පෙනෙන නොපෙනෙන!

අපේ ඉස්කෝලෙට අලුත් ප්‍රින්සිපල් මැඩම් කෙනෙක් ආව දවසේ පුරුදු විදියටම අපේ ස්ටාෆ් එක ටිකක් කලබල වුණා.කලින් හිටපු වීරක්කොඩි සර් බොහොම හොඳ ගුරුවරයෙක් සහ යහපත් විදුහල්පතිවරයෙක් හැටියට පළාතේ හොඳ නමක් දිනා ගත්තු කෙනෙක්.

“අපේ ලොකු සර් හදපු ඉස්කෝලේ මැඩම් කෙනෙක් ඇවිල්ලා විනාස කරයිද මන්දා.”

ජානක සර් එහෙම කියද්දී මට නම් ආවේ තරහක්.ගෑනු වෙලා උපදින්න හේතුව පව් කිරීම ය පිරිමි උසස් ය වගේ කතා දරුවන්ගේ ඔලුවට දාන්න එපා කියලා වීරක්කොඩි සර් කිහිපවතාවක්ම ජානක සර්ට අවවාද කරපු බව අපි නොදන්නවයැ.ඒත් “ගෑනුන්ට බෑ..” කතාව ජානක සර්ගෙන් ලේසියෙන් අමතක කරවන්න බෑ.මං මහන්සියෙන් ඉංග්‍රීසි කලාප තරගවලට යවන්න දරුවෝ තේරුවාම පවා ඒ ලිස්ට් එකේ කොල්ලෝ අඩු වීම ගැන ජානක සර්ට විවේචන තියනවා.

“ආවම බලමුකො.”

රම්‍යා මිස් පුරුදු පරිණතකමකින් කිව්වා.

ප්‍රින්සිපල් මැඩම් වැඩ බාර ගත්තට පස්සේ ඒ මහත්මියක් නෙවෙයි මෙනෙවියක් කියන ඕපාදූපේ මුලින්ම හොයා ගත්තේ කෝෂිලා ටීච.

“කැම්පස් අෆෙයා එකක් අවුල් වෙන්න ඇති..”

එයාම ඉන්පස්සේ කිව්වා.

පෞද්ගලික කාරණා අමතක කරොත් අපේ විදුහල්පතිතුමිය හරි සාර්ථක ගැහැනියක්.අවුරුදු හතලිහත් පැනපු ගැහැනියක් විවාහ නොවීම ගැටළුවක් වුණේ ජානක සර්ලා පන්නයෙ මිනිස්සුන්ට විතරයි.ඇගේ කාරුණික බවත් කාර්යක්ෂම බවත් ඉස්කෝලෙම අලුත් කරමින් තිබුණා.

“දැන් දරුවො තිස්සෙම මොකක්හරි වැඩක්..”

කාලච්ඡේදයකට පස්සේ පන්තියකින් පන්තියකට මාරු වෙනකොට මමත් දර්ශනි මිසුත් කතා වුණේ ආසාවෙන්.දරුවෝ පාඩම් වැඩ නැත්නම් කරන්න අමතර වැඩ ඕනෑතරම් හොයාගෙන.ඒ හැම සොයාගැනීමකම අයිතිය විදුහල්පතිනියට.

“සෑහෙන දුප්පත් දරුවෝ කීපදෙනෙක්ටම මැඩම් වියදම් කරන්න අරන්..”

ඒ අපි ලබපු තව ආරංචියක්.ඒ කතාව බොරුවක් නොවන බව දැන ගනිද්දී අපිට මැඩම් ගැන පුදුමාකාර ගෞරවයක් ඇති වෙන්න ගත්තා.

“ටීච,අර සකුනි අඬනවා.ඇයි ඇහුවට කියන්නේ නෑ..”

මගේ පන්තිය නවය ඒ පන්තියට උදෙන්ම ගියාම පැමිණිල්ලක් ලැබුණා.සකුනි දක්ෂ දරුවෙක්.වැඩිවියට පැමිණිලා ඒ හැටි දවසක් නැති සකුනි අඬන්න කාරණාව මම කොච්චර ඇහුවත් කියවුණේ නෑ.ඒත් මහ විශාල ප්‍රශ්නයක් සකුනිගේ ඇස් දෙකේ ලියැවිලා.මට අන්‍තිමට ප්‍රින්සිපල් මැඩම්ගේ උදව් පතන්න සිද්ධ වුණා.

“මේ දරුවගෙ අම්මා ළඟදි මැරි කරලා.ඒ ආපු මිනිහා….”

සකුනි එක්ක බොහෝ වෙලාවක් කතා කරමින් හිටපු විදුහල්පතිනිය මාව කැඳවලා කිව්වේ පුදුමාකාර කෝපයකින්.මම පපුවේ අතක් තියාගෙන ඉඳගත්තා.

“කරදරයක් වෙලා නෑ..ඒත් අපි යමක් කරන්න ඕනෑ..”

සකුනිගේ අම්මාගේ අක්කා අවිවාහකව තනිවම ජීවිතය ගෙනියන කෙනෙක්.
හොඳ රැකියාවක් ද තියෙන ඇයව තමන්ගේ ගැලවුම්කාරිය කියලා සකුනිට පේන්න ගත්තා.ලොකු අම්මා ගාවට ගිය සකුනි අනතුරකින් ගැලවුණු සතුටට වෙනදාටත් වඩා හොඳින් ඉගෙන ගත්තා.

“මේ පාර සකුනි තමයි පන්තියේ පළවෙනියා මැඩම්..”

මගේ ඒ ආරංචිය අහනකොට මැඩම්ගේ ඇස් දිලිසෙන්න පටන් ගත්තා.සකුනි වගේම මැඩම් නිසා සතුට හොයා ගත් දරුවෝ දවස දවස ඉහළ යන්න පටන් ගත්තා.

කිරි කළය බැබළෙමින් තියෙද්දී ගොම බිංදුවක් එකතු වුණේ අපි නොහිතපු විදියට.ඈත ප්වැඩිහිටි නිවාසයකට දානයක් අරන් ගිය මල්කාන්ති මිස් පහුවදා අරන් ආපු ආරංචිය අපි හීනෙකින්වත් නොහිතපු කතාවක්.

“අපේ විස්තර අහලා මං වැඩ කරන ඉස්කෝලෙ අහලා එතන තාත්තා කෙනෙක් අඬන්න ගත්තනෙ.මේ අපේ මැඩම්ගේ තාත්තා.නිකමට වගේ කතා කළේ.අහම්බයක් තමයි.ඒ වුණාට කතාව ඇත්ත.මට ඒ තාත්තා ෆොටෝ එකකුත් පෙන්නුවා.”

මනුස්සකම උතුරා හැලෙන, කාරුණික හදවතක් තියෙන මැඩම් තමන්ගේ තාත්තා මහලු නිවාසයක නැවැත්වීම අපිට හිතා ගන්න අමාරු කාරණාවක් වුණා.ඒත් ඉතින් හොයලා බලනකොට ඒ ආරංචියේ වරදක් නෑ.කතාව ඇත්ත බව අපි දැන ගත්තා.

“දේවාල හදා ගන්න එපා ඒවා කැඩෙනවා කියන්නේ ඔන්න ඕකයි..”

ජානක සර් මටත් අනිත් තරුණ ගුරුවරුන්ටත් කිව්වේ සමච්චලයෙන්.

මැඩම්ගේ එකම සහෝදරයා විදේශයක ජීවත් වෙන බවත් අම්මා ජීවතුන් අතර නැති බවත් අපි දැන ගත්තා.ඉතින් ඇයට තාත්තා තමන් ළඟ තියා ගන්න බැරි ඇයි? විදුහල්පතිනියක් වෙන්න හොඳ ඉගෙනීමක් අවශ්‍යයි.ඒ ඉගෙනීමට ඇයව මෙහෙයවපු තාත්තා වැඩිහිටි නිවාසෙක ඉන්න එක මොනතරම් අසාධාරණයක් ද?

ඊටපස්සේ මැඩම් කරන ගොඩක් දේවල් අපිට මහා වීර ක්‍රියා වගේ පෙනුණේ නෑ.ඇය ඒවා කරන්නේ ලෝකෙට පේන්න කියලා මම සහ කෝෂිලා වගේ තරුණ අයටත් හිතෙන්න පටන් ගත්තා.ඇය රෝල් මොඩල් එකක් කරගන්න එක පැත්තකින් තියලා අපි අපේ රාජකාරිය විතරක් ඉෂ්ට කළා.

කෝෂිලාගේ තාත්තා මිය ගියේ හදිසි හෘදයාබාධයකින්.අපි මළ ගෙදර ගියේ කෝෂිලාට මේ වෙලාවේ අපේ හයිය අත්‍යවශ්‍යම නිසා.අපේ විදුහල්පතිනියත් කෝෂිලාගේ අම්මත් එකිනෙකා දැකලා කලබල වුණේ ඒ අතරේ.

“රණවීර ටීච..ටීච අපේ කෝෂිලා මිස්ගේ අම්මා බව මම දන් නෑ..”

විදුහල්පතිනිය කෝෂිලාගේ අම්මාට දණ ගහලා වැන්දේ සෙනඟ මැද්දේමයි.
කෝෂිලාගේ අම්මා අම්පාර පැත්තේ ඉස්කෝලෙක දුෂ්කර සේවා කරන කාලේ ඉස්කෝලේ හිටිය හොඳම ගෝලයා මැඩම් කියලා ආන්ටි කිව්වේ හරිම ආදරෙන්.

“අපි මෙහෙට ආවට පස්සෙ මට කුමුදිනීව මඟ ඇරුණනෙ..”

ආන්ටි මැඩම්ව අල්ලාගෙන බදාගෙන කියවන්න පටන් ගත්තා.අපිටත් වයසට ගියාම ගෝලයෝ දැකලා ඔහොම සතුටක් ඇති වෙයි.මම ගෙදර එනගමන් හිතුවේ එහෙමයි.

කෝෂිලා මරණ ගෙදර වැඩ අහවර කරලා ආවේ අඳුරු මුහුණකින්.ඒ තාත්තාගේ වියෝව හින්දම නෙවෙයි කියලා මට තේරුම් ගියේ එයා මගෙ අතකින් අල්ලාගෙන කතාවක් කියන්න තියන බව කිව්වම.

“අපි මැඩ්ම්ව මැන ගත්තු විදිය හරි නරකයි සෙව්වන්දි.”

කෝෂිලා එහෙම කිව්වේ දුකකින්.

“අම්මා ඒ ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙලා ඉන්න කාලේ මැඩම්ලු ඉස්කෝලේ දක්ෂම ළමයා.මැඩම්ගෙ අම්මා රට ඉඳලා තියෙන්නෙ.හවුස් මේඩ් කෙනෙක් විදියට වැඩට ගිහින්.තාත්තා කසිප්පු පෙරන, ඩ්‍රග් ඇඩික්ට් වෙච්ච කෙනෙක්ලු..”

මම ප්‍රහේලිකාව ගලපා ගත්තා.ඒ නිසා මැඩම් තාත්තාට අකමැති ඇති.

“තාත්තගෙන් කරදරයි කියලා මැඩම් අම්මට කියලා තියෙන්නේ උසස් පෙළ පටන් ගන්න කාලෙමයි.අම්මා ටවුන් එකේ සෙන්ට්‍රල් එකට යවලා මැඩම්ව ඒ ගෙදරින් අයින් නොකළනම්…මැඩම් අද ඔතන නෑ.ඒ තාත්තා මොන ජරා මිනිහෙක්ද?”

ඒ වගේ අප්‍රසන්න තාත්තා කෙනෙකුට වැඩිහිටි නිවාසෙක හරි ඉඩක් අරන් දෙන්න හිතුව මැඩම් යහපත් කෙනෙක් නෙවෙයිද?

සකුනිගේ ප්‍රශ්නය වෙලාවෙදි බාප්පා කෙනෙකුට තාත්තා කෙනෙක් වෙන්න බැරි බව කියමින් මම දොස් නඟනකොට මැඩම් කිව්ව දෙයක් මට මතක් වුණා.

“බාප්පලා නෙවෙයි සෙව්වන්දි මිස්.තමන්ගෙ ලෙයින් ඉපදුණු දුව ගැනවත් ඉවසිල්ලක් නැති කාලකන්නි ඉන්න ලෝකයක් මේක…

අපි හිතනවට වඩා ලෝකේ කොච්චර සංකීර්ණ ද?
.

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content