මන්දාරම් හැන්දෑවක – 22

තරිඳු රජරටට පැමිණියේ මැදියම ඉකුත්ව පැය තුනකටත් වඩා ගෙවෙද්දී ය.ඉතා වේගයෙන් හදවත ගැහෙද්දී නටබුන් අතර මාර්ගවලින් ඔහු රිය ධාවනය කළේ අයියා දකින තුරු දෑස් කකියද්දී ය. සය වසරක් කුඩා කාලයක් බව සිතන්නට නොහැකි ය.

“අයියා පැත්තකට උනාට පස්සෙ ලෝකෙ පෙරලල හරි මට එයාව හොයන්න තිබ්බ..”

ඔහුට එසේ සිතිණ.නමුත් හැකිතාක් අයියා සොයන්නට වෙහෙස වූ හැටි ද ඔහුට අමතක කරන්නට නොහැකි ය. කුඩා රටක එක්තරා කුඩා ගම්මානයක සැඟවී සය වසරකටත් වඩා අයියා ජීවත් වූ අන්දම ගැන සිතමින් තරිඳු රිය ධාවනය කරන්නට විණි.ප්‍රේමය ඔහුව එතරම් තදබල තීරණයකට මෙහෙයවා තිබිණ.

තරිඳුගේ දුරකථනය හැඬවුණේ ඒ අතර ය. එක්කෝ ඒ අයියා ය;තමන් කොහිදැයි බලන්නට වරින් වර ඇමතුම් දෙන අයියා ය.නැතිනම් ජෙනිෆර් ය.වසර කිහිපයක් එක්ව ජීවත් වූ ප්‍රේමවන්තයා තම සොයුරා අතින් අසාධාරණයට පත් වූ තරුණිය විවාහ කරගත යුතු බව කියද්දී පවා අහිතකින් තොරව ඒ වෙනුවෙන් යාඥා කරන ඇමරිකානු තරුණිය ය.තරිඳු දුරකථනයට පිළිතුරු දුන්නේ ඒ දෙදෙනාගෙන් කෙනෙකු බලාපොරොත්තුව ය.

“තමුසෙ මගෙ ෆෝන් එක ඉස්සුවා නේද මිනිහො.”

එහා ඉමකින් ජනිඳුගේ වියරු හඬ මතුව ආවේ ය.තරිඳු කෝපය සඟවාගෙන අඳුරු මාර්ගය සමඟ හිනැහුණේ ය.

“තමුන්ගෙ බෑන්ක් එකවුන්ට් එක අප්ඩේට් වෙලා ඇති.ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම ෆෝන් එකක් ගන්න මම සල්ලි දැම්මා.ආ තමුසෙට නෝට් නැති වුණාට ටැබ් එකත් මං ගාව. ඒකට සල්ලිත් දාලා ඇති..අලුත් ඩිවයිස් දෙකක් ගන්නවා. කෙල්ලන්ගෙ නියුඩ්ස් සේව් කරගන් නැතුව ඒවා පාවිච්චි කරනවා”

ජනිඳු අසභ්‍ය වචනයක් තෙපලන හඬ ඇසුණු තරිඳු කාරය මහා මාර්ගයේ අයිනක නවතා ගත්තේ ය.අඳුර පොරවා ගත් නුග ගස් පාර වඩා කළුවර කරගෙන ය.නමුත් තරිඳුට තනිකමක් දැනුණේ නැත.

“මට මගෙ ෆෝන් එක දෙනවා. මට තමුසෙගෙ සල්ලි වැඩක් නෑ..මට ඒ ජාතියෙ ෆෝන් දාහක් ගන්න මේ දැන් පුලුවං.මට ඕන මගෙ ෆෝන් එක.”

එහා අසුන මත වූ ජංගම දුරකථනය සහ ටැබ්ලට් පරිගණකයට බැල්මක් හෙළූ තරිඳු මොහොතක් නිහඬව ගෙවී ය.අනතුරුව තද හඬකින් සොහොයුරා ඇමතී ය.

“මං ඒවා මුහුදට විසි කරා මල්ලි.අහිංසක කෙල්ලෙක්ගෙ ජීවිතේ විනාස නොකර ඒවා මුහුදු පතුලෙ හැංගිලා යයි. තමුසෙත් අර මිෂෙල්ද කවුද එක්ක තමන්ගෙ වැඩක් බලාගෙන ජීවත් වෙනවා.මේඝව අමතක කරලා..”

විසන්ධි වූ දුරකථනය දෙස ජනිඳු බලා සිටියේ වෙව්ලමිනි. මේ ඇමතුම ගත් දුරකථනයේ ඒ සියල්ල ගබඩා කර නොගැනීම ගැන ඔහුට දැනුණේ කෝපයකි. එහෙත් මේ රාජකාරී දුරකථනය බැවින් ඔහු එවැනි “කුණු” මෙහි ගබඩා කර ගන්නේ නැත.නමුත් පරිගණකයක හෝ වෙන තැනක ඒ සියල්ල ගබඩා කර නොගැනීම ගැන ඔහුට පසුතැවීමක් දැනිණ.ඒ සමඟම ජනිඳුට මිෂෙල් ගැන ඇති වූයේ සැකයකි.මේඝාගේ වීඩියෝ පට ගබඩා කළ තැන් ඔහු හෙළි කළේ මිෂෙල්ට පමණි.එය තරිඳු හරියටම දැන ගැනීම සම්බන්ධයෙන් ඔහුට මහත් සැකයක් ඇති විණි.

“මං ඒවා කිව්වෙ මිෂෙල්ට විතරයි..එතන රුවන් හිටිය තමයි.ඒ කබ්බා ඉන්ග්ලිෂ් දන්නවයැ.මං ඒකිට කතා කළේ ඉන්ග්ලිෂ් වලින්..එතකොට මේක අයියට කියන්න ඇත්තේ ඔය ගෑනි..”

මිෂෙල්ට ප්‍රේමය පිළිබඳ එක් අදහසක් නැති බව ජනිඳු හොඳාකාරවම දැන සිටියේ ය.ඇතැම්විට අයියා සමඟ මිතුරු වී ඇමරිකාවට යන්නට සැලසුමක් ඈ ළඟ තිබෙන්නට ද ඉඩ ඇතැයි ඔහු සිතුවේ කෝපයෙන් පුපුරන අතර ය.මේඝාට වඩා දරුණු පලිගැනීමක් මිෂෙල් වෙනුවෙන් කරන්නට සැලසුම් කරන්නට ඔහුට උවමනා විය.

“අරකි නම් සත්‍ය ප්‍රේමෙ විශ්වාස කරගෙන මාව හදන්න ආපු ගොං ගහක්..ඒකි නාගත්තේ ඒකයි.මගෙ ෆන් එක මට ගන්න දීලා පාඩුවෙ හිටියා නම් ඒකිට මගෙ ගෑනි වෙන්නත් තිබ්බා..ඒත් මිෂෙල්, මං උඹට කරන දේ බලපං..”

ජනිඳු හිස් බිත්තිය දෙස බලාගෙන මිමිණුවේ කෝපයෙනි; වියරුවෙනි.

පාන්දර හතරට ඔන්න මෙන්න තිබිය දී මේඝා වැව් තලය දෙස බලාගෙන අතීතය දිග සක්මන් කරමින් සිටියා ය.නෙළුම් මහනෙල් මල් සිය ගණනක් හිරුගේ පළමු රැස් දහරට දෑස් හරින බලාපොරොත්තුවෙන් තද නින්දක ය.මේඝා ඒ දෙස බලා සිටියේ මතකවල පැටලෙමිනි.පියුමකව පිපෙන්නට ඇයට සිහින බොහෝ විය.අම්මාට ඈත සදෙව් ලෝකයකට වී ඈ ගැන ආඩම්බර විය හැකි දෑ කරන්නට ඇය බොහෝ ආසාවෙන් සිහින පොදි බැන්දා ය.දැන් දන්නා සහ නොදන්නා මිනිසුන් රස විඳින්නේ එවැනි සිහින වල ගිලී හුන් යුවතියකගේ නග්න සිරුර බව සිහි වෙද්දී ඇයට දරා ගත හැකි සීමාව ඉක්ම යමින් තිබිණ.
සියදිවි නසා ගැනීම පවක් වග මේඝා දැන සිටියා ය.ජනිඳු වීඩියෝ පට මුදා හැරි මොහොතේ සිට ඈ උත්සාහ කළේ ලෝකයෙන් සැඟව හෝ ජීවත් වන්නට ය.එවැනි දේ නොදන්නා මිනිසුන් මැද නැවත ජීවිතය අලුතින් පටන් ගන්නට ඇයට ඕනෑ විය.නමුත් මේ ලෝකයේ ඇය වඩා ආදරය කරන මිනිසුන් පවා ඒ වග දැන සිටීම ඇයට උසුලා ගත නොහැකි ශෝකයක් ඉතිරි කර හමාර ය.බිනර නික්ම ගිය පසු මුළු රාත්‍රිය පුරා අවදිව හුන් මේඝා අවසාන තීරණය ගන්නට සිතුවා ය.

නුඹේ අම්මා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ ..
ඒ විල මැද පිරුණු දියේ
දුකට හැඬුව කඳුළු තියේ..

ඇයට අම්මාගේ නැළවිලි ගී හඬ දෙසවනේ දෝංකාර දුන්නා ය.අම්මා ඈත දෙව්ලොවක හිඳ බලා සිටින වග සිතමින් ඇය අහස දෙස බලා හුන්නා ය. රාත්‍රියේ වැහි ඇද වැටුණු හෙයින් එකදු තරු කැටයක්වත් අහසේ නැත.නමුත් අම්මා තමා නොපිළිගන්නට හේතු නැතැයි මේඝා සිතුවේ දෙකම්මුල් තෙත්ව යද්දී ය.

“සූසයිඩ් කරගන්න එක පවක් කියල කිව්වට දිවි නහ ගන්න හිතන මනුස්සයෙක් එතැනට අරන් යන අයත් පව් පුරෝගන්නවා කියලා කියන් නැත්තේ ඇයි අම්මේ.. කෙනෙක්ව මැරෙන තැනටම අරන් ඇවිල්ලා ජීවිතේ එපා කරන මිනිස්සු යන්නේ මොන අපායට ද?”

මේඝා අම්මාගෙන් එසේ අසමින් දෑස් තද කර පියා ගත්තා ය.වැව් දිය ඈ පිළි ගන්නට බලා සිටියේ සඳ වතුර සමඟ මුසු වෙමිනි.

තරිඳු පෙරිමියන්කුලම වැව අසලින් රිය ධාවනය කළේ ඒ මොහොතේ ය.වැව් දිය දෙස බලා ගත් වනම හිඳින තරුණිය ඇස ගැටෙද්දී හොල්මන් සහ අවතාර විශ්වාස නොකරන මුත් ඔහු මඳක් සසැලුණේ ය.එහෙත් මේ භූතාත්මයක් හෝ මල් නෙළන්නට ආ යුවතියක නොවන බව ඔහුට එක්වරම සිතිණ.තරිඳු රිය නවතන්නට සිතද්දීම තරුණිය වැව් දියට පැන්නා ය.නොදන්නා ගම්මානයක නොදන්නා තරුණියක ගැන දෙවතාවක් සිතන්නට තරිඳුට කාලය නොතිබිණ. පාසල් කාලයේ පිහිනුම් ශූරයා සහ බාලදක්ෂයා වහා දිවගොස් වැවට පැන ගත් අතර මේඝාට ජීවිතය හා සටන් කරන්නටවත් වෙහෙස වන්නට සිදු වූයේ නැත.කුඩා සිරුරක් ඇති නොදන්නා තරුණිය වැව් දියෙන් මෙගොඩට ගෙන එන්නට පිහිනීම විනෝදාංශය කරගත් තරිඳුට අපහසු නොවිණ.

තරිඳු එනතුරු මඟ බලමින් හුන් දිනිඳු තරිඳුගේ ඇමතුමට සම්බන්ධ වූයේ ඔහු ළඟ ළඟම බව සිතමිනි.වෙහෙස පිරුණු කටහඬැතිව හති හලන සහෝදරයාගේ හඬ ඔහුව කලබල කළේ ය.

“අයියා.. මං ඔයාලගෙ ගමේ වැව ගාව ඉන්නෙ..ගර්ල් කෙනෙක් වැවට පැන්නා. මං එයාව බේරා ගත්තා. ඒ ළමයට සිහියක් නෑ. ඉක්මනට එන්න..”

හදවතේ හටගත් සැකය නිසා දිනිඳු නිවසේ දොර වසන්නටවත් කල් නොගෙන නිදා හුන් ඉනුලිව මෝටර් රථයේ අසුනක හොවා වැව වෙතට ඉගිලුණේ ය.

දැඩි වෙහෙසක් දැනුණ ද සිහි විසඥව ගිය තරුණිය දෙස නෙත් නොහෙළා බලා හුන් තරිඳුට පාන්දර ලා අඳුර මැදින් පවා එහි හුරුපුරුදු රේඛාවන් සිහි විණි.ඔහු තෙත බේරෙන ඇඳුම් පිටින් ඈ අසල හිඳ තාරුකාගේ කෙටි පණිවිඩය විවෘත කළා ය.

“පෙරිමියන්කුලම වෙද මහත්තයගෙ ගෙදර මේඝා ඉන්නේ..”

අන්තර්ජාලයේ සංසරණය වූ මේඝාගේ ෆේස්බුක් ඡායාරූප කිහිපයක් දුරකථන ගබඩාවේ වූ බව තරිඳුට සිහි විණි. ඔහු ඉන් එකක් තෝරාගෙන ප්‍රවේසම් සහගතව එදෙස බැලුවේ ය.

ජීවිතය අතැර යන්නට ගිය යුවතිය කවුදැයි හඳුනා ගැනීම තරිඳුට අපහසු වූයේ නැත.

5 3 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments