fbpx

හේමන්ත සන්ධ්‍යා – 09

සමහරක් වෙලාවට අපි වැරදි බව දැන දැන ම ඒ වැරදි කිරීමේ විකෘති ආශාවකින් පෙළෙමු. එක වතාවකට පමණක් ය කියා ඒ දේ කරමින් හදවත තෘප්ත කර ගැනීමේ ළමා මානසිකත්වයකට පිවිසෙමු. මේ වෙලාවේ විදත් හැසිරුණේ ත් එසේ ය. සැබවින් ඔහු වැරදීමකින් නිකිනි ඇමතුවා නොවේ. ඒ ටික දවසක් තිස්සේ අමාරුවෙන් හිත යට ඔබා ගෙන උන් ආශාවකි. දිය යට එබූ රබර් බෝලයක් සේ, මේ මොහොතේ එය උඩ මතු වෙන එක වළකා ලන්නට හෙතෙම අපොහොසත් වූයේ ය.

නිකිනි සිටියේ බලාපොරොත්තුවක් වුව නැති ඇගේ ම සිහින ලෝකයක ය. ඒ නිසා මේ වැරදීම වුව ඇය ට මහ මෙරක තිගැස්ම ගෙන එන ලදී.

“ඉතිං…කොහොමද නිකිනි…”

ඇය අහිංසක ලෙස සිනහ වුණා ය. නීරස විවාහයක් තුල දුක් වළඳමින් සිටින ගැහැනියකට එසේ සිනහ විය හැකි ද කියා ඇයට ම වුව සිතා ගත හැකි වූයේ නැත.

“මං එන්න කලිං මිත්‍ර මීට් වෙන්න ගිය වෙලාවෙ සුමනා ආන්ටි කිව්ව දැන් ඔය දෙන්න හොඳින් ඉන්නව කියල”

එවරත් ඇය කළේ සිනහවක් නගා ගන්නා එක ය. කොහොමටත් පිටස්තර පිරිමියෙකු සමගින් සැමියා විවේචනය කරන්නට යාම බරපතල වරදක් බව ඇය දැන සිටියා ය. එනිසා ඇති විය හැකි අහිතකර විපාක ගැන ඇය අසා තිබුණා ය.

“ඇයි….”

විදත් ට ඒ සිනහවේ වෙනස දැනිණ.

“නෑ”

නිකිනි සිනහ වූයේ කුළුඳුළේ ම පිරිමි ඇසුරක් විඳින යොවුන් දැරියක සේ ය.

ඊට පසු උදා වූයේ කවරක් පවසන්න දැයි දෙදෙනා ට ම වචන සොයා ගත නො හැකි වූ ගැඹුරු නිහඬතාවයකි. ඒ මිහිර තුළ ගිලී ඉන්නට නිකිනි නම් ආශා වූවා ය. නමුත් විදත් ට දැනුණේ එවන් නිහඬ හිස් තැනක් වනාහි සිය දුර්වල කමක් සේ ය.

“ඉතිං…කාල බීලද ඉන්නෙ දැං…”

“ම්…දවල්ට කෑම කන්නෙ කලාතුරකින් මං”

ලැජ්ජාශීලී ව මුත් ඇය ඇත්ත කීවා ය.

“ඇයි ඒ…”

විදත් පුදුම වූයේ ත් ඇත්තට ම ය.

“කම්මැළි හිතෙනව….තනිකම කොච්චර දුකක්ද වදයක්ද කියල දැනෙන්නෙ මුළු දවසම තනියම ඉන්න කෙනෙක්ට…ඒ හැඟීම හිත බර කරනකොට කන්න හිතෙන්නෙ නෑ. කොටිංම කන්න ඕන වෙන්නෙ නෑ”

බිනුරි ට හෝ කියා නැති ඒ ඇත්ත විදත් ඉදිරියේ පාපොච්චාරණය කරන්නට සිත් වූයේ ඇයි දැයි නිකිනි නො දනී. නමුත් ඇයට සිත් සැහැල්ලුවක් දැනිණ.හිතුවක්කාර පිරිමි හැඟීමකට නතුව අද කතා කළා වුණත් ආයේ එසේ නො කර ඉන්නට වැඩි ඉඩක් තිබූ විදත්, නැවත එසේ කරන තැනට පත් වූයේ නිකිනි ගේ ඒ ප්‍රකාශය නිසාවෙනි.

“ඉතිං ඇයි දරුවෙක් හදා ගන්නෙ නැත්තෙ..”

කියා අසන්නට ඔහු කට ගත්තේ ය. නමුත් වහා ඒ වචන ටික සිය මුව තුළ ම ගිල ගත්තේ ය. ඒ වගේ ප්‍රශ්නයක් අසන්නට තරම් සමීප බවක් ඔවුන් දෙදෙනා අතර වන්නේ ද? එසේ නැති වුණත් ඔහු ට මේ මොහොත බෙහෙවින් සමීපයි සේ දැනිණ.

“වෙලාවකට හිතෙනව ජොබ් එකක්වත් කරන්න තිබුණනං කියල”

“ඉතිං හොඳයිනෙ…කරන්නකො…”

“බෑනෙ…ජොබ් කරන්න අවසර නැතුව මැරි කරපු ඈයොනෙ අපි”

“ඇයි ඒ…”

“හෝම් වර්ක් තමයි ඉතිං…වැඩකාරකමට වගේ ඉන්නව..මේකනං ඉරණම…මොනා කරන්නද වෙන…”

ඒ වචන ටික බර වාහනයක් සේ සිය පපුව මත හැපෙනවා විදත් ට දැනිණ. මහත් වරදකාර හැඟීමක් ඒ සමගින් ම පපු කුහරයට රිංගා ගත්තේ ය.

ඇය සිය සැමියා ගෙන් මිදී මහ ගෙදර ගොස් උන්නා ය. ඒ ගැන හරි හැටි හේතු නො විමසා ම ඔහු කළ යම් යම් ප්‍රකාශයන් නිසා ඇය ට යළි ස්වාමියා ගේ නිවසට එන්නට සිදු වූවා නො විය හැකි ද? නිකිනි ගේ වචන වල සේ ම සිනහ පොදක ද තැවරී තිබෙන සන්තාප පොදිය, ඔහු වැරදි බව විදත් ට ඇඟිල්ලෙන් ඇන පෙන්වනවා සේ විය.

ඒ දුරකථන සංවාදය නිමා වීමෙන් පස්සේ වුව විදත් ගේ හිත් බර තුනී වී ගියා නොවේ. නමුත් නිකිනි නම් විශේෂ සැහැල්ලුවකින් හෝ සතුටකින් සිටියා ය. හැන්දෑවේ ඈ බලා යන්නට ආ බිනුරි පවා ඒ වෙනස දුටුවා ය.

“ඇති යාන්තං”

ඈ සිනාසුණේ සතුටෙනි.

“ඇයි…”

නිකිනි ඇස් කුඩා කොට ඇසුවා ය.

“මෙයා සතුටෙං ඉන්නව. හිනා වෙලා…”

නිකිනි ගේ සිනහව පුළුල් වූයේ ත් විදත් ඇගේ සිත ඉදිරියේ හරස් වූයේ ත් එකට ම ය.

“මේ සැරේනං මංජුල හොඳ වෙලා වගේ. එක අතකට පිරිමිංව මට්ටු කරන්න ඔහොම දෙයක් නොකරත් බෑ. මිනිහ දැං බය වෙලා ඇති ඔයා ආයෙ ගෙදර යයි කියල”

එවර නිකිනි නගා ගත් සිනහවේ හැඩය වෙනස් එකකි.

“එයා නං බය වෙයි…අම්ම රෙදි ටික හෝදල බත් ටික උයල තියනවනං එයාට මං හිටියත් එකයි නැතත් එකයි”

“ඔහොම තමුංවම අවතක්සේරු කර ගන්න එපා නිකී”

“ඕව ගැන කතා කරල වැඩක් නෑ බීනු”

තේරුම් ගත නො හැකි අයත් එක්ක මොනවා කතා කළත් ඇති වන වෙනසක් නැති බව නිකිනි තේරුම් ගෙන දැන් බෝ කලකි. බිනුරි වූ කලී සාමකාමී සන්සුන් පවුල් ජීවිතයක් ගෙවන්නියකි. ඔවුන් ගේ විවාහය පෙම් සබඳකමක් මත සිදු වූ අතර, නිවුණු පිරිමියෙකු වන අකලංක බිනුරි ත් දරුවා ත් වෙත බැඳුණු ජීවිතයක් ගෙවයි. එහෙම පිරිමිත් ලෝකයේ සිටිති. මංජුල වගේ පිරිමිත් ලෝකයේ සිටිති. ඒත් එක්ක ම විදත් ගේ රුව හිතේ ඇඳී අකුණු පිපිරීමක් සිදු වූ බව නිකිනි ට දැනිණි. ඇය වහා සන්සුන් වූවා ය.

“මේ සැරේවත් ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න විදත් ව කැමති කර ගන්නකො”

කොහෙන් කැරකී හෝ බිනුරි අවසානයට එන්නේ එතැනට බව නිකිනි දනී. ඇය දිගු සුසුමක් හෙළුවා ය.

“ඒ මනුස්සය එන්නෙ නැත්තං මං වඩං යන්නද බිනූ”

“ඉතිං අනේ…මෙච්චර කල් දරුවෙක් නැත්තෙ මොකද කියල චෙක් කර ගන්න පුළුවන් නෙ. ප්‍රශ්නයක් තියෙනවනං දෙන්නගෙං කාට වුණත් ට්‍රීට්මන්ට්ස් කරන්න පුළුවන් නෙ. දැං ඕව ඒ තරං ලොකු දේවල් නෙවෙයි. මංජුල ට සල්ලි නැතුවත් නෙවෙයිනෙ”

“දරුවෙක් හිටියත් නැතත් එයාට ගාණක් නෑ වගෙයි මටනං දැනෙන්නෙ”

“ඒක මාර කතාවක්නෙ”

“මාර දේවල් නේන්නං බීනු මේ වහල යට සිද්ද වෙන්නෙම…ඕගොල්ලො මොනා දන්නවද…”

බිනුරි සිය නිවුන් සොහොයුරිය දෙස බලා උන්නේ විදා ගත් නෙතිනි. ඔවුන් දෙදෙනා එක් ව සිටි කල නිවුන් සොයුරියන් යයි නො දන්නා කෙනෙකු නම් කිසි සේත් සිතුවේ නැත. ඒ, නිසි සේත් ඔවුන් දෙදෙනා ගේ රූප කාය සමාන නොවූ බැවිනි. නමුත් කුඩා කල සිට ම සුමනා ඔවුන් ට අඳින්නට පුරුදු කළේ එක ම මෝස්තරයේ ගවුම් ය.

“එහෙම ඕනෙ නෑ. දෙන්න කැමති වෙන විදිහෙ මෝසතර වල ඇඳුං වලටනං වෙනස් දෙකක් ගන්න”

තාත්තා – ජගත් සමග ඇඳුම් ගන්නට ගිය අවස්ථා වල ඔහු එහෙම කීවේ ය. වතාවක් දෙකක් ඔවුහු එසේ කළහ. නමුත් වෙනස් ඇඳුම් මෝස්තර දෙකක ඇඳුම් එක විට අඳිත්දී දෙදෙනාට ම එය පහසුවක් දැනවූයේ නැත. ඒ නිසා විවාහ වී වෙන් ව යන තුරු ම දෙදෙනා එක විට ඇන්දේ එක ම මෝසතරයට ය.

කුඩා කල පටන් ම නිකිනි රුවින් අග තැන් පත් වූවා ය. එසේ වීත් සිය පාසල් වියෙහි දී හෝ ඇය ප්‍රේමයක නො බැඳුණේ කිම් දැයි බිනුරි ට සිතා ගත නො හැකි ය. යෝජිත විවාහයක් තෙක් බලා නො සිට ඇය ස්වකීය කැමැත්තෙන් විවාහය සඳහා තරුණයෙකු තෝරා ගනු ලැබුවා නම් මේ සංකීර්ණ ප්‍රශ්න උදා වන්නට නො තිබුණා යි බිනුරි සිතුවේ සන්තාපයෙනි.

කෙසේ වෙතත් බිනුරි එදා නික්ම ගියේ හිතේ කුකුසක් ඉතිරි කර ගෙන ය. ඒ වහල යට සිය නිවුන් සොයුරිය දුක් විඳිනවා යි බිනුරි ප්‍රථම වතාවට වටහා ගත්තා ය.

“මට තේරෙන්නෙ නැත්තෙ මං නිකීට කියන්න ඕනෙ මොනාද කියලයි. පොඩි කාලෙ ඉඳලම අපි දෙන්නට හෙම්බිරිස්සාවක් උණක් වුණත් හැදුණෙ එකට. ඒත් අද මං මෙහෙම ඉන්නකොට නිකී ඉන්නෙ සතුටෙං නෙවෙයි. නිකී ඉන්නෙ දරා ගන්න බැරි දුකක් හිතේ හංගගෙන…ඒව අපිට පෙන්නන්නෙ නැතුව…”

අකලංක සමගින් එසේ කියත්දී බිනුරි ට හැඬුණි. සහෝදරිය වෙනුවෙන් කළ හැකි යමක් සිතා ගත නො හැකි වීම ඈ වඩාත් අසරණ කොට තිබිණි.

“බීනු. පවුල් ඇතුළෙ ඔහොම දේවල් වෙන්න පුළුවන්. අපි දකිනවනෙ එළියෙ ඉන්න නිසා. ඔය වගේ සම්බන්ධකං ඇති වෙනව. හැබැයි පවතින්නෙ නෑ. අන්තිමට ඉතිං කසාද ගෑනි තමයි. ඒක නිසා නිකිනි ට කලබල නොවී ඉන්න කියන්න. මොකද මංජුල ඩිවෝස් එක ඉල්ලන්නෙ නෑනෙ”

ඔහු දැක ඇති අසා ඇති සමාජයේ සිදු වන දෑ අනුව එළඹිය හැකි නිගමනයෙන් අකලංක පිළිතුරු දුන්නේ ය.

“ඒ වුණාට අපි හිතනවට වැඩිය දෙයක් එතන තියනව වගෙයි. මට නිකී ගෙ කතාවෙන් තේරුණේ…”

“එක්කො ඔයා නිකිනි එක්ක කතා කරල හරියටම ප්‍රශ්නෙ මොකද්ද කියල දැනගන්න. එතකොට මට හරි පුළුවන්නෙ මංජුල එක්ක කතා කරන්න…”

අකලංක ට කළ හැකි වෙනත් යමක් සැබවින් ම වූයේ නැත. මංජුල ගේ කුමක් හෝ පොඩි සම්බන්ධයක් තිබෙන්නට පුළුවන. ගැහැනුන් කියන්නේ කෙන්ද කන්ද කර ගන්නා ජාතියකි. මෙතන සිදු ව ඇත්තේ ත් එබන්දකැයි හෙතෙම උපකල්පනය කළේ ය.

දැන් නිකිනි ට කවර පාළුවක් හෝ නැත. ඇගේ ජංගම දුරකථනයෙහි වට්ස් ඇප් ඇමතුම් අතර විදත් සිටියේ ය. පැසුණු කෙස් හා රැවුල ඇති ව ඡායාරූපයේ හිඳින ඔහු වෙතින් දිස් වන දඟකාර පිරිමි පෞරුෂය දෙස ඇය සිත් සේ බලා සිටියා ය. ඔහු ඔන් ලයින් එන වෙලාවත්, එසේ නො වන වෙලාවනුත් අනුමාන වශයෙන් සිතා ගත හැකි තරමට සමීප ලෙස ඈ ඔහු ව අධ්‍යයනය කරමින් සිටියා ය. 

“ගුඩ් මෝනිං”

එක උදයක ඒ පිටුව මත විදත් පැතුමක් අලවා ගොස් තිබිණි. ඒ දුටු නිකිනි ගේ ඇස් වලට කඳුළක් උනා ආවේ ය. ඇය වහා පෙරලා සුබ පැතුමක් තැබුවත් එය ඔහු වෙත සමීප වූයේ නැත.

විදත් ඒ ගුඩ් මෝනිං පැතුමෙන් පස්සේ ඩේටා ඕෆ් කර ගත්තේ හිතා මතා ම ය. ඔහු ගේ හදවත වියපත් වෙමින් නො තිබුණත්, නිකිනි සම්බන්ධ යෙන් වැඩිපුර ඔහු ට තියෙන්නේ ඔහු ඇයට වඩා බෙහෙවින් පැසුණ මිනිසෙකු ය යන්න ඒත්තු ගන්වන මතක ය. ඒ තරම් පුංචි එකියක කෙරේ ඔහු ගේ හිත මේ විදිහේ සෙල්ලමකට පටලැවුණේ කොහොම දැයි සිතන්නටවත් ඔහු නො සතුටු වූයේ ය. නිකිනි ගේ දුක්බර කට හඬ අමතක කළ නො හැකි තත්වයකට ඔහු දැන් එළඹෙමින් ඇති බව පමණක් විදත් දැන සිටියේ ය.

“ගුඩ් මෝනිං කිව්වහම මොකද…ඒක නරක හිතකිං කියන දෙයක් කියල කාටවත් කියන්න බෑනෙ…”

ඔහු තමන් ගේ පැත්ත බේරා ගැනීම වෙනුවෙන් ඔහු ගේ සිතත් එක්ක ම පොර බැදීමක ද සිටියේ ය. විදත් යළි ඩේටා ඔන් කර බලන විට නිකිනි ගෙන් පෙරලා උදෑසනට සුබ පැතුම් පමණකුදු නොව ඈ ඔහු අමතන්නට උත්සාහ කළ බවට ඉඟියක් ද විය. දෙවරක් තබා එක වරක් හෝ නො සිතු විදත් පෙරලා ඇය ට ඇමතුමක් ගත්තේ ය. එතකොට නිකිනි සිටියේ දිය නාමින් නාන කාමරයේ ය. ඒ ඇමතුම ඇය ට මගහැරී ගියේ ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
1
0
Would love your thoughts, please comment.x
()
x