ඔන්න අද අපි කතා කරන්නෙ අදටත් ග්‍රාමීය ජනතාව අතර නොනැසී පවතින ජනප්‍රවාදයක් ගැනයි.
පිරිමි කියන්නෙ යකෙකුටවත් බය වෙන්නෙ නැති හරිම නිර්භීත පිරිසක් වුනාට අතීතයේ ගම් වල පිරිමි බය ගන්නපු කෙනෙක් ගැන කියන්න තමයි අද අපේ ලිපිය වෙන්වෙන්නෙ. ඉතින් මේ කතාවේ පදනම ඇත්ත වුණත් බොරු වුණත් අද අපි කතාකරන්න හදන්නේ ඉස්සර පිරිමි ඇත්තටම බය වුණ බෝදිලිමා ගැනයි. එහෙමත් නැතිනම් අතීතයේ ජනතාව විශ්වාස කල පරිදි, තරුණ පිරිමින් බිලි ගන්න ආ බෝදිලිමා ගැනයි. දැන් වගේ නෙවෙයි ඉස්සර කාලෙ ඉර බහින්න කලින් ගම්වල පිරිමි යන එන ගමන් බිමන් අහවර කරලා ගෙවල් ඇතුළට කොටුවෙලා හිටියෙ මේ බෝදිලිමාට තිබුණු බය නිසාමයි. මේ කතාවෙ සත්‍ය අසත්‍ය බව ගැන විචාරයක් කිරීමට වඩා අපේ අරමුණ ගැමියන් මේ බෝදිලිමා සාපය කියල හැදිවපු මේ ජනශ්‍රැති කතාව ගැන යම් අවබෝධයක් ලබා ගැනීමයි .
“බෝදිලිමා කියන්නේ අවතාරයක් විදියට තමය. ජනශ්‍රැතියේ කියැවෙන්නේ . රජරට නුවර කලාවියේත්, කඳුරට, වයඹ සත් කෝරළයේත්, දකුණේත් ග්‍රාමීය මිනිස් පරම්පරා ගණනක් භීතියෙන් උමතු කරන්නට මේ බෝදිලිමාට හැකි වී තිබෙනවා.
පිරිමින් පසුපස හඹා ඇවිත් පිරිමින්ට සාප කරන බියකරු අවතාරයක් ලෙස තමයි අතීතයේ හිටිය මිනිස්සු බෝදිලිමා හඳුන්වා තිබෙන්නේ.
නමුත් වර්තමානයේ සත්ව ලෝකයේ පර්යේෂණාත්මක අධ්‍යයනවල නිරත වෙලා වැඩිපුර කරුණු හොයාගත්ත අය නම් කියන්නෙ බෝදිලිමා කියන්නෙ එක් එක් පාරිසරික තත්වයන්හිදී තමන්ගේ ජීවිත ආරක්ෂාව සහ ගොදුරු සොයාගැනීම වෙනුවෙන් තම ශරීරයේ වර්ණය වෙනස් කළ හැකි විශේෂ හැකියාව ඇති කටුසු විශේෂයක් කියලයි.
ඔව්..ඒත් ලංකාවේ ගම්පළාත් වල නම් මේ සත්වයා දුටුවාම ඒ සතා හිස ඉහළ පහළ වනද්දී “කොල්ලෝ වළලං – කෙල්ලෝ ගොඩ ගං” කියලා ඌ කියන බවයි පැරැන්නෝ කටකතාවට කිව්වේ.
යටගිය කතාව
ඒ කොහොම වුණත්, බෝදිලිමාගේ යටගියාව දැක්වෙන ජනශ්‍රැතියේ දැක්වෙන්නේ මෙහෙමයි.”ඈත අතීතයේ එක් තරුණ අඹුසැමි යුවලක් වාසය කරමින් සිටියාලු. කලක් ඇවෑමෙන් බිරිඳ දරුවකු ලබන්නට ගැබ්බරව සිටියාලු. නමුත් කිසියම් උපද්‍රවයක් හේතුවෙන් ගැබිනියගේ කුස තුළම දරු සිඟිත්තා මිය ගියාලු. වේදනාවෙන්, ඇඹරී, ඇඹරී අඳෝනා නඟමින්ම ඇය ද අවසන් හුස්ම හෙළුවාලු. මේ නිසා ඒ මියගිය කාන්තාව තමන්ට වේදනාවක් තබා මියැදෙන්නට මුල් වුණ ස්වාමියාට වෛර බැඳගත්තාලු. ඉන් අනතුරුව සමස්ත පිරිමි සංහතියටම ද්වේශ කරමින් ඇය ”බෝදිලිමා” ආත්මය ලබා පිරිමින් පසුපස පළිගන්නටම කෑගසමින් එනවාලු”
තවත් කතාවක කියැවෙන්නේ මේ තරුණ කාන්තාවට බිහිවන දරුවාගෙන් මහා විනාශයක්/ අපලයක් ඇතිවන බව ශාස්ත්‍රයකින් දැනගත් සැමියා දරුවා බිහි වන්නට පෙර දරුගැබ විනාශ කිරීමට කටයුතු කළ බවත්, දරුවා බේරාගන්නට බිරිඳ උත්සාහ කළත් එය ව්‍යර්ථ වී දරුගැබ සමඟම බිරිඳ මියගිය බවත් ය.දරුගැබෙන් ගැලූ රුධිරයෙන් බෝදිලිමා උපත ලද බවත් මරණයෙන් මතු බෝදිලි අවතාරය ලෙස මියගිය කාන්තාව සැමියාගෙන් පළි ගත් බවත් එතැන් පටන් ගැබ්බර කාන්තාවන්ට අඩම්තේට්ටම් කරන පිරිමින්ට බෝදිලි අවතාරයේ ශාපය මෙන්ම බියට පත් කර දඬුවම් කරන බවත් ය. බෝදිලිමා පැමිණෙන විට කන් කාරවන අන්දමේ හූ හඬ තුනක් දුර සිට කෙමෙන් ළං ළංව ඇසෙන බව පැවසෙනවා.මේ අද්භූත හඬ අදෝනාවකට පෙරළී පිටිසරබද ගම්මානවලට පැමිණෙන්නේ ”පිරිමින්” සොයාගෙන බවත්, එවන් අවස්ථාවලදී පිරිමියා ගෙතුළට යවා ගෙබිම අතුගාන ”ඉලපත” හෝ කොස්ස ගෙන එලියට බසින කාන්තාව දුටු සැණින් එම හඬ හෝ රුව අතුරුදන් වෙන බවත්, ජනශ්‍රැතියේ සඳහන් වෙනවා.
මිනිසුන් බිය කරවන අදෘශ්‍යමාන භූතයින් හෝ භූත කොටස් අප අතර ඇතැයි යන විශ්වාස හේතුවෙන් බොහෝ කම්පනයටත් ත‍්‍රාසයටත් පත් වූ අතීත ගැමියන් ඒ ඒ උපද්‍රවයන්ට අදාළව ගුරුහරුකම් කරවා ගැනීමටත් කටයුතු කළා. බෝදිලිමා ගේ රුව දකින්නට අපහසු වූවත් හඬ නම් කලකින් හෝ අසාගන්නට ලැබෙන බවත් ගැමියන් පවසනවා.
පොත් පත් වලටත් ගිය බෝදිලිමා අවතාරය
17 වැනි සියවසේ දී ලක්දිව සිරකරුවකු වශයෙන් දිවි ගෙවූ ඉංග‍්‍රීසි ජාතික රොබට් නොක්ස් විසින් පසු කලෙක ලියන ලද ”An Historical Relation of the Island of Ceylon˜ නම් කෘතියෙහි ද ඔහු මේ බිහිසුණු හඬ ගැන දක්වන්නේ මෙහෙමයි. මේ හඬ නම් යකකුගේම යැයි කීමට හේතු කීපයක් වෙයි. එනම් මේ හඬ නොයෙක් ගම් වලින් ඇසීමයි. ඒ වගේම මේ හඬ නඟන වෙනත් සත්වයෙක් මේ ද්වීපයේ නොවීමයි. මේ හඬ ඇසෙත්ම මිනිසුන් හා ගැහැනුන් ”ගෙරි මස්කන වලා. තෝ හැඳි ගෑවෙයි. නොදකින් විතරක්? දෑහැට නොපෙනී පළ?” යයි කියමින් ශාප කරති. එකෙනෙහිම මෙම අඳෝනාව නම් අතුරුදන් වෙයි”
ලක්දිව ගැන වගතුග ලියූ ඉංග‍්‍රීසි ජාතික එච්.ජී. වේල්ස් ද ”සුදුවැද්දා”, ”සුදුගෝණා” ”අලි පාර” ආදී නවකතා ලියූ ආදිවාසින්ගේ සදාදරණීය සුදු හුරා වූ දොස්තර ආර්.එල්. ස්පිට්ල් ද බැද්දේගම නවකතාව”ලියූ ලෙනාර්ඞ් වුල්ෆ් ද, හෙළයන් බිය වැද්දු බෝදිලිමා අවතාරය ගැන සඳහන් කරනවා. මේ සියල්ලෙන් හෙළිවන්නේ බෝදිලිමා විශ්වාසය අද ඊයේ හටගත් එකක් නොවන වගයි.
බෝදිලිමා ආත්මය මගහැරීමට උපක්‍රම සෙවූ අයුරු
මෙම අදෘශ්‍යමාන බලවේගය තමගේ දුක කියාගන්නට පිරිමින් සොයා ආවත් ඔවුන් මීට දක්වන්නේ අතිශය බියක්. ඉතින් මේ බිය නැතිකරන්නට අති දක්ෂ සිංහල කට්ටඩියකු විසින් තෙල් ටිකක් ජීවම් කර දීමෙන් හැකි බව ගැමියන් විශ්වාස කළා.ඊටත් වඩා හොඳම කටයුත්ත ”බෝදිලිමා” ආත්මය නැවත පැමිණිම වැළැක්වීම බවත් ඒ සඳහා කළ යුත්තේ ගර්භණී කාන්තාවක් මිය ගිය පසු ඇය මිහිදන් කරන්නට පළමුව ඇගේ උදරය මත බුලත් කොළයක් තබා දෙකට ඉරා දැමීම බවත් එයින්ම ඇය බෝදිලිමා ආත්මය වැළඳ නොගන්නා බවත් එකල ගැමියන් දැඩිව විශ්වාස කර තිබෙනවා.
වර්තමානයේ මේ අවතාර පිළිබඳ වැඩි පිළගැනීමක් නොවුණත් මේ කතාවට මුල් වූ සංසිද්ධිය නම් වෙනස් වී නැහැ.කාමය , රාගය නිසා පිරිමින් විසින් කෙළෙසූ කාන්තාවන්ගේ දරු ගැබ්, පෙම්වතා අතින් දූෂණයට ලක් වූ ගැබ් ගත් පෙම්වතියන් ගබ්සාවන්ට ලක් කර තව තවත් විනාශයට පමුණුවන පිරිමින් එදාටත් වඩා අද සමාජයේ බහුලය.එදා අදෘශ්‍යමාන බලවේගයක් හරහා හෝ පිරිමින්ගේ රාගික ආශාවන් මෙන්ම නිවසේ බිරිඳට හරහා හෝ පිට. කෙරෙන පරපීඩක කාමුකත්වය පාලනය කිරීමක් සිදු වූ බව පැහැදිලිය. අදටත් නොවෙනස් ව පවතින ගෘහස්ථ හිංසනය බෝදිලිමාට ඇති බිය නිසා එදා සමාජය තුළ පාලනය වන්නට ඇති .බෝදිලිමා පැමිණෙන විට කාන්තාව ඉදිරියට යන්නේ එවිට අවතාරය පලා යන්නේ යැයි විශ්වාසයෙනි.පිරිමින්ගේ ආරක්ෂාවට ගැහැණිය ඉදිරිපත් වීමත්, එයින් එක්තරා ගෞරවයක් ඇය කෙරෙහි ඇති වීමත් නිසා කාන්තාවන්ට සිදු වූ හිංසනය බොහෝදුරට අඩු වූවා යැයි විශ්වාස කළ හැකි යි. අතීත ගැමියා බෝදිලිමා, මෝහිනී, උලලේනි යන අදෘෂ්‍යමාන බලවේගයන් බවට පත් කරන ලද්දේ පිරිමින්ගේ හිංසනයට හා තාඩන පීඩන වලට ලක් වූ ගැහැණුන්ගේ දුක්ඛිත ආත්මයන් ය. ඒ ඔස්සේ තවත් ගැහැණියක් ඒ තත්වයට පත්වීම වැළක්වීම උදෙසා මෙකී ජනශ්‍රැති හා අධිවිශ්වාස ,ජනප්‍රවාද නිහඬ මෙහෙවරක් සිදු කර තිබෙන බව පිළිගන්නට පුළුවන්.
කෙසේ නමුත් බෝදිලිමාට අපේ ජනශ්‍රැති සාහිත්‍යය තුළ හිමිව ඇති තැන සහ ඒ ගැන වන කතාබහ සහ මතවාද අදටත් හෙටටත් නතර නොවනු ඇති. බෝදිලිමාට බයවෙන පිරිමින් හෝ තමන්ගේ නිරුවත පෙන්වමින් හෝ අසභ්‍ය වදන්වලින් බැන වදිමින් බෝඉදිලිමා නිවසට පැමිණි විට පන්නා දමන ගැහැනුන් අද අපට හමුවන්නේ නැහැ. ඒත් බෝදිලිමා ගැන ගොඩනැඟී ඇති මේ ජනප්‍රවාදය එදා වගේ ම අදටත් හෙටටත් අහක දාන්නට බැරි ඉතා වටිනා ජනශ්‍රැති මෙවලමක් යැයි කීවොත් ඔබ ඊට එකඟ වේවි.
තොරතුරු සැපයීම සම්බන්ධයෙන් විශේෂ ස්තූතිය- භාග්‍යා අබේසේකර
(ජනශ්‍රැති පර්යේෂිකා,ලේඛිකා)