සුවපත් කල යුතු හිත්

රුක්ෂිලා සෙරෙප්පු දෙක ගලවලා සීතල පොළවට අඩිය තියලා හෙමින් හෙමින් පූර්ණ ගේ මහගෙදරට ඇතුළු වුණේ ඒ තරම් කැමැත්තකින් නෙවෙයි.මහ ගෙදරට ගොඩ වෙන වාරයක් පාසා හිත රිදෙන නිසා මහගෙදර යන ගමන රුක්ෂිලා ගේ හිතට ගෙනාවෙ මහා බරක්

” දවල් කෑමට මල්ලිලා එනව කිව්වට මම හිතුවේ කලින් එයි කියලා උයන්න උදව් කරන්න වත් “

පූර්ණගේ අක්කා මානවී කතාව පටන් ගත්තේ එහෙම

” උයන්න මෙහෙ එන්න ඕනයෑ. එහෙනම් අපි ගෙදර ඉඳන් උයාගෙන කනවා නේ අක්කේ “

පූර්ණ පුරුදු හිනාව එක්ක කිව්වේ බොහෝ දේවල් සැහැල්ලුවෙන් ගන්න කෙනෙක් නිසා

” අම්මා කුස්සියෙද අක්කෙ ? “

රුක්ශිලාට ඕන උනේ මානවී ගෙන් මිදිලා යන්න

” කුස්සියේ ඉන්නවා.දැන් ගියා කියලා ඔයාට කරන්න වැඩක් නැහැ “

මානවීගේ මුහුණේ තිබුණු රකුසු බැල්ම මඟහරිමින් රුක්ෂිලා ඉක්මන් ගමනින් කුස්සියට ගියා

” මට ඇහුනා කටහඬ.මේ පපඩම් ටික බැදලම එන්න හිටියේ පුතේ “

රමණි කිව්වේ ආදරය උතුරන ඇස්වලින් මානවී දිහා බලන ගමන්. දුවෙක් ඉන්න අම්මා කෙනෙක් හැටියට රමණි මානවී ට වගේම රුක්ශිලාටත් ආදරය කළා

” ඉතින්. දෙන්නා එක්ක මෙහාටම ද ආවේ ? “

” ඔව් අම්මේ. හවසත් අපිට යාළුවෙක්ගෙ ගෙදර යන්න තියෙනවා .පූර්ණ ට ඉතින් නිවාඩුවක් ලැබෙන්නේ ඉඳලා හිටලා නේ “

” ඔයාට ගෙදර ඉන්න පාළු නං දවල් වරුවේ මෙහෙ එන්න පුතේ “

රමණි එහෙම කියනකොට රුක්ෂිලා බිම බලාගත්තේ මූණ අඳුරු කරගෙන

” මානවී කියන දේවල් ඒ හැටි ගනන් ගන්න එපා. එයා ඔහොම තමයි. තරහෙන් කතා කරලා ඇනුම්පද කිව්වට හිත හොඳයි “

රමණි එහෙම කිව්වත් විවාහ වෙලා ආව දවසේ ඉඳලම රුක්ෂිලාගෙ හිතේ මානවී ගැන එතරම් පැහැදීමක් තිබුණෙ නැහැ.නවකතා වල ඉන්න නපුරු නෑනා කෙනෙකුගේ චරිතය රඟදක්වන මානවී ගැන රුක්ෂිලා ට තිබුනේ අකමැත්තකට වඩා බයක්

” රුක්ෂිලා යන යන හැම තැනටම මේකප් දාගෙන ද යන්නේ ? “

මානවී ඇහුවෙ දවල් කෑම කන අතරේ.ඒ වෙලාවේ රුක්ෂිලාට ඉබේටම පූර්ණ දිහා බැලුනා

” එයා beauty culture නේ කළේ අක්කේ. ඉතින් ලස්සනට ඉන්න මෙයා කොහොමත් ආසයි. හෙට අනිද්දා තව විභාගයක් තියෙනවා ඒක ඉවර උනහම සැලෝන් එකක් දාන්නයි රුක්ෂිලා හිතාගෙන ඉන්නේ . ඔයා fashion designing ඉගෙන ගත්තට ඒකෙන් වැඩක් ගත්තේ නැහැනේ. අපරාදේ ඉතිං “

පූර්ණ එහෙම කිව්වම රුක්ෂිලා ආයෙමත් පාරක් පූර්ණ දිහා බැලුවේ ස්තූති පූර්වකව

” අනේ කොච්චර දෙයක්ද දරුවෝ .තමන්ගෙ කියලා බිස්නස් එකක් තියෙන එක කොච්චර නිදහස් ද ? අපේ මේ මානවිටත් මම කොච්චරවත් කියනවා ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න කියලා “

රමණි කතා කළේ පුදුමාකාර සංතෝසයකින් වුණත් ඒ සන්තෝසෙන් ටිකක්වත් මානවීගේ මුහුණේ ගෑවිලා තිබුණෙ නැහැ

” ආපෝ. අද කාලේ අඩියෙන් අඩියට සැලෝන් තියනවනේ. අනික ඕලෙවල් වත් පාස් නැති අය තමයි ඔය සැලොන් දාන්නෙ “

සමච්චලයට හිනාවෙන මානවී ගෙ වචන වලට රුක්ෂිලාගේ හිත රිදුනත් ඇය ඒ බවක් නොපෙන්නා නිහඬවම කෑම කෑවා.

” ඔයා මාව ඉවසන තරම්ම අපේ අක්කා වත් ඉවසන්න රුක්ෂිලා “

පූර්ණ ගෙන් ඒ වචන ටික පිටවුනේ ආපහු ගෙදර එන අතරේ

” මම ඕවා හිතන්නේ නැහැ පූර්ණ “

රුක්ෂිලා දුන්න පිළිතුර ගැන පූර්ණ ට දැනුනේ සැනසීමක්.නිතරම කෝපයට පත්වෙන මිනිස්සුන්ගේ හිත් වල සැඟවුණු වේදනාවක් තියෙනවා කියලා රුක්ශිලාට හිතෙමින් තිබුනා.

” බිල් වගයක් ගෙවන්න යන ගමන් මෙහාට ගොඩ උනේ පුතේ ඔයාව බලලා යන්න “

දවසක් දවල් වරුවේ රමණි මානවීත් එක්ක ගෙට ගොඩවුනේ එහෙම කියා ගෙන

” බත් උයලා තියනවා කාලා ඉමුද අම්මේ ? “

රුක්ෂිලා ඇහුවෙ වෙහෙසට පත්වෙලා ඉන්න රමණි දිහා බලන ගමන්

” වැඩිපුර බත් තියනවද ? “

” ඔව් අම්මේ.ඉන්නකො මම කෑම ටික මේසෙට අරින්නම් “

රුක්ෂිලා කුස්සියට යන්නත් කලින්ම මානවී ගෙ වචන ඉස්සර වුනා

” අපේ මල්ලි මැරීගෙන හම්බ කරන ඒවා මෙයා හොදට නාස්ති කරනවා ද කොහෙද අම්මේ. මට නම් පිට ගෙවල්වලින් කෑම කන්න බැහැ ,මම කන්නේ ගෙදර ගිහින් “

රුක්ෂිලා එතනම ගල් ගැහුණා.ඇය හිතට දැනුනු කෝපය පිට පනින්න නොදී නවතා ගත්තේ ආයාසයෙන්.පූර්ණගේ වචන ඇයට ආයෙ ආයෙම මතක් උනා

” අක්කා ඉස්සර ඉදන්ම ඔහොමද පූර්ණ ? “

දවල් වරුවේ වෙච්ච සිද්ධිය රුක්ෂිලා පූර්ණට කියන්න කලින් රමණි ඒ ගැන කියලා තිබුණා.පූර්ණ හවස ගෙදර ආව ගමන්ම රුක්ශිලාගෙන් ඒ ගැන ඇහුවා.

” අක්කා ඉස්සර හරිම නිවුණු කෙනෙක් රුක්ෂිලා. එහා ඔය විදිහට වෙනස් උනේ මෑතකදී “

පූර්ණ කතා කළේ සංවේගයෙන්.ඒ සංවේගය ඇතුලෙ මොකක් හෝ ලොකු කතාවක් තියෙනවා කියලා රුක්ෂිලාට ඉවෙන් වගේ දැනුනා.

” අක්කා ඉන්නෙ අපි අනුකම්පා කරන්න ඕන තත්වෙක “

පූර්ණ හිස් බව පිරුණු ලොකු සුසුමක් මුදාහැරියා.රුක්ෂිලා කිසිවක් ම නොකියා ඔහුට සවන් දුන්නා

” අක්කාට අවුරුදු ගානක affair එකක් තිබුනා.ඒ දෙන්න පුදුම ආදරයකින් හිටියේ. ගෙවල් වලින් කතාබහ කරලා engagement එකත් ගන්න ලෑස්ති කරලා තිබුණේ.එන්ගේජ්මන්ට් එකට සති දෙකකට කලින් මංජුල අයියා ඇක්සිඩන්ට් එකකින් නැතිවුනා.ඒ අපි දෙන්නා හම්බ වෙන්නත් කලින් “

රුක්ෂිලා ගේ දෑස් වල ඇඳිලා තිබුනෙ මහා පුදුමයක් .

” ඒ කියන්නේ මීට අවුරුදු තුන හතරකට කලින් ? “

” ඔව්. අක්කා ඒකෙන් සෑහෙන මානසිකව වැටුණා.ජොබ් කරන එක, ඉගෙන ගන්න ඒවා පවා නතර කළා.එයා රිකවර් උනේ සෑහෙන හෙමින්.අවුරුදු එකහමාරකට දෙකකට විතර පස්සේ අපි ප්‍රපෝසල් ගෙනාවත් එයා කැමති උනේ නෑ.එයා කිව්වෙම එයාව බඳින්න හිටපු නිසායි මංජුල අයියා නැතිවුනේ කියලා “

” ඉතින් මාව බැන්ද නිසා ඔයාටත් එහෙම වෙයි කියලා අක්කා හිතනවද පූර්ණ ? “

” ඔව් සමහර විට එහෙම වෙන්න පුළුවන්. එයා අපේ කසාදෙට ලොකු කැමැත්තක් තිබුණෙ නැහැ. සමහරවිට ඔයාට හැම වෙලාවෙම ඇනුම්පද කියන්නේ මගේ ජීවිතය ගැන තියෙන බයක් නිසා වෙන්න පුළුවන් .මම ඒකයි ඔයාට කිව්වේ මාව ඉවසන තරම්ම අපේ අක්කාවත් ඉවසන්න කියලා “

රුක්ෂිලාගේ හිතට මානවී ගැන දැනුණේ පුදුමාකාර දුකක්. කොහොමහරි ඇයට ළං වෙලා ඇයගේ හිතේ තියෙන වැරදි වැටහීම නැති කරලා ඇගේ හිත සුවපත් කරන්න ඕනේ කියලා රුක්ෂිලා හිතාගත්තා.

පහුවදා පූර්ණ රැකියාවට ගියාම රුක්ෂිලා තනිවම පූර්ණගේ මහ ගෙදරට ගියා.මානවී පුරුදු රකුසු බැල්මෙන් බලාගෙන හිටියත් කුකුළා ඒ ගැන තැකීමක් නොකර සිනාමුසු මුහුණෙන් ගිහින් මානවීගේ අතින් අල්ලගත්තා

” මම ආවේ අක්කව හම්බ වෙන්නමයි “

” ඒ මොකටද ? “

” මං ගාව අලුත් රෙදි වගයක් තියෙනවා.මට ඒවායින් ලස්සන ගවුම් ටිකක් ඩිසයින් කරලා දෙනවද ? සැලෝන් එක open කරාට පස්සේ අඳින්න ලස්සන ඇඳුම් ටිකක් මට ඔයාගෙන් ඕනේ ඔන්න “

රුක්ෂිලා එහෙම කියනකොට මානවී ගේ මුහුණේ යන්තමින් හිනාවක් ඇඳුනා.තමන්ගේ නෑනාගෙ හිත සුවපත් කිරීමේ පලවෙනි පියවර සාර්ථක කරගත රුක්ෂිලා ඇගේ අතින් අල්ලගෙන ගේ ඇතුලට එක්කගෙන ගියේ මානවී ගේ මුහුණේ යන්තමින් ඇඳුන හිනාව දෙගුණ තෙගුණ කරන්න හිතාගෙනයි

More Stories

Don't Miss


Latest Articles