ඈත දුර ආකාසේ -25

“මියුරුගෙ ගෙදරින්ද?”

තුරුලි ඇසූයේ ඇඳෙන් බසින්නටවත් උවමනාවක් නැතිව ය.ඔවුන් පැමිණෙන්නට ඇත්තේ සම්බන්ධතා අත් හිටුවා දමන්නට ය.එහි වරදක් තුරුලිට නොදැනිණ.මියුරු මේවායේ පැටලීම ගැන ඇයට පවා වූයේ දුකකි.

“මං එන්නද?” මියුරුගේ අක්කා අරුණි කාමරයේ දොර අසල සිට ඇසුවේ ද ඒ මොහොතේ ය.සඳලි ඇයට එන්නැයි පවසද්දී රනුක කාමරයෙන් පිට වූයේ අරුණි අත සිටි කුඩා පුතුගේ කම්මුලට සිහින් තට්ටුවක් දමමිනි.කාලයකට පෙර පාසල් ගේට්ටුව අසල සිටි අභිමානවත් ශිෂ්‍ය නායිකාව සිහි වී තුරුලිට සිහින් දහඩිය නැගිණ.රිබන් පටි අමතකව යාම ගැන පවා දොස් නැගූ ඈ අද මල්ලිගේ ජීවිතයෙන් ඈත් ව හිඳින්නැයි නොකියා සිටින්නට ඉඩ නැත.

“මල්ලි මේක දැන් කියන්නෙ.ඊයේ කිව්වනම් අපි ඊයෙම එනවත්නෙ..අම්මා බැන්නත් එක්ක..”

අරුණි කාමරයේ වූ අසුනක හිඳ ගත්තේ එසේ කියන අතර ය.දෙසොහොයුරියන් නිරුත්තරව බලා සිටියා ය.

“අම්මටයි මටයි නම් කරන්න පුලුවං ලොකු දෙයක් නෑ.තාත්තට රනුකට උදව් වෙන්නවත් තිබ්බනෙ.පොලිසිය එහෙම එක්ක කන්ටැක් හෙමත් නැතුව නෙවේනෙ නංගා..”

කතාවේ මාතෘකාව වෙනස් වූ හෙයින් අක්කාත් නංගිත් වහා පියවි සිහියට එල්බ ගත් හ.සඳලි කුඩා පුතුට අතට එන්නට ආරාධනා කළේ ද නිකමට ය.ඔහු වහා ඈ අතට පැන ගත්තා ය.

“ඕක ඩිවෝස් කරන්න නංගි. පැය ගාණක කසාදයක් අයින් කරගන්න මහ දවසක් යන්නෑ.අනික බය වෙන්නත් එපා..”

අරුණි එසේ කියා කුඩා පුතු දෙස නෙත් නොහෙලා බලා සිටියා ය.

“මට නම් ටිකක් කල් ගියා.ඒ මං පුතාට නඩත්තුත් ඕන නෑ කිව්ව හින්දා.මම මේ කිරි දරුවෙකුත් එක්ක එහෙම තීරණයක් ගත්තනම් නංගි ලෝකෙට බයේ එහෙම ඔය මිනිහගෙ කසාදේ තියා ගන්න ඕන නෑ..ඕක දන්න කෙනෙකුත් නෑනෙ..කොහොමත් නංගිට අපේ ගෙදරට එන්න අවුරුදු තුනක්වත් බලන් ඉන්නත් වෙනවනෙ..”

අරුණි දික්කසාද වී ඇති බව මියුරු තුරුලිට හෙළි කර තිබුණා ය.කඨෝර විවාහයකට පසු ඈ කුඩා පුතු ද සමඟ නිවසට ආ හැටි පවසද්දී ඔහුගේ කටහඬ කිහිප වතාවක් බිඳී ගිය අන්දම පවා ඇයට මතක ය.ඇතැම්විට ඒ පවුල තමාව වටහා ගන්නට හේතුව ද අරුණිගේ කටුක මතක නිසා වන්නට ඇතැයි තුරුලි සිතුවා ය.

“නංගි හිතාගෙන ඉන්න ඇත්තේ අපි මේ පැත්තටවත් ආයෙ එන එකක් නෑ කියල නේද? මිනිස්සුන්ගෙ අමනුස්සකං ගෑනු ඇදල දාන තැන ගැන අපිට වඩා කවුරුත් දන්නේ නෑ නංගි.ඔයා ඉවසන් නැතුව අයින් වෙච්ච එකම ඇති.මේ තරමට හරි ගොඩින් බේරා ගන්න.මං අම්මලට ලැජ්ජ වෙනවට ගුටි කකා ඉවසුවා.වෙන අෆෙයා ගැන ආරංචි වෙද්දි පවා ඉවසුවා.අච්චර ඉගෙන ගත්ත මං එහෙම කරේ කොහොමද කියල මටම පුදුමයි.ඒත් ඉවසන එකේ සීමාවක් තියා ගත්තා නම් පුතාව මේ ලෝකෙට ගෙනල්ලා මේ ප්‍රශ්නවලට මැදි නොකර ඉන්නත් තිබ්බා..”

අරුණිගේ ලතැවුලෙන් පිරි හඬ තුරුලි අසා සිටියේ ශෝකයෙනි.එවැනි ඉරණමකට පෙර මේ තරමටවත් මේ ගැටලු විසඳීම එක අතකට යහපත් නැතිදැයි ඈ සිතුවා ය.

“පුතා එන්නම හිටිය කෙනෙක් වෙන්න ඇති අක්කා.ඔයා දුක් වෙන්න එපා..”

සඳලි කුඩා පුතු සුරතල් කරන අතර කීවා ය.

“මියුරු වගේමයි මෙයා..”ඈ අනතුරුව කිවේ ඔහු උකුල මත හිඳුවා ගනිමිනි.

“අනේ ඔව් නංගි.සමහර පුතාලා මාමා වගේ වෙනව කියනවනෙ.මට තියන සතුටත් ඒකයි.තාත්තා කියන මනුස්සයගෙ පාටක්වත් නෑ..”

තුරුලි ඈ අසලට දණ ගා ආ පොඩිත්තා තුරුලට ගත්තා ය.ඒ දෙස මොහොතක් බලා හුන් අරුණි සිනාවක් නගා ගත්තා ය.

“සමහර දූලා නැන්දා වගේ වෙනවත් කියන්නෙ.මල්ලිට දුවෙක් ඉන්න කාලෙක මං වගේ වෙන්නෙ නැතැයි”

වේදනා සහ කම්කටොළු අමතක කර පුපුරා ගිය කෙල්ලන්ගේ සිනාව නිවස පුරා නින්නාද විය.

වරදක් නොකළ තුරුලිගේ හදවත ක්‍රමයෙන් සන්සුන් වෙන්නට ගත්ත ද ආදිත්‍ය සිටියේ දැවෙමිනි.ඔහු තුරුලි සොයන්නට මහ රෝහලට පවා ගියේ ය.තමන් ඇතුළත් කළ රෝගියා ගැන කිසිවක්ම නොපවසන රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ගැටලු ඇති කර ගත්තේ ය.

“මං අම්මට කිව්වා ඒකිට අමාරුවක් නෑ කියල.අම්මටනෙ ඕන උනේ හොස්පිටල් දක්කන්න..”

ඕනෑම වැඩක් වැරදී යද්දී අම්මාට බනින්නට හුරුව සිටි ඔහු මෙවරද ඒ මාවතම තෝරා ගත්තේ ය.

“ඔව් අපූරුවට තියෙයි.ඒකි මැරිල ගියානං..ඊට පස්සෙ..”

අම්මා කඩා පනිද්දී පවා ඔහු කෝප ගත්තේ ය.

“මැරුණනං වළලල දානව මඟුල..”

තුරුලි සොයමින් බොහෝ වෙලාවක් එහෙමෙහෙ දුවන අතර ඔහුට ඇමතුමක් පැමිණියේ ය.තුරුලි තමන්ගේ ග්‍රහණයෙන් ගැලවී ගිය තැන ආදිත්‍ය දැන ගත්තේ එආකාරයෙනි.

“මං වින්ද්‍යා කාරියප්පෙරුම.ලෝයර් කෙනෙක්.මගෙ ක්ලයන්ට් තුරුලි.තුරුලිව පැහැර ගෙන බලහත්කාරයෙන් කසාද බැන්ද එකට අපි ඔයාට විරුද්ධව නඩු පවරලයි තියෙන්නෙ..දික්කසාදය ඉල්ලලා වගේම පැහැර ගැනීමට විරුද්ධව.”

ආදිත්‍ය පුපුරා හැලෙන්නට ගත්තේ ය.ඔහු වියරුවෙන් මෙන් හිසට ගසා ගනිද්දි වාහනය නැවතූ රොෂේන් ඔහු අල්ලා ගත්තේ ය.

“ඩිවෝස් නඩුවක් කියන්නෙ උඹට ඇත්තටම නඩුවක්.මොකද හොර සීන් එක අහු වෙනවනෙ”

ඇවිලෙමින් තිබූ ගින්නට පෙට්‍රල් ගැලුම් ගණනක් හලමින් රොෂේන් නොසැලකිලිමත් හඬකින් පැවසුවේ ය.

සැබෑව හෙළි වන්නට ගත් විට මෙය අවසන් වන තැන ගැන සැබෑවටම ඔහුට අදහසක් තිබුණේ නැත.

“තුරුලිව හොයා ගන්න ඕන..”

ආදිත්‍ය තදින් පවසද්දී රොෂේන් ඔහු දෙස බලා සිටියේ ය.

“ගෙදර වෙන්න බෑනෙ..එහෙමනම් උන් අපිට කතා කරල.අර සඳලිගෙ මිනිහ හරි..”

තුරුලිගේ නිවස තුළින් කිසිම හඬක් මතු නොවීම ගැටලුවකි.නමුත් ඔවුන් තුරුලිව නොසොයා සිටීමට හේතුව ද ආදිත්‍යට සිහි විණි.

“මියුරු කියන්න ඇතිනෙ මං එක්ක ඒකි පැනල ගියා කියල..උන් හොයන්නෙ නැතුව ඇති..”

5 2 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
3 months ago

Lawyer කතා කරනකල් ඉන්නෙ? Kidnap case එකකදි ඇයි පොලිසියෙන් අත්තඩංගුවට ගන්නෙ නැත්තෙ?