මුතු බෙලි හදවත – 7 වන කොටස

විකුම් ඈ වෙතින් ඉතා වේගයෙන් ඈත් වෙමින් හිඳිනා බව ආදිත්‍යා ට දැනිණ. ඇය අභ්‍යන්තර වශයෙන් දැඩි කම්පනයකට ලක් වූවා ය. එය දරා ගත නො හැකි දුකකි. වාවා ගත නො හැකි ආත්ම අසරණ කමකි.

විකුම් ඇය ට පෙම් නො කරනා බව ආදිත්‍යා මුල සිට ම දැන සිටියා ය. ඔවුන් දෙදෙනා අතරේ යම් පරතරයක් විය. නිතර ම ඒ පරතරය පිරී තිබුණේ හිස් කමෙනි. ඒ පරතරය හෝ හිස් කම කිසි දා ප්‍රේමයට ආසන්න හැඟීමකින් පිරී නො යනු ඇති බව ද ඇය ඉඳුරා දැන සිටියා ය.

නමුත් ප්‍රේමය හා විවාහය යනු එකක් නොව දෙකක් බව ද ආදිත්‍යා අසා දැන තිබිණි. ඒ දෙක එකිනෙක මත සමපාත වෙනවා නම් ඉතාමත් හොඳ ය. නමුත් එහෙම නොවුණා කියා ඒ දෙකට ම පවතින්නට බැරි කමක් නැත!

ඇයට විතර දැනුණා වූ හිස් කම නොහොත් පරතරය යනු ප්‍රේමයට අයිති ඉඩ බව ඇය තේරුම් ගත්තේ මඳක් පමා වී ය. ඒ නිසා මේ විවාහ ජීවිතය ඇතුළේ එය සදා කල් පවතින හිස් කමක් වනු ඇති බව ද ඇය විශ්වාස කළා ය.

ගැටළුව නම් දැන් දැන් විකුම් විසින් ඒ නාම මාත්‍රික බැඳීම ද ප්‍රතික්ෂේප කිරීමයි.

මින්දුල කුස දරා සිටියදී ඈ සමග සායන වලට යන්නට බොහෝ විට විකුම් ආවේ ය. නැත්නම් සඳසීලි ආවා ය. නැන්දම්මා කියන නෑකම ගැන ආදිත්‍යා අසා දැන සිටි සියල්ල වෙනස් කළ ගැහැනිය සඳසීලී ය. සැමියෙකු වශයෙන් විකුම් ගෙන් නො ලැබෙන දයාව ගැන සාංකා හැඟීම, සඳසීලී ගේ මව්වත්කම් ළඟ අමතක කර දමන්නට බොහෝ විට ආදිත්‍යා ට සිදු විය.

දැන් දැන් විකුම් ප්‍රසිද්ධියේ ම සිය බිරිඳ ප්‍රතික්ෂේප කරමින් සිටී.

“දුව වැඩිය ඕව ගැන හිතන්න එපා. මින්දුල ගැන ප්‍රශ්නෙ ටිකක් හිතට හුරු වෙනකොට විකුම් සාමාන්‍ය තත්වෙට එයි”

සඳසීලී ආදිත්‍යා ට එසේ කීවේ, විකුම් රෑ බෝ වී ගෙදර විත් ඔවුන් ගේ කාමරයට ද නො ගොස් වෙනත් කාමරයක නිදනා එක ගැන ඔහු සමග කතා බහ කිරීමෙනුත් පස්සේ ය.

“කොහොමද ඒ කාමරේට යන්නෙ…අර යක්ෂ පැටිය මාව දැක්කහම මර ලතෝනි තියල අඬන්න ගන්නව”

පුතා ගේ ප්‍රතිචාරය ගැන සඳසීලී ගේ පැහැදීමක් නො වුණත්, ඇය මවක වශයෙන් ඉවසීමෙන් කතා කළා ය.

“ආදි දුකෙං ඉන්නෙ. දරුවො ඒ ළමය අර පොඩි එකාත් එක්ක පුදුම දුකක් විඳින්නෙ. ඔයා එයාට වෙනස්කං කරන්න එපා”

“අනේ අනේ අම්මෙ මේ. ඔය ළමයත් එක්කනං මට ආදි එක්ක ආයෙ ජීවිතයක් ගැන හිතන්න බෑ. එයාට දෙන්නගෙං එක්කෙනෙක් තෝර ගන්න වෙයි. එක්කො මින්දුල නැත්තං මං. ඒ වගේ ලෙඩ ළමයෙක් එක්ක මට සමාජෙට මූණ දෙන්න බෑ”

ඔහු කරනා වැඩ ගැන මුළු ලෝකය ම කතා කරත්දී සමාජය ට මුහුණ දීම ගැන ලැජ්ජාවක් දැනෙන්නේ නැත්දැයි අම්මා පුතා ගෙන් නාසා සිටියා ය.

ඒ කතා බහෙන් පස්සේ සඳසීලී යළි ලේලිය වෙත ආවේ මවක වශයෙන් දරුවන් ගේ විවාහයක් බිඳෙන්නට හැර බලා සිටිනු නොව එසේ නො වන තැනට යමක් කළ යුතු බව දන්නා නිසා ය.

“මං කොහොමද අම්ම මුකුත් නොහිතා ඉන්නෙ…විකුම් කියන්නෙ පොඩි ළමයෙක් නෙවෙයිනෙ. මට පේන විදිහට එයා ආයෙ පරණ තැනටම ගිහිං නැවතිලා වගෙයි”

ඔවුන් අතරේ ආදරයක් ඇතත් නැතත්, සිය සැමියා වෙනත් ගැහැනියක වෙත යනවා කියා දැනෙනා එක තරම් මරු පහරක් පතිණියකට තව නොමැති තරම් ය. එය වූ කලී දරා ගත නො හැකි ප්‍රතික්ෂේප වීමකි.

විකුම් හා ශිරෝෂි ගැන පුවත්, ඕපාදූප වෙබ් අඩෙවි වල පළ වෙන්නට ගත්තේ ය. ආදිත්‍යා ගේ මව් පියන් මේ පළහිලව් ගැන දැන ගත්තේ ආදිත්‍යා ගේ බාල සොයුරු අවන්ත ගෙනි. ආදි දරුවා ද ගෙන මහ ගෙදර ගිය දාක සුධර්මා ඒ ගැන ඇසුවා ය.

“විකුම් කියන්නෙ ඇමති පුතෙක්නෙ. මට ඔය වගේ කතා ඇති වෙන එකවත්, ඔය වගේ දේවල් සිද්ද වෙන එකවත් නවත්තන්න බැරි වෙයි අම්මෙ”

ආදිත්‍යා ඒ මහා ඛේදවාචකය ගැන කතා කළේ ත් මුවග මඳහසක් තබා ගෙන ය.

“ඒ වුණත් දරුවො ඔයාගෙ මහත්තයනෙ. ඔයාගෙ පවුල් ජීවිතේනෙ. ඔයාටයි දරුවටයි ආත්ම ගෞරවයක් කියල දෙයක් තියෙන්න ඕනනෙ”

“සමහර මිනිස්සු ආත්ම ගෞරවය කියන වචනෙ තේරුමවත් දන්නෙ නෑ අම්මෙ. ඉතිං ඒ මිනිස්සු කොහොමද වෙන කෙනෙකුගෙ ආත්ම ගෞරවයක් ගැන වද වෙන්නෙ…”

යමහලක් වගේ ඇතුළතින් දරා ගෙන පිටතින් සන්සුන් ව හිඳිනා ගැහැනියක ගේ හිතත් ඕනෑම මොහොතක පුපුරා යන්නට පුළුවන් බව ආදිත්‍යා දැන සිටියා ය. ඒ කොයි වෙලාවේ විය හැකි ද කියා පමණක් ඇය නො දැන සිටියා ය.

“ඔයාට මේ විදිහට වගකීමක් නැතුව වැඩ කරන්න දෙන්න බෑ විකුම්. මං ඔයාගෙ වයිෆ්. මේ ඔයාගෙ දරුව”

දිනක් ආදිත්‍යා විකුම් ට කෙලින් ම කතා කළා ය. ඔහු සමච්චල් සිනහවක් නගා ගත්තේ ය.

“ඉතිං….”

“ඉතිං කියන්නෙ…ඔයා අපි ගැන හොයන්නෑ. බලන්නෑ. එහෙම නිදහස් වෙන්න බෑ විකුම්. අපිට ඕන ඕන විදිහට බැඳීම් කියන දේවල් කඩල දාන්න බෑනෙ. අනික මේ ඔයාගෙ දරුව. ඔයා තමයි මෙයාගෙ ඇත්තම තාත්තා. අන්න ඒකෙන් ඔයාට නිදහස් වෙන්න බෑ”

“නිදහස් වෙන හැටි මමනෙ දන්නෙ”

නැවතත් සමච්චල් සිනහවකි. ආදිත්‍යා ට දැනුණේ සිය සිරුර පුරා දුවමින් පැවකි ලේ ධාතුව රත් වන්නා සේ ය.

“හිතං ඉන්න එපා විකුම් ඒ තරං ලේසියෙං මේ දේවල් වලින් ගැලවිලා යන්න. මං දන්නව ඔයා දැං දුවන්නෙ මොන පාරෙද කියල. ඔයාට ඉතිං ඒව පුරුදු නැති දේවලුත් නෙවෙයිනෙ. මටත් ඔයා වගේ මනුස්සයෙක්නං ඕන නෑ”

“බොහොම හොඳයි”

ආදිත්‍යා මොහොතක් ඔහු දෙස බලා ගෙන සිටියා ය. ඔහු ගේ ඇස් වල සරාගී දඩබ්බරමක් නලියයි. ආදිත්‍යා ට පිළිකුල් හැඟීමක් දැනිණ. සිය ජීවිතය නරකාදියකට ඇද දැමූ මේ මිනිසා ට කිසි දා සමාවක් නොදිය යුතු බවට ක්ෂණික හැඟීමකින් ඇය වෙව්ලා ගියා ය.

“හිතන්න එපා මොන නැටුං නැටුවත් මං ඩිවෝස් එක දෙයි කියලනං”

විකුම් හඬ නගා හිනැහුණේ ය. ආදිත්‍යා තුළ ආත්ම අසරණකම අසීමිත වේගයකින් වර්ධනය වෙමින් තිබිණි. එය පිටමං වූයේ කේන්තියක් ලෙසට ය. ඇය කෝපයෙන් වෙව්ලන්නට වූවා ය.

“ඉතිං තියා ගන්නව”

විකුම් සිය නීත්‍යානුකූල බිරිඳ ගේ මුහුණ ට, ගැසිය හැකි දරුනු ම වචන වලින් දමා ගැසුවා ය.

“කවුද ඉල්ලුවෙ දික්කසාදයක්…තියා ගන්නව තමුසෙගෙ මහ ලොකු කසාද සහතිකේ. හැබැයි ඒක විතරයි තමුසෙට ඉතුරු වෙන්නෙ. මෝඩ ගෑනි”

එසේ කියා විකුම් වේගවත් ගමනින් නික්ම මිදුලට බැස්සේ ය. ටික වෙලාවකට පස්සේ ඔහු ගේ රිය හඬ නගා ගෙන නික්ම යනවා ඇසිණ. හිර කර ගෙන උන් සියල් හැඟීම් ආදිත්‍යා ගේ හදවතින් නිදහස් වූයේ ඉනික්බිති ය. ඇය කෑ ගසා හැඬුවා ය. හඬා ගෙන ම මින්දුල ද ගෙන සඳැල්ලට වූවා ය.

හැඬුම පාලනය කර ගන්නට ආදිත්‍යා ට පහසු වූයේ නැත. ඈ හඬත්දී බිය ගත් දරුවා වඩාත් හඬ නගා හැඬුවේ ය. ඒ හැඬුම් හඬ නිසා, බැංකු නිවාඩු දිනයක් වූයෙන් කාමරයට වී ඉංග්‍රීසි චිත්‍රපටයක් බලමින් උන් දුමාල් කුතුහලයෙන් යුතුව පිටතට ආවේ ය. මින්දුල තුරුලු කර ගෙන හඬනා ආදිත්‍යා දුටු ඔහු තරමක් කලබල වූයේ ඇය ඒ තරම් හයියෙන් මේ විදිහට හඬනු මීට පෙර ඔහු දැක නොමැති නිසා ය.

දුමාල් ව දුටු ආදිත්‍යා වහා ම හැඬුම නැවතුවා ය. නමුත් ඇගේ කොපුල් කඳුළෙන් පෙඟී ගොස් තිබිණ. තරුණයා නිකට එසවෙන සේ හිස සැලීමෙන් ඇයි කියා ඇසුවේ ය. එතකොට ම ආදිත්‍යා දරුවා ද ගෙන වහා කාමරයට දිව ගියා ය.

දුමාල් මඳ වෙලාවක් එසේ සිටිමින් ම කල්පනා කළේ ය. මේ ගැහැනිය මේ මන්දිරය ඇතුළේ විඳවන තරම ගැන ඔහු ට අනුමානයෙන් සිතා ගත හැකි ය. ඔහු වහා ම කාමරයට ගොස් ආමන්තා ට දුරකතන ඇමතුමක් ගත්තේ ය.

“හප්පේ…මතක් වෙලා තියෙන්නෙ අපිව. මං ඒත් හිත හිත හිටියෙ…එදා ෆෝන් නම්බර් එක ඉල්ල ගත්තට මොකද නිකංවත් කෝල් එකක් දුන්නෙ නෑනෙ කියල “

“අක්කට දැං කෝල් එකක් ගන්න”

දුමාල් එක්වර ම කී දෙයින් ආමන්තා ගල් ගැහුණා සේ ය.

“ආ…”

“බැල්කනි එක පැත්තෙන් හොඳටම අඬන සද්දයක් ආව. බලනකොට ආදිත්‍යා යි පුතායි දෙන්නම හොඳටම අඬනව. මාව දැකපු ගමං ඇතුලට ගියා”

“මං බලන්නං අයියෙ”

ආමන්තා එහෙම ම දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. තත්පර කිහිපයක් හිටි ඉරියව්වේ ම සිටි ඕ ආදිත්‍යා ඇමතුවා ය. නමුත් දුරකතනය ට පිළිතුරු ලැබුණේ නැත. ආදිත්‍යා එසේ කළේ හිතා මතා ම ය. දුරකතනය ට පිළිතුරු දුන හොත් මේ ඉකිබිඳුම නංගී ගෙන් සඟවා ගත නො හැකි ය. ඇය ට ඕනා වූයේ කාටවත් කියන්නට නොවේ. දුක තනිව විඳ ගන්නට ය.

“ආන්සර් කරන්නෑ අයියෙ”

කියා දුමාල් ට පණිවිඩයක් තැබූ ආමන්තා වහා ම විකුම් පාය බලා ආවා ය.

“හැම තිස්සෙම මොකට එහෙ දුවනවද….දරුවගෙ අසනීපෙ නිසා අපි අක්ක ගැන බලන්න ඕන තමයි. ඒ වුණත් ඔය ගෙවල් වලට නිතර නිතර නොගියට කමක් නෑ”

සුධර්මා බාල දියණිය ඇමති නිවසට යන්නට සූදානම් වෙත්දී කීවා ය. විකුම් විජයවික්‍රම ගැන සමාජ මාධ්‍ය වල පළවී තිබෙන නිල නොවන ආරංචි ගැන අවන්ත ගෙන් දැන ගත් ඕ තොමෝ, ආමන්තා නිතර එහි නොයා යුතු ය කියා සිතුවා ය.

“නොයා කොහොමද…අපිට අක්කව ඒ ගෙදර තනි කරන්න බෑ”

ආමන්තා මව් ගේ විරෝධය කනකට ගත්තේ නැත. ඈ යත්දී ආදිත්‍යා සන්සුන් වී සිටියත්, ඇස් වල ඉදිමුම එහෙම ම තිබිණ.

“ඔයා ඇඬුවද…”

“නෑ”

ආදිත්‍යා තනි වචනයෙන් හා පුරුදු සිනහවෙන් පිළිතුරු බැන්දා ය. ඇගෙන් යමක් දැන ගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමක් සරි බව ආමන්තා වටහා ගත්තා ය.

“මොනාත් කියන්නෑ”

කියා ඕ දුමාල් ට පණිවිඩයක් යැව්වා ය.

“එළියට අරං එන්න”

ඔහු පෙරලා කියා යැව්වේ ය. සුදුසු ම දේ එය බව ආමන්තා ද සිතුවා ය. එදා රාත්‍රිය මෙහි ගත කළ දිනයේ, අක්කා විවාහය දෙදරා ගොස් ඇති බවට ඉඟි සොයා ගන්නට ඇයට අවස්ථාව සැලසිණ. මින්දුල ගේ අසනීප තත්වය ගැන විකුම් කලබල වී සිටින බව පමණක් ආදිත්‍යා කීවා ය. නමුත් ඔහු කිසි දිනෙක දරුවා ව චිකිත්සක ප්‍රතිකාර සඳහා කැටුව යන්නට හෝ නො පැමිණෙන බව ආමන්තා නිහඬ ව නිරීක්ෂණය කරමින් සිටියා ය.

මින්දුල ගේ සමාජ වර්ධනය දියුණු කරනු පිණිස ඔහු ව පිටතට රැගෙන ගොස්  පරිසරය හා පුද්ගලයන් සමග ගැටෙන්නට සලස්වන ලෙස ආදිත්‍යා ට උපදෙස් ලැබී තිබේ. තනිවට නංගී හෝ සිටින වෙලාවේ දී ඒ සඳහා යොමු විය යුතු යයි ආදිත්‍යා සිතුවා ය. හිත පෑරී තියෙන මේ වෙලාවේ බැහැරට යන්නට, නො එසේ වී නම් ඇය කිසි සේත් එකඟ නො වනු ඇත.

“පුතාව ටිකක් පාරෙ එක්කං යන එකත් හොඳයිනෙ. අපි පාරට ගිහිං ට්‍රයිෂො එකක් ගමු”

තරුණියෝ දෙදෙන මින්දුල ව ද කැටිව මගට බටහ. යනවා කියන්නට සඳසීලී ගෙදර සිටියේ ත් නැත. දුමාල් ගේ රිය ඇවිත් ඔවුන් ආසන්නයේ නැවතෙත්දී, එය සැලසුම් කළ හමුවීමක් කියා හිතන්නට තරම් ආදිත්‍යා නිරවුල් මානසිකත්වයක පසු වූයේ ද නැත.

ආමන්තා ඉදිරි අසුනෙහි හිඳ ගත්තා ට දුමාල් ගේ ඇස් තිබුණේ කැඩපතින් පෙනෙන ආදිත්‍යා ගේ මුහුණ මත ය. ඈ දකිත්දී ඔහු ට දැනෙනා වේදනාත්මක රිදුම අලුත් එකක් නොව හුරු පුරුදු එකකි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content