මුතු බෙලි හදවත – 27 වන කොටස

ඇරඹුමේදී ම සැලකිය යුතු සිසු පිරිසක් ආදිත්‍යා ගේ පෙර පාසලට ඇතුළත් වී තිබිණි. ඊට බොහෝ දුරට බලපෑවේ සමාජ සේවිකාවක වශයෙන් සඳසීලී ගේ වූ සම්බන්ධතා යි. ඇමති සේනක විජයවික්‍රම ගේ ලේලිය ගේ පෙර පාසල ය යන හැඳින්වීම, ආදිත්‍යා අකමැති වුණත් මේ අවස්ථාවේ ඇය ට වාසි සහගත ලෙස බලපෑවේ ය.

නැවතත් ජීවිතය පටන් ගත්තා සේ ආදිත්‍යා ට දැනිණ. එය පුදුමාකාර හැඟීම් ගොන්නක සංකලනයකි. විවාහයට පෙර සිටි බලාපොරොත්තු සහගත ආදිත්‍යා යළි ඉපදී සිටියා ය. ඒ කාලයේ හිතේ වූ ජවය නැවතත් ඈ තුළට කාන්දු වෙමින් තිබිණි. ආත්ම අභිමානයක් නිරතුරු ඇගේ මුව මත මඳහසක් පුබුදුවා තිබුණේ ය.

“ඔයා දැං සතුටෙන්. වෙන මොනාටත් වඩා ඒක තමයි ලොකු ම දේ”

ආමන්තා කීවා ය. දැන් ඇය ද උදේ ම සාරියකින් සැරසී පෙර පාසලට එයි. ඇය ද ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව විද්‍යාපීඨ පුහුණු ගුරුවරියක ලෙස වැඩ බාර ගන්නට නියමිත ව තිබුණෙන්, මේ අවස්ථාව ආශිර්වාදයක් වූයේ ය.

“ම්..අනේ මන්දා…සමහර විට සතුටෙන් වෙන්නැති. මට දැං මගෙ ජීවිතේ පහුගිය අවුරුදු තුන හතර අමතක වේගෙන යනවද මන්දා..හරියට නිකං…විකුම් පායට යන්න කලින් හිටිය මායි..දැන් ඉන්න මායි එකට යා වෙලා වගේ..එතකොට අර මැද හිටිය විකුම් ගෙ වයිෆ් කෑල්ල කැපිල ගිහිං වගේ..මේ රත්තරං මැණික තමයි ඒ කෑල්ලෙං අයිං කරල දාන්න බැරි කෑල්ල”

ආදිත්‍යා අසලක හිඳ බිල්ඩින් බ්ලොක්ස් එකට අමුණන මින්දුල ගේ කම්මුල් දෙක මිරිකමින් කීවේ ය.

“ඔයාගෙ ජීවිතෙං ඇත්තටම ඒ මැද කෑල්ල කපල දානවනං මං ආසයි අක්කෙ. අර ගස් ගෝනා ඔයාට හරියන්නෙ නෑ කොහොමත්”

“අම්මට ඇහුණනං එහෙම ඔයාව ඉතුරු කරන එකක් නෑ”

ආදිත්‍යා මඳහසින් කීවේ ඇත්ත ය. ලලිතා සිටියේ තිගැස්සී ගෙන ය. සිය දියණිය ගේ ජීවිතය මැද්දේ වෙන්නට යන දෙදරීම ගැන ඇය සන්ත්‍රාසයක පසු වූවා ය. ආදිත්‍යා කිසිත් ගෙදරට කීවේ නැත. නමුත් ඈ පිළිබඳ යම් යම් කාරණා ආමන්තා ගෙන් හාරා අවුස්සා දැන ගත හැකි විය. බාල පුතා ඇය ට සිය බෑණා ගේ නිල නොවන ජීවිතය ගැන වග තුග කීවේ ය.

“මං ඕකුංගෙ ඇමතිකං බලන්නෙ නෑ අම්මෙ. කොයි වෙලේහරි මං අරූට පිහියකිං ඇනල හරි මරල දානව”

ඊයේ පෙරේදාවක අවන්ත එලෙස වියරුවෙන් කෑ ගැසුවේ විකුම් ගේ අනියම් පලහිලව්ව දැන් රටේ ප්‍රසිද්ද ඕපාදූපයක් වී ඇති බව ඔහු ත් දන්නා හින්දා ය. ඔහු ගේ මස්සිනා විකුම් බව දන්නා ඇතැමෙක් මුහුණට නැතත් නැති තැන හෝ සිනහ වෙන බව අවන්ත දැන සිටියේ ය.

“එක්කො අක්කට කියන්න ඔය වසලයගෙං දික්කසාද වෙලා ගෙදර එන්න කියල. මං ඒකිට කන්න බොන්න දෙන්නං”

“දෙයි දෙයි”

ලලිතා දුම්මල වරම අතට ගත්තා ය.

“තව ටික දවසකිං උඹත් ඔය කොහෙං හරි උරචක්කාර මාලාවක් එල්ල ගත්තහම අක්කල ගැන ම බලන්න පුළුවන් වෙයි. අනේ මේ නිකං නහර පුප්පගන්නැතුව හිටිං. පිරිමි වෙන ගෑනු පාරෙ ගිය පලියට කසාද කැඩිල ගියා නං මේ ලෝකෙ කසාද කියල දෙයක් ඉතුරු වෙන්න බෑ බොලව්”

අවන්ත ගේ හිතුවක්කාර කොලුකම් මට්ටු කරනු වස් එසේ කීවා ට ලලිතා ගේ පපුවේ ඇවිලෙමින් තිබුනේ ගිනි මැලයකි. ලොක්කී ව අපායට තල්ලු කොට දැමූවෙ තමන් විසින් ද යන වරදකාරී හැඟීම හැම මොහොතක ම ඇය ට වද දෙන්නට විය. ආදිත්‍යා විකුම් සමගින් දීග යන්නට කැමැත්තක් දැක්වූයේ ම නැත. නමුත් ඇය අම්මා ගේ වචනයට පිටින් නො යන්නට අන්තිමේ හිත හදා ගත්තා ය.

විකුම් ගැන අසන්නට වෙන කතා කෙසේ වී ද ලොකු දුව ගේ විවාහය දික්කසාදයකින් කෙලවර වෙනවා කියා හිතන එකත් ලලිතා භීතියට පත් කරවන්නා වූ සිතිවිල්ල කි. අම්මා කෙනෙකු වශයෙන් දියණියක ගේ දික්කසාදයක් සියැසින් දකින්නට වීමත් සංසාර පාප කර්මයක් සේ ඈ සිතයි..

“මං විකුම් ළමයත් එක්ක කතා කරන්නද ලොකූ….ඕගොල්ලංගෙ පවුල ඇතුළෙ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වී ගෙන යනවනං ඒවට මැදිහත් වෙලා විසඳල දෙන්න දෙමව්පියො හැටියට අපිටත් අයිතියක් යුතුකමක් තියෙනවනෙ”

ලලිතා ආදිත්‍යා විමසුවා ය. ඇය එබඳු තීරණයකට ආවේ දරුවන්ගේ පියා සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙනි.

ආදිත්‍යා මුව කොනකින් සිනහ වූවා ය.

“අම්ම කියන දේ අහන්න ම හොඳ බෑණා පොඩ්ඩ”

“ඒත් මේවයෙ එකලාසයක් තියෙන්න ඕනනෙ පුතේ”

“මේව ආයෙ එකලාසයක් වෙයි කියල හිතන්න බෑ අම්මෙ”

ලලිතා කීරි ගැසී ගියේ ආදිත්‍යා එසේ කී විට ය. කියනා දේ වලට වඩා ලොකු දුව ළඟ නො කියනා දේවල් වැඩි බව ලලිතා කොහොමත් දනී. ඒ ආදිත්‍යා දෙයක් කියන්නේ තනිව විසඳුමක් හොයා ගත නො හැකි ම අවස්ථාවේ බව දන්නා නිසා ය.

සැබවින් ම ඔවුන් ගේ විවාහ ජීවිතය බිඳී විසිරී අවසන් බව ආදිත්‍යා වටහා ගනිමින් සිටියා ය. ඒ නටඹුන් මතින් යළි කිසි දා ඇය ට පෙර හැඟීමෙන් විකුම් දෙස බලන්නට හෝ නො හැකි බව ඇය ට දැනිණ.

“මං දකින්න කැමති ආදිත්‍යා දැන් ඉන්නව”

ආසන්න සැඳෑවක මින්දුල ව ළමා උද්‍යානයක් වෙත ගෙන ගොස් යළි පැමිණෙමින් සිටියදී දුමාල් කීවේ ය. ආදිත්‍යා පොපියන සිනහවකින් ඔහු දෙස බැලුවා ය.

“ඔයා කැමති ආදිත්‍යා….”

“හ්ම්..මොන ප්‍රශ්නයක් ආවත් පැනල දුවන්නෙ නැතුව ඒවට උත්තර හොයන්න කල් ඇතුවම ශක්තිමත් වෙන ආදිත්‍යා. හරියට අපේ අම්ම වගේ..මොකක් හරි ජොබ් එකක් කරල තමන්ගෙ ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීම ගෑනු ළමයෙක් කරන්නම ඕන දේ. නිකංම ගේ ඇතුළට වෙලා බත් උය උය ළමයි බල බල හිටියට ඒ අභිමානය ගොඩ නැගෙන්නෙ නෑ. ඔයා හරි ම වෙලාවෙ හරි ම දේ කළා..මගෙ අම්ම ඒ කාලෙ ඔයා වගේ ගෑනු ළමයෙක් නෙවෙයි. ඒත් එයත් කුළියක් කරල හරි මාව ජීවත් කරවනව කියන ලොකු අධිෂ්ඨානයක් එක්ක හිටිය කෙනෙක්. ඔයාගෙ ඇස් වලත් මං ඒක දකිනව ආදි”

තමන් සමීපයේ මේ දරුවෙකුත් උකුලේ තබා ගෙන හිඳ සිටින්නේ අන්සතු ගැහැනියක යයි දුමාල් ගේ හිතට හිතෙන්නේ ම නැත. ඔහු ට දැනෙන්නේ ඇය මේ විදිහට තමන් පසෙකින් හිඳ මේ ගමන එන්නේ සංසාරයේ ඈත දවසක සිට වාගේ ය. සැබවින් මුල සිට ම ඔහු ට ඇගේ ආගන්තුක බවක් වූයේ නැත. බලවත් පවුලක ලේලිය වූ ඇය වෙත සිය ප්‍රේමය ප්‍රකාශ කරන්න ට තරම් ඔහු නිර්භය වූයේ ද හිතට දැනුණ ඒ හුරු පුරුද්ද නිසා ය.

“ඇයි…”

රියෙහි ඉදිරි කැඩපත සකසා එතුළින් කිහිප වරක් ඇදෙස බැලු ඔහු ගේ දෑස් වලින් දෙතුන් වරක් ම මිදී අන්තිමට ඇය ඇසුවා ය. පිළිතුරක් දෙන්නට ඉක්මන් නොවුණු දුමාල් ආදිත්‍යා ගේ හිස කේ අතරේ සිය වමතේ ඇඟිලි රුවා ගත්තේ ය.

“දන්නෑ”

“පුතා සතුට කියන එක ඉගෙන ගනිමින් ඉන්නව කියල මට දැනෙනව. ඒ ඔයා නිසා”

“පුතා විතරද…”

පපුව මැද ම සීතල  ගුලියක් හිර වුණා සේ ආදිත්‍යා ට දැනුණේ ය. සිය කම්මුලෙහි ගෑවි ගෑවී ඇති ඔහු ගේ රෝම පිරි ශක්තිමත් අතෙහි ඈ සිය කම්මුල තෙරපා ගත්තා ය.

“ඔයාට පින් සිද්ද වෙනව දුමාල්..මේ අසරණය සාමාන්‍ය ළමයෙක් විදිහට ලොකු වෙච්ච දාක…මං දන්නෑ…මට තේරෙන්නෑ මං කොහොමද එයාට ඔයාව අඳුන්නල දෙන්න ඕන කියල”

“ඔයා දන්නවද මේ ගමනෙ කෙළවර කොහෙද කියල…”

“මං හිතන්නෑ ඒ ගැන…කොහෙන් කෙළවර වුණත්…දැං මං ඒ ගමන යන්න පටං අරං ඉවරයි කියල මට දැනෙනව. කෙළවරක් නැති වෙයි. මැදින් බැහැල ගියත්…මං ඒ ගැන දුකක් හිතන එකක් නෑ. ඔයා අපි වෙනුවෙන් ගොඩක් දේවල් කළා. මට එක ම එක දෙයක් ඔයාට කියන්න තියෙනව දුමාල්”

දුමාල් රිය නතර කළේ එදා ආදිත්‍යා ගේ උපන් දිනය දා පුංචි සාදයක් පැවැත්වූ ඔය මැද පිහිටි අවන්හලේ රථ ගාලේ ය. ඔහු මින්දුල වඩා ගෙන ලෑලි පාලමෙන් එතෙර වූයේ වරින් වර ආදිත්‍යා ගේ බඳ පිටුපසින් අත තබා ඇය ව ඉස්සර කරමිනි. එහෙව් උණුහුම් රැකවරණයක් මීට පෙර ඇය අත්විඳ තිබුණේ ම නැත.

“මොකද්ද කියන්න තියෙනව කිව්වෙ…”

දුමාල් එසේ සිහිපත් කළේ ඔවුන් එදා ත් කෑම ගත් පවුලේ කාමරය වෙන් කරවා ගත් ඉක්බිති ය. ආදිත්‍යා දඟකාර සිනහවකින් සිය රැලි නගන දිය මතුපිට නෙතු රඳවා ගත්තා ය.

“මට දැං මතක නෑ”

“කියන්න කියන්න ඉතිං අගේ කරන්නැතුව”

“මට දැං මතක නෑ ඉතිං”

“මං දන්නවනෙ ඔයාට මතකයි කියල”

විදුලියක් සේ ආදිත්‍යා ගේ ඇස් දුමාල් ගේ ඇස් මත හැපිණි. ඇගේ දෙතොලතර දඟ කරමින් තිබි සිනහව පැන යන්නට ඇත.

“මං මේ හැඟීම විඳින පළවෙනි වතාව දුමාල් මේ. මැරි කරන්න කලින් වුණත් පිරිමි ළමයෙක් එක්ක අෆෙයා එකක් තිබිල නැතුව…මැරි කළාට පස්සෙ වුණත් ආදරයක් විඳල නැතුව…මෙහෙම ඔයා කොන්දේසි නැතුව අපි වෙනුවෙං කැප වෙනකොට…මට දැනෙන මේ මේ හැම දේටම මං ආසයි. ඒක වැරැද්දක් කියල දැන දැන වුණත්…”

“ෂ්…”

දුමාල් සිය දබරැඟිල්ල ආදිත්‍යා ගේ දෙතොල් මතින් තබා ඈ නිහඬ කරවූවා ය.

“ඒක වැරැද්දක් වුණත් මට ඒක කරන්න වෙනව. ඒත් මං පිළිගන්නෙ නෑ ඒක වැරැද්දක් කියල. ආදරේ දැනෙන එක වරදක්ද ආදි…දැනෙන කෙනෙකුට ආදරේ කරන එක වරදක්ද…මං ඔය දෙන්නට ම ආදරෙයි. මං දන්නෑ ඉස්සරහට මොනා වෙයිද කියල..සමහරවිට මං ඔය පාරක් අයිනෙ වෙඩි තියල මරල දාල තියෙන්නත් පුළුවන්. ඒත් ඒකට බයේ මට ඔයාවයි පුතාවයි අතෑරල පැනල දුවන්න හිතෙන්නෙ නෑ. ඒක වෙන්නැති ආදරේ කියල කියන්නෙ”

එක අතකින් මින්දුල වඩා ගෙන සිටි දුමාල් අනිත් අතින් ආදිත්‍යා තුරුලු කර ගෙන ඇගේ හිස සිප ගත්තේ ය. ආදිත්‍යා මොහොතක් ඇස් පියා ගෙන මේ සුන්දරතම වූ නිමේශය හදවතින් විඳ ගත්තා ය.

විකුම් ආදිත්‍යා වෙතින් ශාරීරික වශයෙන් ඈත් වෙමින් සිටියේ කොයි තරම් වේගයෙන් ද, ඊට වැඩි වේගයකින් ආදිත්‍යා විකුම් වෙතින් මනසින් දුරස් වෙමින් සිටියා ය. මේ අතරේ විකුම් සිය නීත්‍යානුකූල බිරිඳ අපහාසයට උපහාසයට ලක් කරමින් විකෘති සතුටක් ලැබුවේ ය. ඇය ගේ පෙර පාසල විශේෂයෙන් ම ඔහු ගේ සමච්චලයට ලක් විය.

“දැං ඕකෙං පුළුවන් ඇතිනෙ ජීවත් වෙන්න නේ…සත පහක් දෙන්නෙ නෑ මං. එක සත පහක්…”

කීවා සේ ම විකුම් මින්දුල ගේ වියදම් සඳහා හෝ මුදල් නොදී හිටියේ ය. නමුත් විකුම් බලාපොරොත්තු වූවා සේ ආදිත්‍යා ඔහු ඉදිරියේ වැඳ වැටෙන්නට ගියේ නැත. එහි දී විකුම් වඩාත් සාහසික ලෙස ඇය රිදවන්නට පටන් ගත්තේ ය. ඒ රිදවීමේ උච්චාවස්ථාව වන්නේ ශිරෝෂි ද සමගින් ම දිනක් ඔහු පෙර පාසල පැවැත්වෙන ගොඩනැගිල්ල වෙත පැමිණිම ය. ඔවුන් දෙදෙනා ඇගේ ඇස් ඉනිරියේ හැසිරුණේ නීත්‍යානුකූල අඹු සැමියන් සේ ය. එළඹෙන මැතිවරණයේ දී මේ ගොඩනැගිල්ල ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නා ආකාරය ගැන ඔවුහු කතිකා කළහ. ජීවිතයේ වෙන කිසි දාක විඳ නැති විදිහේ අසරණ කමක් ආදිත්‍යා ට දැනිණ. ආදරයක් කියා දෙයක් ඔවුන් අතරේ නො තිබුණත් විවාහක බිරිඳ වශයෙන් හෝ ඔහු ගේ ජීවිතයේ ඇය ට ඉඩක් නැත යන කටුක සත්‍යය ඇය රිදවන්නට විය. නමුත් ආදිත්‍යා හිත සවිමත් කර ගත්තා ය.

“ඒකනෙ මං කියන්නෙ ඩිවෝස් වෙන්න කියල..එතකොට හිතේ නිදහසවත් තියනවනෙ”

ආමන්තා කෙළින් ම ගැටළුව ට අත තිබ්බා ය.

“මොකක් වෙනුවෙන්ද ඔයා මේ කසාදෙ ඇතුළෙ හිර වෙලා ඉන්නෙ. ඒ මිනිහට ළමයත් එපා කියනවනං…ඒ මිනිහට ඔයත් ඕන නැත්තං…මොන එහෙකටද ඔයා අර ගෙදර අත්ඇරල එන්නෙ නැත්තෙ…එහා ගෙදර බැල්කනි එක දාල එන්න ලෝබ කමටද…”

ඒ අන්තිම ටික කියත්දී නම් ආමන්තා ට සිනහ නො නැගුණා නොවේ. නමුත් ආදිත්‍යා තද කර ගත් දෙතොල් ඇති ව සිටියා ය.  ඇගේ හදවත මැද්දේ ටර්නාඩෝ සුළි කුණාටුවක් කැරකෙමින් තිබිණි.

 රෑ වෙන තුරු ම පෙර පාසලට වී පොත් බලමින් සිටි ඕ, ගෙදර ගොස් නාන කාමරයට වැදුණේ පුතා බිමින් තබා ඔහු ආසා සෙල්ලම් බඩුවක් දී ය. හිතේ වූ වියවුළ නිසා ඇය ට දොර අගුළු ලන්නට අමතක වී කිබිණි. ආදිත්‍යා නාන කාමරයේ සිට තුවාය දවටා ගෙන කාමරයට එත්දී සේනක විජයවික්‍රම ගේ ගිජු දෑස් ඈ වෙතට ම එල්ල වී ගෙන තිබිණි. ඕ ඇතුළාන්තයෙන් ගැස්සී ගියා ය. නමුත් පිටතින් සන්සුන් වීමේ උත්සාහයක් දරමින් සේනක දෙස කෙලින් බැලුවා ය.

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...