fbpx

ඈත දුර ආකාසේ – 43

තුරුලි උත්සව ශාලාව කොණකට වී එදෙස බලා හුන්නේ දෑස තෙත් වීම වළකා ගන්නට තැත් දරමිනි. නංගි පෝරුවේ සිටි මොහොත පවුලට උදාවූ සුන්දරම මොහොත බව ඈ සිතුවා ය.දෙඅත පටලා පෙර පාසල් ද එතැනින් පාසල් ද ගිය දවස් ඈ සිහි කළා ය.අම්මා ප්‍රවේසමෙන් නිරීක්ෂණය කරන්නැයි කී පැල්ලම අක්කාගේ ගවුමේ තැවරී තිබියදී සොයා ගත්තේ නංගී ය.අක්කා ගේ මුල්ලට සිරවී දිනක් ගෙවී යද්දී ම නංගි ඇගේ පැල්ලම ද අම්මාට පෙන් වූ මොහොත තුරුලිට සිහි වන්නේ අද ඊයේ වාගේ ය.

හිමිදිරියක ළහිරු නැගෙද්දී පිච්ච මල් වතුරෙන් නැහැවුණු දවසටත් වඩා අද ලස්සන ය.නංගී මොනතරම් හැඩකාරියකදැයි තුරුලි සිතුවේ නෙත් වැසී යන සීත පටලය ටිෂූ කඩදාසියකින් පිස දමමිනි.

“මං ඔයාව හැමතැනම හෙව්වා..”

මියුරු ඈ වෙත ආවේ එසේ කියමිනි. තුරුලි ඔහුගේ අතැගිල්ලක් ප්‍රවේසමින් අල්ලා ගත්තා ය.

“අක්කාගෙ වෙඩින් එක ගන්නෙ කවද්ද කියල නෑයෝ හැමෝම අහනව නේද?”

ඔහු අසන්නේ අර මියුරු සිනාව තොල් මත තෙරපාගෙන ය.

“අපිට ඕනෑ හිතුණු දවසට..”

තුරුලි එසේ පවසා කිකිණි හඬකින් හිනැහුණා ය.

“තව අවුරුද්දක් විතර ඉවසන්න වෙනවනෙ..ඉන්නව නේද?”

මියුරු අසද්දී තුරුලි ඔහුගේ දෑසට එබී ගත් වනම සිටියා ය.කල්පයක් වුව බලා ඉන්නට තරම් ආදරයක් දෙන ඔහු අධ්‍යාපනය අවසන් කර එනතුරු බලා සිටීම සුළු දෙයකැයි ඈ සිතුවා ය.

“එදා උස්සන් ගිය පාර ඇත්තටම බැඳ ගත්තනම් මාත් මැරීඩ් තමා..”

තුරුලි අනතුරුව හිනැහෙන්නට ගත්තා ය.

“ඒත් අපි ඩිවෝස් කරවනවනෙ.එච්චර නම් නටන්න දෙන්නෙත් නෑ.”

මියුරු අත අත නෑර ඈ දරා ගන්නට ආවේ තාරකා රාත්‍රියකට නොවේ.ඒ අන්ධකාර සළු පොරවා ගත් කුණාටු රාත්‍රීන් දහසක් ගෙවමින් තුරුලි හති වැටුණු කාලය ය.ඔහු දෝතින් ඈ මුවා කරගත්තේ ඒ කුණාටුවලිනි.රාත්‍රිය ඉරා දමා ඔහුට උදෑසන ගෙන එන්නට හැකි වූයේ කෙසේදැයි ඈ සිතන්නට වූවා ය.

ආදිත්‍ය එතරම්ම අන්ධකාරයකි.ඒ අන්ධකාරයෙන් ගැලවූ අන්දම ඇයටම තවමත් සිහිනයකි.

“එරංගා අමාරුවෙ වැටුණු ඉක්මන දැන් එයා විඳෝන හැටි දිහා බලාගෙන මං හිතන්නෙම අවුරුදු ගානක මායාවකින් මං කොහොමද එහෙම ගැලවුණේ කියල..මට තාමත් ඒක හීනයක්..ඔයා මං ගැන බලාපොරොත්තු තියන් හිටිය කියල ඒ ගෙවිච්ච මුළු කාලෙමත් මං දන්නවනෙ.ඒත් ආදිත්‍යව අතැරලා දාලා එන්න තරම් මං හයිය වුණු හැටි මටම පුදුමයි..”

තුරුලි පැවසුවේ සැබෑ හැඟීමකිනි.සැබෑවටම එය කිසියම් ප්‍රාතිහාර්යයකට ළඟ සිදුවීමකි.

“සංසාර ගනුදෙනු කියල දේවලුත් තියනවනෙ.මං හිතන්නෙ ඔයා ආදිත්‍ය හින්දා දුක් විඳින්න ඇත්තෙ මොකක්ම හරි සංසාරේ වෙච්ච අත් වැරැද්දකට..ඒ කාලේ ගෙවුණම ඔයාගෙත් ඇස් පෑදුණා..”

මියුරු ඇගේ කොණ්ඩා සැකසුමෙන් මිදෙන්නට ආ මලක් රඳවන අතර කීවා ය.තවම ආදිත්‍යගේ වූවානම් සාරි හැට්ටයේ කැපුණු කර ගැනත් ඉඟටියෙන් මතුව ආ ඉන ගැනත් ආලේපන තවරන්නට තරම් ඈට වු කඩිකුලප්පුව ගැනත් රනුකගේ සීයා පවා පාවා දෙමින් බනින්නට ඔහු තිතටම වග බලා ගන්නා බව ඇයට විශ්වාස ය.

“මලක් වගේ..” මනාලියගේ කණ්ඩායමට මනාලයාගේ කණ්ඩායම හමු වූ මුල්ම මොහොතේ රනුකගේ දෙවැනි මනමාලයෙකු වී ඔහු අසලට වී සිටි මියුරු තුරුලිට කීවේ එපමණකි.ඉතින් ඇය දවසම මලක් සේ පිපී හුන්නා ය.

“අර මං ඔයාට කීවේ රනුකලගෙ අයියෙක් ගැන..”

තුරුලිගේ අවධානය හදිසියේ වෙනස් විණි.මියුරු එදෙස බැලුවා ය.

“එයා ඇත්තටම අරුණි අක්කා ගැන හරි උනන්දුයි.අර බලන්නකො.කතාවටත් අල්ලන්..”

අක්කා දුක් කසාදය හැරදා පැමිණි පසු මියුරු කිසිදා ඈ බරක් බව සිතා නැත.පුතු හදා වඩා ගනිමින් සදාකාලික තනිකඩ ජීවිතයක් ගෙවන්නට ඈ ගත් තීරණයට පවා ඔහු හිස නවා ගරු කළේ ය.එහෙත් අක්කාගේ ලෝකයට ආදර අංකුරයක් පැළවන්නේ නම් එයට වතුර ද පොහොර ද යොදන්නට ඔහු මනාප ය.ජීවන්ත වැනි අමන මිනිසෙකු නිසා ඇය තාරුණ්‍යය හැර දැමීම ගැන මියුරුට දුකක් නැතිවා නොවේ.

“ඒකත් ඔයා කිව්ව වගේ සංසාර ගනුදෙනුවක් වෙන්නත් පුලුවං..අර මිනිහා ණය අරන් යන්න ගියාට අක්කගෙයි පුතාගෙයි ඇත්ත අයිතිකාරයා මේ කුසල් අයියද දන් නෑ..”

තුරුලි බලාපොරොත්තු පිරුණු දෑස් දැල්වූවා ය.ආදරය සංසාරයේ පතා ආ පරිද්දෙන් හිමිවෙන දහම කොතරම් අපූරුදැයි ඈ අනතුරුව සිතුවා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x