මන්දාරම් හැන්දෑවක – 38

දිනිඳු කොළඹ එන්නට පිටත් වූයේ උදෑසන පළමු හිරැරැස් පෙරිමියන්කුලමට එබෙන්නටත් හෝරාවක් තිබියදී ය.පහව නොගිය නිදිමත සහිත කුඩා ඉනුලි වෙද ගෙදරට රැගෙන ගිය වහා මේඝාගේ කර මත නිදා ගත්තේ තාත්තාට සමු දෙන්නටවත් වගක් නැතිව ය.

“අයියා ඇත්තටම ඇයි කොළඹ යන්නේ? ජොබ් එක සම්බන්ධ දේකට ද?”

මේඝා ඇසුවේ දෙගිඩියාවෙනි.ඉනුලිගේ අයිතිය ඉල්ලන්නට යා යුතු බව දිනිඳු පැවසූ අන්දම ඇයට අමතක වන්නේ ද නැත.

“නංගි, මං ඇත්තටම යන්නේ ගෙදරට.අවුරුදු හයකින් යන ගමනක්.ආයේ යැවෙන්නෙත් නැති වෙයි.ඒත් මේ වතාවෙ යන්නම වෙනව..”දිනිඳු පවසන්නේ බර වූ හදවතිනි. “මේ ගමන ඔයා වෙනුවෙන් යන ගමනක්.” එසේ කියන්නට නොහැකි වීම ගැන ඔහුට දැනුණේ දුකකි.එහෙත් ජනිඳු හමු වී සියල්ල නිරාකරණය කරගෙන මේඝාට විවාහ යෝජනාව ඉදිරිපත් කරන්නට දිනිඳු ඉටාගෙන අහවර ය.

“අයියෙ,ඔයා තනියෙං යන්න? ඔයා කියපු දේවල් එක්ක මට බයයි. බිනර හරි අපෙ අයියා හරි එක්කන් යන්නකො..”

මේඝා අයැදුවා ය.ආදරය පිළි ගන්නට නොහැකිව සසැලෙද්දී සමාධිගේ දෑස් මත වූ සඟවා ගත් ආදරය මේඝාගේ දෑසේ ඒ අයුරින්ම දකින්නට දිනිඳුට හැකි විණි.ඔහු සුසුමක් හෙළුවේ සැනසීමෙනි.යළිත් තමා එනතුරු මඟ බලන්නට තවත් ආදර දෑසක් ඉනුලි සමඟ එක් වී තිබීම ගැන ඔහු සැනසීමට පත් විණි.

“නංගි, තරිඳු ඉන්නවනෙ.අපි දෙන්නත් එක්ක සමහර කාරණා විසඳන්න යන්නෙ. මල්ලිත් ආපහු ඉක්මනින් යන්න හදන්නෙ.ඒ නිසා අපි මේ දේවල් විසඳා ගන්නම ඕන.බය වෙන්න එපා. මං ඉක්මනට එනවා..ඔයා දූව හොඳට බලා ගන්න..”

දිනිඳු සමු ගත්තේ ජනිඳුගේ පාර්ශවයෙන් මේඝාට මතුවට එල්ල විය හැකි හැම බලපෑමක් ම පාලනය කරන අන්දම ගැන සිතමිනි.ජනිඳු හමු වීම මිස තාත්තා හමු වී ඉනුලි ගැන හෙළි කිරීම ඔහුට තව දුරටත් අවශ්‍ය වූයේ නැත.තාත්තා හිඳින්නේ නොදැකිය යුතු මිනිසුන්ගේ කාණ්ඩයේ බව දිනිඳු සිතුවේ අනුරාධපුර නගර සීමාව පසු කරද්දී ය.

කාලාන්තරයකට පසු නිවෙස බලා යද්දී එහි ගින්නක් ඇවිලෙමින් ඇති බව ඔහු දැන සිටියේ නැත.උදෑසන ගෙවෙමින් තිබියදී ඔහුට තරිඳුගෙන් ඇමතුමක් පැමිණියේ කඩවතින් අධිවේගී මාර්ගයට පිවිසෙන්නට ඔන්න මෙන්න තිබිය දී ය.

“අයියා කොහෙද දැන්?” තරිඳු අසද්දී දිනිඳු තමන් සිටින ඉසව්ව පැවසුවේ ය.

“අයියා ගෙදර නෑවිල්ල නිමාෂාලගෙ ගෙදර යනවද?මාත් එහෙට එන්නං..”

තරිඳු පවසන්නේ යමක් සඟවාගෙන වග දිනිඳුට සිතිණ.ඇතැම්විට තාත්තා නිවසේ හිඳිනවා විය හැකි යැයි ඔහු සැක කළේ ය.නමුත් දිනිඳුට තාත්තා සමඟ පැටලෙන්නට දැන් උවමනාවක් නොවිණි.

“අයියට මේක අහල අමුතු කලබලයක් එන් නෑ කියල දන්නව.ඒත් අයියත් අදම කොළඹ ආපු එක ඉන්විස්ටිගේෂන් වලට ගැටලුවක් වුණොත් අයියටමයි කරදරේ..”

තරිඳු එසේ කියා මොහොතක් නිහඬව සිටියේ ය.සුසුමක බර සහිතව නැවත ඔහුගේ හඬ දුරකථනය දිග ගලා ආවේ ය.

“තාත්තව අද උදේ ඇරෙස්ට් කරල අයියෙ.ඩ්‍රග්ස් සීන් එකක්.ගාමන්ට් එකේ ස්ටොක් එක්කම ඩ්‍රග්ස් ගෙන්නල කියලයි කියන්නෙ.සාක්කිත් එක්කම අහු වෙලා.ගෙදරත් සර්ච් කරා.අර මෝඩයා ගාව තිබ්බනම් මිසක ගේ අස්සෙනම් මොනව තියෙන්නද?”

දිනිඳු කාරය මාවත අයිනකට කර නවතා ගත්තේ ය.තමන්ට මිය යන්නට අවශ්‍ය බව කියමින් විලාප දෙමින් හැඬූ සමාධිගේ අහිංසක දෑස ඔහුට මැවී පෙනෙන්නට විය.දන්නා සියළු වෛද්‍ය විද්‍යාව අමතක කර දමා ඇගේ මානසික පීඩාව ඇයව පිළිකාවක් කරා ගෙන යන්නට ඇතැයි හිතෙන හැඟීමට හදවතට පීඩා කරන්නට ඉඩ දෙමින් ඔහු බොහෝ වෙලාවක් සුක්කානමේ හිස ගසාගෙන සිටියේ ය.සොබාදහම ඉවසීමෙන් බොහෝ දේ විසඳන බව ඔහු සිතුවේ අධිවේගී මාර්ගයට මෝටර් රථය ඇතුළු කරන අතර ය.තාත්තාගේ වේගවත් අසංවර ගමනේ මතක මැද ඔහු නුගේගොඩ පිහිටි නිමාෂාගේ නිවසට ගියේ බර වූ හදවතිනි.

“තාත්තත් නොයෙල් මාමව ඇරෙස්ට් කරන වැඩවලට සම්බන්ධ නිසා නැන්දි මගෙන් නම් පොඩිම උපදෙසක්වත් ඕන නෑ කියල හොඳටම බැන්න..”

නිමාෂා පැවසුවේ කළකිරුණු හඬකිනි.තරිඳුටත් දිනිඳුටත් දෙන්නට පිළිතුරක් තිබුණේ ද නැත.

“ඩ්‍රග්ස්,ඇල්කොහොල් නිසා වෙන ගෘහස්ථ හිංසන ගැනයි, ගෑනු අය ඩ්‍රග් ඇඩික්ට් වෙන එක ගැනයි නැන්දි ආණ්ඩුවටයි අනිත් මිනිස්සුන්ටයි බැන බැන පත්තරවලටත් ආටිකල් දෙනව.ටීවි,රේඩියෝ, යූ ටියුබ් වලත් කෑගහනව..දැන් බැලින්නම් ලංකාවෙ හොඳටම ඩ්‍රග්ස් ඩීල් කරල තියෙන්නෙ නොයෙල් මාමා..දැන් නැන්දිට ගහන්නෙ එයාගෙම කඳවුරේ මිනිස්සු..නොයෙල් මාමාට එළියට එන්නත් බෑ.නැන්දිට ගැලවීමකුත් නෑ..”

නිමාෂා කියන කාරණා ගැන දෙසොහොයුරන්ට වේදනාවක් දැනුණේ ම නැත.දෙමාපියන් ගැන හැඟීමක් නොමැතිව ඔවුන් කරදරයක පැටලුණු මොහොතේ ඉවත බලන්නට සිතෙන මට්ටමේ දරුවන් වෙන්නට සිදු වීම ගැන ඔවුන් දෙදෙනාටම ශෝකයක් නොදැනුණාම නොවේ.එහෙත් මේවා තමන්ට අත පෙවිය නොහැකි කාරණා යැයි ඔවුහු තීරණය කළ හ.

“ලොකු පුතා මැරේජ් එකත් එක්ක ගෙදරින් අයින් වෙලා අනුරාධපුරේ හිටියා කියලත් සුදු පුතා හිටියෙ ඇමරිකාවල කියලයි පොලිසියෙන් දන්නව.මේක සීඅයිඩී කේස් එකක් නිසා ඔයාලට නම් අවුලක් නෑ. ජනිඳු බිස්නස්වලට ජොයින් නිසා මිනිහට නම් කට උත්තර දෙන්නත් වෙයි.අක්කට මේක බලපාන හැටිත් මට තාම අයිඩියා එකක් නෑ.”

රාත්‍රිය උදා වෙන්නට පෙර දෙසොහොයුරන් නිමාෂාගේ නිවසින් සමු ගන්නට සැරසෙද්දී නිවසට ආ හේමන්ත සල්වතුර මහතා පැවසුවේ ය.

“ලොකූට මෙහෙ හොස්පිටල් එකකට මාරුවක් ගන්න කියල නම් මම කියන් නෑ.ඔයා එන්නෙ නෑ.ඒත් සුදූට පුලුවන් නම් ඔය බිස්නස් හැම එකක්ම බාර ගන්න.ඔය ඩ්‍රග්ස් කතන්දර සුද්ද වෙලා ගියාට පස්සෙ ඒවා පිළිවෙළකට කරන් යන්න..තාත්තට ආයේ එළියට ඒමක් නෑ..”

මාමා, හේමන්තගේ කතාව තරිඳු හිතට ගන්නට ඇතැයි දිනිඳුට සිතුණේ ඔහු නිවසට එනතුරුම දිගු කල්පනාවකට පැටලී සිටි නිසා ය.

උපන්දා පටන් හැදී වැඩුණු නිවස සය වසරකට පසු දකිද්දී දිනිඳුගේ සිත ප්‍රීතියකින් ඔද වැඩී ගියේ නැත.සුවිසාල මැදුරක කිසිදා නොවිඳි ආදරය පෙරිමියන්කුලම කුඩා නිවසේ පිරී තිබූ හැටි ඔහු ඒ වෙනුවට සිහි කළේ ය.බිනරගේ නිවසට යාබද ඉඩමක් මේඝා නමට පවරන්නට වෙද මහතා කටයුතු කර ඇති බව සිහි කරමින් දිනිඳු සය වසරකට පෙර තමන් හුන් කාමරයට ඇතුළු විය.

“ඔයාව කවදාවත් මට මේ කාමරේට මේ ගෙදරට එක්කන් එන්න බැරි වෙයි මේඝා.ඒත් අපි ඔයාගේ අලුත් ඉඩමෙ ලස්සන ගෙයක් හදමු.ඉනුලිට ඒ ගෙදර එයාගෙ ගේ උනාම ඇති. එයාගෙ මල්ලිලා නංගිලා එක්ක අපි ආදරේ විතරක් ඒ ගේ ඇතුළේ පරිස්සං කරගමු..”

මේඝාට කිලෝමීටර සිය ගණනක් දුරක හිඳිමින් දිනිඳු එසේ මුමුණා ගත්තේ ය.ජනිඳු එනතුරු කළ යුතු දේ සිතමින් ඔහු තරිඳුගේ කාමරයට ගියේ පැරණි කාමරය මතක අවුලුවාලමින් හදවත ගිනි තබනවා මිස වෙනත් දෙයක් නොකරන නිසා ය.සාලයේ කොනක එකිනෙකා වැළඳගෙන සිටින කුඩා පිරිමි දරුවන් තිදෙනාගේ සේයාරුව දෙස නොබලාම මතු මහලේ වූ තරිඳුගේ කාමරයට යන්නට දිනිඳුට ඕනෑ විය.ඒ දරුවන් තිදෙනාට ඒ ළමා කාලය යළි ලැබෙන්නේ නැත.කුඩා කුරුළු පැටවුන් සේ වැඩුණු සැප සම්පත් උතුරා යන ජීවිතයක් වූ වග ද එහෙත් මව්පිය සෙනෙහස දරුණු ලෙස මඟ හැරී ගිය බව ද දිනිඳුට අමතක නොයේ.බිඳී ගිය බැඳීම් පිරියම් කළ නොහැකි තැන අත්හැර දැමීම ම තෝරා ගන්නට ඔහු ඉටා ගත්තේ ය.තරිඳුව අත නෑර දරා ගන්නටත් මේඝා සහ ඉනුලි ගැන සෑම දෙයක් ම ඔහුට හෙළි කරන්නටත් දිනිඳු අවසන් තීරණයක් ගෙන තිබිණ.

එහෙත් අසීරුම කාරණාව මේඝා ගැන විපරම අනවශ්‍ය බව ජනිඳුට හෙළි කිරීම ය.ඔහු කුඩා වියේ පටන්ම එපා කී දේ කැමැත්තෙන් කරන්නෙකු බව දිනිඳු දැන සිටියේ ය.ඉතින් මේ ගැටලුව විසඳීම පහසු වන්නේ නැත.එහෙත් උත්සාහ කර බලන්නටත් ඊටත් පසු තරිඳු කියන අන්දමට ජනිඳුට අවසාන අනතුරු ඇඟවීම කරන්නටත් දිනිඳු තීරණය කළේ ය.

සටනකින් තොරව ජය ගැනීම පහසු වන්නේ නැත.අවුරුදු විසි ගණන් වල කොල්ලෙකු කාලයේ තමන්ගේ පළමු ආදරය වෙනුවෙන් යුක්තිය ඉටු කරගන්නට තරම් ශක්තිවන්තයෙකු වීමට නොහැකි වීම දිනිඳුට තවමත් වේදනාවකි.සමාධිව උතුරා ගලන ප්‍රේමයෙන් සුවපත් කරමින් අත් නොහැර ළඟ රැඳීම විනා ඇයට වූ බලවත් අසාධාරණය වෙනුවෙන් සටන් කරන්නට දිනිඳු සමත් වූයේ නැත.එහෙත් දැන් ඔහු අත්දැකීම් සහ ජීවිතය අතින් පරිණත මිනිසෙකි.අවසන් ආදරය ප්‍රේමයෙන් සුවපත් කරන’තර ඇයට වූ අසාධාරණය වෙනුවෙන් සටන් වදින්නට ඔහු ඉටා ගත්තේ ය.

ජනිඳුගේ රිය පැමිණ නැවතෙන හඬ ඇසුණේ ඒ මොහොතේ ය.

5 4 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Sudharshana Abeyrathne
4 months ago

Ikmanata heta wenakam balan innawa.
Janiduta burulak denda epa.