මධුපානි

“තාත්තා,අම්මාට මගෙ ඉෂ්කෝලට එන්න බැරි වෙයි නේද?අම්මාට මල්ලිව බලාගන්න ඕනි නෙ” දුවගෙ සිගිති කතා සද්දෙ සාලේ දිහාවෙන් ඇහෙනකොට කාමරෙ පුතාට කිරි දිදි හිටපු මම අකුණක් ගැහුවා වගෙ තෘෂ්ණිම්භූත වුණා.හිත අස්සෙන් ආපු මොකක්දෝ කියාගන්න බැරි වේදනාවක් ක්ෂණිකව ඇස් දෙකට දැනිලා ඇස් තෙත්වුණා.

ඒත් එක්කම මට මැවිලා පෙනුනෙ මදුපානීව,රතු වුණ ඇස් දෙකෙන් වැටෙන්න යන කදුලු පිහ පිහ “අම්මාට මගෙ ඉස්කෝලෙට එන්න බෑ ,අම්මාට මල්ලිව බලාගන්න තියෙනවා “කියපු මදුපානීව .අවුරුදු 25කට විතර පස්සෙ මට මදුපානීව මතක්වුණා.මගෙ දුව හින්දාම.

මදුපානී ගමෙ ඉස්කෝල ආවෙ අපි දෙකෙ පන්තියෙ ඉන්නකොට.මදුපානී ආවෙ එයාගෙ අත්තම්මා එක්ක.අත්තම්මා උස මහත කොණ්ඩේ ගෙඩියක් බැදලා ලස්සන ඔසරියක් ඇදලා අගස්ති මාලයක් දාලා හිටියේ .ඒ දවස්වල මාව ඉස්කෝලෙ එක්කන් එන්නෙ යන්නෙ මගෙත් අත්තම්මා .අපෙ අම්මාට චූටි නංගී හම්බෙලා.අම්මාට එන්න බෑ.මගෙ අත්තම්මාට වඩා මම කැමති වුණෙ මදුපානීගෙ අත්තම්මාට .අපෙ අත්තම්මා ත් ඔසරිය ඇන්දාට මදුපානීව ගෙ අත්තම්මා වගෙ ලස්සන නෑ.

මදුපානී නම් එයාගෙ අත්තම්මාට කැමති නෑ.එයා කිව්වෙ අත්තම්මා සැරයි නපුරුයි කියලා .කොහොමත් මදුපානී මෙහෙ ඉන්න කැමති වුණෙ නෑ.එයාට ඕනි වුණේ එයාගෙ අම්මා ලගට යන්න .මදුපානීගෙ අම්මා අලුත් මල්ලි කෙනෙක් ගෙනත්.ගෙදර තවත් මල්ලි කෙනෙක් ඉන්නකොටත් .අපෙ අම්මා ත් ගෙදර තව නංගී කෙනෙක් ඉන්නකොටම තව නංගී කෙනෙක් ගෙනත්.මදුපානී ගෙ අම්මාට මල්ලිලා දෙන්නා එක්ක මදුපානීව බලාගන්න බෑ කියලා මදුපානීව තාත්තා ගෙ ගමෙ එවලා එහෙ ඉස්කෝලෙනුත් අස්කරන්.

මදුපානී පංතියෙ වැඩිහරියක් කරෙ අඩපු එක.එයා කිව්වෙ එයාට එයාගෙ අම්මවයි මල්ලිවයි ගොඩාක් මතක් වෙනවා ගෙදර යන්න ඕනි කියලා .මම කිව්වා මම නම් අපෙ අම්මා දාලා ගිහින් අපෙ අත්තම්මා ලග නවත්වන්න කියලා .එතකොට මදුපානී තවත් හයියෙන් ඇඩුවා.මාත් එයාගෙ අත අල්ලන් ඇඩුවා .ටීචර් අපි දෙන්නාටම ගැහුවා මම ගැන රචනාව ලිවුවෙ නෑ කියලා අපි අපි ගැන කතාකරපු නිසා මම ගැන ලියන්න බැරි වුණා කියලා මම ටීචර් ට කියන්න ගියෙ නෑ.එහෙනම් මට ගෙදරින් කන ගුටිවලට අමතරව ඉස්කෝලත් ගුටිකන්න වෙනවා.

කොහොම හරි මදුපානී තුනවසරෙදි ඉස්කෝලන් අස්වෙලා ගියා .එයා කොහෙ ගියා ද දන්නෙ නෑ.එයා අස්වුණ දවසෙ මට ඉස්කෝලෙ යන්න බැරි වුණා.එයා ගියාම මට දුක හිතුනට එයා අම්මා ලගට ගියපු නිසා ආයෙ අඩන්නෙ නැතිවෙයි කියලා හිතලා මම සතුටුවුණා.

මදුපානීගෙ මතකෙත් එක්ක මම මටම ආයෙ ආයෙ මතක් කරගත්තා, පලවෙනියෙක් ගෙනාවෙ අපෙ උවමනාවට.දෙවනියෙක් ගෙනාවෙත් අපෙ උවමනාවට .තුන්වෙනියෙක් හතරවෙනියෙක් ගේන්නෙත් අපෙ උවමනාවට .අපිට එයාලව හසුරුවගන්න බැරි එකට එයාලා පලි නෑ.

ලිව්වේ – මියුරා දිමුනි

More Stories

Don't Miss


Latest Articles