සුළං සීනු 28

තිසුරි කෙලවරක් නැතිව වැලපෙමින් හුන්නා ය.මීට දෙතුන් මසකට එපිටදී උතුරා යන සන්තෝසයකින් ලෝචනාගේ හැඬීම අසා සිටි මා තිසුරි දරා සිටියේ ඊට වඩා ශෝකයකිනි.

“අනේ ඉතිං..අඬන්න දෙයක් නෑනෙ.. ඉක්මනට වෙඩින් එක ප්ලෑන් කරගමු..”

ඉමාලි තිසුරි ට පැවසුවා ය. සැබෑවකි, වැඩුණු තරුණියකට විවාහයට පෙර ගර්භනී වීම පොළොවේ පස් කමින් වැළපෙන්නට තරම් කාරණාවක් නොවන ලෝකයක් ඉදිවෙමින් පවතී.තමන්ගේ ජීවිතය සහ කළ යුතු දේ ගැන යුවතියන් වඩා ස්වාධීන තීරණ ගන්නා කාලයක් එළඹෙමින් පවතී. එහෙත් තිසුරි මේ තත්ත්වය කෙසේ දරා ගනීවිදැයි මම සිතීමි.ඈ හිඳින්නේ ආදරයේ අත්වැරැද්දකට වහා පිළියම් කළ යුතු තැනක ද නැතිනම් වංචාකාරී ප්‍රේමවන්තයෙකු තමන් රැවටූ කටුක සත්‍ය දරා ගත යුතු තැනක දැයි මට ද ගැටළුවකි.

එහෙත් මහා වේදනාවකින් වැළපෙන මේ යෞවනියගේ අත තරයේ අල්ලා ගත යුතු තැනක අප හිඳින බව මම වටහා ගතිමි.නිසල් සෑම මොහොතකම පාහේ පැවසුවේ ඔහු ඇයට ආදරය නොකරන බව ය.තිසුරි ඔහුගේ ප්‍රේමය ප්‍රාර්ථනා කළ ද ඔහුට ඈ අවශ්‍ය නොවන බව ඔහු නොනවත්වා පැවසූ ආකාරය සිහි වෙද්දී මට දැනෙන්නේ කෝපයට ළඟ ශෝකයකි.

“තිසුරි, ඇත්තටම ඔයා අවුල් වෙන්න ඕනෑ නෑ. ඔයා දැක්කනෙ ලෝචනා කොච්චර කාලයක් බලන් හිටියද කියල.ඔයාට පොඩි කාලයක්වත් බලන් ඉන්න ලැබුණේ නෑ. ඒ අපේ ජීවිතේ අපිට දෙන දේවල්. බලා ඉඳලා ඉඳලා පිපෙන මල් වගේම අහම්බෙන් පිපෙන මලුත් ලස්සනයි නංගා..ඔයාට කරන්න තියෙන්නේ ඒක බාර ගන්න එක..”

තිසුරි සන්සුන් කිරීම අපහසු බව දැන දැනම මම පැවසුවෙමි.යථාර්ථය එතරම් පහසු නොවීමට පුලුවන. නමුත් ඇයට ජීවිතයෙන් පලා යෑමේ හැකියාවක් නැත.

එකිනෙකාට හිනැහෙන්නට බලා සිටින ගැහැනු පිරුණු ලෝකයක අපේ කාර්යාලීය මිතුරියන් තිසුරි වටා සවිමත් බැම්මක් ව බැඳෙන්නට ගත්තා ය. ඇය තනිව නැති බව හැඟෙද්දී තිසුරි ද සන්සුන් ව හිඳින්නට උපරිම උත්සාහ ගනිමින් සිටියා ය.

“මං මේ ගැන නිසල්ට කිව්වට පස්සෙ තමයි එයා අතුරුදන් වුණේ..ගෙදරට මූණ දෙන විදියක් හිතා ගන්න බෑ කිව්වා. සමහරවිට සති දෙකක්ම නිවාඩු අරන් එයා කරන්න දෙයක් හිතයිනෙ..”

බොහෝ දේ විය හැකි බව මට සිතිණ.කුමක්දෝ බලවේගයක් මා සුවිසාල කරදරයකින් ගලවා ගන්නට ඇති බව සිතෙද්දී මම සැනසුම් සුසුමක් හෙළීමි. නිසල් බොහෝ සමීප වෙමින් ප්‍රේමයක් ඇති බව නොකියා ඒ වග දැනෙන්නට හරිද්දී එක් රාත්‍රියක දේවක සිහිනයෙන් මා බලන්නට ආ අන්දම මට සිහියට නැගිණි. ඔහු අර පුරුදු සැහැල්ලු බැල්මෙන් ම මදෙස බලා සිටියේ ය.

“සමහර පිරිමි පිරිමිම නෙවෙයි පවී.. නරි. මිනිහෙක් ගාව ඉන්න ගෑනියෙක් නරියෙක් ගාවට යන්නේ මොකටද?”

එසේ පැවසූ ඔහු අඳුර මැද නොපෙනී ගියේ ය.සිහිනයෙන් ඔහු දකින සෑම වතාවකම බියපත් නොවූව ද සොවින් බරව අවදි වන මා එදින සිහිනයෙන් මෙන් සංකල්පගේ අතක් වැලඳගෙන නින්දට වැටුණු හැටි මට අමතකව නොයයි. අඩ නින්දේ හුන් මගේ හිස අතගෑවේ සංකල්ප ද සිහිනයේ හුන් දේවක ද අදට ද මට නොපැහැදිලි ය.

දෙසතිය අවසන් වන තුරුම මඟ බැලූව ද නිසල් පැමිණියේ නැත.ඔහු රැකියාවෙන් ඉවත් වන ලිපිය එවා ඇති බව ද ඔහුගේ පුරප්පාඩුව ඉක්මනින් සම්පූර්ණ කළ යුතු බව ද ආයතනය මට දන්වා තිබිණ. පුරප්පාඩුව පිරවී යනු ඇත.ඔහුට වඩා කැපවීමෙන් සේවය කරන්නෙකු සොයා ගැනීම ආයතනයට අපහසු නැත.නමුත් තිසුරිගේ ජීවිතයේ හිස්තැන පිරවෙන්නේ කෙසේදැයි සිතමින් මම ශෝකයෙන් පෙළෙන්නට වීමි.

“ඇඩ්‍රස් එක සීවි එකේ තියනවනෙ..අපි ගිහින් බලමු..දෙකක් ඇනල හරි ඉක්මනින් කසාද බඳින්න කැමති කරගන්නං..”

භාතිය සහ දේශාන් පෙරට ආව ද ඔහු ඒ ලිපිනයේ නොවූවොත් කරන්නේ කුමක්දැයි අපට ගැටලුවක් විය.තිසුරිව හැකිතාක් සන්සුන් කරමින් අපි මඟ බලා සිටියෙමු.නිසල් සෙවීමට ගිය භාතියගේ ඇමතුම පැමිණියේ හවස් යාමයේ ය. කාර්යාලය අහවරව නිවසට පැමිණිය ඒ ඇමතුම එනතෙක් මා ද සිටියේ තාවර වෙමිනි.

“පවනි, තත්වෙ මාරම අවුල්..හිතනවට වඩා පට්ටම අවුල්…කරන්න කිසිම දෙයක් නෑ..”

භාතියගේ කටහඬ අවුල් වී ඇත.නිසල්ගේ අම්මාගේ දැඩි විරෝධය ගැන අසන්නට සිතමින් මම ඔහුට සවන් දුන්නෙමි.

“මේ මිනිහා මැරීඩ් පවනි..අර එකවතාවකුත් වෙච්ච දෙයක් නැති වුණෙ.. ඒ වයිෆ්ට බබා හම්බෙච්ච නිසා. මාස ගාණක පොඩි එකෙක් ඉන්න තාත්තෙක්. දැන් ඉතිං මොකක්ද කරන්නෙ..ඩිවෝස් කරන්නයැ. අනික මිනිහ ගෙදර නෑ.. මේ කොළඹම කොහෙහරි ඇති..”

අකුණු දහසක් හිස මත පුපුරා ගිය හැඟීමකින් මම හුන් තැනම ගල්ව ගියෙමි. කාන්තාරයක් බඳු ජීවිතයට වසත් වර්ෂාවක් ව ඇද හැලෙන මිනිසෙකු යැයි මා ප්‍රේමාන්විතව සිතුවේ මෙවැනි නිහීන මිනිසෙකු ගැන ය. ඔහුගේ බිරිඳ දරු ප්‍රසූතියකට සැරසෙන කාලයේ ඇගේ වේදනා සහ සිහින දරා ගනිමින් රැඳිම වෙනුවට ඔහු මුළු කාලයම වෙන් කළේ මගේ දුක අසන්නට ය.කුඩා කිරි දරුවෙකුගේ තාත්තා කෙනෙකු මට රට අතැර යන්නට යෝජනා කර තවම මසක්වත් ගෙවී ගොස් නැත.

ඔහු මොන ආකාරයේ අමන මිනිසෙකුදැයි සිතෙද්දී මගේ දෑස් තෙමී යන්නට පටන් ගත්තේ ය.

4.8 4 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Sudharshana Abeyrathne
5 months ago

නිසල් වගේ උන් ගැන මේ තරම් කියද්දිත් රැවටෙන කාන්තාවන් ගැන දුකයි.
කතාව හරිම ලස්සනයි .
සංඛ ට ගොඩක් ආදරෙයි

Madhushika Vitharana
5 months ago

Happy ending ekak denna hode…