මතක දිගහැරුම 19 – අප්සාරි සිංහබාහු තිලකරත්න

දහනවවන දිගහැරුම ,

ලංකාවේ ගත කරන දිනයන් වලට වඩා මා බොහෝ දිනයන් ගත කළේ පිටරටවල ය . ලංකාවෙන් සමහර මාර්ග පිළිබඳ නොදන්නා මා පිටරට වල මාර්ග සහ කඩ සාප්පු පිළිබඳව හොඳින්ම දැන සිටියෙමි. ඒ ආකාරයෙන් මගේ සේවා කාලය තුළ මා රටවල් බොහෝ සංඛ්‍යාවකට ගොස් ඇත්තෙමි. එම සෑම රටක් ම එකිනෙකට වෙනස් වූ අතර ඔවුන්ගේ සිරිත් විරිත් සහ සංස්කෘතියෙන් ද එකිනෙකට වෙනස් විය. ඒවා පිළිබඳව මට ඇත්තේ ද වෙනස් ආකාරයේ සුන්දර වූ අත්දැකීම් ය .

ඇත්ත වශයෙන්ම ගුවන් සේවිකාවන් යනු රටක් නියෝජනය කරන පිරිසක් ය . ලෝකයේ විශාල ම ගුවන් තොටුපළවල් වලට මෙන්ම අතිශය කාර්ය බහුල වූ ගුවන්තොටුපොළවල් හරහා මා ගොස් ඇති අතර විවිධ රටවල් වල දහස් සංඛ්‍යාත වූ පිරිසක් අප දෙස බලා සිටිනු මා දැක ඇත්තෙමි. මොණර පිහාටු සහිත කොළ පැහැති සාරියෙන් සැරසුනු අප එසේ ගුවන්තොටුපොළවල් හරහා අපගේ නවාතැන් කරා යන විට ඇත්ත වශයෙන්ම ගුවන් සේවිකාවක වශයෙන් මගේ රට නියෝජනය කිරීම පිළිබඳව මා තුළ තිබුණේ අතිශය ආඩම්බරයකි. එසේ ගුවන් තොටුපලවල් හරහා යනවිට අපට විටෙක දැනෙන්නේ අප සියලු දෙනා ලංකාව නියෝජනය කරන තානාපති වරුන් මෙන් ය.කෙතරම් වෙහෙස මහන්සි වී සිටිය ද අපගේ නිල ඇඳුමෙන් සැරසී මිනිසුන් අතරින් යන විට දැනෙන ආඩම්බර හැඟීම වචනයෙන් කියා විස්තර කළ නොහැකි තරම්ය .

ගුවන් යානයේ ගමන් කරන සෑම ගුවන් මගියෙකුට අප ඉතා කාරුණිකව සලකන අතර ඔවුන්ට අවශ්‍ය සේවා සපයන්නේ ඉතා සුහදව සහ මිත්‍රශීලීව ය. ඇතැම් විට ඉතා කුඩා දරුවන් සමග ගුවන් ගත වන මවුවරුන්ට එම දරුවන් රැකබලා ගැනීම සඳහා සහය වීම ද අපගේ රාජකාරියේ කොටසකි. එපමනක් නොව බොහෝ විට අසනීප වූ අයද ගුවන් යානයේ ගමන් ගන්නා නිසා ඉතා ප්‍රවේශමෙන් ඔවුන්ව බලා ගැනීමද අපගේ වගකීමකි.

වරෙක ශ්‍රී ලංකාවේ ප්‍රවීන නළුවෙකු වූ ජෝ අබේවික්‍රම මහතා මා රාජකාරි කළ ගුවන් ගමන් වාරයක ඉන්දියාවට යෑම සඳහා පැමිණියේය. ඒ මොහොතේ දෑස් සම්පූර්ණයෙන්ම නොපෙනෙන තත්ත්වයක පසුවූ ඔහු ව ගුවන් යානයට නැංවූයේ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු විසිනි. කුඩා කල සිටම සිංහල චිත්‍රපටි වලට බොහෝ ඇලුම් කළ මා ගුවන් යානය තුළදී ඔහුට ඉතා හොඳින් සැලකුවෙමි . දෑස් වල සැත්කමක් සඳහා ඔහු ඉන්දියාවට පැමිණෙන තුරු ගුවන්තොටුපොළේ ද පිරිසක් බලා සිටියහ . මා ඔහුගේ අතින් අල්ලාගෙන ඉතා ප්‍රවේශමෙන් ගුවන් යානයෙන් ඔහුව පිටතට කැටුව විත් ඔහු එනතුරු ගුවන්තොටුපොළේ බලා සිටි පිරිසට ඔහුව භාර දුන්නෙමි. එය මට මගේ සේවා කාලය තුළ අමතක නොවන අත්දැකීම් වලින් එකකි.

ඉතා දිගු ගුවන් ගමන්වලදී ආහාර පාන සහ අනෙකුත් සේවා සැපයීමෙන් අනතුරුව කුඩා විවේක කාලයක් අපට හිමි වේ . නමුත් එවන් අවස්ථාවල වාඩිවී සිටීමට අකමැති මා නිදි වර්ජිතව සිටින ගුවන් මගීන් සමග කතා බස් කරමින් , කුඩා දරුවන් සමග කාලය ගත කිරීම වැනි දෑ සිදු කළේ ඉතාම කැමැත්තෙනි . සමහර කුඩා දරුවන්ට පාටකූරු සහ චිත්‍ර පොත් ලබා දී ඔවුන් සමග චිත්‍ර ඇඳීම ද ඇතැම් විට මා සිදු කර ඇත්තෙමි .ඒ ආකාරයෙන් මිත්‍රත්වය සහ සුහදශීලී බව පෙරදැරි කරගත් සේවාවක් සෑම ගුවන් මගියෙක් වෙතම අප සැපයූවෙමු .

ඇතැම් විට ගුවන් සේවිකාවන් සඳහා වෙන් වූ ස්ථානයට පැමිනෙන සමහර ගුවන් මගින් අප රට පිළිබඳව බොහෝ විස්තර විමසයි . වෙනත් රටවල සිට සංචාරය සඳහා අප රටට පැමිණෙන මගින් අප රටේ සංචාරය කිරීමට සුදුසු ස්ථාන මොනවාදැයි අපගෙන් විමසයි. ඊට අමතරව අපගේ සංස්කෘතිය, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර ආදී දේවල් පිළිබඳව ඔවුන් අසන්නේ ඉතාම උනන්දුවෙනි .

මගේ සේවා කාලය තුළ බිහිසුණු යැයි කිව හැකි අත්දැකීම් ද මගේ මතකයේ ඇත. කොටි ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවේ දරුණු ලෙස පැවති සමයේ සමහර ත්‍රස්තවාදීන් ඇතැම්විට වෙනත් රටවලට පළා යෑම එකල බොහෝ විට සිදු විය. බහුතරයක් දෙනා වෙනත් රටවලට පළා යන්නේ බෝට්ටුවලින් වන අතර වෙනත් රටවල් වල දී ඔවුන් නීතියේ රැහැනට හසු වෙයි . එවිට ඔවුන්ගේ සියලු විස්තර , ඔවුන්ගේ වැරදි සොයා බලා ඔවුන් ව නැවත මව් රටට එවීම පිට රටවල රජයන් විසින් සිදු කරයි. ඔවුන් එල්ටීටීඊ ක්‍රියාකාරී සාමාජිකයන් නම් ඔවුන් සමග එම රටවල් වල පොලිස් නිලධාරීන් ද පැමිණෙයි . බොහෝ විට ඔවුන්ව රැගෙන යන්නේ ගුවන් යානයේ අවසාන පේළියේ ආසනවල වන අතර ඔවුන්ගේ දෙපා ආසනවලට තබා මාංචු දමයි.සමහර විටෙක ඔවුන් ගේ දෑත් වලට ද මාංචු දමනු ලබයි. ඔවුන්ට ආහාර පිළිගන්වන විට අප සාමාන්‍ය ගුවන් මගීන්ට ලබාදෙන හැඳි ගෑරුප්පු පිහි ආදිය ඔවුන්ට ලබා දෙන්නේ නැත. ප්ලාස්ටික් වලින් නිමවූ හැඳි ගෑරුප්පු පිහි ඔවුන් වෙනුවෙන් වෙනමම වෙන් කර ඇත. එසේ සිදුකරන්නේ ගුවන් යානයේ සහ ගුවන් මගින් සියලු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙනි. එයට හේතුව ත්‍රස්තවාදීන්ට ඕනෑම අවස්ථාවක එවැනි කුඩා පිහියක් පෙන්වා හෝ මගියෙක් ප්‍රාණ ඇපයට ගැනීම සහ ගුවන් යානය පැහැර ගැනීම සිදුකළ හැකි නිසාවෙනි .එම නිසා සියලුම ගුවන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි එවැනි අවස්ථා අවස්ථාවල අප ක්‍රියා කළ යුතුය . එවැනි ත්‍රස්තවාදී පිරිස් ගුවන් යානයේ ගමන් කරන විට ඔවුන්ටද අප අපගේ සේවාව සැපයිය යුතු වන අතර ඔවුන් අප දෙස බලන්නේ අධික කෝපය මුසු බැල්මකිනි. ඇත්ත වශයෙන්ම එවැනි ඇතැම් අවස්ථාවල අප ද බියට පත්වෙයි . කෙසේ හෝ ඔවුන්ව භාර ගැනීම සඳහා ගුවන්තොටුපොලට අදාල නිලධාරීන් පැමිණෙන අතර ඔවුන්ව රැගෙන එන නිලධාරීන් විසින් ඔවුන්ව අනෙක් නිලධාරීන් වෙත භාරදී භාර දී නැවත ඔවුන්ගේ රට වෙත යයි. මේ ආකාරයේ අත්දැකීම් මා හට බොහෝමයක් ඇත .

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles