අලුත් අවුරුදු එන්නේ සතුට බෙදා ගන්න.

අම්මා..මට මේ පාර කැවිලි මොකුත්ම එපා..”

පුතා කුස්සියට එබුණේ එහෙම කියාගෙන.අලුත් අවුරුදු ගැන තේරෙන කාලෙ ඉඳලම අවුරුදු වලට ඕනෑ කැවිලි වල නම් කියමින් ආත්තම්මා බලන්න යන්න පෙරුම් පුරන එයා අද හරිම වෙනස්.

“අම්මා හදන කැවුම් රසයිනේ පුතේ..”

එයාගේ තාත්තා එහෙම කියාගෙන පුතා ළඟට ආවත් පුතා කළේ අහිංසක හිනාවක් දෙන එක විතරමයි.

“අපි කැවිලි හදලා චාරිත්‍ර කරලා දාහතර හවස් වෙලානෙ ගමේ යන්නේ.මට හිතෙන්නේ හිරූ, පුතාට මේ පාර කලින්ම ගමේ යන්න හිතිලා. මල්ලිලත් දහතුන උදේම එනවනෙ.මල්ලිගෙ පොඩ්ඩො දෙන්නා අයියා එනකම් බලාගෙන ඇත්තේ..”

යසිත, මගේ පුතාගේ තාත්තා එහෙම කියනකොට මට හීන් හිනාවක් පිපුණා.අලුත් අවුරුද්දට යසිතගෙ ගෙදර කියන්නේ අවුරුදු ගැන වගේම ගම ගැනත් පුතාට උගන්වන්න නියම තැනක්.අම්මාගේ රස උතුරන කෑමත් නැන්දම්මා කෙනෙක් නොවී මටත් යසිතගේ නෑනා වුණු පබසරා නංගිටත් දෙන ආදරේ හින්දම මම ආසා කළෙත් අවුරුද්දට කොළඹ හිර නොවී ගමට යන්න.කොරෝනා නිසා විදේශයක හිර වුණ මගේ නංගිත් එයාගේ පවුලත් ළඟ ඉන්න අපේ අම්මා නැති නිසා මට යන්න ගමක් නෑ. එහෙමයි කියලා යසිතගේ අම්මා මට අඩුවක් කරන්නෙත් නෑ.

“එහෙනං මම මොකුත් හදන්නේ නෑ.අපි එහෙනම් හෙට උදේම යං.ගමේ ඉන්න නැන්දලා කැවුමේ කොණ්ඩේ එහෙම ගන්නකොට ආසාවේ බෑ යසිත..”

අපේ කතාව මැද්දට පුතා කඩාගෙන වැදුණේ ඊතලයක් වගේ.හරි හදිස්සිකාර හුළඟක් වගේ.

කියවන්න :  කටට රසට උයන්න ඉවුම් පිහුම් රහස්

“අම්මා කැවුම් හදන්න.අපි ගමේ නොයා ඉමු..”

මේ දරුවට මක් වෙලාද? පහ වසරේ පොඩි දරුවෙකුට වුණත් ඇදකුද කියන ආත්තම්මෙක් ඉන්න ගේකට යන්න නම් දරුවෙක් මැලි වෙන්න පුලුවන්.ඒත් ගමට යන ඕනෑ වෙලාවක අපේ පුතාටත් මල්ලිගෙ දරුවන්ටත් මාත් පබසරා නංගිත් ඉන්නවද නැද්ද කියලා මතකයේ නැහැ. අම්මා වටේ කැරකෙමින් කෑමට දේවල් හොයන,හුරතල් වෙන එයාලට එහෙමම ඉන්න දීලා මමත් පබසරා නංගිත් රටේ තියන දාහක් දේවල් කතා වෙනවා.අලුත් ෆැෂන්, ළමයින්ගේ ඉගෙනීම්,රූ රැජිනියන්ගේ ඕපාදූප ලිස්ට් එක තව දිගයි.

“අපි ගමේ යමු පුතේ. අවුරුද්දකට වතාවක්නෙ අපි ගමේ යන්නෙත්..”

මං එහෙම කියනකොට පුතා මුහුණ ඇද කර ගත්තා.ඊටත් පස්සේ මට ළං වුණේ රහසක් කියන්න වගේ.

“අම්මා..අවුරුදු ලස්සන නෑයෝ ඔක්කොම ඉන්නකොටද?”

මම පුතාට අවුරුද්දේ තියන වැදගත්කම කියන්න ඊට පස්සෙ විනාඩි ගණනාවක්ම වැය කළා.ඔව් ඉතින්, අවුරුදු තියෙන්නේ එකමුතුකම පතුරවන්න.සතුටින් ඉන්න.

“ඉතිං සෙනුරට අවුරුදු ලස්සන නෑනෙ..”

පුතාගේ පාසල් මිතුරාගේ අම්මා විදේශයක ගෘහ සේවිකාවක් බවත් වසංගතය නිසා ඇය ඒ රටේ හිර වීම සෙනුරට බොහොම බලපෑමක් වූ බවත් මට අමතක නෑ.සෙනුර පහුගිය කාලේ පාසල් වහලා නිසා පුතාගෙනුත් දුරස් වුණා.ඔහු අම්මා නැති වේදනාව පුතා එක්ක බෙදාගෙන බව තේරුම් ගන්න මටත් යසිතටත් වැඩි වෙලාවක් ගියේ නෑ.දරුවන්ගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඒ තරම් ලේසි නෑ.හැබැයි ලොකු අමාරුවකුත් නැහැ.අවුරුදු කියන්නේ ආදරයම පතුරවන සංස්කෘතික මංගල්ලයක් කියලා මං විශ්වාස කරනවා.ඉතින් මෙතැනින් එහාට අම්මා කෙනෙක් හැටියට මට හරි ස්මාර්ට් විසඳුම් කීපයක්ම තිබුණා.

කියවන්න :  කුස්සියේ ජරමරේ පහසු කරන "කිචන් ටිප්ස්"

යසිත ටිකකට කලින් ලබා දුන්නු ඇමතුමෙන් කියැවුණේ හැම සැලසුමක් ම සාර්ථක වුණු බවක්.සෙනුරගේ නැන්දත් ආච්චිත් ඒ සැලසුම අනුමත කරපු බවක්.ඉතින් තව ටික වෙලාවකින් පුංචි සෙනුර මෙහෙට එයි.කේක් හදලා ආත්තම්මට අරන් යන්නත් කැවුම් කොකිස් ආත්තම්මා එක්ක හදන්නත් මං පුතාට පොරොන්දු වුණා.

“මේ ගමන අපි අත්තම්මට කේක් හදාගෙන යමු.ගමන අදට දාගත්තු නිසා වෙලාවක් නෑනෙ පුතු..”

පුතා හිනා වෙන්නේ මාව බදාගෙන.

“මං මේ පාර අත්තම්මට අරන් යන අවුරුදු තෑග්ග සෙනුර..”

සෙනුරට ලැබෙන හොඳම අවුරුදු තෑග්ග අම්මා නැති වේදනාව අමතක කරලා දවස් කිහිපයකට තමන්ගේ හොඳම යාළුවගේ පවුලේ ආදරය හිමි කරගන්න ලැබීම.මං පුතාට ගත්තු අලුත් ඇඳුම් කීපයක්ම සෙනුරට වෙන් කළේ ආශාවෙන්. එයා ආස මාබල් කේක් කන්න වුණත් සෙනුර ආසා චොකලට් කේක් කන්න කියලා කුස්සියේ රාක්කයකින් චොකලට් පවුඩර් පැකට් එකක් හොයාගෙන ආවෙත් පුතා.අත්තම්මාගේ ආදරය, රස කෑම, මල්ලිලාගේ යාලුකම ඔක්කොම සෙනුරත් එක්ක බෙදා ගන්න එයා ඉන්නේ ආසාවෙන්.යසිතගේ කාර් එක පෝටිකෝවේ නැවතෙනකොටම කෑගහගෙන එළියට දිව්ව පුතා දිහා මං බලාගෙන හිටියේ ආදරය දෑස තෙත් කරන හැඟීමක් වෙනකොට.

අලුත් අවුරුදු එන්නේ බෙදාගෙන ආදරේ කරන්න.පුතාට ඒ පාඩම මේ අවුරුද්දෙ උගන්වන්න ලැබීම මොනතරම් සතුටක් ද?

පිටපත් රචිකාවක ලෙස මාධ්‍ය ආයතන කිහිපයක සේවය කර ඇත. කාන්තා පුවත්පත් වලට තීරු ලිපි රචනයෙන් දායක වී ඇත.පළමු ළමා නවකතාව "අඬනහිරියා" 2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ විය.
2.5 2 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments