කරන්නට නුවුමනා විය.අම්මා හිඳින්නේ තරහින්දැයි බියෙන්දැයි තෝරා ගැනීම ඇය පසුවට කල් දැම්මා ය.තාත්තලා අහසක් ව දරා ගනිද්දී අම්මලා වර්ෂාවක් ව ඇද හැලෙන තැන් බොහෝ ය.ඒ හැම තැනෙකම ඇත්තේ ආදරය බව සකී විශ්වාස කළා ය.

“ඔයා නෙවෙයි අද වීරයා.මම.”

සකී එසේ කියද්දී දුරකථන තිරය මත අහස්ගේ සිනාව පිපී ආයේ ය.සකී වහා අමනාප මුහුණක් මවා ගත්තා ය.

“කරන වැඩේ අමතක කරලා හිනා වෙවී ඉන්න ගියාම කෙල්ලො වශී වෙනව තමා.මොකද අච්චර නට නට හිටියෙ.එක වෙලාවක හිනා වෙනවා විනාඩි පහක් විතර පෙන්නුවා.”

අහස් උස් හඬින් හිනැහේ.මුහුදු තරණය කර ගොස් ඔහුව වැළඳ  ගන්නට තරම් ලෝබ කමක් සකීට ඇතිවන්නේ එවැනි මොහොතක ය.

“ඒක ඉතින් කැමරාමන්ලගෙ වරද.පෙන්නන්න දාහක් ජාති තියාගෙන මගේ හිනාව පෙන්නනවා ඒ කියන්නේ එතන තියෙන වැදගත්ම දේ මගෙ හිනාව වෙන්නැති.”

අහස් මෙසේ නිදහස්ව සහ සැහැල්ලුවෙන් සිටීම ම තමන්ගේ බලාපොරොත්තු ඉටුවීම බව සකී සිතුවා ය.ඔහු සදහටම හිනැහිය යුතු ය.ඒ සිනාවට ලෝබකම් කරන්නට ඕනෑ තරම් අය සිටිය ද සිනාවේ උරුමක්කාරිය තමන් බව දන්නා හෙයින් සකී හිඳින්නේ ද සැනසිල්ලෙනි.

“තාත්තට කියන්න මම ආපහු ආපු ගමන් තාත්තා මුණගැහෙන්න එනවා කියලා.”

අහස් පිළිණ දුන්නේ ය.ඔහුගේ මානසිකත්වය අවුල් නොකර අම්මාගේ තත්ත්වය ගැන කියන්නට සකී  උත්සාහ කළේ ඉන්පසුව ය.අහස් එයට කලබල වූයේ නැත.

“මට අම්මව තේරෙනව සකී.”

මෙතෙක් වෙලාවක් සරදම් කරමින් සිටි තරුණයාගේ හඬ ගැඹුරු ස්වරයකට හැරිණ.ඔහු සකී දෙස බැලුවේ ද ආදරයෙනි.

“ඒ අම්මා කෙනෙක්.මං ගැන විශ්වාස කරන්න බෑ කියලා එයාට එහෙන් මෙහෙන් ඇහෙන ඒවා නිසා හිතෙනව.ඒක ඇත්ත.අනිත් එක තව අවුරුදු කීපයක්ම ඔයාගේ ජීවිතේ හොඳම කාලෙ ගෙවෙනකම්ම ඔයාට වෙනවා මං නැතුව වැඩිපුර කාලයක් ගෙවන්න.ඒවා ගැන හිතලා බය වෙනව දුක් වෙනව මිසක අම්මාට බෑනේ සතුටු වෙන්න. පොඩ්ඩක්වත් ක්‍රිකට් ගැන උනන්දු නැත්නම් අම්මට මගේ රෙකෝඩ්ස්වත් අවෝඩ්ස්වත් කප්වත් වැඩකුත් නෑනෙ.”

අම්මා අහස්ව සමීපව ඇසුරු කරන්නට ගන්නා දිනයක මේ හැඟීම් ඈ වෙතින් තුරන් වන බව සිතීම සකීට පහසුවක් විය.ඇය එසේ සිතන්නට උත්සාහ කළා ය.

එහෙත් අම්මා ඇගේ අදහස එක්වරම වෙනස් කර ගත්තේ නැත.ඇය අහස්ව රූපවාහිනි තිරයේ දකින ඕනෑම මොහොතක එය නිවා දමා තම උපරිම තරහ පෙන්වමින් සිටියා ය.අම්මා ඇගේ ආකාරයට අහස්ව කියවා ගන්නා දිනක් එතැයි විශ්වාස කිරීමට සකී කැමති වුවා ය.

“දැන් මේ පාර මැච් එක සක්සස් වුණු එකයි මහසෙන් අංකල් කැමති වුණු එකයි ඔක්කොම එක්ක මට දවස් හතක් පාටි ඕන.”

නිම්නා සකී දුටු වහා ඇය වැළඳ ගත්තේ එසේ කියමිනි.තව දුරටත් මෙය රන්මිණිට සැඟවීම නිම්නාට බොහෝ අපහසු ය.රන්මිණි එය දැන ගත් පසු ඇයට අත් වන තත්ත්වය ගැන සිතමින් ප්‍රීති වීම දැන් නිම්නාගේ ලොකුම සතුට ය.

“ඕනෑවට වඩා සතුටු හිතෙනකොටත් බය හිතෙනව.මොකක්ම හරි නරකක් වෙන්න පුලුවන් හින්දා.”

සකී එසේ කියද්දී නිම්නා පුදුමයෙන් ඇය දෙස බැලුවා ය.සකී තවදුරටත් සුළු හෝ ගැටළුවකින් සිටීම නිම්නාට කෝපය උපදවන්නකි.

“අනේ මේ! දැන් මොකුත්ම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.”

ඇය පිළිණ දුන්නේ එනිසා ය.අම්මා කෙනෙකු අවසානයේදී දියණියගේ සතුට පිළි ගන්නා බවත් එය එසේ විය යුතු බවත් නිම්නාට සහතික ය.අහස් ප්‍රතික්ෂේප කරන්නට වටින මිනිසෙකු නොවන බව සකීගේ අම්මා ඉක්මනින්ම දැන ගන්නා බව නිම්නා විශ්වාස කළා ය.

“රන්මිණිට මේවා නොකියා ඉන්න ඕන මම හිතුවේ සමහර වෙලාවට ඉරිසියාවත් ගොඩක් දේවල් විනාස කරන නිසා.එකට ඉන්න හැමෝම හොඳම යාලුවෝ නෙවේ.ඒකයි.”

රන්මිණිට කරන්නට හැකි දෙයක් නොවේ. එහෙත් ඇගේ කටට බොහෝ දේ කරන්නට හැකි බව නිම්නා සිතුවා ය.

“අනුන්ගෙ ආදර කතා තැන තැන කියවන මිනිස්සුයි,කියන්නෙ නැති දේවල් ගැන අහන මිනිස්සුයි එක්ක තමන්ගේ පර්සනල් දේවල් බෙදා ගන්න ඕන නෑමයි කියලා මට හිතෙන්නෙ නම්”

නිම්නා පැවසුවේ ඇයට සිතෙන අවංක අදහස ය.

“මම හිතන්නෙ ඔයාට තිබ්බ එක කරදරයක් නම් ඉවරයි.”

ජංගම දුරකථනය වෙත ඇස් යොමාගෙන සිටි නිම්නා හදිසියේ කෑගසන්නට වූවා ය.සකී ඇය දෙස බැලුවේ පුදුමයෙනි.එතරම් ප්‍රීතිමත් හඬකින් හඬ නගන්නට නම් නිම්නාට අපූරු යමක් දකින්නට ලැබිය යුතුම ය.

(අතිශය කාර්යබහුල දවසක් නිසා සකී ප්‍රමාණවත් තරමට කියවන්නට නොලැබුණාට සමා වෙන්න.අපි හෙට දිගු කොටසක් කියවමු)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles