fbpx

පතොක් මලක ප්‍රේමය -03

මට උදෑසන ඇහැරුණේ හතේ කණිසම ද ගෙවී යද්දී ය.ඇස හරවා බලද්දී කේතකී මුළුතැන්ගෙය තුළ බවත් චමත්කා නාන කාමරයේ බවත් වැටහිණ.අද දේශන ඇත්තේ හවස් යාමයේ ය.උවමනා නම් ගම මැදින් යන බසයෙන් ද නැතිනම් අපේ සරසවියේ ප්‍රවාහන සේවය මඟින් ද දේශන වලට යන්නට හැකි ය.ඉතින් මේ උදෑසන ඇත්තේ නින්දේ ගිලෙන්නට ය. නමුත් දුරකථනය නාද වන්නට ගත්තේ මගේ නින්දට ඉඩක් නොතබා ය.චරිත දුක්ගැනවිලි කියන්නට හෝ තර්ජනය කරන්නට සැරසෙනවාදැයි මට හදිසි තිගැස්මක් හට නොගත්තා නොවේ.නමුත් එහා ඉම හුන්නේ මා මේ ලෝකයේ අසන්නට කැමතිම කටහඬ ය.අම්මා ය!

“නැගිටලා නෑ නේද කම්මැලි කෙල්ල..”

අම්මාගේ ආදරය පිරුණු හඬ දුරකථනයෙන් සවනේ හැපෙන විට මට හැඬුම් එන්නේ ඇයිදැයි මම සිතීමි.

“ලෙක්චර්ස් හවස අම්මා..”

මම ඇඟමැලි කඩමින් පැවසුවෙමි.

“තේ ටිකක් බීලා ඉන්න චූටි පුතේ.” අම්මා පවසද්දී මම මේසය දෙස බැලුවෙමි. එහි උණු තේ කෝප්පයකි. බෝඩිමේ අම්මා වූ කේතකී මා කැමතිම පදමට චොකලට් කුඩු ද යහමින් දමා කිරි කෝප්පය සකසන්නට ඇත.

“කේතා හදලා..” අම්මා හිනැහෙන හඬ ඇසේ.ඇයට ඇත්තේ ලෝකයේ ඇති ලස්සනම හිනාවකි.”ඔයාට තියෙන්නෙත් වත්සලා ආන්ටිගේ හිනාවමයි සාරා..” අතීත දවසක පසන් එසේ කී අන්දම මට සිහිව ආයේ ය.ඔහු සිහි නොවන මොහොතක් තිබේ ද? නැත.මා ඒ මතකවලින් මිදෙන්නේ නැත.

“කේතාටයි චමාටයි අද උදේ සැලෝන් එකක් පැත්තෙ යන්න ඕනත් කීවා අම්මෙ…මං නම් ටිකක් නිදා ගන්නව..”

අම්මා සිහින් සුසුමක් හෙළුවා ය.ඇය ඊළඟට පවසන දේ මට අනුමාන කළ හැක.

“ඔයත් යන්න ඉතිං..හෙයා කට් එකක් දාගන්න චූටි පුතේ.ඔයාලගෙ කැම්පස් එකේ කෙල්ලො ලස්සනට ඉන්නවත්නෙ.තාත්තා ඊයේ සල්ලිත් එව්වා..”

තාත්තා මුදල් එවූ බව මම දුටිමි.අධ්‍යාපන කටයුතු වලට අමතරව ඒවා වැය වන්නේ මොනවා හෝ කන්නට ය.නැතිනම් හිතුණු මොහොතක එකසිය තිස් අටක නැගී නුගේගොඩ ගොස් සරසවි පොත් හලට රිංගා ගන්නට ය.ඇඳුම් සාප්පුවල ඇති ලස්සනම ඇඳුම් හූල්ලමින් ස්ක්‍රීන් ෂොට් ගසා ගන්නේ කේතකී ය.ලස්සන ඇඳුමකට ඇස ගිය ද ඒවා අඳින්නට මට හිතක් නැත.චරිත රැවටූ කාලයේ ඇඳුමක් කැඩුමක් ගන්නට සිතුණේ ද රඟපෑමේ පහසුව වෙනුවෙනි.

“ඕයි…එල හරකයි මී හරකයි වගේ අඳින්නෙ නැතුව මැච් වෙන්න ඇඳපං..කොණ්ඩෙ ලස්සනට පීරපං..ඇයි තමුසෙ විහින් කැත වෙන්නෙ.කොල්ලෙක්වත් බලන්න ලස්සනට හිටපං..”

කේතකී බොහෝ විට මට කෑගසන්නී ය.ප්‍රේමය යන මාතෘකාව කල්කදුරු වූ මට ඒවා අසන්නටවත් හිත නැත.අම්මාට බොහෝ වේලාවක් සවන් දෙමින් සිටි මා නාන කාමරයට වැදුණෙමි.සැහැල්ලු ගවුමක් ඇඟලා ගනිද්දී ද කේතකී ද චමත්කා ද කාගේදෝ ඕපාදූපයකට හිනැහෙමින් මුළුතැන්ගෙය තුළ ය.මම හදිසියේ පහළ වූ සිතුවිල්ලකට තරප්පු පෙළ බැස ගෙමිදුල වෙත පැමිණියෙමි. නිසල් මල්ලී ද විසල් මල්ලී ද පාසල් ගොස් ඇති හැඩකි.මාලක අයියා බෲනෝ සමඟ මොනවාදෝ දොඩවන හඬ ගෙතුළින් ඇසේ.ඕනෑම පිරිමියෙකු සමඟ වහා ගැටුමකට පැටලෙන ගතිය මට ආවේ පසන්ගේ නික්ම යාමත් සමඟ ය. එය ක්‍රියාත්මක නොවන්නේම මාලක අයියාත් මල්ලිලා දෙදෙනාත් විෂයෙහි ය. වසර එකහමාරක් පමණ ඔවුන් හා ගෙවූ කාලයේ ඔවුන් පිදූ සහෝදර සෙනෙහස ඒ සඳහා හේතු වන්නට ඇත.කොල්ලන් තිදෙනෙකු සිටින ගෙදරක උඩුමහලේ අප නවතන තීරණය අම්මලාට ගන්නට සිදු වූයේ නවාතැන් සොයා හති වැටුණු තැනදී ය.ආරක්ෂාව ඇති සමහර තැන් වල නිවෙස් කුකුළු කූඩුවලට අන්ත ය.සමහර තැන් ගැන කියන්නට වචන නැත.

“බාත්රූම් කොහෙද දන් නෑ..” එක නිවසක දී අප අසද්දී නිවෙස් හිමිකාරිය ඈතකට අත දිගු කළා ය.

“අර වෙලේ ළිඳ..මගෙ ළමයි ඔක්කොම නාන්නේ එතැනින්..”

මුහුණට මුහුණ බලා ගත් අප එතැනින් එන්නට ආවේ කෝපය ද රැගෙන ය.

“මේ වගේ පළාතකට මේ කැම්පස් එක මොකට ගෙනාවද.අපෙන් අස්ප ගණන් අරගන්නවා.ඉන්න බෝඩිමක්වත් නෑ..”

අප එසේ කියද්දී තාත්තා හිනැහුණා මට තවම මතක ය.

“මේ හෝමාගම පැත්ත දැන් සෑහෙන්න දියුණු වෙන්න අරන් තියෙන්නෙ පුතේ.එකම කාරණේ මේ මිනිස්සු තාම ඔය කැම්පස් ළමයින්ට බෝඩිං දෙන්න අරන් අවුරුද්දයි දෙකයිනෙ..හොඳ තැනක් හම්බෙයි..”

ඉතා ආරක්ෂාකාරී තැන කොල්ලන් තිදෙනෙකු ජීවත් වීම අම්මලාට ගැටළුවක් කරගන්නට ඇන්ටී ඉඩ දුන්නේම නැත.

“අපේ ලොක්කට නම් ඉස්කෝලෙ යන කාලෙම යාලුවෙච්ච ගෑනු ළමයෙක් ඉන්නවා.එයාගේ යාලුවොත් ඉතිං මෙහෙ එනව අඩුයි.තාත්තගෙ නීති නිසා..මල්ලිලා දෙන්නගෙ රොත්ත නම් පිරෙනවා.තාම දහයෙ කොල්ලොනෙ.”

ඇගේ රස කෑම ද දේශන නිමා වන්නට රෑ බෝ වූ විට ලේන් එක ඇරඹෙන තැනට එන අංකල් හෝ මල්ලිලා ද අපේ ආදරය වහවහා පැහැර ගත් නිසා අපට ලැබී ඇත්තේ ලෝකයේ හොඳම බෝඩිම බවට අපි විශ්වාස කළෙමු.

“මොකෝ සාරදී දු කල්පනාවක.චූංපාං අල්ලන්න ආවද?”

ඇන්ටී වතුර බටයක් අල්ලාගෙන මල් ගස් අතර සරමින් ඇසුවා ය.මා ඈ දුටුවේ ඒ මොහොතේ ය.

“නෑ ඇන්ටී…කාඩ් එකක් ගන්න කඩේට යන්න කියල.අයිය යයිද බලන්නත් එක්ක ආවේ..”

ඇය මල් ගස්වල වර්ණනාව කියමින් ඒවාට පෝර වතුර දමන්නට ගත්තා ය.ආපිකෝ වෙළදසැල ළඟ මල් වෙළෙන්දියගේ මල් ගස් කමකට නැති බවත් පොලිසිය පාරේ ඇති මල් කඩයක අල්ලකට වඩා මහත මල් පිපෙන රෝස ගස් ඇති බවත් ඈ මට උගන්වමින් සිටියා ය.මා ඔහු නැවත දුටුවේ ඒ මල් පාඩම අතර ය.අර විඩාබර දෑස එතරම්ම බර බැල්මක රඳව ගන්නට ඔහුට ඇති හේතුව දැන ගන්නට මට ඕනෑ විය.තරුණ කොල්ලෙකුට ඔතරම් අපිළිවෙල රැවුලක් අනවශ්‍ය බව ඔහුට කියන්නට ද මට ඕනෑ විය.කොල්ලන් පිළිකුල් කරමින් සහ ඔවුන්ට වෛර කරමින් “සිද්ධාර්ත් මල්හෝත්‍රා ලයිට් වර්ගයේ සිට හේමාල් රණසිංහ ලයිට් වර්ගය” දක්වාම කොලුවන් ප්‍රතික්ෂේප කළ මම මේ පෙනුමක් නැති කළු කැහැටු කොලුවාට ඇස් දල්වා හිඳීම ගැන මටම උපන්නේ ලැජ්ජාවකි.

“අනේ…පුතා යන්නද ඔය..”

ඇන්ටී වහා ඔහු අසලට ගියා ය.ඔහු සිනා සුණේ ය.කොලුවෙකුට එතරම් හිත නිවන හිනාවක් උපදින්නේ කොහොමදැයි සිතමින් මම ඔහු දෙසම බලා සිටියෙමි.

“පාඩං කරන්න හරි අමාරුයි ඇන්ටි ගෙදර..ඒකයි ආවේ.ඇනෙක්ස් එකේ ගෑනු ළමයි ඉන්න හින්දා ඇන්ටි අපි එනවට අකමැති කියලනං දන්නවා..”

ඔහු කතා කරන තැන්පත් හඬ අසා හිඳින්නට හැකි වර්ගයේ හඬකි.අපි සිටීම මිතුරාගේ ගෙදර එන්නට බාධාවක් නොවේයැයි පවසා බැන වදින්නට මට සිතේ.
හරියට අප ඔහුගේ ඇඟට පනින්නට බලන් සිටියා වාගේ ය.

“ඒ මේ අර ජනිත්ලා ගයාන්ලා එහෙම පුතේ.උං ඉතිං කෙල්ලන්‍ට මොනවම හරි කියපු ගමන්නෙ..පුතා ආවට මක් වෙනවද..ඇවිල්ලා වැඩ ටික කරගන්න..”

ඔහු හිස පැත්තට ඇල කර හිනැහුණේ ය.ඇන්ටි මිදුලේ හිඳිද්දී ඔහු යන්නට යන්නේ බඩගින්නේ ම විය නොහැකිදැයි සිතමින් මම රෝස ගස්වලට විරිත්තන්නට පටන් ගතිමි.හින්දි චිත්‍රපටවල නිළියන්ට ගස් වටා දුවමින් නටන්නට හිතෙන්නේ ඇයිදැයි මට දැන් ඕනෑවටත් වඩා වැටහේ.

“ධීර..කාලා පලයං..”

මාලක අයියා පිටතට ආවේ ඒ මොහොතේ ය.ධීර! එය අපූරු නමකි.

“සාරදී..කන්නේ නැද්දෝ..”

චමත්කා හරියටම ඒ මොහොතේ අපේ ඇනෙක්සියේ බැල්කනියෙන් එබී කෑගැසුවා ය.මාලක අයියා ඉහළ බලා අත වනා හිනැහුණේ ය

“මුංට කවන්න තියන අමාරුවක්..නැද්ද නංගි.”

ඔහු එසේ කියා ධීරව ඇදගෙන නිවසට ගියේ ය.මෙතැන මෝඩියක සේ බලා හිඳීමේ තේරුමක් නැත.මම අපේ නවාතැනට යන්නට අඩිය එසවූයෙමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
0
Would love your thoughts, please comment.x
()
x