මන්දාරම් හැන්දෑවක -30

දෙසැම්බරයේ සීතල සුළඟ වැව් දිය හා මුහු වී හමන්නේ ගත හිරිගඩු නංවමිනි. මේඝා සැඳෑ අඳුර ගලා එන්නට හැර මිදුලේ ඇවිදිමින් හුන්නේ කුඩා සෙනුජ ඔසවාගෙන ය.දහඅට මස් වියැති සෙනුජට එක තැනක එක මොහොතක් රැඳීම බොහෝ අපහසු ය. ඔහු නොනවත්වා එහෙමෙහෙ දුවන්නටත් වල් පැළ උගුල්ලා කටේ දමා ගන්නටත් හපනෙකි.නමුත් රෑ කළුවර වැටෙද්දී එවැනි හපන්කම් මඳකට පසෙකින් තබා කාගේ හෝ ඇකයේ එල්ලී හිඳින්නට සෙනුජ කැමති ය.මේඝා පෙර පාසලේ නිතර ගැයූ ගී ගයමින් ඔහු සමඟ ඇවිද්දා ය.සෙනුජ ඒවාට අ‍ත්වැල් අල්ලමින් හිනා පා කරමින් සිටියේ ය.මේඝා කොහොඹ ගස යට බංකුවේ හිඳ ගත්තේ සෙනුජ ඇකයේ හිඳුවාගෙන ය.

“අපි ඔයාගේ බිනර බාප්පා එනවද බලමු සුදු පුතේ..” සෙනුජ පිළිතුරු ලෙස කැඩුණු සිංහලෙන් පවසන දේ අසන්නට මේඝාට සැබෑවටම උවමනාවක් තිබුණේ නැත.බිනර ඒදැයි මඟ බලන්නට ආවාට දෑස මඟ බලන්නේ බිනර වෙනුවෙන් නොවන බව ඇගේ ඇතුළු හෘදය දැන සිටියා ය.

“දිනිඳු අයියා ගැන හීන මවන්න ගත්තා කියන්නෙ මං තාමත් මට්ටු වෙලා නෑ කියන එක.කෙල්ලෙකුට ජීවත් වෙන්න පිරිමියෙක් ඕනම නෑ.” එවැනි තීරණයක් ගෙන තවම දිනක්වත් ගෙවී නැති බව මේඝාට සිහි විණ.ඇගේ දෙතොලේ සිනාවක් ඇදී මැකී ගියේ එනිසා ය.ප්‍රේමයක් ගැන නොසිතා ඉන්නට හදවතට තරවටු කළ නමුත් දිනිඳු හිත පුරා බර අඩි තබමින් ඇවිද යන බව ඈ තේරුම් ගත්තා ය.එය සුව කළ නොහැකි රිදුමක්ව මිහිරි වේදනාවක් ව හද පුරා පැතිරෙමින් තිබෙන බව ද මේඝාට දැනෙන්නට විය.

“ආදරේ හරියටම හිතට දැනුණම ඉතිං කොච්චර අමතක කරන්න හැදුවත් බෑ..නීති දාන එකයි එයා ළඟම ඉන්න ආස වෙන එකයි දෙකක්..මට මේ දරුණුවට හැදිල තියෙන්නෙ ඔය කිව්ව දෙවෙනි ලෙඩේ.”

තාරුකා දිනක් පෙම්වතුන් ගැන කතාබහකදී එසේ කී අන්දම මේඝාට මතක ය.තාරුකා සහ ඇගේ පෙම්වතා තරම් ජනිඳු ඈ සමඟ බැඳී නොසිටීම ගැන මේඝාට මුල්ම රතු එළියක් පෙනුණේ එදා ය.

“ජනිඳු ඔයාගේ ෆස්ට් ලව් එකනෙ මේඝා.මං මෙහෙම කීවට උඹ තරහ වෙන්නෙපා හොඳේ.සමහරුන්ට ෆස්ට් ලව් එක හොඳ එක්ස්පෙරිමන්ට් එකක්..අර බස්වල දාන ජනප්‍රිය සිංදුවක් තියෙන්නේ, ස්තූතියි ආදරේ ගැන පාඩමක් ඉගැන්නුවට කියල.ඒවට හිනා උනාට සමහර වෙලාවට ෆස්ට් ලව් එක කියන්නෙ අපිට ආදරේ ගැන පාඩං උගන්නන ටියුෂන් එකක්.ඩිග්‍රි එක හම්බෙන්නේ ඊට පස්සෙ.මං නම් කියන්නෙ අපි එහෙම පාඩම් ඉගෙන ගන්නත් ඕන..”

ජනිඳුගේ සෙල්ලකාර ජීවිතය සහ තමන්ගේ අනාගතය ගැන දැනෙන බිය ගැන තාරුකා හා පවසද්දී ඈ කීවේ එහෙම කතාවකි.නමුත් ජනිඳු ආදරය ගැන ඉගැන්වු පාඩම්වලට ස්තූතියි කියා සෑහීමකට පත් විය හැකිදැයි ඈ ඊළඟ මොහොතේ සිතුවා ය.අතීතයේ නොපැටලෙන්නට ඇයට උපදෙස් ලැබුණේ මනෝ වෛද්‍යවරියගෙනි.මේඝා වහා වර්තමානයට ඇවිද ආවා ය.පුංචි ඈත කල්පනා සාගරයක කිමිදෙන අන්දම ඇඟිල්ලක් කටේ ගසාගෙන රස විඳිමින් හුන් සෙනුජ නින්දට වැටී තිබිණ.මේඝා ඔහුගේ සිනිඳු කෙහෙරැලි සිප ගත්තේ ආදරයෙනි.මෘදු ළඳරු ෂැම්පු සුවඳක් නැහැතුඩු සිපගනිද්දී මේඝාට මවක් වීමේ හදිසි ආශාවක් හට ගත්තේ ය.

“අපේ ගෙදර ඉන්නෙ කොල්ලො තුන්දෙනෙක්නෙ.අම්මා ආස කෙල්ලන්ට.ඒ නිසා ඔයා අපේ ගේ පිරෙන්න කෙල්ලො හදන්න හොඳේ..”

ජනිඳු දිනක පැවසූ අන්දම යළිත් සිහි වෙද්දී මේඝා වහා ඒ මතක අමතක කරන්නට තැත් දැරුවා ය.

“ඉන්ටර්නෙට් එකේ වයිරල් ගිය ලීක් වීඩියෝ එකක ඉන්න ගෑනියෙක්ගෙ බඩින් තමන්ගේ ළමයින්ව හදා ගන්න කැමති වෙන්නෙ නෑ මොනම කෙල්ලක්වත්..මං නිකං බොරු හීන දකිනව..”

මේඝා සෙනුජ පහසු ඉරියව්වකට ගත්තේ ඔහුගේ නින්ද නොබිඳෙන්නට ය.දිනිඳුගේ මෝටර් රථය පැමිණියේ ද ඒ මොහොතේ ම ය.

“අයියා, ඉනූ නම් බත් කනව තාම.අපේ අක්කා එක්ක.මං පුතාව තියල එන්නං..”

මේඝාගේ සිනාව අහුලා ගත් දිනිඳු ඇය සෙනුජ තුරුළු කරගෙන යන අන්දම දෑස් නොපියා බලා හුන්නේ ය.ප්‍රේමය ඉපිදෙන්නට ඇගේ එක් සිනාවකට හැකි බව ඔහුට වැටහුණේ ඒ මොහොතේ ය.බොහෝ කාලයක් නියඟයට හසු ව තිබූ හදවත හීන් හිරි පොදකින් තෙමෙන බව ඔහුට දැනිණ.

“ඉනුයි අපේ සෙනුයි දෙන්නා අහන කතාව තාම බාගයක්වත් ඉවර නෑ.බත් කන්නයි කතා අහන්නයි තව සෑහෙන වෙලාවක් යයි.අයියට තේ එකක් ගේන්නද? නැත්නම් තව ටිකකින් බිනර එයි.එතකොටම තේ හදන්නද?”

මේඝා අසද්දි දිනිඳුට යමක් සිහි විණි.නමුත් ඒ ප්‍රශ්නය මේඝා බාර ගන්නා අන්දම ගැන ද ඔහුට සැකසංකා ඉපදිණ.

“නංගි..මං පොඩි දෙයක් අහන්න හිටියෙ.ඇත්ත කියන්න හැබැයි..” ඔහු එසේ අසද්දී මේඝාගේ හදවත වේගයෙන් ගැහෙන්නට ගත්තේ ය.නමුත් ප්‍රේමාරධානාවක් එසේ සම්ප්‍රදායික වචනවලින් කරන්නට තරම් දිනිඳු ළාබාල කොල්ලෙකු නොවන බව සිහිව මේඝා හිස සැලුවා ය.

“ඔයා මෙහෙට එනකොට බිනරයි සඳලියි බ්‍රේකප් උනු ගාණටනෙ හිටියෙ.සඳලිම නවත්තලා තිබ්බ සම්බන්ධයක් ආයේ පටන් ගන්න උදව් කරන්න නංගි හිතුවෙ ඇයි? ඔයා මෙහෙ ඇවිත් බිනරට ක්ලෝස් වුණු ඉක්මනට මම හිතුවේ ඔයාලා අතර රිලේෂන්ශිප් එකක් ඇති වෙයි කියලමයි..”

මේඝා හිනැහුණා ය.මල් පිපෙමින් තිබූ සේපාලිකා ගසට ඈ සමාන කරමින් දිනිඳු නෙත් නොපියා ඈ දෙස බලා සිටියේ ය.

“ආදරයක් විතරක් නෙවෙයිනෙ අයියේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතරෙ තියෙන්න පුලුවං..මට කවදාවත් පිරිමි ළමයෙක් හොඳ යාළුවෙක් වෙලා ඉඳල නෑ.හැබැයි බිනර ඒ තැනට ආවා.ඒක හරි ආරක්ෂාකාරී හැඟීමක් කියලා මට හිතෙන්න පටන් අරන් තිබ්බෙ.බිනර මට ආදරෙයි කිව්වත් මං එයාට මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් වෙන්න ඉඩ දෙන්නෑ. ඕන දෙයක් බෙදා ගන්න පුලුවං මේ බැඳීම මගෙ හිතට හයියක්.බිනර කවදාවත් මාව ජජ් කරන් නෑ..මට අඬන්න දෙන්නෙත් නෑ.ඒ වගේ යාළුවෙක් මීට කලින් හිටියා නම් මම ජනිඳුගෙ උගුලට අහු වෙන එකකුත් නෑ..”

මේඝා කියවාගෙන ගියා ය.ජනිඳු සිහි කරද්දී ඇගේ හඬ බිඳුණා ය.

“මං ආදරේ නිසා දුක් විඳින කෙල්ලක් අයියෙ.මට ඇත්තටම ඕන උනේ නෑ තව කෙල්ලෙක් දුක් විඳින හැටි අහන් ඉන්න.බලන්නකො දැන් ඒ දෙන්නා කොච්චර සතුටිං ඉන්නවද..ආදරයක් නිසා කාටවත්ම දුක් විඳින්න වෙන්න නරකයි.”

මේඝා එසේ කියද්දී ඇගේ දෑස් මත ලා තෙතක් ඇඳෙනු දිනිඳු දුටුවේ ය.ඔහු තවත් ප්‍රශ්නයක් සීරුවෙන් අසන්නට සිතුවේ ය.

“නංගිගෙ තාත්තල දන්නවනෙ ඔයා මෙහෙ කියල.ජනිඳුට ඒ ගැන ඔයාගෙ පුංචි අම්මවත් නොකියා ඉන්නෙක පුදුම නැද්ද?”

මේඝා පැහැදිලි සිනාවක් නඟා දිනිඳු දෙස බැලුවා ය.

“සින්ඩරෙල්ලගෙ කුඩම්මා වගේ කුඩම්මලා නෑ අයියෙ දැන්.ගොඩක් අය හස්බන්ඩ්ගෙ ළමයින්ටත් ආදරෙයි.මගේ පුංචිඅම්මත් මට වෙනසක් කරලම නෑ. එයා මටඅම්මා වගේ ආදරේ නම් උනේ නෑ.ඒත් නපුරුත් නෑ. ඔය වීඩියෝ එක නිසා නම් එයා මට හුඟාක් ගැහුවා.මම එයාගෙන් ජීවිතේට ගුටියක් කෑවේ එදා.මට හිතෙනවා එයාට ඇත්තටම දුක හිතිලයි ගැහුවෙ.අවුරුදු අටක් නවයම් එයා හදාගත්තු ළමයා එහෙම දෙයක් කරගත්තම ලැජ්ජ හිතෙනවනෙ.”

එසේ කී මේඝා ඈත ආකාසය දෙස නෙත් යොමා ගත්තා ය. නිවෙමින් දිලිහෙන තාරකාවකට වී මානෙල් සුවඳ දෙන සදෙව් ලෝකයක අම්මා හිඳින බව ඈ දැන සිටියා ය.මිනිසුන්ගේ නරක මතක තබා නොගෙන හොඳ පමණක් මතක තබා ගන්නට ඈ කියා දුන් හැටි මේඝාට සිහිව ආවේ ය.

“සමාධි නැති වෙලා දැන් කොච්චර කාලයක් ද..මං හැමදාම මදූටයි වරුණටයි වෙද හාමිනේලටයි කරදර කර කර හිටියෙ ඔය නිසා නංගි.මට හොඳ වයිෆ් කෙනෙක් ලැබෙන්න පුලුවං..ඒත් එයා ඉනූට සින්ඩරෙල්ලාගේ කුඩම්මා වුණොත් වැඩක් නෑ..ඔයා විතරයි ඔහොම කුඩම්මෙකුට දොසක් නොකියා ඉන්නවා මං දැක්කෙ..”

ඉනුලිට දෙවැනි මවක වන්නට තමන්ට අසීරු නැතැයි කියන්නට තරම් උවමනාවක් මේඝාගේ හදවතේ ඇවිලෙන්නට විය. ඇය සසැලෙමින් බලා සිටියා ය.

“සමාධි නැති වෙලා හෙටට අවුරුදු හතරක් නංගි. මායි මගෙ පොඩි එකියි කල්ප හතරක් විතර ගෙවා ගත්තා කියල හිතෙනව.ඒත් එයා කොහෙහරි ඉඳන් දුව දිහා ආදරෙන් බලන් ඇති.ඒකයි දූට ඔයාල වගේ ආදරේ පිරුණු මිනිස්සු මුණ ගැහෙන්නේ..”

දිනිඳුගේ හඬ බිඳී ගියේ ය. මේඝා නිරුත්තරව බලා සිටියා ය.තරුණ මිනිසෙකු කුඩා දියණියක තනිව උස්මහත් කිරීම ගැන ඇයට දැනුණේ ගෞරවයකි.තාත්තා කුඩම්මෙකු ගෙන ආවේ තමා වැඩිවියට ද පැමිණ සිටිය දී ය. එක් එක් අයට විවිධ තෝරා ගැනීම් තිබිය හැකි වුව ද ඇයට දිනිඳු ගැන පහන් හැඟීමක් ඉපදෙමින් තිබිණ.

“හෙට අපි ශ්‍රී මහා බෝධියට ගිහින් අක්කට පිං දෙමුකො අයියෙ..” එසේ කීවාට පසු එවැනි අදහසක් එක්වරම පැවසීම ගැන මේඝාට දැනුණේ කෝල හැඟීමකි.

“අක්කලත් එයිනෙ.බිනරටත් කියමු..” ඇය ඌණපූර්ණය එක් කළා ය.

“කාටවත් බැරි වුණොත් දූයි මායි එක්ක නංගි එන්නකො.ඔයා කොච්චර හොඳද කියල සමාධිම තීරණය කරලා හීනෙන් හරි ඇවිත් මට කියයිනෙ..”

බරාඳයට ආ වරුණ වෙත යන්නට පෙර දිනිඳු එසේ කීවේ ය.එවගක් පවසා ඔහු නික්ම ගිය පසු මහා බරක් හදවතේ පටවා ගත් මේඝා නොසන්සුන් ව මිදුලේ සක්මන් කරන්නට පටන් ගත්තා ය.ඉනුලිගේ අම්මා තමන්ව මොනතරම් හොඳදැයි තීරණය කළ යුත්තේ ඇයිදැයි අනුමාන කරද්දී මතුව ආ හැඟීම් මේඝා විඳගත්තේ අසීරුවෙනි.හඬන්නට ද හිනැහෙන්නට දැයි නොදැන ඇය ඔහේ බලා සිටියා ය.

4.4 5 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika Vitharana
4 months ago

ඉක්මනින් ඒ දෙන්නව එකතු කරන්න අනේ..