නිලැසි -15

“අක්කා මොනවද කියන්නේ..”

ක්‍රමයෙන් සන්සුන් වෙමින් හුන් රශ්මි විමසුවේ පහත් හඬිනි.නිලැසි නිසා නිම්න සමඟ අමනාප වන්නට සිදු වීම ගැන ද රශ්මිට තිබුණේ ශෝකයකි.

“එයා කියනව මං ඒක දැන ගත්තට සතුටුයිලු..තිසරු අයියා,අම්මා තාත්තා,මොරවක ආන්ටිලාත් ඉක්මනට දැනගන්නවටලු එයා කැමති..”

නිම්න එය හෙළි කළේ කෝපයෙනි.ඒ කතාව කියද්දී අක්කාගේ දෑසේ තිබූ මුරණ්ඩුකමත් එරන්දගේ දෑස්වල ලියැවුණු චංචල බවත් ඔහුගේ කෝපය වැඩි කරන්නට සමත් වේ.

“මං අපේ අම්මට කියන්නං අක්කට කතා කරන්න කියලා.”

රශ්මි ඇසුවේ සාධාරණ විසඳුමක් සෙවිය හැකි මාර්ගයක් සම්බන්ධයෙනි.මනෝ උපදේශිකාවක් වන ඇගේ අම්මාට නිලැසි පැටලී ඇති තැන සොයා ගත හැකි වෙතැයි රශ්මිට අනුමානයක් විණ.නමුත් දිගැසිගේ තොල් මත ඇඳුණේ සමච්චලයට හුරු මඳහසකි.

“රශී,මේ ලෝකේ ගෑනු ඉන්නව කසාදේ අපායක් වෙන.සමහර අයගෙ හස්බන්ඩ්ලා වෙන ගෑනු පස්සෙ යනවා.සමහරු බීලා ඇවිල්ලා ගහනව.සමහරු හොයන්නෙ බලන්නෙ නෑ.සමහරු අම්මට ඕන විදියට වයිෆ්ව නටෝනව.හනිමුන් එකේදිම ප්‍රෙග්නන්ට් නොවුණොත් වඳයි කියල මරන් කන්න යනව.පිටතට කිසිම අවුලක් නැති සමහර කපල්ස් සෙක්ස් ප්‍රශ්නවල,ආර්ථික ප්‍රශ්නවල හිර වෙලා ඉන්නව වෙන්න පුලුවන්.ආන්ටි මොරීන්ලාගෙ උදව් ඕන එහෙම අසරණ ගෑනුන්ට.ජීවත් වෙනව කියන්නෙ අයාලෙ යන එක කියල හිතාගෙන ජීවිතේ විඳින්න කියල විකාර කරන අපේ අක්කා හින්දා දැන් වේදනා විඳින්න නියමිත තිසරු අයියා.ඉස්සරහට ආන්ටි මොරීන්ව ඕන වෙන්නෙ එයාට..”

පිරිමින් නිසා දුක් විඳින ගැහැනුන් ගැන බොහෝ දෑ කතා කරන ලියන තරුණියක වු දිගැසි තමන්ගේ අක්කා සම්බන්ධයෙන් දරන්නේ වෙනත් අදහසක් බව රශ්මි දැන සිටියා ය.එහි වරදක් නැති බව රශ්මිට ද සිතිණ.තිසරුගේ වරදක් ගැන නිලැසි නොපවසන්නී ය.එහෙත් ඈ එරන්දට ආදරය කරන්නී ය.

“මට තිසරු අයියා රැවටෙනව බලන් ඉන්න බෑ.අක්කට වහාම ඩිවෝස් වෙන්න කියන්න.රැවටිල්ල කියන්නෙ මහ ලැජ්ජා නැති දෙයක්..”

නිම්න ඔහු සිතට ආ සැබෑ හැඟීම එසේ මුදා හැරියේ ය.අත්සනට පළමු විවාහයෙන් අක්කා නීත්‍යානුකූලව වෙන් වූ බව දන්නේ එහෙමත් කෙනෙකි.නමුත් ඈ ගීතනාත්ගේ පුතු සමඟ විවාහ වන්නට සැරසී විවාහයට දින කිහිපයක් තබා ඒ විවාහය අවලංගු වූ බව නොදන්නා කෙනෙකු නැත.තිසරු සමඟ නිලැසිගේ විවාහය ද දික්කසාදයකින් කෙළවර වූ බව ඕපාදූප පුවත් වලට හොඳ කටගැස්මක් බව නිම්න නොදන්නවා නොවේ.වික්‍රමාරච්චි පවුලට අසීරු කාලයක් ගෙවන්නට සිදුවීමට නියමිත වුව ද තිසරු තවදුරටත් රැවටිය යුතු නැතැයි නිම්න තීරණය කළේ ය.

නිම්න එවැනි සැලසුමක් සකසද්දී එරන්ද සිටියේ කෝපයෙනි.උපන් ගම වූ මහනුවර අතැර කොළඹට සංක්‍රමණය වූ ඔහුට සුවපහසු නවාතැනක් රැගෙන දුන්නේ නිලැසි ය.එය නිස්කලංක කුඩා නිවසක් වූයේම නිලැසිට ද නිතරම එහි පැමිණීම උදෙසා ය.නිම්නගේ මුණ ගැසීමෙන් පසු මුහුණ දෙබර කූඩයක් කරගෙන සිටි එරන්ද නිලැසිට ආපසු යන්නට අණ කළේ ය.

“කීමනි දුන්නේ මම නම් රෙන්ට් ගෙවන්නේ මම නම් මට ඕන වෙලාවක එන්න පුලුවන් හරිද!”

නිලැසි එය පැවසුවේ එරන්ද හා සුරතල් වන්නට ය.නමුත් ඔහු ඉන් වඩා කෝපයට පත් වූයේ ය.

“නිලැසි මේ..”

එරන්ද නිලැසිගේ මුහුණට දබරැඟිල්ල දිගු කර මොහොතක් ගෙවී ය.ඔහු පෙම්වතියන්ට නමින් කතා කිරීම හුරු මිනිසෙකු නොවේ.නානාප්‍රකාර ප්‍රේම වදන් මුමුණන්නෙකු වූ එරන්ද සැබෑවටම කෝපයෙන් බව හැඟී නිලැසි මඳක් තිගැස්සුණා ය.

“මේ ඔයාගෙ ගෙදරනම් ඔයා මෙතන ඉන්න.මං මාදවයගෙ බෝඩිමට යනවා..”

ඔහු එසේ කිරීමට මැලි නොවන බව නිලැසි දැන සිටියා ය.ප්‍රේමණීය වන තරමටම නපුරු වන්නට ද එරන්ද නොපැකිලේ.ඈ එරන්ද වැලඳ ගත්තේ ද හඬමිනි.තිසරුගෙන් පිටවන එක වචනයකට ඔහු හා දින ගණනක් ජල්ලි අල්ලන්නිය එරන්දට තුරුළුව සමාව ඉල්ලමින් හඬන්නට ගත්තා ය. ප්‍රේමයම පතන ගැහැනුන් අතර රාගය නිසා අන්ධ වන්නියන් ද සුලබ ය.නිලැසිගේ නිල් ඇස් ප්‍රේමය පරදා රාගයෙන් අන්ධ වෙමින් තිබිණ.

“මොන මඟුලටද බබී ඔයා නිම්න ඉස්සරහ මං ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කීවේ..”

ඔහු කෝප ගන්නට හේතු වූ ප්‍රශ්නය ඉදිරිපත් කළේ සැර හඬකිනි.නොගැළපෙන විවාහයෙන් දුක් විඳින ගැහැනුන්‍ට සැබෑ ප්‍රේමය පුද කර ඈ තමන් වෙතට කැඳවා ගන්නට නොවිඳිනා දුක් ගන්නා තරුණයන් දුලබ නොවේ.නමුත් එරන්දට නිලැසි තම බිරිඳ කර ගන්නා සිහිනයක් නොවී ය.ගිනි සිළුවක් මෙන් ඇවිලෙන ගැහැනියෙන් දැවී යන ආශාවක් මිස ඇගේ ප්‍රේමයේ සිහිල ඔහුට නුවුමනා ය.තුරුණු ජීවිතය සරාගයෙන් සහ මත් බවින් ගෙවා දමන්නට මිසක බිරිඳක සහ දරුවන් වෙසෙන පවුලකට කොටු කර ගන්නට ඔහුට අවැසි වූයේම නැත.

“මට තිසරු එක්ක ඉන්න බෑ.මට ඒ මිනිහගෙන් ඩිවෝස් වෙන්නෝන.ඒකට මම ඔයා ගැන මල්ලිලට කියන්න ඕන..”

නිලැසි ඇයට අවශ්‍ය දේ පැවසුවා ය.ඇය මොනතරම් විහිළුවකදැයි හඟවන්නට එරන්ද උස් හඬ නංවා හිනැහෙන්නට පටන් ගත්තේ ය.

“ඔයාට තිසරු එක්ක ඉන්න බැරි නම් ඕනෑම මොහොතක ඩිවෝස් වෙන්න.ඒ ඩිවෝස් එකට එරන්ද හේතුවකුත් කර ගන්න.හැබැයි බබා මේ එරන්ද ඔයාව කසාද බඳින්නේ නෑ.නෙවර්.මං කිසිම ගෑනියෙක්ව කවදාවත් කසාද බඳින්නේ නෑ.මං එක ගෑනියෙක්ට කොටු වුණු මිනිහෙක් නෙවේ.මං නිදහස් හුළඟක්..”

නිලැසි කළ යුතුව තිබුණේ තම සුන්දර ජීවිතය එක මිටට ගෙන මේ කාමාශක්ත තරුණයා අතැර පලා යාම ය.නමුත් ඈ ඔහුට වඩා තදින් තුරුළු වූවා ය.

“ඔයා කැමති මං ඩිවෝස් වෙනවට නම් මං ඩිවෝස් වෙන්නං..නැත්නම් ඔයාගෙයි මගෙයි සම්බන්දෙ තිසරුට පිළි ගන්න වෙනව.මං එයාගෙ වයිෆ් වුණාට ඔයාගේ ආදරවන්ති කියන පැහැදිලි සත්‍ය එයාට පිළි ගන්න වෙනව..”

එරන්ද ඇගේ නළල ඉසියුම්ව සිප ගත්තේ ය.

අනතුරුව ඇය දෙස මොහොතක් බලා සිටියේ ය.

“මගේ ආදරවන්ති කියන චරිතේ ඔයාට ඕනෑම මොහොතක නැති වෙන්න පුලුවන්.හැබැයි මිසිස් නිලැසි මොරවක කියන චරිතෙ නැති කරගන්න තරම් මෝඩ ගෑනියෙක් වෙන්න එපා.මිසිස් මොරවකට තරම් සැපපහසු ජීවිතයක් නිලැසි වික්‍රමාරච්චිට නෑ බබී..”

වඩා සුවපහසු සහ අගහිඟකම් නොදැනෙන ජීවිතයක් වෙනුවෙන් තිසරු මොරවකගේ බිරිඳ වීම තෝරා ගත් බව නිලැසි දන්නී ය.නමුත් එවැනි සන්සුන් මිනිසෙකුගේ බිරිඳ වී ජීවත් වීම දැන් ඇයට අලස ය.මේ ප්‍රේමය ඒ අලසකර ජීවිතයට වෙනසක් උදෙසාම ඇරඹූ බව ඇගේ ඇතුළු හදවත දැන සිටියා ය.නමුත් දැන් ඈ එරන්දට බැඳී හිඳින්නේ ඔහුගෙන් මිදී යන්නට නොහැකි තරමට තදිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles