මන්දාරම් හැන්දෑවක -12

පසුදින බිනර වෙනදාටත් කලින් වෙද ගෙදරට පැමිණියේ ය.වෙද මහතාගේ හැම රාජකාරියකටම උදව් දෙමින් අතිශය කාර්යබහුල වූ ඔහු ඉනුලිත් සෙනුරිත් සමඟ සෙල්ලමට පැටලෙන්නටවත් කුඩා සෙනුජ කර තබා රවුම් යන්නටවත් පැමිණියේ නැත.එතරම් වැඩකටයුතු පටලාගෙන වෙහෙසෙන ඔහුට ගස්ගෙඩි කඩන්නට අඬ ගසන්නට තබා කොහොමදැයි අසන්නටවත් මේඝාට සිත් නොවිණි.ඈ ඔහුට කුමක් වීදැයි සිතන්නට වූයේ ඉනුලිටත් සෙනුරිටත් චිත්‍ර අඳින්නට කියා සෙනුජව නිදි කරද්දී ය.ඔහු හිඳින්නේ සැබෑවටම වැඩ අධිකව නොව කාර්යබහුලව තමන්ව මඟ හරිමින් යන කාරණාව ගැන වැටහෙද්දී මේඝා චංචල වූවා ය.තමන්ගේ මුහුණවත් නොබලා ඉන්නට ප්‍රවේසම් වූ බිනර ගැන ඇයට අලුත් සැකයක් මතු විණි.එහෙත් ඇය ඒ ගැන නොසිතා ඉන්නට ප්‍රවේසම් වූවා ය.

“මේඝා.. ගමනක් යං ද?” දහවල් බතෙන් පසු අක්කාගේ නවකතා පොතක් සොයාගෙන ගසක් මුලට වූ මේඝාගෙන් බිනර ඇසුවේ හදිසියේ ය.කුඩාවුන් තිදෙනාම නින්දට වැටෙන මේ වෙලාව ඈ කොහොමටත් හිඳින්නේ කම්මැලිකමිනි.කියවමින් හිඳින්නට බිනර නැතිනම්,වෙද හාමිනේගේ වැඩකට අත් උදව් දීම හෝ යසාගේ වැඩකට අලගු තැබීම කරන්නට හිත නැතිනම් අක්කාගේ පොත් රාක්කය ගවේෂණය කර පොතක් තෝරාගෙන ගසක් යටට වීම මේඝාට දැන් හුරුව ඇත.හදිසියේ ආ ඉල්ලීමෙන් පුදුමයට පත් මේඝා දෑස් ඔසවා බිනර දෙස බැලුවේ ය.

“කොහෙද බිනර..”

ඇය ඇසුවේ පුදුමය තවරා ගත් කටහඬිනි. බිනර සිනා දෑසින් ඈ දෙස බලා සිටියේ ය.

“ලොක්කම්මාට මම කිව්ව ඔයාට බඩු වගයක් ගන්න ටවුන් යන්න ඕන කීවා කියල. ගේ අස්සටම වෙලා ඉන්න නිසා පාළු ඇති කියල එක්කන් යන්න කියල එයත් කිව්ව..”

මේඝා ඒ ප්‍රහේලිකාව විසඳන්නට උත්සාහ කළා ය.ඔහු හදිසියේ එවැනි සැලසුමකින් මේඝා නිවසින් පිටතට ගන්නට උත්සාහ කරන්නට හේතුව ඇයට සිතා ගන්නට අසීරු විණි.බිනර ඈ කැටුව යන්නේ කොහේදැයි දැන ගන්නට මේඝාට ඕනෑ විය.

“මට ටවුන් යන්න ඕන නෑ බිනර..මං ආසත් නෑ..”

බිනර කිසිත් නොදොඩා යතුරු පැදිය පණ ගැන්වූයේ මේඝා අතින් හෙල්මටයක් තබන අතර ය.

“ඉතිං අපි ටවුන් යන්නෙත් නෑ.. යං..”

මේඝා මොහොතක් නැවතුණා ය.ජනිඳුගේ මෝටර් රථයට මුලින්ම ගොඩ වූ දවස ඇයට ඇසිල්ලකින් සිහි විණි.ඒ ගමන් නැවතුණේ සීමා රහිත තැනකිනි. ප්‍රාණය සදිසි ලෙස පෙම් කළ මිනිසා එබඳු රැවටිලිකාරයෙකු නම් හඳුනාගෙන මසක්වත් ගෙවී නැති මේ තරුණයාගේ යතුරු පැදියට ගොඩ නොවිය යුතුයැයි ඈ හදිසියේ සිතුවා ය.නමුත් බිනර අසංවර ගති නැති ජලය මෙන් පිරිසිදු හිතක් ඇති යෞවනයෙකු වග අමතක කරන්නට ඇයට නොහැකි ය.ඔහු නොදන්වාම මේ රැගෙන යන ගමන ගැන සැක ඇති කර ගත යුතු නැත.

බිනර ගමන් කරන්නේ මඳ වේගයෙනි.මේඝා නිල් අහසට නෙත් යොමු කළා ය.මද්දහන පසුව දෙහෝරාවක් ද ඉක්ම ගිය නීල අහසේ එකදු වළා කැටියක් වත් නැත.රජරට අහස මෙතරම් තද උණුසුම් හිරුරැස් පොළොවට එවන්නේ වැව් වතුර සමඟ මුසු වෙන සුළඟින් ගතේ විඩා නිවෙන නිසාදැයි මේඝා සිතන්නට ගත්තා ය.ජංගම දුරකථනය අත තිබුණා නම් බිනරව කිහිප තැනකම නතර කරමින් ඡායාරූප ගන්නට හැකි වන්නට තිබිණ.නමුත් අද මේ සෑම සුන්දරත්වයක් ම හසු කර ගත හැක්කේ දෑසටත් හදවතටත් පමණි. බිනර කිසිත් නොකියා බොහෝ දුරක් පැමිණ කුඩා නිවසක් පෙනෙන නොපෙනෙන මානයේ යතුරු පැදිය නතර කර ගත්තේ ය. පොල් රුප්පාවෙන් වට වූ නිවස ඇත්තේ වත්තේ ඇතුළු හරියට වන්නට ය.මේඝා විමසුම් ඇසින් බිනර දෙස බැලුවා ය.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -28

“මං කාටහරි ආදරේ කරනවද ඇහුව නේද..එයා ගැන කියන්න එක්ක ආවෙ .” කෙළිලොල් යෞවනයා අතුරුදහන් ව බැරෑරුම් නළල් රැළි ඇඳගත් තරුණයෙකු මේඝා දෙස බලා සිටියේ ය.මේඝා ප්‍රශ්නාර්ථයක් මුහුණ මත අතුරාගෙන බිනරට සවන් දුන්නා ය.

“එයා ඉන්නෙ අර ගෙදර..” මේඝා දෑස් විසල් කර ඈතින් පෙනෙන නිවෙස දෙස බැලුවා ය.ඇයට එහි යන්නට ඕනෑ විය.එහි හිඳින ඒ යුවතිය හමු වීමේ හදිසි ආශාවක් ඇය තුළ හට ගත්තේ ය.

“ඉතිං මේ ගේ ගාව නැවතිලා බලන් ඉන්නේ..අපි එයාව බලන්න යංකො. ඔයා නම් මහ නරකයි බිනර…ඔයා මට මෙච්චර දවසක් එයා ගැන කිව්වෙ නෑනෙ..”

මේඝා මිත්‍රශීලි නෝක්කාඩුවක පැටළී ගත්තා ය.බිනර කිසිත් නොකියා මෝටර් සයිකලය හරවා ගත්තේ ය.නිවස අසලටම විත් ඇය බලන්නට නොයාම ගැනත් ඈ ඡායාරූපයකින් හෝ නොපෙන්වීම ගැනත් ඔහුට ඇසුණා නෑසුණා කම් නැතැයි සිතම්න් මේඝා දිගින් දිගටම බිනරට බැන වැදුණා ය.වැව අසබඩ සයිකලය නවතා ගත් බිනර මේඝා දෙස හැරී බැලුවේ වේදනාව පුරවා ගත් දෑසකිනි.

“එයා මාත් එක්ක කතා කරන්නෙ නෑ මේඝා.” ඔහුගේ සුසුමක් වැව් දියේ හැපී බිඳි ගියේ ය.මේඝා කිසිත් නොකියා බිනරට කතා කරන්නට ඉඩ හැරියා ය. ඇයට අසන්නට තිබුණේ එකම එක පැනයකි.

“ඔයාලා බ්‍රේකප් ද?”

බිනර නැතැයි කියන්නට හිස සැලී ය.

“මං එයාට කැමති බව එයා දන්නව.දැන් සෑහෙන කාලයක්.ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම.ඒත් එයා මාව මඟ අරිනව..සඳලි බයයි මාත් එක්ක යාලු වෙන්න.. දුක් විඳින්න වෙයි කියල..”

ආදරය දුකක් වග තමන්තරම් දන්නා යුවතියක නැතැයි මේඝා සිතුවා ය. එහෙත් බිනර ජනිඳු තරමේ අසංවර යෞවනයෙකු බව ඈ විශ්වාස නොකළා ය.ඔහු දඟකාරයෙකු වුව ද ගතිගුණ අතින් ඉහළ තැනක හිඳින බව ඇයට සහතික ය. එනිසා ඒ කුඩා නිවසේ ජීවත් වන නුදුටු යෞවනිය බිනරව ප්‍රතික්ෂේප කරන කාරණය ගැන දැන ගැනීමේ කුහුලකින් මේඝා පිරී ගත්තා ය.

“අපේ ගෙදරින් එයාට අකමැති වෙයි කියල එයා දන්නව. ඒක මාත් දන්නව.මේවා පරණ ගම්නෙ මේඝා.අපි කුල ප්‍රශ්නයක් තියනව ලොකුවට.එයාලගෙ ගෙවල් පැත්ත අඩු කුලේ මිනිස්සු ඉන්න හරියක්. ඒ හරියෙන් කසාදයක් කරගන්නව කියන්නෙ අපේ මිනිස්සුන්ට හරි අඩුපාඩුවක්..අපෙ අප්පච්චිලා අම්මල ඕවා ලොකුවට ඔලුවට ගන්නව.ඊටපස්සෙ වෙන දේවල් දරා ගන්න එයා බයයි..”

මේඝා පුදුමය කෝපයකට හැරවූවා ය.ආදරයට බාධක තිබිය නොහැකි වග ඇය අදහන දෙයකි.නමුත් සාමාන්‍යයෙන් පෙම්වතුන් යුවලකට පැමිණිය හැකි බාධා අතර බිනර පවසන කාරණාවට දිය හැක්කේ කොපමණ අඩු ලංසුවක් දැයි ඇය සිතුවේ කළකිරීමෙනි.

“අයියෝ බිනර..මේක අලුත් ලෝකයක්නෙ.. ඔයා කියන හේතුවට ඇයි දෙන්නෙක් ආදරේ නොකර ඉන්නෙ.ඔය හේතුවට විතරක්ම දෙන්නට දෙන්න මඟ ඇර ගන්නව නම් ඔයාලට අනාගතේ දුක් වෙන්න වෙයි..අනික ආදරේ ගැන විශ්වාස නම් ඔහොම හේතුවලට බය වෙන්නේ ඇයි..ඔයාට පුලුවන් වෙන්න එපැයි ඒ දේවල් ඒ ගර්ල්ගෙ ඔලුවෙන් අයින් කරන්න..”

මේඝා කියවාගෙන ගියා ය.බිනර වැව් දියට ගල් ගසමින් ඈට සවන් දුන්නේ ය.වෙනදාට උවමනාවටත් වඩා හිනැහෙමින් කියවමින් ඇගේ වේදනාව නිවන්නට තැත් කරන බිනර ද ගැටළුවක පැටලී හිඳීම ගැන මේඝාට ඇති වූයේ වේදනාවකි.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -14

“ඔයා එයාට කතා කරන්න.ආදරේ ගැන එයාට විශ්වාස නම් ඒ වෙනුවෙන් ඕන දෙයක් කරන්න ඔයාට පුලුවං නම් ඇයි බිනර බය වෙන්නෙ.. ඔයා මට ඩොක්ටගෙ ලව් ස්ටෝරි එක කිව්වෙ.. මට හිතෙන්නේ එයත් ගොඩක් දේවල් අතෑරල ඉනුලි බබාගෙ අම්මි තෝරා ගත්ත කෙනෙක්.. දැන් අපේ පොඩි අක්ක බලන්න.එයා වරුණ අයිය එක්ක කැම්පස් එකේදී යාළු උනාම අපි කිව්ව අනුරාධපුරේ ඉන්න ගියාම එපා වෙයි කියලත්.. කොළඹ හැදුණු වැඩුණු අපෙ අක්කා මේ කාෂ්ටකේට පුරුදු වුණු හැටි මට අදටත් පුදුමයක්.ඒත් මං දන්නව අක්කා හැම මොහොතකදිම ඉන්නේ සැනසීමෙන්…තමන්ගේ ඇත්ත ආදරේ මුණ ගැහුණොත් නිකං සිල්ලර හේතුවලට ඒක අතාරින්න හොඳ නෑ බිනර..මොනම හේතුවක් උනත් පරද්දන්න පුලුවං ඇත්ත ආදරේට.”

බිනර මේඝා දෙස බලා හුන්නේ කලාතුරකින් ලැබිය හැකි හොඳ මිතුරියක ලැබීමේ සොම්නස් හැඟීමෙන් සිත පුරවාගෙන ය.ඇය ජීවිතය සිතාමතා වරදවා ගත් තරුණියක නොව විශ්වාසය බිඳී යාමෙන් හිත තලා ගත් තරුණියක බව ඔහු ඈ හඳුනා ගත් මොහොතේ සිට තේරුම් ගත්තේ ය.ඒ සිතුවිල්ල නිවැරදි ය. ආදරය සිල්ලර හැඟීමක් බව සිතමින් ජනිඳුට පෙම් කෙරූ තරුණියක මෙතැන සිටියා නම් මේ සති කිහිපය ඇය ප්‍රවේසම් සහගත මිත්‍රත්වයක් පමණක් තමන්ට පුදන්නේ නැත.නමුත් මේඝා සීමා මායිම් ප්‍රවේසම් සහගතව රැක ගන්නට සමත් වැදගත් චරිතයක් බව බිනර තේරුම් ගෙන අවසන් ය.

ආදරය පමණක් නොව මිත්‍රත්වයක් පවා ගොඩ නඟා ගත යුත්තේ හදවතට වඩා කිට්ටු හැඟීමක් රැගෙන එන උණුසුම් හදවත් සමඟ යැයි ඔහු සිතුවේ නැවත වෙද ගෙදරට එන අතර ය.මේඝා යතුරු පැදියේ පිටුපස හිඳගෙන සිහින් හඬින් ගීයක් මුමුණමින් සිටියා ය.ඇගේ ජීවිතයට ඉක්මනින් වසන්තය උදා වන්නේ නම් කොපමණ මිහිරිදැයි බිනර සිතුවේ අවංක හැඟීමෙනි.

“ඔයා ඒ ගර්ල්ට කතා කරන්න.මැරි කරන්න කොච්චර කල් තියනවද හිතන්නකො.මිනිස්සු තමන්ගෙම ජෙන්ඩර් එකේ අයටත් ආදරෙ කරල කසාද බඳිනවා.ආදරේ නිසා ට්‍රාන්ස්ජෙන්ඩර් වෙන මිනිස්සු ඉන්නව.එච්චර කැපකිරීම් කරන මිනිස්සු ඉන්න ලෝකෙක වාසගමක් නිසා ඔයාලගෙ ජීවිතේ බිල්ලට දෙන්න එපා. “

මේඝා ගෙතුළට යන්නට පෙර බිනරට එසේ පැවසුවා ය.බිනර ඇය දෙස බලා සිටියේ සැබෑ ආදරයකිනි.ඔහු සඳලිට කතා කරන්නට සිතා ගත්තේ ය.ලෝකයට නොදන්වා ඒ ආදරය ගොඩ නගා ගන්නට සැලසුම් සකසමින් බොහෝ වෙලාවක් බරාදයේ ඇලව හුන් බිනර පියවි ලෝකයට ආවේ දිනිඳු පැමිණ ඔහු අසලින් අසුන් ගද්දී ය.

“මං ගෙස් කරපු දේ හරි ගිහින් නේද.. මං හිතුවා ඉතිං උඹ හැරෙනකොට..”

බිනර දිනිඳු දෙස බැලුවේ පුදුමයෙනි.ඔහු පවසන දෙය ගැන දිනිඳුට වැටහීමක් වූයේ නැත.

“මං දැක්ක කොල්ල අර ගෑනු ළමයවත් බයික් එකේ දාගෙන වැව පැත්තේ රවුං ගහනව. වැඩේ හරිද? අපෙන් මොනවද කෙරෙන්න ඕන..”

වැඩිමහල් සහෝදරයෙකුගේ බැල්මට කලණ මිතුරෙකුගේ කටහඬ තැවරී තිබිණ.බිනර හාන්සි පුටුවේ කෙලින් වූයේ ඉද්ද ගැසුවා සේ ය.දිනිඳුගේ වැරදි වැටහීම වහා නිවැරදි කරන්නට ඔහුට අවශ්‍ය විය.

“මොනවද දිනිඳු අයියෙ මේ කියන්නෙ..මං එයාව එක්කන් ගියෙ සඳලිලගෙ ගේ පෙන්නන්න..මට මේඝා ගැන එහෙම හිතෙන්නෙ කොහොමද හිත සඳලිගෙන් පිරිලා තියෙද්දි..”

බිනර නෝක්කාඩු හඬකින් පැවසී ය.ඒ වචන කිහිපය එතරම් සැනසිලිදායක ලෙස දැනෙන්නේ මන්දැයි සිතමින් දිනිඳු බොහෝ වෙලාවක් නිහඬව හුන්නේ ය.

3.9 9 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments