සැරිසරන්නී -5

සුනෙත් ගේ වදයෙන් බේරෙන්නට බැරි තැන මම දවල් ඔහු සමගින් ජාතික රෝහගේ හෘද රෝග ඒකකය වෙත ගියෙමි. මා පුදුමයට පත් කරමින් වාට්ටුවට පිවිසෙන තැන මිදුලේ ලොකු අයියා සමග රවීන් වූයේ ය. කෙනෙකු අපේ සිතට බලපෑම් කරන්නට පටන් ගත් විට නො කඩවා හැම තැනකදී ම ඔහු ව දර්ශනය වන්නට ගන්නවා ද කියා මා දන්නේ නැත. කෙසේ වෙතත් මගේ හදවත අනවරත භූමි කම්පා පෙළක තවත් අදියරකට හසු වූ බවක් දැනිණ. ඒ කම්පනය රසවත් එකක් වීම වඩාත් පුදුම සහගත දේ ය. මගේ දෑස් කාන්දම් යුග්මය විසින් මුළුමනින් එහි ආකර්ෂණයට නතු කර ගත්තේ ය.

“මොකද්ද බං මේ…යන යන තැන උඹනෙ අද”

ලොකු අයියා මා ව ඒ දැහැනින් මුදවාලූයේ ය. 

“ඔයානෙ වදේ. අද මං කාව දැකල එළියට බැස්සද මන්දා. මේ බැලුවද මාමව…”

“ඔව්. මං රවීන් එක්ක කලිංම ආව. දැං අම්මයි නංගියි ඇතුළට ගියා. දෙන්නටයි ඇඳ ළඟ ඉන්න දෙන්නෙ”

“එහෙනං මට බලන්න තව වෙලා යයි”

එසේ වන එක හොඳ යයි යටි හිත රහසේ කොඳුරනු ඇසිණ. එතකොට රවීන් ගේ ඇස් මානයේ තව ටික වෙලාවක් දැවටී ඉන්නට හැකි වෙන්නේ ය. පිරිමි ඇස් දෙකක් ඉදිරියේ පේ වෙන එක මේ තරම් චමත්කාරයක් බව මා මුල් වරට අත් විඳිමින් හිඳින අවස්ථාව මේ ය.

“ඉතිං කොහොමද මලය…”

ලොකු අයියා සුනෙත් ගේ උරහිසකට  පහරක් ගැසුවේ ය. 

“ඉන්නව අයියෙ ඉතිං”

“මචං රවීන්…මේ තමයි අපේ සිරියලතා ගෙ නූල”

රවීන් ට එය නො තේරුණ බවක් පෙනිණ.

“ඒ කිව්වෙ…”

“ඒ කිව්වෙ බං…අපේ එකී ඉඳිකට්ටනං මූ නූල. මං මේකිව තනියම දකින්නෙ ඉඳහිට ගෙදරදි විතරයි. නැත්තං වෙන කොහෙදි දැක්කත් මුන් දෙන්න ඉඳිකට්ටයි නූලයි වගේ එකට පැටළුණ ගමං. මුං නෑ නෑ කිව්වට මටනං හිතෙන්නෙම මුන් දෙන්න බඳින්නයි ඉන්නෙ”

“පිස්සුද අයියෙ…”

මා කෙතරම් කලබල වී ද යත් ලොකු අයියා දෙස රවා බලන්නට ඇත.

“අපි දෙන්නා හොඳ ම යාළුවො. එච්චරයි. නේ සුනෙත්…”

“හ්ම්”

සිනහ වෙන්නට දරනා උත්සාහයකින් හ්ම් කීවා ට ඔහු මේ මොහොතේ වෙනස් බව මට වහා දැනුණේ ය. නමුත් මම ඊට හේතු හොයන්නට නො ගියෙමි. මට ඕනෑ වූයේ සුනෙත් මගේ පෙම්වතා නොවෙන බව රවීන් ට ප්‍රත්‍යක්ෂ කරන්නට පමණකි.

“මලිත්…හවසටත් අපිට නංගිව පික් කරන්න පුළුවන් නේ…”

මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ තැනකට රවීන් කතාව ගෙන ගියේ ය. හදවත මැද ම විදාරණයක් සිදු වුව ද මගේ ඇස් වලින් පිටතට විද්දේ සතුටක් කියා මම සිතමි.

“ආ ඔව්. තංගච්චි බස් එකේ යන්නෙපා. මං එතන්ට ඇවිත් රිං කරන්නං”

මම හිස සලමින් එකඟ වුණෙමි. මගේ හදවත ප්‍රීතිමත් කම්පන තරංග සහිත සතුටු සයුරක දිය බුං ගසමින් සිටියත්, සුනෙත් හිටියේ දියෙන් ගොඩ දැමූ මත්ස්‍යයෙකු ලෙසිනි. ඔහු මගේ මිතුරා ය. ඔහු ව මගේ අය ඉදිරියේ අපහසුතාවට පත් නො කළ යුතු යයි වහා මට සිතිණ.

“මොකද සුනෙත් කරන්නෙ…අපි යනවද…මේ දෙන්නා විසිටින් අවර් එක ඉවර වෙනකල් එළියට එයි කියල හිතන්න බෑ”

මම ඔහු ගේ අත් බාහුවක් අල්ලා ගනිමින් පිළිවිසීමි.

“එහෙම යන්නනං ඉතිං ආවෙ මොකටද…ටිකක් බලමු. ඒගොල්ලො ආවට පස්සෙ විනාඩියකට හරි ඇතුළට ගිහිං මාමාව බලල යං”

සුනෙත් ගේ ස්වරයේ වූයේ මට පමණක් දැනෙනා විදිහේ නො රිස්සුමකි. මට එවැන්නක් අඟවමින් අනිත් අයට එය නො දැනෙන සේ සිටීම ඔහු ගේ අභිප්‍රාය වන්නට ඇත. සුනෙත් මේ විදිහට මේ ටිකට මා සමගින් අමනාප වන්නට හේතුවක් පවා මට සිතා ගත නො හැකි වූයේ ය. 

“මේ නංගි. අපි එහෙනං කැපෙන්නද…මූ මේ ඔෆිස් එකේ වැඩ කරන ගමං ආවෙ”

මම මඳහසකින් අයියා ගේ පැනයට හිස සැලීමි. රවීන් ගේ කාන්දම් ඇස් යුග්මයෙහි ගැටෙමින් ද නිදහස් වෙමින් ද තිබි මගේ දෑස් වලින් වැගිරෙනා බරක් වන් දෙයක් මට සංවේදනය විය. රවීන් ‘යන්නම්’ කියා නික්ම යන තෙක් ම ඒ බර ඇස් වල වූයේ ය. 

කලබලකාරී මිදුලේ කුඩා අවකාශයේ, තුරු සෙවනක අපි සිටියෙමු. අයියලා නික්ම ගිය පසු සුනෙත් ඒ ගසේ පිටතට නෙරූ මුලකට පා පහරක් ගැසුවේ ය. 

“කවුද ඒ බුවා…”

ඊළඟ නිමේශයේ නොරිස්සුම් වචන තුනක පැටලී මට පැහැදිලි කර ගන්නට බැරි නොසතුටු වැස්සක් මා මත කඩා වැටුණේ ය. මම ඒ බවක් නො තකා සිටියෙමි.

“බුවා…”

“මලිත් අයියත් එක්ක හිටියෙ…”

“ආ…අයියගෙ යාළුවෙක්”

“එතකොට පොරත් එක්කද ඔයා උදෙත් ආවෙ…”

“හ්ම්”

එපමණකි. සුනෙත් නිහඬ වූයේ ය. වරදකාර හැඟීමකින් මම පීඩිත වන්නට වූයෙමි. මෙතෙක් අප දෙදෙනා අතරේ කොන්දේසියක් නොවූ කොන්දේසියක් විය. අපි හැම දේ ම දුව විත් අපිත් එක්ක කීවෙමු. එසේ කිව යුතු ය කියා කිසි දා අප අතර සම්මුතියක් ඇති ව නැත්තේ ය. නමුත් හොඳ ම යහළුවන් අතර සම්මුතියකින් තොරව ම එවන් බැඳීමක් වන බව සොබා දහම අපට කියා දෙන්නට ඇත. නමුත් අද මගේ අතින් ඒ කොන්දේසි විරහිත කොන්දේසිය බිඳුණා නොවේ ද? උදේ මා සුනෙත් ට කීවේ ලොකු අයියා සමග ආවා කියා ය. ලොකු අයියා ආවේත් රවීන් ගේ රියෙහි ය.අඩු තරමින්  රවීන් කෙනෙකු ගැන සඳහනක් හෝ මම ඔහු සමගින් නො කළෙමි. එතැන සම්පූර්ණ වරදක් මගේ පැත්තේ වේ. 

වැරදිකාර හැඟීමක් හිතේ වන විට අදාල පුද්ගලයා සමග කෙළින් මූණ බලා කතා කළ නො හැකි තත්වයක් ඇති වේ. මටත් එහෙම දෙයක් වී තිබිණි. නමුත් එහෙම දෙයක් අඟවන්නට මට ඕනෑ වූයේ නැත.

නැන්දලා ආවේ එකට දහයක් තිබියදී ය. එද ලොකු අයියා විසින් දුරකතන ඇමතුමක් දෙන ලද නිසාවෙනි.

“ගිහිං මාමාව බලන්න සනූ. මං දන්නෑනෙ ඉතිං ඔයා මෙතන ඉන්නව කියල”

නයනා නැන්දා ඉක්මන් ගමනින් විත් කීවා ය. මම සුනෙත් සමගින් පියගැට පෙළ දිග දිව ගියෙමි. යන්තම් වචනයක් දෙකක් පමණක් කතා කොට, ඔහු ට ඉක්මන් සුව පතා, අමුත්තන් නික්ම යන්න යනුවෙන් කෙරෙන දැනුම් දීමේ දී වාට්ටුවෙන් පිට ව ආවෙමි. 

බස් නැවතුම තෙක් ඇවිද යත්දීත්, බසයේ දීත් සුනෙත් වැඩි කතා බහක් කළේ නැත. ඔහු ගේ කිසිම වෙනසක් මට නො දැනෙන සෙයක් හඟවන්නට තැත් දරමින් මා යම් යම් දේ කියත්දීත් ඔහු හා හ්ම් ගෑවා මිස දිගු කතා බහකට සම්බන්ධ වූයේ නැත. වෙනදාට අපට කතා කරන්නට හේතු අවශ්‍ය නැත..මාතෘකා අවශ්‍ය ද නැත. කතා කරන්නට කටක් ලැබී තිබීමේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් අපි හිතට නැගෙනා ඕනෑ ම දෙයක් කතා කරමු. 

අඩු තරමින් සුනෙත් ගෙන් ‘මොකක්ද අවුල’ කියා හෝ අසන්නට තරම් නිරවද්‍ය භාවයක් මට මා කෙරේ දැනුණේ නැත. අවංක භාවයක් දැනුණේ ද නැත. 

උත්සව වේදිකාවක සැරසිලි කටයුතු සඳහා සුනෙත් වේලාසන ම නික්ම ගියේ ය. එය ඔහු ට පැවරී තිබූ කටයුත්තක් නොවේ. නමුත් ඔහු එ් සඳහා යන්නට ස්වේච්ඡාවෙන් එකතු වී තිබිණි. ඒ නිසා ලොකු අයියා එන තෙක් මල්සර ෆ්ලෝරා ඉදිරියේ බලා ඉන්නට සිදු වූයේ මට තනිවමයි.

රියට ගොඩ වූ පසුත් දෙගිඩියාව නම් පහ නොවිණි. රවීන් නිසා ඇස් දෙක බර වෙමින් ද සුනෙත් නිසා හිත බර වෙමින් ද තිබිණ. 

“මොකද සකලබුජං කල්පනාවක…”

ලොකු අයියා ගේ හඬින් පවා මා ගැස්සී ගියේ ය. 

“මුකුත් නෑ”

මම සිනහවකින් බිම බලමින් කීවෙමි. නමුත් ඒ බිම බලනා අතරේත් දෙතුන් වරක් ම මගේ ඇස් රවීන් ගේ බැල්මෙහි ඇලිණි.

“දැං ඒ ළමයගෙ හරි නම මොකද්ද…”

රවීන් එසේ ඇසුවේ හිස මඳක් හරවා අයියා දෙස ද, කැඩපතින් මදෙස ද බලමිනි. මුලින් එහි අරුත නො තේරුණත්, ඔහු අසන්නේ මා ගැන යයි මට තේරුණේ ඔහු මදෙස බැලූ හැටියෙනි.

“උඹ දැං කීයක් නම් කිව්වද ඊයෙ ඉඳං…සිරියාවතී…සිරියලතා…ලෙච්චමී…තංගච්චි…සකලබුජං…එතකොට කොටා…”

මම නෙතු පිය නො සලා බලා සිටියෙමි. ඒ දුක් ඇස් වල සිනහවක් තැවරී ඇති විට වැහි පොද අතරින් රත්තරං පාට හිරු එළිය කදම්බයක් එබී බලනවා මෙනි. ලොකු අයියා ගේ උස් සිනා හඬ පසුබිමෙන් ඇසෙත්දී ත් මා සිටියේ ඔහු ත් මාත් අතරේ අඩි කිහිපයක් පමණක් වන පරතරයක් ඇති මායා ලෝකයක ය. 

ලොකු අයියා අප පොඩි කාලේ සිට ම මා අමතන්නේ එහෙම ය. එක නමක් නැත. ඒ වෙලාවේ කටට එන්නේ මොන නම ද ඔහු ඒ කියයි. විටෙක පෙරේරා, සිල්වා, ප්‍රනාන්දු කියා පවා මට හඬ ගසයි. පොඩි ම කාලේ දී අයියා එක්ක ඔය නම් කීම් ගැන මා රණ්ඩු කළා මතක ය. අපි සත්තු වත්තේ ම සතුන් ගේ නම් කියා ගනිමින් රණ්ඩු වුණෙමු. නමුත් ටික ටික ලොකු වෙත්දී අයියා ඒ හැම දේම කියන්නේ කරන්නේ මට වන ආදරයට බව මම වටහා ගතිමි.

ලොකු අයියා ඇගේ නංගී ට පමණකුදු නොව පවුලේ අනිත් කිසිදු ගැහැනු ළමයෙකුට වඩා මට ආදරේ කරයි. ඒ ආදරේ මා නෑනා නිසා මාව බැඳ ගන්නට යනුවෙන් කියන්නේ ද ආදරේට මාව අවුස්සන්නට ය.

“ඔය මොනා කිව්වත් මේකිට මගෙ තියෙන ආදරේ කියන්න බෑ බං. ඒ තරං මං මේකිට ආදරෙයි”

ලොකු අයියා අතක් පිටුපසට දිගු කොට මගේ හිස පිරිමැද්දේ ය. 

“මේ…අයිස්ක්‍රීම් කමුද…”

මම ක්ෂණිකව හිතට නැගුණ සිතිවිල්ලක් වචන බවට පෙරළුවෙමි. ලොකු අයියා හා රවීන් මුහුණෙන් මුහුණ බලා ගනු මම දුටිමි.

“මගෙ ගානෙ ඉතිං…අද උදෙයි හවසයි දෙකේම මට ට්‍රාන්ස්පෝට් දුන්නනෙ”

මම හුරතල් බසින් පැහැදුවෙමි.

“ආ…උඹ ට්‍රාන්ස්පෝට් වලට ගෙවන්න හදන්නෙ රුපියල් දහයෙ අයිස්ක්‍රීම් දෙකක් අරං දීලද…පොල් කෑල්ලක් දාල අල්ලගනිං කොකෙක්ව. ඔන්න ඔය ඉස්සරහිං නවත්තපං රවීන්. මේකිව දොට්ට දාල යන්න”

“කවුද කිව්වෙ රුපියල් දහයෙ අයිස්ක්‍රීම් කියල. මං අරං දෙන්නෙ එක්ස්පෙන්සිව් ඒව. ගුඩ් කොලිටි ඒව…හරිද…”

රවීන් සුපර් මාකට් එකක රථ ගාලෙහි රිය නතර කළේ ය. මා රියෙන් බසිත්දී ඔහු ද සීට් බෙල්ට් එක ගලවමින් බහින්නට සැරසෙනු අඩැසට පෙනුණ ද මම ඒ නො දැක්කා සේ බැස ගතිමි. මා වටෙන් රිය ඉදිරියට එත්දී කලිසම් සාක්කුවකට අතක් ඔබා ගෙන අනිත් අතින් රිය ට බර වී ඔහු බලා සිටියේ ය. ඒ රුව තව තවත් මට මා අහිමි කරවන ලද බව විශ්වාසයෙන් කියන්නට පුළුවන.

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...