නැකතට උතුරවන්නේ එළකිරිද පොල්කිරිද?

අලුත් අවුරුදු උදාවෙනකොට අපි අලුත් අවුරුද්ද පිළි ගන්නේ කිරි උතුරවමින්.සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පිළි ගනිද්දී වගේම දෙසැම්බර් තිස්එක් වැනිදා රාත්‍රියටත් අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි,

“අපි උතුරවන්න ඕනෑ පොල්කිරි ද එළකිරි ද?” කියන දේ.

බොහෝ වෙලාවට සමාජයේ මත ගැටුම් පවා මේ සම්බන්ධයෙන් ඇති වෙනවා. ඉතින් අපි හිතුවා මේ ගැන ජේෂ්ඨ ජොතිෂ්‍යවේදිනියක වෙන සංගක්කාර මහත්මියගෙන් අහන්න.

ඇත්තටම හොඳ එළකිරි ද පොල්කිරි ද කියන කාරණාව තුළ “අනුන්ගේ ලේ උණු කරන්න එළකිරි ගන්න හොඳ නෑ” කියන වැරදි මතය සමාජයේ තියෙනවා.ඒත් අපි විද්‍යාව ගැන හොඳින් දන්න,පාසලේ දී විද්‍යාව අවුරුදු පහහයක්වත් ඉගෙන ගත්තු අය විදියට දන්න කාරණාවක් තමයි, ඕනෑම සත්ව වර්ගයක ගැහැනු සතෙකුට එරෙන කිරි ඇගේ ශරීරයේ ස්ථන ග්‍රන්ථි වල නිපදවෙන්නක් බව. ඒ නිසා එළකිරි ද ක්ෂීර වර්ගයක් මිස ලේ නෙවෙයි.

සිංහල අවුරුදු චාරිත්‍ර ඉටු කරන බොහෝ දෙනෙක් බෞද්ධ අය.අපි හොඳින්ම දන්නවා බෞද්ධ සාහිත්‍ය තුළ බුදුරජාණන් වහන්සේට කිරිපිඬු පූජා කළ අවස්ථා ඕනෑ තරම් තියනවා.ඒ ආහාරය සැකසෙන්නේ ද එළකිරි වලින්.ඉතින් බුදුරජාණන් වහන්සේට පවා පූජා කරන්නට එළකිරි සුදුසු වූවා නම් අලුත් අවුරුද්ද අරඹන්නට කිරි ඉතිරවීමට එළකිරි හොඳින්ම ගැලපෙන බව ඔබ තේරුම් ගන්න ඕනෑම දෙයක්.

පස්ගෝරස සඳහා ඇතුළත් වන්නේ ගිතෙල්, වෙඩරු, මෝරු, කිරි, දීකිරි යන එළකිරෙන් සකසන ආහාර. අපේ පුරාණ සිංහලයන් අතර මේ ආහාරවලට තිබූ ඉහළ තැන ගැන ඔබ හොඳටම දන්නවා නේද? ඉතින් එළකිරි සුබ ආහාරයක් බව තේරුම් ගන්න මේ සාධක ඕනෑවටත් වැඩියි.

පොල්කිරි කියන්නේ කෙලින්ම කිරි ලෙස නිපදවෙන දෙයක් නෙවෙයි.පොල් ගසේ ගෙඩියක මදය සූරාගෙන (ගාගෙන) එය මිරිකා ලබා ගන්නා යුෂ තමයි පොල් කිරි කියලා අපි හඳුන්වන්නේ.ඉතින් “කිරි ඉතිරවීම” යුෂ ඉතිරවීමක් නෙවෙයි සැබෑවටම කිරි ඉතිරවීමක් වීම තමයි සිදු විය යුත්තේ.

අන්න ඒ නිසා අලුත් අවුරුද්ද පිළි ගන්නට ඔබ ඉතිරවිය යුතු වන්නේ පොල් කිරි නෙවෙයි. එළකිරියි.

මිථ්‍යා මත වලටත් වැරදි ආකල්ප වලටත් නොරැවටී අලුත් අවුරුද්ද ලබන නැකත එළකිරි බඳුනක් උතුරවා අරඹන්න.

ඔබේ පුංචි පවුලට කිරි මෙන් පිරිසුදු හෙට දවසක් ලැබෙන්න එයත් හේතු වෙනවා නිසැකයි.

තොරතුරු සැපයීම – ජෝතිශ්‍යවේදිනි එන් සංගක්කාර මහත්මිය

Related Articles

Don't Miss


Latest Articles