සඳක් කළ සක්මන් -34

මම නංගී ව පන්ති වලට දැම්මෙමි. මීට පෙර ඇගේ ජීවිතයේ එවන් අංගයක් වූයේ නැත. පාසල් යනවා නම් ගොස් ගෙදර ඇවිත් පොත් ටික පසෙකට දමා යළි ඊළඟට පාසල් යන දිනයේ දී ඒවා ගෙන ගියා පමණි. පන්තියක් කියා දෙයකට ඇය ගියේ මගේ පෙරැත්තයට අම්මා දැමූ ශිෂ්‍යත්ව පන්තියට පමණකි.

පන්ති යාම ප්‍රමාණවත් යයි නො සිතා ගෙදරදී හැකි තාක් පාඩම් කරන්න යි මම ඇයට උපදෙස් දුනිමි. පාඩම් වල ගැටළු ඇති තැන් වෙතොත් මගෙන් විමසන ලෙස ද කියා සිටියෙමි. රැකියාවට ගොස් ඇවිත් මැදියම් රැය ඉක්ම යන තුරු ම මම පාඩම් කළෙමි. කලින් උසස් පෙළ විභාගයට සූදානම් වෙත්දී නො තිබුණු අධිෂ්ඨානයක් මේ වතාවේ මා තුළ මෝරා වැඩෙමින් තිබිණි. එනම් කෙසේ හෝ වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබනවා කියන එකයි. ගිය වතාවේ දී ඒ පිළිබඳව යම් දෙගිඩියාවක් මට විය.  මා සැබවින් ම ඒ තරම් දක්ෂ ද සහ මට වඩා දක්ෂ ළමුන් කොපමණ එතැනට යන්නට බලා සිටිනවා ද යන ප්‍රශ්න මත මම මා පිළිබඳව ම තරමක හීන මානයක හා උකටලී බවක පසු වූයෙමි. නමුත් ගිය වතාවේ ලැබුණ ප්‍රතිඵලය, මා තුළ මහත් උත්තේජනයක් ඇති කරන්න ට සමත් විය.

රෑ වන තුරු මා පාඩම් කරත්දී මම නංගීටත් පාඩම් කරන්න ට කීවෙමි. මුලදී දිනක් දෙකක් මගේ වචනය ඉවත දමන්නට බැරි කමට එසේ කළ ඕ ඉන් පසු කුමක් හෝ හේතුවක් කියමින් මගහරින්නට වූවා ය.

“මං දවල්ට පාඩං කරනව අක්කෙ”

මගේ බල කිරීම මග හරින්නට ඇය ට තිබුණ ලොකු ම තුරුම්පුව ඒ ය. 

නංගී දවල්ට පාඩම් කරනවා දැයි මම අම්මා ගෙන් ඇසීමි. 

“අනේ මන්දා ඔය ඇඳ උඩිං පොත් දෙක තුනක් තියා ගෙන පෙරළිලා නං ඉන්නව. මන්දන්නෑ ලොක්කි පාඩං කරනවද මොනා කරනවද කියල. වචනයක් කතා කරන්න බෑ හිතුවක්කාරකම. ආච්චම්මා කියන්නෙ ඔය කෙල්ලගෙ අපල දුරු වෙන්න බෝධි පූජාවත් වත් තියන්න කියලයි”

“ඉතිං අම්ම බලල ඒකත් කරන්න. මං සල්ලි දෙන්නං”

“අජිත් සද්ද නැතුව ඉන්නව. මෙහෙම ගිහිං පොඩ්ඩිව ගෙදරටම සින්න වෙයිද කියල මට බයයි ලොක්කි”

අම්මා ඒ ටික කීවේ නංගී ට හෝ තාත්තා ට හෝ ඇසේ දැයි විපරම් කරමින් රහසිගත හඬකිනි. මට ඈ පව් කියා සිතිණි.

“අම්ම බය වෙන්න එපා. අපි නංගිට තවියෙන් නැගිටින්න හැටියක් හදල දෙහු. අජිත් වගේ මනුස්සයෙක් නැති වෙන එක දුක් වෙන්න හේතුවක් නෙවෙයි අමමෙ”

“අනේ මන්දන්නෑ ලොක්කි”

“මේ ලෝකෙ අඩු වයසෙං කොල්ලෙක් එක්ක පැනල ගිය එකම කෙල්ල නංගි නෙවෙයිනෙ අම්මෙ. අපි බලමු කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද කියල”

මෙතෙක් ගේ ඇතුළේ මට ලැබී නො තිබුණ ගෞරවයක් හා පිළිගැනීමක් ද මූලිකත්වයක් ද මේ වෙත්දී නිරායාසයෙන් ම මවෙත ළඟා වී තිබුණේ ය. තාත්තා වුව බත් බෙදා ගන්නට පෙර ‘ලොක්කි කෑවද’ කියා අසනු මට ඇසී තිබේ. යමක් කමක් තේරෙන්නට පටන් ගත් දා පටන් ගේ ඇතුළේ මා කරන්න ට උත්සාහ කළ අරගලයෙහි ප්‍රතිඵල පමා වී හෝ පැමිණීම සතුටට කාරණයක් වූයේ ය. මා කියන්නේ මවෙත ළඟා වූ ගෞරවය ගැන නොවේ. ගෙදර අය මා වටහා ගැනීම ගැන ය.

රෝහල තුළ ද මගේ තත්වයෙහි වෙනසක් වෙමින් තිබිණි. ඒ, දිනක් විනූ නෙරංජලා ගුරුගේ ට දුරකතනයෙන් කතා කළා ට පස්සේ කියා සිතමි. ආකාශ් විවාහ වීමට සිටින්නේ මා සමගින් යයි නෙරංජලා ඇය ට කියා තිබුණා ය. ඊට පසු දා විනූ නිවාඩු දමා තිබිණි. බාහිර රෝගී අංශයෙහි සියලු රෝගීන් ට ප්‍රතිකාර කළේ ආකාශ් ය.

පසු දා මා ඇගේ කුටියට ගිය වෙලාවේ, ඒ රාජකාරි කටයුත්තෙන් අනතුරු ව විනූ මට කතා කළා ය.

“මයි කන්ග්‍රැජුලේෂන්ස් පූජා”

ඇය සුබ පතන්නේ කුමක් වෙනුවෙන් දැයි එකවර මට වැටහුණේ නැත. විභාග ප්‍රතිඵල නිකුත් වී ටික දවසකි.

“ඇයි ඩොක්ටර්…”

“ආකාශ්ව මැරි කරන්න ඉන්නෙ ඔයා කියල මං දන්නෙ පෙරේදා. ආකාශ් මට නිකමටවත් කියල තිබුණෙ නෑනෙ”

මම මන්දස්මිතයක් නගා ගතිමි. ඇය ඒ තරම් වැදගත් හා උගත් ස්වරූපයකින් ඒ ආරංචිය කෙරේ ප්‍රතිචාර දැක්වූ එක ගැන මට සතුටක් දැනිණ. උගත් කම යනු ඒ ය යම් කිසිවක් අපට අයිති නැති බව දැනුණත් සම සිතින් එය විඳ ගන්නට උගත් මිනිසෙකු ට හැකි ය.

“ඒක ඉතිං එච්චර දෙයක් නෙවෙයි ඩොක්ටර්”

“හැබැයි මං මුලිං කැමති වුණානං මේ වෙනකොට ආකාශ් මාව මැරි කරල”

ඇය සියුම් ලෙස මගේ පපුවට පිහියෙන් ඇනීමේ උත්සාහයක් ගත්තා ද? ඇය ඒ නො කියා කීවේ මා වූ කලී ආකාශ් ගේ මුල් ම කැමැත්ත නො වන බව නොවේ ද? ඇය ගේ ප්‍රේමය ඔහු ට නො ලැබුණ නිසා, වෙනත් විකල්පයක් ලෙස ඔහු ට මා තෝරා ගන්නට සිදු වූ බව නොවේ ද? කෙතරම් උගත් වුණත් මනුෂ්‍යයන් තමන් ගේ සිත් රිදුවන්නට හේතු වූ අයගෙන් කවරාකාරයෙන් හෝ පළි දරතැයි ඒ වෙලාවේ මම අවබෝධ කොට ගතිමි.

කෙසේ වෙතත් ඒ ආරංචිය ඩොක්ටර් විනූ ගෙන් වෙනත් අය වෙතට ද පැතිර යාම නිසා ඔවුන් මදෙස බලන්නට වූයේ වෙනදා ට පුරුදු ව තිබූ ඇස් දෙකෙන් නොවේ. වෙනදා ට නිකං ම පූජා කියා මා ඇමතු අය ‘මිස් පූජා’ කියා කතා කරන තත්වයක් ඇති විය. නමුත් ඒ කිසිවකින් මගේ හදවතෙහි වෙනසක් සිදු නොවූ බව කිව යුතු ය. අෂ්ඨ ලෝක ධර්මය ගැන මම පත පොතින් උගෙන ඇත්තෙමි. ලාභය පසු පස අලාභය පැමිණිය හැකි බවත්, කීර්තිය පසු පස නින්දාව පැමිණිය හැකි බවත් මම දැන සිටියෙමි.

“ඔයා හිතන විදිහට මං කැමතියි”

ආකාශ් මා ගැන සතුටු වූයේ ය. ඒ ගැන නම් මම බෙහෙවින් සතුටු වීමි.

“මේ තියෙන කොයි දේත් දවසක නැති වෙලා යන්න පුළුවන්. ඒත් අපේ පැත්තකිං ඇවිදගෙන යන්න අපි ඉතුරු වෙනවනං එච්චරයි ඕනෙ පූජා”

“අපේ පැත්තකිං අපි ඇවිදගෙන එන්න ඇත්තෙ අද ඊයෙක නෙවෙයි අයියෙ. ඒකයි මේ තරං නො ගැලපෙන පවුලක කෙල්ලෙක්ට ඔයා විතරක් නෙවෙයි ඔයාගෙ අම්ම තාත්තා වුණත් කැමති වෙන්න ඇත්තෙ”

“මං දෙයක් කියන්නමයි හිටියෙ පූජා. ඔයා වැරදියට හිතන්නෙ නැත්තං”

හදවත ඇතුළේ ක්ෂණික ගැස්මක් ඇති විය. ටික දිනෙක සිට ජීවිතය ගලා ගියේ නිවුණු සැනැසුණු රිද්මයකට ය. නමුත් ගඟක් වුව හැම දාම එක ම රිද්කින් නො ගලන බව මම දැන සිටියෙමි. එකවර මහ ප්‍රපාත වලින් පහලට කඩා හැලෙන්නට ගංගා වලට සිදු වේ. ගංගා නම් එ් මොහොතේ නෙත්තාකර්ෂණීය දිය ඇලි මවන්නේ ය. නමුත් ජීවිතයක් එසේ කඩා වැටෙත්දී හිතට පහසුවක් දනවන්නේ නොවේ.

“මොකද්ද…”

“බය වෙන්න දෙයක් නෙවෙයි ළමයො”

ආකාශ් ආදරයෙන් මගේ අතක් අල්ලා ගත්තේ ය. මගේ ඇස් වල වන බිය ගැන මට ම හිත ඉඟි කළේ ය.

“කොහොමටත් ඉස්සෙල්ලම ඔයා සෙකන්ඩ් ශයි ඉවර කරල ඉන්න ඕනෙ. ඊට පස්සෙ අපි මේ ගැන කතා කරමු”

“මොකද්ද අයියෙ…”

ගැහැනු හිතකට යමක් ඉව වැටුණු විට ඒ පස්සේ දුවනු විනා වෙන යමක් කරනට හිත සකසා ගත නො හැකි ය. මා තුළත් මේ මොහොතෙහි වූයේ ඒ කැළඹුමයි. අනිත් අතට වීදුරුවක් සේ පැහැදිලි වී තිබෙන අපේ ප්‍රේමය නමැති ජල තලාව මතට කොයි මොහොතේ ගල් කැටයක් වැටී එහි සරැළි නැගේවිද යන බිය නිදා නො නිදා සේ හදවතේ රැඳී තිබෙන්නට ඇත.

“නෑ. අපේ තාත්තගෙ පොඩි හොටේල් එකක් තියෙනව කතරගම. ඔයාගෙ තාත්ත කැමතිනං…කට්ටියටම එහෙ ගිහිං නතර වෙලා ඒ හොටෙල් එක කරං ඉන්න පුළුවන් කියල අපේ තාත්තා කිව්ව”

මම ලොකු හුස්මකින් පෙනහලු පුරවා ගතිමි. මේ සියල්ල තවමත් සිහිනයක් සේ ය. මගේ කෙටි ජීවිත කාලය තුළ මා අසා තිබුණේ ම මිනිසුන් ගේ සැහැසිකම් ගැන ය.  දුෂ්ටකම් ගැන ය. අධමකම් ගැන ය. ඉතා හොඳින් මම ඒ සියල්ල අත් විඳ ඇත්තෙමි. අපේ ම ඥාතීන් පවා අපට සැලකුවේ සිඟන්නන් ගණනට දමා ය. ඔවුහු අප ව පිළිකුල් කළා මිස කිසි දාක අපට නැගී සිටින්නට අතක් දිගු කළේ නැත. එහෙම මිනිසුන් අතරේ ගුරුගේ ලා කියන්නේ කවුරුන් ද? මිනිසුන් අතරේ මිනිස් වෙස් ගත් දෙවිවරුන් ගැන මම අසා ඇත්තෙමි. සැබවින් ඔවුන් වූ කලී එබඳු අය විය නො හැකි ද?

තාත්තා දැන් ගෙදරට මිතුරන් කැඳවන්නේ නැත. ඔහු ඔවුන් සොයා වෙනත් තිප්පලකට යනවා දැයි මා දන්නේත් නැත. නමුත් දැන් තාත්තා ගේ වෙනසක් දැකිය හැකි ය. ඉස්සර වාගේ ඔහු කලබලකාරී නැත. ගෙදර සිටිනා බොහෝ අවස්ථා වල ඔහු තනි ව කල්පනා කරනු මම දැක ඇත්තෙමි. ඉස්සර හිටිය තාත්තා ව නම් ආකාශ් ලා යෝජනා කරන තැන රැකියාව සඳහා යවන්නට මුලින් ම විරුද්ද වන්නේ මා ය. නමුත් දැන් සිටින තාත්තා මට ලැජ්ජා වන යමක් ගුරුගේ ලා ට නො කරතැයි විශ්වාසයක් මා තුළ ඇති ව තිබේ.

“කොච්චර දෙයක්ද ලොක්කි මේ පැත්ත පලාතෙන්ම තොලොංචි වෙලා එහෙම යන්න තියෙනවනං”

මගෙන් අලුත් ආරංචිය දැන ගත් වෙලේ තාත්තා උද්‍යොගයෙන් යුතු ව කීවේ ය.

“අපෝ…අපි කොහොමද අනේ එච්චර දුර ගිහිං…”

අම්මා නම් ගත් කටට ම එරෙහි වූවා ය. තාත්තා ඇගේ ප්‍රකාශය ගැන උනන්දු වූයේ නැත.

“මං මේ දස අතේ හිතන්නෙ ලොක්කි…මගෙ නමට මේ ඉඩම තිබුණනං මෙලහකට මං මේක විකුණල දාල මොන තූත්තුකුඩියකට හරි ගිහිං පැලක් අටෝ ගන්නව. ඒත් මේක ආච්චම්මා නමටනෙ තියෙන්නෙ”

“මේකත් විකුණගෙන කොහොමද…”

සිය ජීවිතයේ ප්‍රථම වතාවට ද මන්දා අම්මා තාත්තා ට ඒ විදිහට එරෙහි වෙමින් සිටියා ය. මීට පෙර එසේ කරන්න ට ඇය ට දිරියක් විණි නම් අප පවුලක් වශයෙන් මෙතරම් අගාධයකට නො වැටෙන්නට තිබුණා යි ඒ අව් අස්සේ ම මට සිතිණ.

“හරි ශෝක් කතරගම යන එක. මට ඕ ලෙවල් කරන්න ඕන නෑ කිරි වෙහෙරට මල් විකුණන මල් කෙල්ලෙක් වෙන්න බැරියැ. ශෝක්නෙ අක්කගෙ යෝජනාව. අපිට මොනා වුණත් මොකෝ ඔයා දොස්තර කෙනෙක් වෙනවනෙ…නේ..”

“නංගි. නොදන්න කෙහෙල්මල් කියවන්න එපා”

මම තදින් කීවෙමි. තාත්තා කට කොනකට සමච්චල් සිනහවක් නගා ගත්තේ ය.

“මුං එක්ක කතා කරල වැඩක් නෑ ලොක්කි. ලොක්කි දොස්තර කෙනෙක් වෙලා හරි නැතුව හරි මනමාලියෙක් වෙලා යන්න ඕනෙ ඔය අල්ලපු ගෙදරටනෙ. අපි මේ වගේ තැනක ඉද්දි ලොක්කි කොහොමද ලොක්කි එතනට යන්නෙ…එතන ඉන්නෙ…ඒක ලොක්කිට විතරක් නෙවෙයි අර මිනිස්සුන්ටත් හොඳ නෑ. මොකද්ද ඒ මිනිස්සුන්ගෙ තත්වෙ එතකොට…”

“අනේ තාත්තෙ. තාත්තයි අම්මයි නංගියි නැතුව මට විතරක් ඕන ඇති තත්වයක් නෑ. මං කිව්වෙ එහෙම දෙයක් නෙවෙයි”

මගේ උගුර රිදී ගෙන ආවේ ය. ඇස් පවා තෙත් වී තිබිණි.

“නෑ නෑ නෑ. ලොක්කි එහෙම හිතනවට මං කිව්ව නෙවෙයි. ඒත් ඉතිං මේ අහල පහල මිනිස්සු මැරිල ඉපදුණා නෙවෙයිනෙ බං”

හදවතෙහි වූයේ සංකාකූල බරකි. ජීවිතය කියන්නේ කිසි දා තේරුම් ගත නො හැකි පොතකි. නමුත් අපි එහි පිටු පෙරළමින්, කියවා වටහා ගන්නට උත්සාහ දරමින් සිටිමු. තනිව ගොඩ යාමක් ගැන මා සිතතැයි නංගී සිතන බැව් දනිමි. නමුත් මට ඕනෑ පවුලක් වශයෙන් මේ නරා වළෙන් එතෙර වන්නට ය.

“අපි යන්න කැමතියි කියල කියන්න ලොක්කි. මෙතන මේ ගුබ්බෑයමේ ලැගං ඉඳල ලොක්කිට ලැජ්ජ කරන්න මං කැමති නෑ”

තාත්තා ට ඒ යෝජනාව කළ මෝඩ කම යයි මම හදවතින් දුක් වූයෙමි. නමුත් ත්‍රීරෝද රැකියාවක් කරමින් මග පමා වනවාට වඩා, තාත්තා පිළිවෙලැති රැකියාවක් කිරීම යහපත් නො වන්නේ ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...

කුඩුකේඩුකම්

"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා." චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට...

වැටකොළු පොතු අපතේ නොදා සැකසිය හැකි ආහාර

මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම...

හිමගිරි අරණ -18

"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත්...

(අ)හිමි සිහින -122

දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ...