ඒ සොඳුරු දා..

ශීත සමය නිමා වෙමින් පවතින කාලය දිහා මම බලාගෙන හිටියේ ජනේල වීදුරුව අතරින්.වසන්තය පැමිණෙන්න ආසන්න කාලයේ පවතින මිහිරියාව මම විඳගන්නේ මුල්ම වතාවට.ගොතමින් ඉන්න බිළිඳු ඇඳුම දිහා මම බැලුවේ ආදරයෙන්.තාරක යූ ටියුබ් ප්ලේලිස්ට් එකක් වාදනය වෙන්න ඉඩ ඇරලා මුළුතැන්ගෙයි බව ඇහෙනකොට මට උපන්නේ හිනාවක්.මොනවහරි කෑම පිඟානක් අරගෙන ඇවිත් මට ටිකක් සහ බබාට ගොඩක් කන්න බල කරන තාරකගේ ආදරේ පිරුණු මුහුණ දකින්න තව ටිකකින් පුළුවන් වෙයි.

“ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා..”

යු ටියුබ් එකේ කවර් සෝන්ග් එකක් ඇහෙන්නේ පුදුමාකාර මිහිරියාවකින්.තරු තරගයක හිටිය තරගකරුවෙක් සහ තරගකාරියක් එකතු වෙලා කරපු ඒ ගීතය තුළ තියෙන්නේ පුදුම මිහිරියාවක්.මම ඒ ළයාන්විත හඬ එක්ක අතීතයේ ඇවිදින්න පටන් ගත්තා.

“අපේ ලෝකේ තනි වුණු දවස..” වෙඩින් ෆොටෝස්,හනිමුන් ෆොටෝස් කිසිම දෙයක් නැති ඒ දවස! මම ෆෝන් එක අතට ගත්තේ ඒ දවස මතක් වෙන්න තාරක ගත්තු එකම එක සෙල්ෆි එකක් හොයාගෙන.

මම ඒ ඡායාරූපයට පෙනී ඉන්නේ මොනතරම් බයකින් සහ තිගැස්මකින් ද කියලා මං ආයෙම හිතුවා.ඒ මහා බරක් ඔලුවට ගත්තු දවසක්.

නෑ!! මහා බරක් බිම තියපු දවසක්.

තාරකත් මමත් මුණ ගැහුණේ කැම්පස් එකේදී.අපි හොඳම යාළුවෝ කියලා හිතන් හිටියාට ඒ බැඳීම ඊටවඩා වැඩි බව මට තේරෙන්න ගත්තු දවසේ මං තාරකට මගේ අදහස කිව්වෙත් සින්දුවකින්මයි.ඒ මැසේන්ජර් පණිවිඩය තවම තාරක පරිස්සමින් රකිනවා.

“සත් මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවානම්
ආදරයේ පියගැටපෙළ පාර කියාවි..”

ඇත්තටම අපිට සත්මහලක් නැතත් මුදල් කියන්නේ ජීවිතය තීරණය කරන සාධකය කියලා හිතපු ගෙදරක හැදුණු වැඩුණු මට තාරක කියන්නේ හීනයක් වෙන ආදරයක් බව මට නොහිතුණා නෙවෙයි.කොටින්ම අපේ අම්මා තාත්තාට මම කැම්පස් යන එක පවා “බොරුවට කාලය නාස්‍ති කරන වැඩක්” වුණා.

“තාරක කොහොමත් නිව්සීලන්ඩ් හරි වෙන රටකට හරි ස්කොල් එකක් හදා ගන්නව.එහෙම මනුස්සයෙක් රිජෙක්ට් කරන්න ඔයාලගෙ අම්මලට පිස්සුද ඊෂා ?”

සරනි,මගේ රූම්මේට් ඇහුවේ ඇස් නළලට අරන්.සරනිගේ අම්මා තාත්තා ගුරුවරු.එයාලා සරනිගෙත් කාවින්දගෙත් සම්බන්ධය අනුමත කරපු හේතුවත් කාවින්ද අපේ බැච් මේට් කෙනෙක් වීම විතරයි.ඒ අය උගත්කමට තැන දුන්නට අපේ ගෙදර අයට වැදගත් සල්ලි.

“අශාන් කියන්නේ තාත්තගෙ බිස්නස්මේට් කෙනෙක්ගෙ පුතෙක්.එච්චරයි හේතුව..”

මම සරනිට වගේම මගේ හිතටත් ඇත්ත තේරුම් කරන්න උත්සාහ කළා.

සරසවි ආදරය ඒ බිමේ වළ දාලා එන්න වෙන බව තේරුම් යනකොට මම හිටියේ වේදනාවෙන්.ඒත් මොනවා කරන්නද?

“රට ගිහින් මොන ඩිග්‍රියක් ගත්තත් ලෝන් දදා ගෙවල් හදන වාහන ගන්න මිනිහෙක්ව බඳින්න වෙන එක කරුමයක්.ඇත්ත තේරුම් ගන්නවා.ඉගෙන ගත්තට මිනිස්සුන්ට ගොඩ යන්න අමාරුයි.හැබැයි ගෑනියෙක්ට සල්ලි තියන මිනිහෙක් හින්දා ගොඩ යන්න පුලුවන්..”

අම්මා ඇවිල්ලා කිව්වේ අම්මා ගිය පාර වෙන්න ඇති.ඒ පාරේ අම්මාට ආදරය මුණ ගැහුණාද කියලා අහන්නේ නැතුවම මම ගලක් වුණා.සරනි කෝල් කරමින් කොච්චර බැන්නත් කාවින්ද මට ඇත්ත පැහැදිලි කරන්න උත්සාහ කරත් මම තාරක මඟ අරින්න ගත්තා.

තාත්තාගේ සල්ලි වලට තාරකගේ ලස්සන ජීවිතේ නාස්ති වෙන්න ඉඩ අරින්න ඕනෑ නැහැ.

අක්කා අපේ ගෙදර ආවේ මගේ විවාහයට සියල්ල සූදානම් වෙනකොට.පිපුණු මලක් වගේ හිටිය අක්කා දැන් මැලවිලා ඉන්නේ මාස හයක කුසක් දරන නිසා කියලා මං හිතන්න පටන් ගත්තා.අක්කා ඇවිත් මං ළඟින් ඉඳගත්තේ කම්පනය සහිත මුහුණකින්.

“ඔයත් මං වගේ පරදින්නද ලෑස්ති?”

මම අක්කාගේ කුසට අතක් තියන ගමන නෑසිය යුතු ප්‍රශ්නයක් ඇහුවා.

“ආයේ කවදාවත් කුසල් අයියා කතා කරේ නැද්ද?”

අක්කා හිනාවකින් අහක බලා ගත්තා.

“කුසල් කියන්නේ සටන් කරන්න කැමති මිනිහෙක් නෙවෙයි.හැබැයි තාරක එහෙම මිනිහෙක්..”

එහෙම කියපු අක්කා මං දිහා බැලුවේ බර බැල්මකින්.

“හෙට උදේ වෙන්න තව සෑහෙන වෙලාවක් තියනවා.ඔයා තාම පරක්කු නෑ..”

මං අක්කා දිහා බලන් ඉඳලා තවත් නෑසිය යුතු ප්‍රශ්නයක් ඇහුවා.

“ප්‍රෙග්නන්ට් නිසාවත් ඔයා සතුටින් නැද්ද?”

අක්කා ආයෙම හිනා වුණේ හිස් විදියට.

“මේ ඉන්දිකලගෙ පරම්පරාව ඉස්සරහට ගෙනියන කෙනා.පෝර වතුර මිසක් මං හදන පැලේට ආදරයක් දෙන්න එයාලා දන් නෑ..එතකොට මට ආදරයක් ලැබෙයිද?”

පරක්කු නොවී දුවපං කියලා මොළය ඇතුළෙන් මට විධාන ලැබෙන්න පටන් ගත්තා.ඒත් හින්දි චිත්‍රපටියක මනමාලියක් වගේ මඟුලට කලින් පලා යන්න?? මං ආයේ ආයේ හිතන්න ගත්තා.

“තාරක අනිද්දා යනවා නිව්සීලන්ඩ්..”

මම අක්කා දිහා බැලුවේ ගැස්සිලා වගේ.

“මටත් හෙට යන්න බෑනෙ.එයා ස්කොල් එකකට යනවා.මට යන්න සල්ලි?”

අක්කා හිනා වුණේ ඒ සේරම හරි කියන්න.

“ඔයාටත් හෙට එයා එක්කම යන්න බෑ.ඒත් ඉක්මනින් යන්න පුලුවන්..මං මේ කතාව ඔයාට කියන්නේ මං කාන්තාරයක හිටියට ඔයා එහෙම ඉන්න ඕන නැති නිසා.කුසල් තරම් ලේසියෙන් තාරක මල්ලි පරදින්න ආස නැති නිසා.රස්සාවක් නැතුව ලුණුයි බතුයි කකා ඉන්න මනුස්සයෙක් එක්ක නම් ඔයාට යන්න මම දෙන්නේ නෑ.ඒ මිනිස්සු ගාවත් ඉක්මනින් ආදරේ ඉවර වෙන්න පුලුවන්.ඒත් තාරක කියන්නේ ප්‍රතික්ෂේප කරන්න ඕන මනුස්සයෙක් ද?”

වෙඩින් එකට කලින් මනමාලි පැනලා නොයන බව අපේ ගෙදර අය හිතපු නිසාම මට ගේට්ටුවෙන් එළියට බැහැලා තාරකත් කාවින්දත් හොයා ගන්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ.අපි ඉස්සර පාර හොයන්න අමාරු වුණු බවත් වන අලින්ගෙන් පාර අහන් ආවා කියලාත් විහිළු කරපු සුධාරි අපි එනකන් බලා හිටියා.ඒ කැලේ මමත් තාරකත් හොයන්න අපේ තාත්තාට බෑ.

මගෙත් අශාන්ගෙත් හනිමුන් එක ප්ලෑන් වෙලා තිබුණේ සීත කඳුකරයේ.සුධාරිලාගේ ගෙදර වියළි කලාපයේ රස්නය උතුරන ගෙයක්.ඒත් ආදරය හිම ඇල්ලක් වගේ ඇද හැලෙමින් තිබුණා.

“අර උප්පෙනා ෆිල්ම් එකේ ආසියි සංගීතායි මුහුද මැද ලව් කරන එකෙ මේවා මොනවද?

තාරක නම් හිනා වුණේ එහෙම.අම්මලාට මාව හොයා ගන්න අමාරු වුණු තරමට අක්කා මට ඉක්මනින් තාරක ළඟට යන්න උදව් කරා.

“අර පරණ සිංහල ෆිල්ම්වල වගේ තාත්තා ඔයාට දානයක් දුන්නා..”

අක්කා හිනාවෙවී එහෙම කියද්දී මට ඇඬුණා තමයි.ඒත් තාරකගේ හිනාව ළඟ ඒ කඳුළු ඉක්මනින් වියළෙනවා.

“භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්වරේ
එක්වූ දිනේ සිහිවෙනවා”

තනුරගෙත් සෙව්මිණිගෙත් කවර් සෝන්ග් එක අහගෙන මම ගිය දුරක්!තාරක උණු උණු පැස්ටා පිඟානක් අරන් මං දිහා බලාගෙන හිනා වෙනවා.

“වින්ටර් ඉවර වෙන්න ළඟයි..සමර් එක අපිට කොහොමත් බිසී.”

මං තාරක දිහා බලාගෙන හිටියේ ආදරය ඇස්වලින් කඩා හැලෙන්න ඉඩ දීලා.

“අපි මෙහෙට ඇවිත් වින්ටර් සීසන් කීයක් පහු වුණාද? මට ඔයා ඉන්නවනම් හැමදාම වසන්තයක් තමයි..”

ආදරේ කියන්නේ දිනන්න අපහසු සටනක් වෙන්න ඇති.ඒත් ආත්ම ගණනක් එකට එන බැඳීමක් බිඳ ගන්නවට වඩා සටන් කරන එක ඇත්තටම කළ යුතුම දෙයක්.

“ඇයි අපි හොඳම ආදරේ පහසුවෙන් අතාරින්නේ?”

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -17

"සකී?" සියුම් ඇසුවේ පුදුමයෙනි.ඔහු දන්නා තරමින් අහස්ට සකීව කිසි දිනෙක මුණ ගැසී නොමැත. "ඒ ළමයා උඹට...

ප්‍රේමයේ අභිමන් – 10

දොර ළඟ සිට ගෙන සිටියේ තරුණියන් දෙදෙන ය. අපරාජිතා තිලිණය අතැතිව පිටුපසිනි. දේශිකා ඉදිරියෙනි. කොහොමත් හැමදාමත් එහෙම ය. ඉස්සරහා ට යන්නේ දේශිකා...

සුහදිනි – 16

සකී හැරී බැලුවේ නැවත වතාවක් ඇගේ නම ඇසුණු නිසා ය.ඇයට ඒ හඬ හුරුපුරුදු ය.ඒ ඇමතීම ද හුරුපුරුදු ය.ඒ හඬින් සකී යැයි කියැවෙන්නේ...

(අ)හිමි සිහින -179

මේ කතා මෙසේ ඔබට පවසද්දී මේ කාරණාව ඔබ සමඟ බෙදා නොගෙන බැරි බව මට හිතෙනවා.නීත්‍යානුකූල විවාහ තුනක් කරගත් එක් මිනිසෙකු වෙනුවෙන් ජීවිතය...

ප්‍රේමයේ අභිමන් -09

අපරාජිතා දනිපනි ගා නැගිට ගත්තා ය. ඒ කලබලයට ඇය වැටෙන්නට පවා ගියේ ය. හිත ඇති ව තිබුණේ ගෙහිමියා ගේ කන හරහා අතුල්...