මුතු බෙලි හදවත – 11 වන කොටස

දුමාල් ව දුටු ආදිත්‍යා ගේ හැඬුම මඳකට සමනය වූයේ ය. පිටස්තර පිරිමියෙකු ට පේන්නට විවාහක ගැහැනියක මෙසේ හඬා වැටෙනා එක හොඳ නැති බව, සියල් මනස්තාපයන් අතරේ ම ඇය ට කල්පනා වූයේ ය.

දුමාල් මුහුණේ හා ඇස් වල ඉරියව් වලින් ඇයි කියන ප්‍රශ්නය නැගුවේ ය. ආදිත්‍යා අතැඟිලි වලින් දෑසේත් කොපුල් වලත් තැවරී තිබූ කඳුළු පිම දමන ගමන් ‘මුකුත් නෑ’ කියා හඟවන්නට හිස සැලුවා ය. තරුණයා ගේ හිතට අමුත්තක් දැනිණ. මේ උදේ පාන්දර ම ඇගේ හිත රිදෙනා යමක් සිදු වන්නට ඇත. ඇඳුම් ආයිත්තම් වල හැටියට ඇය විවාහ උත්සවයකට සහභාගි වීමේ සූදානමක සිටිනා බවක් ද ඔහු ට අනුමාන කළ හැකි විය. කෙසේ වෙතත් ඔවුන් ගේ පවුල ඇතුළේ හෝ ගේ ඇතුළේ ඇති ප්‍රශ්නයකට පිටස්තරයෙකු වශයෙන් ඔහු ට අත පෙවිය නො හැකි බව දුමාල් දැන සිටියේ ය. එහෙයින් ම ඔහු තව කිසිත් නො විමසා මුත් කල්පනාබරිත හදකින් පිය ගැට පෙළ බැස පහළට ගියේ ය.

ආදිත්‍යා සාරිය උනා දැමුවේ කේන්තියෙනි. කේන්තියට ද ආත්ම අසරණකමට ද නැත්නම් ඒ දෙකට ම ද මන්දා ඇය ට හැඬිණි. හඬමින්, කඳුළු පිසිමින් ම හඬන්නේ නැත යනුවෙන් ද ඇය සිතුවා ය.

“ඔයා විතරයි පුතේ අම්මගෙ බලාපොරොත්තුව…දවසක අම්මට පිහිට වෙන්න ඉන්නෙත් ඔයා විතරයි. මගෙ මැණික සනීප වෙන්න පුතේ”

ආදිත්‍යා මින්දුල තුරුලු කර ගෙන කියවූවා ය. නමුත් දරුවා කිසිදු හැඟීමක් ප්‍රකාශ කළා නොවේ. යහනේ උඩුකුරු ව වැතිරී, ඔහු වඩාත් කැමති සෙල්ලම් කාරය අතේ ගුලි කර ගෙන නිසොල්මනේ බලා සිටියේ ය.

ආදිත්‍යා ද යහනේ වැටුණා ය. ඇගේ හිත තෝන්තුවාවෙනි. හැඬීම නිසා මහත් මූසල නිස්සාර බවක් හදවත අරක් ගෙන තිබිණි. ඒ නිසා ම වෙනදා සේ මින්දුල ගේ පුහුණු කිරීම් කටයුතු කෙරුණේ ද නැත.

ජීවිත වලට එවන් දවස් උදා වේ. කිසිදු උද්‍යෝගයකින් හෝ ජීවිතාශාවකින් තොර ව වැටී ඉන්නට ම හිතෙන දවස් උදා වේ.

එසේ සිටිය දී ඇය ට නින්ද යාගෙන ආවේ ය. එය වූ කලී සුවදායක මොහොතකි. නින්දත් නො නින්දත් අතරේ හිත සැහැල්ලුවට කඳු නිම්න මත්තෙන් පා වී යන ශරදාකාශ හැඟීමකි.

සිහින් සංගීත නාදයක් කොහෙන්දෝ ඇසෙන්නට විය. පෙර කී ශරදාකාශ හැඟීමට මේ සංගීතයත් එක් වූ විට එතැන මැවුණේ දිව්‍යලෝක පසුබිමකි. ආදිත්‍යා ටික වෙලාවක් ඒ සුවය විඳිමින් සිටියා ය. ඇගේ ඇස් හදිසියේ ම විවර වූයේ ත් ඒ සංගීතය ජනනය කරන්නේ සිය ජංගම දුරකතනය කියා වටහා ගත්තේ ත් සැනෙනි. ඇය වහා දුරකතනය සවනට ගත්තා ය.

දුමාල් දුරකතනය පසෙකින් දමන්නට හැදුවා පමණකි. ආදිත්‍යා ‘හෙලෝ’ කීවේ අන්තිම මොහොතේ ය.

“මං හිතුව ෆෝන් එක ඇහෙන තැනක නෙමෙයි ඉන්නෙ කියල”

ආදිත්‍යා මුදු සිනහවක් පෑවා ය.

“මොකක් හරි ෆන්ක්ෂන් එකකද ඉන්නෙ ආදිත්‍යා…”

“මොන ෆන්ක්ෂන් ද දුමාල් අපිට…”

හඬ බිඳෙන්නට ආවත් ආදිත්‍යා ඉක්මනින් හිත හයිය කර ගත්තා ය. උදේ ඇගේ හැඬුමත් මේ මොහොතේ මේ කතා විලාශයත් අතරේ සහසම්බන්ධයක් විය යුතු බව දුමාල් ට දැනුණේ ය.

“මින්දුල මොකද කරන්නෙ…”

“මේ ඉන්නෙ”

ඇය සිනහවෙන් විකසිත වෙමින් මින්දුල ගේ හිස පිරිමැද්දා ය. සිය පියාගේ ආදර කරුණාව විඳින්නට හිමි කමක් නැති අසරණයා පිටස්තරයෙකු ගේ හෝ ඇසට හසු වූ එක ගැන අම්මා කෙනෙකු වශයෙන් ඇගේ හිත ට සතුටු ය.

“පුතාව අරං එළියට යන්න එහෙම ඕනනං මට හාෆ් ඩේ දාල එන්න පුළුවන්”

ඔහු ඒ කියා දැමුවේ උදේ සිට ම හිතට වද දිදී සිටි කතාවකි. පාන්දර ම ආදිත්‍යා ගේ කොළ පාට ඇස් හඬනු දුටු දුමාල් ට සිහි වූයේ අම්මා ය. ඔහු රියෙහි එන ගමන් ම අම්මා ට දුරකතනයෙන් කතා කළේ ය.

“අම්ම සනීපෙං නේද…”

එහා ඉමෙන් ප්‍රතිචාර ලද සැනෙන් ඔහු ගේ ප්‍රථම පැනය එය විය.

“ඔව් පුතා”

“මං..අම්මව හීනෙන් දැක්ක. ඒකයි…”

දුමාල් ඒ කීවේ පොඩි බොරුවකි. අම්මා ගේ ඇස් වල අතීතයේ තිබූ කඳුළු මතක් කරන කොළ පාට ඇස් දෙකක් ඔහු ගේ ඇස් මානයේ නිතර දැවටෙන බව ඔහු අම්මා වන ගීතා ට කියන්නට ගියේ නැත.

“මගෙ  පුතත් හොඳින් නේද…”

“ඔව් අම්මෙ. මං මේ වැඩට යන ගමන්”

“එහෙනං පරිස්සමෙන් යන්න පුතේ. ඔය වාහන පදින වෙලාවට ටෙලිෆෝන් එකෙන් කතා නොකළට කමක් නෑ. පුතාව තිස් තුන් කෝටියක් දෙවි දේවතාවො බලා කියා ගන්න ඕනෙ”

මේ මොහොතේත් අම්මා ගේ ඇස් වල කඳුළු තියෙන බව දුමාල් අනිවාර්යයෙන් දනී.

“හෙලෝ….”

ඒ ආදිත්‍යා ගේ හඬ ය. දුමාල් සැනෙන් වර්තමානයට වැටුණේ ය.

“අ…ආදිත්‍යා…මං කිව්වෙ මේ…”

“හා. මං එන්නං පුතා එක්කගෙන. අපිව බෙල්ලන්විල එක්ක යනවද…”

“හරි”

දුමාල් ට පුදුම හිතුණ තරමි. ආදිත්‍යා යනු අහංකාර ස්ත්‍රීත්වයේ ප්‍රතිමූර්තියක් බව ඔහු දනී. ඇය මේ වෙලාවේ මේ විදිහට මේ තරම් උනන්දුවකින් ඔහු ගේ යෝජනාව සම්මත කරන්නට හේතුවක් ඔහු ට සිතා ගන්නට පහසු නැත. ඒ හේතු ගැන හිත හිතා ඉන්නවා වෙනුවට දුමාල් ඉක්මනින් නිවාඩු ලබා ගෙන ආදිත්‍යා ඉන්නවා කී තැන බලා පිටත් වූයේ ය.

ආදිත්‍යා වෙනදා ට හිතන දේවල් ගැන හිතන්නට නො ගියා ය. විවාහක කාන්තාවක් සිය සැමියා නොවන පුරුෂයෙකු සමග ගමන් බිමන් යාම ඇගේ වැදගත් කමට හානි කළ හැකි දෙයකැයි සිතන්නට ඇය ට ඕන වුණේ ම නැත. හිතේ තිබුණේ එක් චේතනාවක් පමණකි. ඒ වූ කලී රිදවීමේ චේතනාවකි. රිදවිය යුතු වූයේ සිය සැමියා ව ය. ඔහු විසින් සිය රෝගී පුතනුවන් ප්‍රතික්ෂේප කරනු ලැබූ මුත්, මින්දුල ට ආදරය හිඟ නැති බව විකුම් ට දනවන්නට මේ මොහොතේ ඇය ට අවශ්‍ය වූයේ ය.

ආදිත්‍යා සූදානම් වූයේ විශාල ආරෝපිත සතුටකිනි. එය ස්වභාවික සතුටක් නො වන බව ඇය නො දත්තා නොවේ. නමුත් එය ස්වභාවික සතුටක් කර ගන්නට ඇය වෙහෙසුණා ය. ඒ වෙහෙස ම මහත් අස්වාභාවිකත්වයක් දනවන ලදී.

“පුතාට කවුරු නැතත් කමක් නෑ පුතේ. අම්ම ඉන්නවනෙ. අම්ම කාගෙ පිහිටෙං හරි ඔයාව ඉස්සරහට අරං යනව. තාත්ත නැති වුණාට ඔයාට ආදරේ දෙන්න ලෑස්ති අය තව ඕන තරං ඉන්නව කියල දවසක එයා දැන ගත්තා වෙ. අපි සතුටෙං ඉමු පුතේ. කවුරුවත් අපිට රිද්දන්න රිද්දන්න අපි සතුටම හොයමු. එතකොට රිදෙන්නෙ ඒ කට්ටියටමයි”

මින්දුල ට මේ කියන දේවලින් වචනයක් හෝ තේරෙනවා දැයි ආදිත්‍යා ට පැහැදිලි නැත. ඔහු ඒ තරමට ම සිය හැඟීම් පිටතට ප්‍රකාශ වන්නට ඉඩ නො තබනා දරුවෙකි. නමුත් සිය හදවත තුළ පිටාර ගලනා සිතිවිලි අහන්නට කෙනෙකු නැති එකේ මින්දුල එක්ක හෝ ඒවා දෙඩීමෙන් ආදිත්‍යා නිදහසක් ලැබුවා ය.

විකුම් විසින් ඉතාමත් අසාධාරණ හා අමානුෂික ලෙස ඇගෙන් උදුරා ගන්නට හදන ඇගේ ජීවිතයේ සතුට කුමන හේතුවක් මත හෝ ඈ නෙත ම රඳවා ගන්නට පමණක් ආදිත්‍යා තැත් කරමින් සිටියා ය.

 ඈ උදේ හඬන්නට හේතු ගැන දුමාල් විමසූයේ නැත. සූදානම් ව සිටි ගමන නොයා සිටින්නට හේතු වූ කාරණා විමසූයේ නැත. ජීවිතයේ සමහර සිදුවීම් හා පරිච්ඡේද මුළුමනින් කපා කොටා ඉවත් කොට දැමුවා සේ ඔවුහු මේ මොහොත තුළ හැසිරුණහ.

ටික දිනක සිට මින්දුල දුමාල් ට හුරු වෙමින් සිටින්නේ ය. දැන් ඔහු ගේ ළපටි අතක් දුමාල් විසින් අල්ලනු ලැබුවා කියා මින්දුල පෙරළෙමින් හඬන්නේ නැත. ආදිත්‍යා ට එය පහසු හැඟීමක් දැනවී ය.

කුඩා හුරුබුහුටි මින්දුල ගේ දෑතින් අල්ලා ගෙන ආදිත්‍යා හා දුමාල් දෙපසින් යත්දී හැම කෙකෙක් ම හිතන්නට ඇත්තේ පුංචි පවුලක් කියා ය.

ආදිත්‍යා ට ඕන වුණේ හුඟක් ප්‍රමාද වී ගෙදර යන්නට ය. විකුම් ලා මංගල උත්සවයෙන් පසු ගෙදර පැමිණෙත්දී ඇඳ බදා ගෙන හඬමින් සිටිනා ආදිත්‍යා කෙනෙකු වෙනුවට ඇය ට ඕනෑ වූයේ ගෙදර පවා නැති ඇය ගැන ඔවුන් ගේ අවධානය යොමු වෙනු දකින්නට ය.

“හවස් වෙනකල් මෙතන හිටියොත් ඔයාට ලේට් වෙයිද…”

ඇය වැව් සුළං වැදෙමින් බංකුවක හිඳ අල තීරු බැදුමක් හෙමිහිට සපමින් ඇසුවා ය. දුමාල් ආදිත්‍යා දෙස නොව මින්දුල දෙස බලමින්, ඔහු ට තව අල තීරුවක් අතට දෙමින් කතා කළේ ය.

“කොහොමත් ගෙදරනෙ යන්නෙ. ලේට් වෙන්න දෙයක් නෑනෙ ගියා කියලත්. මෙතනිං මොනා හරි අරං යනව රෑ වෙලා කන්න”

ආදිත්‍යා කුඩා දැරියක ගේ සතුටක් පෙන්වූවා ය. ගැහැනු හිතක් රිදුණ විට ඔවුන්  කෙතරම් තමන් ශක්තිමත් දැයි උර ගා බලන බව දුමාල් දනී.

මින්දුල කැටුව ආදිත්‍යා ගෙදර යන විට පිරිස තරමක කලබලයකින් ආලින්දයේ රැස් වී සිටියහ. ඒ ආදිත්‍යා ගෙදර නොමැති වීම පිළිබඳව ය. ඇය කල් තියා ම දුරකතනය ක්‍රියා විරහිත කර ගත්තේ හිතා මතා ම ය. සඳසීලී ආදිත්‍යා ගේ මහ ගෙදරට කතා කළත් ඈ එහි ගොස් නො තිබිණි. විවාහ මංගල උත්සවය ට ඈ කැටිව නොයාමේ වේදනාවට හෝ කේන්තියට ආදිත්‍යා කොහේ හෝ යන්නට ඇත යන්න ඔවුන් එළඹි පොදු නිගමනය විය.

“ආදි හිතේ අමාරුවට මොනා හරි කර ගත්තොත් කියලයි මට බය. එහෙම වුණොත් ඔයාට ලේසි වෙන්නෙ නෑ විකුම්. ඔයාට වග කියන්න වෙයි”

සේනක ගේ මුවට සිනහවක් නැගුණේ ය. සිය බිරිඳ සඳසීලී තවමත් හිතන්නේ පුත්‍රයා ඉන්නේ ඔය වගේ කතා කියා බය කළ හැකි වයසක ය යන සිතිවිල්ල ඒ සිනහවට හේතු පාදක වූයේ ය.

“අර අසනීප ළමයෙකුත් අරං මේ දරුවා කොහෙ ගිහිංද ඇත්තට…”

සඳසීලී එසේ කියනකොට ම ආදිත්‍යා මින්දුල ද ගෙන ගෙට ගොඩ වූවා ය..එතැන වූ කිසිවෙකු දෙස උනන්දුවෙන් නො බලා ඈ ගියේ කෙළින් ම පියගැට පෙළ දෙසට ය.

“කොහෙද තමුං ගියේ…”

විකුම් තදින් ප්‍රශ්න කළේ ය..වහා නතර වූ ආදිත්‍යා විකුම් ගේ කෝපය අවුළුවා ලන තරම් සන්සුන් ස්වරයකින් දෙඩුවා ය.

“ඇයි…”

“ඇයි කියල අහන්නෙ…මං ඇහුවෙ මෙච්චර වෙලා කොහෙද ගිහිං හිටියෙ කියල…”

“ඇයි ඉතිං මං ඒක ඔයාට කියන්නෙ…”

විකුම් ට දැනුණේ තද කම්මුල් පහරක් වැදුණා සේ ය. එසේ විමසූ ඇය කිසිදු අපහසුවකින් තොර ව නිසංසලේ පියගැට පෙළ නැග ගියා ය.

තවත් ටික වෙලාවකින් සඳසීලී ලේලිය සොයා ඇගේ කාමරය වෙත ආවා ය. ඈ අතේ, දවල් සිට සඟවා ගත් යමක් තිබිණි. ඒ සිය එක ම මුණුපුරු මින්දුල වෙනුවෙනි.

“මගෙ චූටි මැණිකට මම්මා ගෙනාවෙ…වෙඩින් කේක්…”

ටික වෙලාවක් දරුවා ට හුරතල් බස් තෙපලූ ආත්තම්මා, ඊළඟට නැන්දම්මා ගේ භූමිකාවට පිවිසියා ය.

“මං පිළිගන්නව දුව. ඔයාට වෙච්ච දේ අන්තිම වැරදියි. වෙඩින් එකට ආපු හැමෝම ඔයා කෝ කියල අහද්දි මට දෙන්න උත්තර නැති වුණා”

“අම්ම කියන්න එපැයි මුණුපුරාට ඔටිසම් නිසා පුතා එයාව ඔය වගේ තැන් වලට අරං යන්නෙ නෑ කියල”

සිය කන් අඩි පුපුරන්නට එනවා සේ සඳසීලී ට දැනුණේ ය. ඕ තොමෝ ලේලිය ගේ ඇස් වලට සිය ඇස් හසු වන්නට ඉඩ නො තබා බිම බලා ගත්තා ය. ආදිත්‍යා ට දැනුණේ වියරු සතුටකි. ඊළඟ නිමේශයේ ඕ සිය විකෘති සතුට ගැන පශ්චත්තාප වූවා ය. මේත් අම්මා කෙනෙකි. මින්දුල බිහි කරනු වස් ශුක්‍රාණුමය දායකත්වය සැපයූ මිනිසා ව ලෝකයට බිහි කළ අම්මා ඈ ය. ඒ වගේ පුතෙකු නිසාවෙන් ඈ විඳ ගත් හා දැනටමත් විඳිනා වූ සියල් සුඛ දුක්ඛ වේදනා වල නාමයෙන් ඇගේ හිත ට රිදුමක් එක් නො කළ යුතු යයි ආදිත්‍යා වහා තීරණය කළා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content