fbpx

පතොක් මලක ප්‍රේමය -07

මම තරප්පු පෙළ නැග්ගේ කල්පනාබරව ය.”ආර්යාව” ඔහු අම්මා හැඳින්වූ අන්දම ගැන මට ඇති වූයේ අමුතුම හැඟීමකි.ඒ එවැනි නමක් භාවිතා කිරීම ගැන නොවේ.මා විටෙක තාත්තාගේ දුරකථනයට අමතා “කෝ අර මිසිස් මොණරවිල” යැයි අසන්නේ ආදරයෙනි.නිවසේ දී කකුල් උඩ දමාගෙන පුටුවක ඇද වැටී සිටියදී “වත්සලා ටීච…තේ ටිකාක්..” යැයි ඇයට හඬ ගෑම මට පුරුදු ය.
“නංගි, ශේප් එකේ පහළට එබිලා බලන්න ලොකු මැඩම් නිදිද කියලා..” සරසවි මිතුරන්ගේ සාද නිසා යාන්තමට මත් වූ මොහොතක මාලක අයියා අපට ඇමතුමක් දෙන්නේ එහෙම ය.නමුත් ඒ හැමතැනකම ඇත්තේ ආදරය ය.ධීර අම්මාට ආර්යාව යැයි පැවසුවේ ඒ ආදරයෙන් නොවේ.බඩගින්නේ ලහිලහියට බත් බෙදන්නට ගිය ඔහුට ඈ කතා කළ රළුපරළු අන්දම මට අමතකව යන්නේ ද නැත.

ඔහු මෙතරම් තමන් තුළම ගිලී යන්නට හේතුව පෙම්වතියකගේ පිටුපෑම වන්නට ඉඩ නැති බව මා සිතුවෙමි.එයට එකම හේතුව ඇඹුල්තියල් අවන්හලේ මුදල් අයකැමි මේසය අරා හුන් කාන්තාවම විය යුතු ය.

“අයිස්ලන්තෙට ගියාද අයිස් කැට ගේන්න?”

චමත්කා දොර අසල හිඳ බෙරිහන් දුන්නා ය.මම එයට පිළිවදන් නොදුන්නෙමි. කේතකී කිසිත් නොකියා දිවුල් බීම සෑදුවා ය.

“අර ධීර ඇවිල්ල නේද? මොනවද ඇහුවෙ?”

ඈ එසේ ඇසුවේ මා අත බීම මග් එකක් තබන අතර ය.අපට වීදුරු නැත.මම මග් එක අතට ගත්තේ එය නොඇසුණු ගානට ය.

“අපි සෙල්ෆියක් ගමු?”චමත්කා අලුත් අදහසක් ගෙනාවා ය.දිවුල් බීම කෝප්ප ද සහිතව ඇගේ කැමරාවට හිනැහෙන්නට මටත් කේතකීටත් සිදු විණ.චමත්කා එය ෆේස්බුක් වෙත මුදාහැරියා ය.එය තවත් එක් සේයාරුවක් වන්නට ඉඩ තිබිණ.නමුත් එසේ වූයේ නැත.

“ඒයි මේ..ධීර වීරක්කොඩි කියන්නෙ අර බෝයි නේද?මෙන්න බලන්න කේතා අපට නොදැනි වෙන දේවල්..”

චමත්කා සුළඟක් සේ කඩා වැදුණේ අප පාඩම් මේසයට හිඳ ගනිද්දී ය.

“ඇයි?”

“ඇයි කියන්නෙ? මාලක අයියා කමෙන්ට් කරලා අපිට නොදී උඹල මොනවද බොන්නෙ කියල.ඒකට ධීරගෙ රිප්ලයි කමෙන්ට් එකක් තියනව හිනා ස්ටිකර් එකක්.මේක ෆ්‍රෙන්ඩ්ස් ඔන්ලිනෙ.අපි තුන්දෙනාගෙන් කාගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් ද එයා ඉන්නෙ..”

චමත්කා අසන්නේ රහස් පොලිසියේ නිලධාරිනියක ලෙස ය.මා නෑහුනු ගාණට පාඩමේ යෙදුණෙමි.

“මගෙ නං නෑ..” කේතකී නිවීහැනහිල්ලේ පැවසුවා ය.මම හිස ඔසවා බැලීමි.

“මට ඇඩ් වෙලා ටික කාලයක්.මාලක අයියට මං කමෙන්ට්ස් දාන නිසා රික්වෙස්ට් කරන්න ඇති ..” මා එසේ කියද්දී කේතකී දිගු කතාවක් කියන්නට උපැස් යුවළ ගැලවූවා ය.

“ෆ්‍රෙන්ඩ් ලිස්ට් හිටිය වගේම ඒ ළමය මෙහෙ යන්න එන්නත් ඇති.අපි ඇවිල්ලත් දැන් කී දවසක් ද..ඔච්චර කාලයක් නොපෙනුණු ධීර ඇයි අපට එකපාරටම පෙනුණෙ?”

ඇය එසේ කියා අප දෙස බලා හුන්නා ය.

“උඹල දෙන්නගෙම ඇස් පේන්න පටන් ගත්තේ මෑතකදි නිසා.චමා බූරු චරිතයා අමතක කරා.මෙයාටත් අර මෝඩයව අමතක වෙලා ඇති..දැන් ලෝකෙ ලස්සන පේනවා ඇති..”

ඒ වචන කිහිපය මගේ හවස් වරුවම විනාශ කර දමන්නට සමත් ය.මම වහා ගොස් ඇඳේ පෙරළුනෙමි.පසන්! අහම්බයකින් දුටු දෑසකට ඔබව අබිබවා යාමේ ඉඩක් නැත. ඔබ සරනි අතැර දමා දිනෙක යළි පැමිණෙන බව මම තරයේ විශ්වාස කරන්නියක්මි.ඉතින් මා බොහෝ වෙලාවක් ඇඳේ පෙරළෙමින් මීට වසර කිහිපයකට පෙර සිටි දඟකාර සැහැල්ලු සාරදීගේ සුන්දර අතීතයේ සක්මන් කරන්නට ගතිමි.

මා එසේ බොහෝ වෙලා හිඳින්නට ඇත.මා පසන් නිසා රිද්දා ගන්නා ඕනෑම මොහොතක තනිව හිඳින්නට ඉඩ දී චමත්කාත් කේතකීත් බොහෝ සන්සුන් වෙති.අද ද ඔවුන් ඒ නිහඬ වෘතය පුරන්නට ඇත.මම දුරකථනයේ වෙලාව පිරික්සූයෙමි.පහේ කණිසම ද ගෙවි ගොස් ය.දුරකථන මුහුණතේ මැසේන්ජර් පණිවිඩයකි.මට එය පිරික්සන්නට සිතක් පැමිනිණි.

“ඔයාට පාං එපාද?”

ධීර, ඒ ඔහු ය.සෑම කොල්ලෙකුම හායි කියමින් අරඹන කතාබහ පාන් ගෙඩියකින් පටන් ගත් තරුණයා ගැන මට පහළ වූයේ සිනාවකි.මම යහනින් නැගිට පහළ බැලුවෙමි.චමත්කාත් කේතකීත් කියවමින් මිදුලේ අඹ ගස යට ය. ඔවුන් රෑ කෑමට පාන් ගන්නට මඟ බලනවා විය යුතු ය.ඔවුන් සමඟ මිදුලේ හිඳින්නේ විසල් හා නිසල් පමණකි.ධීර ඇත්තේ මාලක අයියාගේ කාමරයේ ය.ඒ කාමරය ගෙමිදුල හොඳින් දර්ශනය වේ.මට පහළට යන්නට හදිසි ආශාවක් පැමිණින.ධීරට ස්ටිකරයක් යැවූ මම පහළට බැස්සෙමි.

“තාම ගියේ අර අල පාං කාරය අප්පා..”

කේතකී නෝක්කාඩු කීවා ය.ඇගේ අලපාන් කාරයා අමතක කළ මම මාලක අයියාගේ කාමරයට හොර බැල්මක් හෙළුවෙමි.ඔවුන් දෙදෙනා කාමරයේ ය.

“අම්මා පාං ගන්න එකක් නෑ.උයයි.ධීර අයිය ආවම අම්ම රහට උයනවනෙ.අයියාට ඉන්න යාලුවන්ගෙන් සිරිමත් ධීර අයියා හින්ද අම්මා සලකන්නෙ බොක්කෙන්ම”

නිසල් කියවන්නට ගත්තේ ය.මට ප්‍රහේලිකාව පුරවා ගන්නට සිත් විණි.

“ඒ අයියා අර ඇඹුල්තියල් ඕනර් නේද? එයා එපැයි ඔයාලට කෑම ගේන්න..”

නිසල් තම නිවුන් සහෝදරයාගේ මුහුණ බලා හිනැහුණේ ය.අනතුරුව අඹ ගස මුල බංකුවේ මා අසලින් හිඳ ගත්තේ ය.

“ඒකෙ ඕනර් ධීර අයිය නෙවේ අක්කෙ.රියල් ඕනර් ඉන්නෙ අපේ ක්ලාස් එකේ. ඌ හිතන් ඉන්නෙ ලංකාවෙ බාගයක්මත් උගෙ කියල.ඉතිං ෆැමිලි බිස්නසුත් උගෙ..”

තමන් හා එකම පන්තියේ ඉගෙන ගන්නා ධීරගේ මල්ලි ගැන විස්තර කරන්නට විසල්ටත් නිසල්ටත් බොහෝ වෙලා ගත විණි.

“කිසිම චාරයක් නැති ගෙයක් අක්කෙ.හැමදාම මොකක් හරි පාටියක්.ධීර අයියා වැඩියෙන් හිටියේ එයාගෙ ලොකු අම්මා ගාව.ඒ ඇන්ටි අන්මැරීඩ්.දැන් මාසෙකට දෙකකට කලින් එයා හාට් ඇටෑක් එකකින් මැරුණා..පව්.ඊට පස්සෙ තමා ධීර අයියා ඔය ෆුඩ් ඩිලිවරි පටන් ගත්තෙත්..එතකන් ලොකු අම්මගෙ පැන්ෂන් එකෙන් එයාලා හිටියෙ.ඔය මීගොඩ පැත්තෙ ගෙයක් රෙන්ට් කරන් හිටියෙ..”

ප්‍රහේළිකාව විසඳුණු අපි තිදෙනා මුහුණට මුහුණ බලා ගත්තෙමු.ඔහුගේ කතාව අප සිතුවාට වඩා අසුන්දර ය.දුක්බර ය.

“අහල තියනවද කාක් කූඩුවලට වැටෙන කොවුල් පැටව්..මේ එහෙම එක්කෙනෙක්..” විසල් අපූරු උපමාවක් ගෙනාවේ ය.පසන් නිසා අලුතෙන් ඇවිස්සුණු සිත නිවී යන්නට ඒ කොවුල් පැටියාගේ මන්දස්මිතයක් දකින දොළකින් මා පිරී ගියේ ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x