fbpx

පතොක් මලක ප්‍රේමය -08

නුගේගොඩට මහ වැසි ඇද හැලෙමින් තිබිණ.වර්ෂාව පතිත වේයැයි ඉඟි පළ වූ දිනයක මට මහ මඟට නොබැස ඉන්නට තිබිණ.නමුත් මා සිටියේ අලුත් පොතක් මිලට ගන්නා නොතිත් ආශාවකිනි.

“ඕක ඔන්ලයින් ඕඩර් කරන්න සාරා..දවසකින් එනවනෙ..”

දෙමිතුරියන් මඟින් මඟට කීව ද මට උවමනා වූයේ රස්තියාදුවක ගොස් පොතක් තෝරා ගන්නට ය.බොහෝ කාලයක් මඟ බැලූ පොතක් නිකුත් වූ ප්‍රීතියෙන් මා පිරී ගොස් ය. ඉතින් මට උවමනා වූයේ වහා එය අයිති කරගන්නට ය.පසන්ගේ නික්ම යාමෙන් පසු සතුට සහ සැනසීම අහිමි මගේ ලෝකයට යාන්තම් හෝ හසරැල්ලක් රැගෙන ආවේ පොත් පමණකි.

“මං මෙහෙමම යන්නං..”

මම දේශන අවසන් වූ වහා කේතකීට එසේ කීවෙමි. මා පොත් අතර සැරිසරන්නට කැමති තනිවම ය. ඒ මා නිවෙන මොහොත ය.එවග දන්නා ඔවුන් මට එක් වීමට සිතුවේ නැත.පොත් ගෙන අවසන් වූ මට එකසිය තිස් අටක හෝ එකසිය විසි පහක නැගී බෝඩිමට එන්නට තිබිණ.නමුත් මට අහම්බයකින් හිතේ රැඳුණු ගවුමක් සිහි විණි.ඇඳුමක් ගැනීමේ සිතක් පහළ වන්නේ ඉඳහිට ය. මම ගම්සභා හන්දියේ නිමි ඇඳුම් හලට රිංගා ගත්තේ එනිසා ය.

අහම්බයකින් පහළ වූ හැඟීම වේදනාත්මක තුවාලයක් වූයේ මා හිත ගත් ගවුම රැගෙන මුදල් ගෙවා පිටතට එන්නට සැරසෙද්දී ය.අනෝරා වැහි මැද මගේ හදවතේ අකුණු පුපුරවමින් වෙළඳ සැලට ගොඩ වූයේ පසන් ය.ඔහුගේ අතක එල්ලී සරනි නොසිටියා නම් මා ඔහු නුදුටුවා සේ එන්නට ද තිබිණ.එක්කෝ මා දුටු පසු ඇයට එතරම් තදින් ඔහුගේ අතේ එල්ලී නොගන්නට තිබිණ.

මහ වැස්සේ පිටතට ආ මම ඔහේ මාර්ගය දිගේ ගමන් කළෙමි.අනෝරා වැස්සටත් මහ අකුණුවලටත් බය දැරියක පසන් හඳුනයි.දැන් ඇය මිය ගොස් අවසන් ය.හිස මත අකුණු පිපිරුව ද ගණන් නොගන්නා යුවතියක තෙමෙමින් පාරේ ඇවිද යන්නට පටන් ගත්තා ය.

“සාරදී..”

මහ වැස්සේ ඒ හඬ ආවේත් මා ඉදිරිපිට ඔහු සිට ගත්තේත් මට සිතන්නටවත් ඉඩක් නොතියා ය.

“කොහෙද මේ යන්නෙ..කුඩයක් නැද්ද?”

ධීර! ඔහු බොහෝ සැර බව මට සිතිණ.ඒ ප්‍රශ්න දෙකම ඇසුණේ මා කඩපිලකට තල්ලු කරගත් ඉනික්බිති ය.

“මං කොහේ ගියාම තමුසෙට මොකද?” පසන් අතින් මරණයට පත්ව යළි උපන් සාරදී ඇසිය යුතුව තිබුණේ එවැනි ප්‍රශ්නයකි.නමුත් මා ඉකිබිඳිමින් සිටි බව මා වටහා ගත්තේ ඔහු ඇසිපිය නොහෙළා මදෙස බලා හිඳිද්දී ය.

“ඔයා අඬනව නේද නංගි? ඇයි..පර්ස් එක හරි ෆෝන් එක හරි නැති වෙලාද? නැත්තං බස් එකකදී මොකක් හරි කරදරයක් වෙලා බැස්සද ඔයා?”

ඒ හඬ ගලා ආවේ සන්සුන්ව ය.මම අපිළිවෙල තරුණයාට ඇස අලවා ගෙන ඔහේ සිටියෙමි.පසන් මොනතරම් පිළිවෙළදැයි මට හදිසියේ සිහිපත් විණි. බාහිර පිළිවෙල පමණක් පල ඇතිදැයි මම අනතුරුව සිතීමි.

“මේ විදියට බස් එකේ යන්න බෑනෙ ඔයාට..හොඳටම තෙමිලා.අපි ඉඩ තියන බස් එකක් එනකං ඉමු…”

ඔහු කියද්දී මම අකුණු ගසන අහස දෙස බලා සිටියෙමි.

“අපි ටැක්සි එකක යං..” කියූ මට ඌණපූර්ණයක් ද එක් කරන්නට සිතිණ.

“මං ගාව සල්ලි තියනව..”

එය ඔහුට කළ නිගරුවක් දැයි මා දන්නේ නැත.නමුත් ඔහු දුරකථනය අතට ගෙන ටැක්සියක් ඇණවුම් කරන්නට මොහොතක් වෙහෙසුණේ ය.එය ආවේ තදබදය අතරින් බොහෝ වෙලාවකට පසු ය.

“පරිස්සමිං යන්න නංගි..” ධීර එපමණක් පැවසුවේ ය.මම වහා ඔහු වෙත හැරුණෙමි.

“අයිය ගෙදර යනවද..නැත්තං වෙන ගමනක් යනවද? ගෙදර යනවනම් මා එක්ක යං..” ඔහු කිසිත් නොපවසාම තෙරෝද රථයට ගොඩ විණි.

තාත්තා ද පසන් ද පමණක් දැන හුන් රහසක් ඔහුට හෙළි කරන්නට මට සිත් වූයේ මහරගමට ආසන්න වෙද්දී ය.

“මං අකුණු ගහනවට හරි බයයි.දැං කළුවර වැටෙන්නත් කිට්ටුයිනෙ.මං කළුවරටත් බයයි..”

මගේ දුරකථනය නාද වෙන්නට ගත්තේ ඒ මොහොතේ ය.අම්මා! ඇය මා කොහේදැයි විමසන හැඩකි.

“කොහෙද චූටි මැණික ඔයා?”

අම්මා කලබල නොකරන්නට උවමනා ය.මට අමතද්දී ඇගේ සවන් බොහෝ තියුණු ය.මා හඬන බව වටහා ගන්නවාට වඩා මා හිඳින්නේ වර්ෂාවකට මැදිව බව ඈ දැන ගත්තාට කම් නැත.ඇය මගේ ගමන ගැන අසා ත්‍රීරෝද රියේ හිඳින්නේ කවරෙකුදැයි ඇසුවා ය.

“මාලක අයියයි තරූ අක්කයි මීට් වුණා අම්මා..”

මා දුරකථනය විසන්ධි කරද්දී ධීර මදෙස බැලුවේ සිනාවකිනි.

“අම්මලට බොරු කරන්න හොඳ නෑ..”

මම මොහොතක් නිහඬව සිටියෙමි.ඔහුට කියන්නට කියත් තල වැනි වචන මගේ මුවට එන්නේ ම නැත.

“දුකකින් කරදරේකින් වෙන්න ඇති කියල අම්මා බය කරනවට වඩා අහිංසක බොරුවක් කිව්වට පව් නැතුව ඇති..”

මහරගම නගරය පසු වෙද්දී ඔහු මදෙස බලා හිඳින බව මට හැඟිණ.මා හිස ඔසවා සෘජුව ඔහු දෙස බැලුවෙමි.

” අඬ අඬ ආවේ..”

ඒ වනචර මිනිසෙකුගේ බස්‍ රියේ අතවරයකට ලක් වීමක් හෝ මුදල් පසුම්බිය අහිමිවීමක් නිසා නොව මා හැර ගිය ප්‍රේමවන්තයා හදිසියේ දුටු නිසා බව ධීර අසා සිටියේ ය.ඒ ඇස් එතරම් කාරුණික බැල්මකට පෙරළා නොගෙන මට සවන් දෙන්නට නොහැකිදැයි ඔහුගෙන් අසන්නට මට ඕනෑ විය.

නමුත් මා සුසුම් හෙළමින් පසන්ගේ හැරයාම නිසා ඇති වූ මරණීය වේදනාව ධීරට හෙළි කරමින් සිටියෙමි.එළිමහනේ අකුණු සමඟ මහ වැසි ය.මගේ හිත පුරා පිපිරෙන අකුණු වල ආවේගය දෙකම්මුල් තෙමා ගලමින් තිබිණ.එහෙත් ඔහු මට හඬන්නට එපායැයි පැවසුවේ ද නැත.

“වැස්සෙම ගිහිං පොත් ගන්න තරං පොත්වලට ආසද?”

පසන් ගැන බොහෝ දේ අසනු වෙනුවට ඔහු මගෙන් එසේ ඇසුවේ ය.මම දෑස් විදා ධීර දෙස බැලුවෙමි.මේ හිඳින්නේ පොත් කියවීම ජීවිතය කරගත් කෙල්ලක බව ඔහුට දැන්ම නොකියා හිඳින්නට මම තීරණය කළෙමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
1
0
Would love your thoughts, please comment.x
()
x