පළිඟු මන්දිර – 45

0
830

ඉක්මනින් සන්සුන් වන්නට නිවර්තනා ට අවැසි විය. මුළුමනින් කිසල් හා පළිඟු වෙනුවෙන් ආශිර්වාද කළ හැකි මොහොතක් වෙනුවෙන් ඕ බලා උන්නා ය. ඔවුන් දෙදෙනා ට තරු පන්තියේ බොජුන් හලක දී කෑම වේලක් පිරිනැමීමෙන් ඒ අවස්ථාව උදා කර කර ගන්නට ඕ සැලසුම් කළා ය.

“එහෙම කොහොමද ඒ දෙන්නට විතරක් ට්‍රීට් එකක් දෙන්නෙ…ඕවට දර දිය ඇද්දෙ අපි. අපි නැති ට්‍රීට් කියන්නෙ පරිප්පු නැති හෝටල් වගේ තමයි”

තොරතුර ලද ගමන් වර්ෂා උස්ඝෝෂණය කරන්නට වූවා ය. ඒ අනුව වර්ෂා හා කිසල් ගේ සමීපතම මිතුරා වශයෙන් උතුම්ව ද කැඳවන්නට නිවර්තනා ට සිදු විය.

ඒ කදිම සැඳෑවකි. අහසේ රෝස හා ලා නිල් පැහැයෙන් සිතුවම් ඇඳී තිබිණි. බොජුන් හලෙහි හරිත වර්ණ එලිමහන් පෙදෙස වර්ණවත් මලින් ගැවසී ගත්තේ ය. උද්‍යානය මැදට වන්නට පිහිටි අහසට වතුර විදින දිය මල, නිල් පැහැති විදුලි ආලෝකයෙන් අලංකෘත ව තිබිණි. ඔවුන් සියලු දෙනා වෙනුවෙන් කිසල් විසින් චමල් ගේ වෑන් රිය ඉල්ලාගෙන තිබිණි.

“හරි ළමයි. කිසල්ගෙයි පළිඟු ගෙයි ලව් අෆෙයා එක සෙලිබ්‍රේට් කරන්නයි ලෑස්ති වෙන්නෙ මේ. මට ඉතිං ටිකක් ඇඬෙනව වගේ තමයි…”

නිවර්තනා බොරුවට හැඬුම්බර වූවා ය. පළිඟු දෑස් සිහින් කොට හිනැහුණා ය.

“අපි ගහකට නගින්න ගියොත් ඉතිං දෙබලක් තමයි”

“අනේ අක්කෙ…”

“ගණං ගන්නෙපා මෙයා. එක මාළුවද මේ මුහුදෙ ඉන්නෙ…අපිත් ඉතිං තනිකඩ මාළුවො තමයි”

උතුම් ගේ කතාවට වර්ෂා ඈ අත වූ මේනු පතින් ඔහු වෙත දමා ගැසුවා ය. මොහොතකට එතැන සිනහ සාගරයක් උපන.

“නිවර්තනා අක්කි දැං ආයෙ ෆ්‍රාන්ස් යනවද…”

කෑම වේලට පෙර සුප් පානය කරන ගමන් වර්ෂා ඇසුවා ය. නිවර්තනා ඉතා හෙමිහිට සුප් හැන්දක් තොල ගාන ගමන් කල්පනා කළා ය.

“මෙයාව නැති වුණා කියල රටත් දාල දුවන්නද මට කියන්නෙ…අනේ…”

“අනේද කියන්නෙ…මේ අපි වගේ කොල්ලො ඉද්දි සැලෙන්න එපා මෙයා”

 වර්ෂා මේසය යටින් කකුල දිගු කර උතුම් ගේ කකුලක් රිදෙන්නට පෑගුවා ය. නමුත් ඔහු ‘ඌයි’ කීවේවත් නැත. ‘අල්ලගන්නංකො මං’ වැනි කතාවකින් ඇය ඔහු ට රැව්වා ය.

“කියන්න තියෙන දෙයක් හෙණ ගැහුව වගේ කියල දාන්න ඕනෙ…හරිද නිවර්තනා…අපි වුණත් කොයි කාලයක් තනිකඩව ඉඳීද කියන්න බෑනෙ. ප්‍රමාදය පසුතැවීමට හේතු වෙන්න පුළුවන්”

“මූ ඇත්තටම මේ මටද කියන්නෙ අනේ…”

පළිඟු ට සිනහ ගියේ ය. ඒ සිනහවෙන් ම ඕ නෙතගින් වර්ෂා ව පෙන්වූවා ය.

“මොන මෝඩයෙක් ද මන්දා”

වර්ෂා උතුම් ගේ අත් බාහුවකට මිට මොලවා පහරක් ගැසුවා ය.

“ඌයි. පිස්සුද…”

වර්ෂා සිය ජංගම දුරකතනයේ ඉක්මන් කොට කෙටි පණිවිඩයක් ලීවා ය. මොහොතකින් එය උතුම් ගේ දුරකතන තිරයෙහි සටහන් විය.

“මං ඔයාට කැමතියි පිස්සො”

ඔහු ගේ දෙතොලතරට සිනහවක් වඩින හැටි වර්ෂා බලා සිටියා ය. දඟකාරයෙකු ලෙස නම් දරා හිඳින උතුම් මීට පෙර පෙම්වතෙකු වී නො සිටි බව වර්ෂා දනී. නමුත් මේ හදිසියේ මෙහෙම ඇගේ ප්‍රේමය ඔහු ඉදිරියේ අනාවරණය කරන්නට ඇය කිසි සේත් සිතා සිටියේ නැත. වර්ෂා ඔහු කෙරේ හැසිරෙන ආකාරයෙහි වෙනසක්, ටික දිනෙක සිට උතුම් ට නො දැනුණා නොවේ. නමුත් ඒ ආදරයක් ය කියා සිතන්නට ඔහු ඉක්මන් වූයේ නැත. ඊට හේතු තිබිණි. එකක් මොරීන් ගේ ස්වභාවය දැන සිටීම ය. අනෙක ඔහු දැක ඇති ඒ වයස් ඛාණ්ඩයට අයත් බොහෝ යුවතියන් ට වඩා වර්ෂා ගේ වූ වෙනස ය. නමුත් සැබවින් ම ඈ ඔහු කෙරේ දරන ආකල්පය දැන ගන්නට උතුම් ට ඕනා වී තිබිණ. මෙහෙව් අහඹු නිමේෂයක ඒ අවස්ථාව මේ විදිහට උදා වෙයි කියා නම් ඔහු සිහිනෙනුදු සිතුවේ නැත.

කියවන්න :  පළිඟු මන්දිර - 3

“ජීවිතේ කියන්නෙ කොච්චර ලස්සන තැනක් ද…නේද…”

නිවර්තනා පහළ ස්වරයකින් කතා කළා ය. 

“ආදරේ කියන්නෙ එතනදි හම්බ වෙන හොඳම දේ කියල කිසල් ඔප්පු කළා”

“ඔයත් ඔය ආදරේ කියන දේ ලොකුවට විශ්වාස කරනවද නිවර්තනා…”

වර්ෂා එක මොහොතකට උතුම් ගේ ඇස් සිය දෑසින් ග්‍රහණය කර ගත්තා ය. උතුම් මඳ අපහසුවකින් මුත් ඒ දෑසින් මිදුණේ ය.

“ඇයි උතුම් එහෙම ඇහුවෙ…”

“අනේ මන්ද…ආදරේ කියන්නෙ ඇති වෙලා නැති වෙලා යන දෙයක් වගේ මට දැනෙනව”

“ඒ කියන්නෙ සදාකාලිකත්වය කියන දේ ආදරේ ඇතුළෙ නෑ…”

“අනේ බූරුවො”

ඒ වචන දෙකත් එක්ක හැම නෙතක් ම කිසල් දෙසට හැරුණේ අසරු සැනෙනි.

“උඹ දන්නවද ජීවිතේ කියන දේ වත් සදාකාලික නෑ කියල…ඒත් ජීවිතේ පවතින්නෙ ආදරේ නිසා ඇති වෙන බැඳීම් උඩ”

එක මොහොතකට විශ්වය නතර වූවා සේ පළිඟු ට දැනිණි. මිතුරු කතා බහත් තත්පර කිහිපයකට ඇනහිටිණි. කිසල් කියන්නේ පළිඟු හැරෙන්නට අනිත්  සියලු දෙනා ම දන්නා පරිදි නිශ්ශබ්ද දරුවෙකි. හෙතෙම තරුණයෙකු ලෙස වැඩුණේත් ඒ නිහඬ බව වෙනස් කර ගන්නේ නැතිව ය. උසස් පෙළ සමයේ දී අක්ෂි ගේ පෙළඹවීම මත ම ඈ හා ඇසුරක් ඇති කර ගත්තත්, ප්‍රේමය හෝ විවාහය පිළිබඳව ඔහු ට කිසියම් දර්ශනයක් වෙතැයි උතුම් වුව සිතා තිබුණේ නැත.

“ආදරේ ඉතිරි වෙලා තිබුණත් නැති වෙලා ගියත් ඒ බැඳීම් අපිව ඉස්සහට අරං යනව. දැං බලපං අපේ ම පේරන්ට්ස්ල. ඒගොල්ලො අතරෙ ප්‍රශ්න නැද්ද…නොගැලපෙන එකඟ නොවෙන තැන් නැද්ද…ඕන තරං. ඒත් ඒගොල්ලො මැරේජ් ලයිෆ් එක ඇතුළෙ මැචුවර් වෙලා තියෙනව. ආදරයක් ඉතුරු වෙලා තිබුණත් නැතත් බැඳීම් වයසත් එක්ක තව තවත් හයිය වෙලා තියෙනව”

“ඇග්‍රි විත් කිසල්”

නිවර්තනා පළිඟු වෙතට දයාර්ද්‍ර බැල්මක් හෙළුවා ය.

“පළිඟු ඇත්තට ම ලකී”

“අපේ අයියයි ඇත්තට ම ලකී”

වර්ෂා අදහස් කළේ කවරක් වුණත් ඇගේ ඒ කතාව උතුම් ගේ සිත්හි ගැස්මක් ඇති කළේ ය.

“ආදරේ කියන්නෙ මොකක් වුණත් ජීවිත කාලයක් ජීවිතේ බෙදා හදා ගන්න හොඳම කෙනා තෝරගන්න එකයි මැරේජ් එකකිං වෙන්න ඕනෙ. පළිඟු අයියට ජීවිතෙං ලබන්න පුළුවන් හොඳම කෙනා වෙයි. හොඳම දේ වෙයි. කොටිංම අයියගෙ ම අනිත් කෙනා වෙයි”

කියවන්න :  පළිඟු මන්දිර - 35

තත්පරයක දෙකක උණුහුම් නිමේෂය ගෙවී යාමෙන් පසු උතුම් උගුර පෑදුවේ ය.

“මේකාට මොනාහරි කියන්න ඕනවෙලා තියෙනව කියල හිතෙන්නෙ මට විතරද ගයිස්…”

“නෑ මේ මං කියන්න ගියේ…අපිටත් අර වර්ෂා කියපු වගේ කෙනෙක් වෙන්න බැරි කමක් නෑ කියලයි”

සීතල වූ දියරයක් උගුර දිගේ පහළට ගලා යනවා සේ වර්ෂා ට දැනුණේ ය. ඈ ඒ සෞම්‍ය වූ හැඟීම දිය ව යන්නට නොදී එලෙස ම පවත්වා ගනු වස් හුස්ම ගත්තේ ත් හෙමිනි.

රාත්‍රියේ පළිඟු ගේ ගෙදර පිවිසුම් දොරටුව අභියස රිය නැවතීමෙන් පසු ඇයත් එක්ක කිසල් ද ඉන් බැස ගත්තේ ය.

“මෙයා කොහෙද යන්නෙ…ඇයි පළිඟු ට ඔය ටික තනියම යන්න බැරිද…”

නිවර්තනා මිමිණුවා ය.

“උඹ හිතුවද පළිඟු මෙතන ඉඳං ගෙට යන්න පාර දන්නෑ කියල…”

උතුම් කෑ ගැසුවේ ය. ඒ කිසිදු කතාවක් නෑසුණා සේ පළිඟු පසු පසින් කිසල් ගේට්ටුවෙන් ඇතුලු විය. ඒ ලා අඳුරේ දී ඔහු ඇගේ අතක් යන්තමින් අල්ලා ගත්තේ ය. අඩ සඳක මෘදු එළිය ඇගේ කොපුලක තැවරී තිබිණි. පළිඟු කැට යුග්මයක් මෙන් ඒ දෑස් කාන්තියෙන් දිළිණි. ඔහු ගේ අතේ ග්‍රහණය දැඩි වෙනවාත් උණුහුම් වෙනවාත් ඇයට දැනුණේ ය. ඈ නතර වූයේ ඔහු ගේ කවර ඉඟියක් මත දැයි පළිඟු ම දන්නේ නැත. ඔහු ගේ හුස්මක් ඇගේ වත මත තැවරිණි. යෞවනයා පළිඟු ගේ කොපුලක් සිප ගත්තේ ය.

ඒ ඉතා කෙටි තත්පරය හෝරාවක් තරම් දිගු වෙනවා නම් කියා ඇය ට සිතී නො සිතී ගියේ ය.

“දාල යන්න ලෝබයි”

කිසල් මිමිණුවේ ය. ඇගේ කොපුලක් මත තැවරුණ ඔහු ගේ අත, පළිඟු සිය කොපුලෙහි ම තද කර ගත්තා ය. කියන්නට දේවල් කෝටි ගණනක් ඇගේ සිත ළඟ පෙළ ගැසී තියෙන්නට ඇත. නමුත් එක වචනයක් හෝ තෝරා බේරාගෙන කියන හැටියක් ඇයට දැනුණේ නැත.

“මං ඉක්මනට ජොබ් එකක් හොයා ගන්නව. ප්‍රශ්න එයි. ආපුදෙං. අපේ තාත්ත වගේ ෆැමිලි ලයිෆ් එක ඇතුළෙ මැචුවර් වෙන්න දන්න කෙනෙක් මං… තාත්ත මට එක දෙයක් කියල තියෙනව. කවදාවත් තමංගෙ ගෑනිට පිටුපාන්න එපා කියල. මටත් ඕනෙ ඔයත් එක්ක එකට වැඩෙන්න. එකට වයසට යන්න. ආදරයක් ඇතත් නැතත් එහෙම බැඳෙන්නයි ඕනෙ. වාසනාවකට අපිට හැමදාම ආදරෙත් ළඟ තියෙයි”

ප්‍රධාන දොර හැරුණේ බලාපොරොත්තු නොවූ ලෙස ය. පළිඟු ඉක්මනින් කිසල් වෙතින් අඩියක් ඈත් වූවා ය.

“ඈ බං…උඹල දෙන්න මෙතනට ඇවිල්ලත් කුටු කුටු ගගා ඉන්නවද…මං මේ දොරවල් වහල දාල නිදියන්නෙ කොයි වෙලාවෙද බලං ඉන්නව”

වත්සලා නෝක්කාඩු හඬකින් කීවා ය. නමුත් එහි හැබැහින් නෝක්කාඩුවක් නො වන බව පළිඟු ඉඳුරා දැන උන්නා ය.

5 1 vote
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments