නිලැසි -08

“කවුද අර ඔය එක්ක ෆේස්බුක් ලයිව් ආපු ගෑනු ළමයා..”

නිලැසි එරන්දගෙන් විමසුවේ පසුදා උදෑසන ය.මධ්‍යම රාත්‍රියේ ඔහු ඒ නොදන්නා තරුණිය සමඟ බොහෝ වෙලාවක් ගී ගැයුවේ ය.නිලැසි ද එය දුටුවේ අහම්බයකිනි.

“යාළුවෙක්..අපි මියුසික් ප්‍රැක්ටිස් කරා.”

නමුත් නිලැසිට ඒ වචන පිළිගන්නා සිතක් නොතිබිණ.ඇය සැකයෙන් පීඩිත වූවා ය.

“ඒ රෑ..කට්ටිය කමෙන්ට් කරේ ඒ ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගාණට දාලනෙ.”

නිලැසි එවැනි ප්‍රශ්න ඇසීම එරන්දට කෝපය උපදවයි.ඇය තමන් විවාහක ගැහැනියක බව අමතක කර දමා එරන්දගේ ජීවිතයට ඇඟිලි ගැසීම ගැන ඔහුට මතු වන්නේ උපහාසයට බර කෝපයකි.

“ඒකි ලබන මාසෙ බඳිනව නිලැසි.”

එරන්ද තමන්ට නමින් අමතන්නේ කෝපයෙන් සිටින විට බව දන්නා නිලැසි දුරකථනය විසන්ධි කර දැමුවා ය.අනතුරුව දස අතේ කල්පනා කරන්නට ගත්තා ය.තමන්ගේ ප්‍රේම රාජධානියට තවත් ගැහැනුන්ට පිවිසෙන්නට ඉඩ ඇති බව සිතෙද්දී ඇයට දැනුණේ තමන් දැවෙමින් ඇති බවකි.නමුත් නිලැසි එරන්ද සමඟ වාද කළේ නැත.සුළු කාරණාවලට තිසරු සමඟ දින ගණන් පැටලෙන්නිය කෙටි දුරකථන ඇමතුමකට පසු ඉකිලමින් සිටියා ය.

“අක්කා කාමරේට වෙලා හොඳටම අඬනවා..”

නිලැසිට පළතුරු යුෂ වීදුරුවක් රැගෙන ඇගේ කාමරයට ගිය රශ්මි ඒ ආරංචිය රැගෙන ගියේ දිගැසිට ය.නිලැසි හිස උස්සාවත් නොබැලුවා ය.

“ප්‍රේමවන්තයා බැනලා වෙන්න ඇති.තිසරු අයියා මොකක් හරි කිව්වනම් මෙතන වහළෙ උළු උඩ යන්න කෑගහයි.ඔය හොරෙන් අඬන්නේ ප්‍රේමවන්තයා බැනලා..”

සාරිය අඳින’තර දිගැසි අනාවැකි පළ කළා ය.රශ්මිට සිනා ඉපදිණ.

“අද ඔයා ඔෆිස් යන්නැද්ද රශී..”

දිගැසි එසේ අසන අතර ඇඳ මත හිඳ ගත්තේ රශ්මිගේ කුසට අතක් ද තබමිනි.නැන්දණියක වීමේ මිහිරියාවෙන් හදවත පිරී යද්දී ඇය හිනැහුණා ය.

“ඊයේ මට හරි අපහසුවක් ආවනෙ.අපි මහ රෑ මැද්දේ දුලාජ්ටත් කෝල් කරා.එයා කිව්වෙ නැද්ද?”

දුලාජ්ට තවම ඇමතුමක්වත් ගන්නට නොහැකි වූ බව සිහි කරමින් දිගැසි නෑනාගේ අපහසුවට ඇහුම්කන් දුන්නා ය.දුරකථන ඇමතුමක් ප්‍රමාද වීමෙන් බිඳී යන මට්ටමේ සම්බන්ධතාවයක් තමන් සහ දුලාජ් අතර නොවීම දිගැසිට සතුටකි.

“මටත් ඉක්මනින් මැරි කරන්න හිතෙනව අප්ප..”

රශ්මිට පැමිණි සුළු අපහසුතාවයකටත් රට පෙරළන්නට ගිය නිම්නට හිනැහෙමින් දිගැසි පැවසුවා ය.

“ෆැමිලි ලයිෆ් එක ලස්සනයි ඉතිං..”

රශ්මි කියන්නේ සැනසීමෙනි.දිගැසි ඒ වචන අසා උස් හඬින් හිනැහුණා ය.

“අර එහා කාමරේට වෙලා අඬන මනුස්සයා දිහා බලාගෙන ඔයා තවපාරක් ඕක කියන්නකො..”

දිගැසි එසේ කියන්නේ අවමානය පිරුණු හඬකිනි.දෙතොල් ආලේපනය තවරන අතර ඈ තවත් දේ පැවසුවා ය.

“අපි හැමතිස්සෙම කසාද ජීවිතයක් හරි රිලේෂන්ශිප් එකක් හරි ඇතුළේ ගෑනුන්ව රවට්ටන මිනිස්සු ගැන කතා කරන්නේ.ඒ මිනිස්සුන්ට තමයි දෙස්දෙවොල් තියන්නේ.ස්ත්‍රීවාදය හරි මොකක් හරි..අපි හැම වෙලාවෙම ගෙවල් ඇතුළේ රැවටෙන,දුක් විඳින ගෑනු ගැනමයි කතා කරන්නෙ.ඒ වුණාට අපේ අක්කා වගේ අය හින්දා අසාධාරණකම් විඳින තිසරු අයියලා වගේ නිවැරදි මිනිස්සුත් ඉන්නව රශී.ඒ මිනිස්සු පව්.තිසරු අයියා අඩුම තරමෙ අපේ අක්කට වෙන කොල්ලෙක් ඉන්න විත්තියක්වත් දන්නේ නැහැ..”

ගැහැනු ඉව ප්‍රබල ය.තමන්ගේ පෙම්බරා වෙනත් ගැහැනියක හා බැඳී සුළු කාලයකින් ඒ ගැන සොයා ගන්නට ගැහැනිය සමත් ය.නමුත් තමන්ගේ සිත දිනා ගත් ගැහැනිය ගැන සම්පූර්ණ විශ්වාසය තබන තිසරු වැනි පිරිමින් ඇඟිල්ලෙන් ඇන පෙන්වූවද එවැනි අවස්ථා හඳුනා නොගනී.

“සමහර මිනිස්සු ඉන්නවනෙ වයිෆ්ව නිකරුණේ සැක කරන අය.ඒ වගේ මිනිස්සු එක්ක ඉන්න ගෑනු පව්.ඒත් ඉතින් මේ තිසරු අයියා වගේ පොඩ්ඩක්වත් අවිශ්වාසයක් නොහිතන පිරිමිත් පව්..”

දිගැසි එසේ කියද්දී රශ්මි ද සුසුමක් හෙළුවා ය.

“අක්කා තිසරු අයියට වඩා ඒ කොල්ලට ආදරේ හින්දනෙ ඔය අෆෙයා එක හදා ගත්තේ.තිසරු අයියගෙන් ඩිවෝස් වෙලා එයාව බඳින්න බැරි ඇයි? අම්මලා අකමැති වෙයිද?”

රශ්මිගේ පැනයට දිගැසි හිනැහුණා ය.

“මං ආයේ ආයේ කියන්නේ රශී.කවුරුත් නෙවේ ඒකට අකමැති.එරන්දයමයි අකමැති.ඌ කවදාවත් අපේ අක්කව නම් බඳින්නෑ..මෙයාට දවසක වෙන දේ බලන්නකො..”

මිරිඟුවක් පිටුපස උමතු වේසයකින් දිව යන තමන්ගේ නෑනන්ඩිය ගැන රශ්මිට දැනුණේ තද වේදනාවකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles