ඈත දුර ආකාසේ -04

ආකාශය අන්තාපරිමාණ දුරකට විහිදී ඇති අන්දම දෙස නෙත් අලවාගෙන තුරුලි බොහෝ වෙලාවක් ගෙමිදුලට වී සිටියා ය.අහසට තෙරක් නොමැත.එහි පියඹා යා හැකි දුර අසීමිත ය.නමුත් කූඩු කිරිල්ලකට හැකි වෙන්නේ ආකාශය දෙස දෑස් හෙළමින් බලා සිටින්නට බව ඇයට නොහැඟුණා නොවේ.

“හෙටත් නිවාඩුද ලොකූ?”

අම්මා මිදුලට ආවේ තුරුලිගේ සිතුවිලි දැහැන බිම දමමිනි.අහුලාගන්නට තරමට වටිනා සිතුවිලි නොවූ නිසාම ඇය අම්මා දෙසට හැරුණා ය.

“හෙට යන්න ඕන අම්මේ..”

නංගී රවටන්නට නොහැකි වුව ද අම්මා දතේ අමාරුව පිළිගෙන තිබුණා ය.ඉතින් ඈට දැනුණේ වේදනාවකි.අම්මා රැවටීම විශාල මානසික පීඩනයක් බව ඇත්තකි.එහෙත් ආදිත්‍ය මුණ ගැසුණු දිනයේ සිටම තුරුලි අම්මාට විශාල බොරු තොගයක් ඇද බාන්නට පටන් ගෙන තිබුණා ය.

“තාත්තා මේ පාර එන්නේ ආයේ යන්න නෙවෙයිලු.බිස්නස් එකක්වත් පටන් ගන්නව කියන්නෙ. ඔයාලා දෙන්නගෙ දෑවැදිත් ලෑස්ති කරලා ඉවර එකේ තාත්තට දැන් නිදහසේ ඉන්න බැරියැ..”

අම්මා එපමණක් පවසා නිවසට තුළට ගියානම් තුරුලිට වේදනාවක් නැත.එහෙත් අම්මා පැවසූ කතාව ඇයට සුවිශාල වේදනාවක් ගෙන ආවේ ය.

“නංගිට නම් රස්සාවක් පටන් ගන්න තව අවුරුද්දක්වත් යයිනෙ.ඇඳුමකට පැළඳුමකට ටිකක් වියදම් කරාට ලොකු පුතානම් රස්සාවෙන් කීය කීය හරි ඉතුරු කරගන්න එක තාත්තටයි මටයි සැනසීමක්..”

මෙතැන නංගි නොසිටීම ගැන තුරුලිට සැනසීමක් දැනිණ.පාසල් දරුවන් කිහිප දෙනෙකුට ගණිතය අමතර පන්ති පවත්වා සඳලි සැලකිය යුතු මුදලක් උපයා ගන්නී ය.ඇතැම් දිනවල “බස් එකේ යන්න රුපියල් දෙසීයක් දෙනවද නංගි.මං සැලරි ආව ගමන් දෙන්නං” යැයි පවසා ඒ මුදලින් කීයක් හෝ ඉල්ලා ගන්නට තුරුලිට සිදු වේ.

“අර මෝඩයගෙ ජීවිතේට ගොඩ දාගන්න බැරි ගොං බිස්නස් ප්ලෑන් වලට ලෝන් අරන් සැලරි එකෙං තුනෙන් පංගුවක්වත් අතට එන් නෑ. ඒ එන ගාණත් ඌට ඇඳුං ගන්නයි, රීලෝඩ් දාන්නයි, මඟුල් නටන්නයි.ඔලුව නරක් වෙලාද අක්කා..”

රුපියල් දෙසියයක් ඉල්ලූ අක්කා අත මොණර කොලයක්ම තබමින් දිනක් සඳලි බැන වැදුණා ය.ඉතා ආත්මානුකම්පාවකින් හදවත රිදී යද්දී තුරුලි නිහඬවම ඉකි ගසන්නට පටන් ගත්තා ය.

“අක්කා..මට ඔයාට සල්ලි දෙන්න බැරිකමක් නෑ. ඔයාට කියලා සල්ලි ඉතුරු කරාට තාත්තා මටයි කියලා කීයක්ම හරි දෙනවනෙ.අනික දැන් ටියුෂන් වලින් මට හොඳ ගාණක් එනවා. අනේ ඔයා රස්සාවක් නොකර ගෙදර හිටියානම් මං ඔයාට හොඳට සලකනවා.ඒත් ඔයා හරිනම් මටත් ඒවා මේවා අරන් දෙන්න ඕන කෙනා.කොච්චර හොඳ සැලරි එකක් එනවද..ඒවා නිස්කාරනෙ නාස්ති කරන්නේ අර හෝතඹුවා.අනේ මට තරහයි අක්කා..”

සඳලි වේදනාබරව කියවන්නට ගත්තා ය.අහස උසට ඇති ඉගෙනීම් අතර අමතර පන්ති පවත්වමින් ද අන්තර්ජාලයේ විවිධ රැකියා නිදි වරමින් කරන අතර ද මුදල් ඉතිරි කරන රනුක ගැන ඇයට පැමිණියේ සැනසීමකි.ඔහු නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ජීවිතය ඔසවා ගත් සාමාන්‍ය පවුලක දරුවෙකි.නමුත් ඉතාලියේ රැකියාවක් කර මුදල් උපයන සඳලිගේ පියාගෙන් කිසිත් අපේක්ෂා නොකරන්නට තරම් විශාල හදවතක් දරන්නෙකි.ආදිත්‍ය යමක් කමක් ඇති පවුලක තරුණයෙකු වුවද නාස්තිකාරකම හැරෙන්නට කිසිවක්ම ඔහු සතුව තිබුණේ නැත.

“කමක් නෑ.ඔය බිස්නස් දියුණු වුණාම එයා මට බෑන්ක් යන්න දෙන්නෙ නෑ කිව්වනෙ.රනුක නංගිට කවදාවත් එහෙම කියන් නෑ.තව තව එක්සෑම් කරන්නත් නංගිව ස්ට්‍රෙස් කරන්නේ මැරෙනකම් මහන්සි වෙලා සල්ලි හොයන්න..අපිට එහෙම ඕන නෑ..”

සඳලි එපමණ බොළඳ සිතුවිල්ලක එල්බ ගත්තා ය.

“ආ නෝනා..දත සනීප දැන්..”

ඊලඟ සිතුවිලි අහුර බිඳී ගියේ සඳලිගේ හඬිනි.අද ඇය වේලාසනම නිවසට පැමිණ ඇත.

“අහන්නකො.අද මට මියුරු මීට් වුනානෙ..”

මියුරු! අමතර පන්ති ගණනාවක දී තමා ලුහුබැඳ ආ දෑස් තුරුලිට විදුලි වේගයෙන් සිහි විණි.ඔහු නිතරම විමසිලිමත් වන්නේ නංගී ගැන යැයි සිතූ අන්දම ඇයට මතක ය.ආදිත්‍ය සිටියදී තමන් ගැන කොල්ලෙකු උනන්දු වන්නට ඉඩ නැති නිසා ඒ උනන්දුව නංගී වෙත පවරා ඇය තමන්ගේ පාඩුවේ සිටියා ය.

“අර මියුරු ඔයාට කැමතියිලු අක්කා..”

නංගී ඒ ආරංචිය ගෙන ආවේ ඉතා ප්‍රීතියෙනි.නමුත් තුරුලි ඉන් කෝපයට පත් වූවා ය.

“ආදිත්‍ය කියන්නේ බූරුවෙකුට.නොම්බර එකේ රස්තියාදුකාර ගොං වස්සෙක් මට නම් මස්සිනා කරගන්න ඕන නෑ.මියුරු ෂෝක් බ්‍රයිට් කේස් එකක්..”

සඳලි පවසද්දී “එහෙනං තමුසෙ ගිහිං යාලු වෙනවා..” කියමින් තුරුලි ඇයට කඩා පැන්නා ය.එපමණකින් නොනැවතී ආදිත්‍යට මියුරු ගැන පැමිණිලි කරන්නට ද වග බලා ගත්තා ය.කැකිල්ලේ තීන්දු අසන්නට දක්ෂ ආදිත්‍ය මියුරු එන සෑම පන්තියක්ම තුරුලිට තහනම් කළේ ය.ඒ ගුරුවරුන් උගන්වන දෑ නොතේරෙන බව අම්මාට බොරුවට පවසා වෙනත් පන්ති සොයා ගත්ත ද දිනක් සඳලි නිවසට ආවේ කෝපයෙන් ආවේශ වී ය.

“ආදිත්‍ය කියන ගොං වස්සා මියුරුට හොඳටම ගහලා.ඌගෙ රස්තා ගැන්සිය දම්මලා..පව් ඒ ළමයා.මට මූණ බලන්නත් ලැජ්ජයි..”

ප්‍රේමවන්තයෙකු සිටින තමන්ගේ පසුපස ආ යෞවනයා මට්ටු කිරීම ගැන තුරුලි ආදිත්‍ය කෙරෙහි ආඩම්බර වූවා ය.ඊට පසු තරුණයන් කිහිපදෙනෙකුටම ඒ දඬුවම විඳින්නට සිදු විණි.තුරුලි ඒවා සිහි කරන්නේ අභිමානයෙනි.

“වැකේෂන් එකකට ඇවිල්ලා තියෙන්නේ මියුරු. ඔසීනෙ ඉන්නෙ එයා.මං කිව්වා වීකෙන්ඩ් එකක මෙහෙ එන්න කියලා.දැන් ඔයා අර හෝතඹුවාගෙන් සෙපරේට් නේද? මට හිතෙනවා ඔයාට මියුරුව සෙට් කරන්න..”

නංගිගේ කතාවට තුරුලිට මතු වූයේ කෝපයකි.මේ ඇය තමන් සහ ආදිත්‍ය වෙන් කරන්නට උත්සාහ ගත් මුල්ම අවස්ථාව නොවේ.අවසන් අවස්ථාව ද නොවන නිසා තුරුලි කෝපයෙන් රත්ව ගියා ය.

ප්‍රේමයක් ඇති කළ නොහැකි බවත් ඇති විය යුතු බවත් ඇය විශ්වාස කළා ය.එය සත්‍යයක් වුව ද උමතුවක සහ ප්‍රේමයක වෙනස තෝරා ගන්නා තරමට ඇයට නැණස පහළව තිබුණේ ද නැත.අන්ධකාරය තරම් මිහිරියාව උපදවන්නක් නැති බව සිතමින් ඇය ආදිත්‍ය ඉදි කළ අඳුරු ගුහාව ප්‍රීතිය මවන එකම ස්ථානය යැයි සිතමින් සිටියා ය.

3.6 7 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
3 months ago

👍