සැරිසරන්නී – 26

දෙවෙනි මාමා ගේ පුතා වන දිලුම් විදේශ රැකියාවක නිරත ව හිඳ යළි ගෙදර පැමිණියේ මේ අතරේ ය. ඔහු ශෙහාරා ගේ අයියා වන අතර මට වඩා වසරකින් වැඩිමහල් වූයේ ය. ඉගෙන ගත්තේත් නැතිව කල්ලි ගැසී සිටියදී මාමලා ඔහු ය රට පැටෙව්වේ බලයෙන් සේ ය. සෙල්ලක්කාරයෙකු වූ ඔහු ට අඩු වයසින් ගැහැනු හුට පට කිහිපයක් ම විය. ඇතැම් චෝදනා ගෙදරට ම පැමිණියේ ය. ලංකාවේ රැකියාවක් නො සොයා ඔහු ව සමුදුරෙන් එහා යවන්නට දෙවෙනි මාමා හා නිමාලි නැන්දා තීරණය කළේ, ගෙදර හිටියොත් බේරා ගත නො හැකි වෙතැයි බියෙන් යයි කසු කුසුවක් ඒ දින වල නෑයින් අතරේ පැතිර ගියේ ය. කෙසේ වෙතත් දිලුම් ගැන මතකය පවා තුනී ව ගොස් ඒ හිසරදය නිමා වන්නට ඒ හැටි කලක් ගත වූයේ නැත. ඔහු ගෙන් මුදල් හරි හම්බ කරවා ගැනීමේ අරමුණක් මාමාට වූයේ නැත. ඒ නිසා හරි හම්බ කළ යමක් ඔහු ගෙදරට එව්වේ නැත. දිනෙක මව් බිමට පැමිණෙත්දී දිලුම් සල්ලිකාරයෙකු වී පැමිණෙනු දැකීම නිමාලි නැන්දා ගේ සිහිනය විය. ඇය ඒ ගැන නොයෙක් අවස්ථා වල ආඩම්බරයෙන් කතා කරනු මම අසා ඇත්තෙමි.

“මේ කාලෙ ඉගෙන ගත්තයි කියල ඇති වැඩක් නෑ අප්පා. මාසෙකට කීයද පඩි ගන්න පුළුවන්..ගොඩ යන්නනං බිස්නස් එකක් කරන්න ඕන. දැන් දිලුම්ට පුළුවන් කීයක් හරි එකතු කරං ඇවිත් හොඳ..ට බිස්නස් එකක් පටන් ගන්න. අපි එයා හම්බ තරන සතයක්වත් ගෙදර වියදමට අරගෙන නෑනෙ. ඒගොල්ලො දියුණු වෙනවනං ඉතිං එච්චරයි”

කටපාඩම් කර ගත්තා සේ ඇය හැම විටම කියා ගෙන ගියේ ඔය වාක්‍ය ටික ය.

“හරියට අර පාරෙ යන පරණ බඩු එකතු කරන ලොරියක රෙකෝඩින් එක වගේ. අහලම එපා වෙලා”

අපේ නංගී ඒ ගැන කියන්නේ එහෙම ය. ඒ වෙලාවට සිනහවක් නැගුණත්, අම්මා කෙනෙකු ගේ පපුවේ දරුවෙකු ගැන ඇවිලෙන්නා වූ ගින්දරට සිනහ වීම පාපයක් යයි මා නො දැන සිටියා නොවේ. පුන පුනා සතුටක් සේ ලෝකයට ප්‍රකාශ කරන්නේ නිමාලි නැන්දා ගේ හිතේ දිලුම් ගැන වන නො සන්සුන් බිය බව මට වටහා ගත හැක.

ලංකාවට පැමිණි දා රාත්‍රියේ සිලුම් අපේ ගෙදරට ද ආවේ ය. තාත්තා ට සුවඳ විලවුන් බෝතලයකුත්, අම්මාට සාරියකුත්, නංගී ට හා මට කුඩ දෙකකුත් ඔහු තෑගි වශයෙන් ගෙනැවිත් තිබිණි. ආච්චා ගේ තෑගි කල් ඇතිව ම ලැබී තිබුණේ ය. ඒ පිරිත් අසන්නට කුඩා රේඩියෝවකි.

“මේ පරපුරට තෑගි ගේන්න දිලුම් අයිය අවුරුදු ගාණක් හම්බ කරපු ඔක්කොම සල්ලි වියදං වෙන්න ඇති”

මම විහිළුවක් කළෙමි.

“මේ අවුරුදු තුන හතරට සනුකි මාර වෙනස් වෙලානෙ”

දිලුම් ගේ ඇස් වල වූයේ අමුතු විදිහේ බැල්මකි.

“වෙනස්…ඇයි…”

“ලස්සන වෙලානෙ අප්ප”

“අනේ මේ බොරු කියන්නැතුව ඉන්න අනේ. මගෙ මොකද්ද ඔය තරං තියන ලස්සනේ”

“ආයෙ බොරු කියන්නෙ මොකටද…නේද සුදු නැන්දෙ…”

අම්මා මසමින් සිටි ඇඳුමෙන් වරකට නෙතු ඔසවා දිලුම් ට සිනහ වූවා ය.

“එහෙම තමයි පුතේ. ගෑනු ළමයි පොඩි කාලෙ ඉන්නෙ වැද්දියො වගේ..කිසි ලකේකට නැතුව. බලන්නකො ඔය හුඟක් ගෑනු ළමයි ඕලෙවල් වලදි හදන නැශනල් අයි ඩී ෆොටෝ එකේ කැත. හැබැයි තව අවුරුදු හතර පහක් යනකොට තමයි අළු ගසා දාල එන්නෙ. ඊට පස්සෙ ඉතිං මොඩ්ල්ස්ල තමා”

දිලුම් කොක් හඬ ලා හිනැහුණේ ය. වසර කිහිපයක් විදෙස්ගත ව හිඳ වෙහෙස වී රැකියාව කළ ද ඔහු ගේ සෙල්ලක්කාර බව අඩු වී ගොස් නැති බව පෙනෙන්නට තිබුණේ ය.

අම්මා හදිසි මැහුමක සිටි නිසා දිලුම් ට තේ හදන්නට සිදු වූයේ මට ය. ලොකු අයියා රවීන් සමගින් පැමිණි විට පැන ගොස් ගොස් තේ හදනා නිසා, දිලුම් වෙනුවෙන් එසේ කිරීම ප්‍රතික්ෂේප කළ නො හැකි වූයේ ය. මා කුස්සියේ සිට තේ හදමින් සිටියදී ඔහු එහි ආවේ ය.

“වතුර එකක් බොමුකො සනුවො”

“මං මේ තේ හදනවනෙ”

“කමක් නෑ වතුර එකක් බීල ඉමුකො”

මම ඉක්මනින් වීදුරුවක් සෝදා ගුරුලේත්තුවෙන් වතුර එකක් දැමුවෙමි.

“ගුරුලේත්තුවක වතුර ටිකක්  බොන්නෙ මාර කාලෙකින්”

කියමින් ඔහු වීදුරුව ගත්තේ මගේ ඇඟිලි කිහ්පයක් ස්පර්ශ වන සේ ය. වැරදීමකින් එසේ වන්නට ඇතැයි සිතන්නට මට ඕනා විය. නමුත් ඒ මොහොතේ ඔහු ගේ මුහුණේ වූ බැල්ම මා තුළ පහන් හැඟීමක් ඇති කළේ නැත.

“දැං කොල්ලෙක් එහෙම ඉන්නවද..”

මම දිලුම් ගේ බැල්ම මගහැරියෙමි.

“මොන කොල්ලොද අනේ අපිට..”

තේ කෝප්පය මා බන්දේසියක් මතින් තබා ගත්තේ යළිත් දිලුම් ගේ අත වැරදීමෙන් මගේ ඇඟිලි වල වදින්නට පුළුවන් යැයි හිතුණ නිසා ම ය.

“යං අයියෙ ඉස්සරහට”

කියා ගෙන මම ඔහු ට ඉස්සර වී ආලින්දයට ගියෙමි. තේ එක බීමෙන් පසුත් ඔහු තව වෙලා අපේ ගෙදර පමා වෙමින් සිටියේ ය. දිලුම් ගේ ඇස් වල ලොකු අයියලා ගේ මෙන් සහෝදර හැඟීමක් නොවන බව ඉක්මනින් ම වැටහී ගියෙන් මම හැකි තාක් ඔහු ගේ ඇස් මගහැරියෙමි. ටික වෙලාවක් පමණක් ආලින්දයේ රැඳී හිඳ කාමරයට රිංගා ගන්නටත් මට සිදු විය.

“දිලුම් අයියගෙ මනමාල කම් නං අඩු වෙලා නෑ වගේ නේ…”

මේසය ළඟ හිඳ පොතක් කියවමින් සිටි නංගී මදෙස බලා අඩ සිනහවක් පෑවා ය.

“මොකෙද්ද මන්දා…මළ පෙරේතයෙක් වගේනෙ අප්පා බලන්නෙ”

“එහෙදිවත් අසනීප සනීප කරගෙන නෑ වගේ”

“සනීප කර ගනී මෙහෙ හරි හමං කෙල්ලෙක්ට අහු වුණොත්..කොහොමත් ඔය වගේ කොට්ටෝරුවො පැටලෙන්නෙ කෙහෙල් ගහට කොටපු දාට තමයි”

උදේ මා වැඩට යන්නට ගෙයින් පිට වන්නට හදනකොට ම දිලුම් අපේ ගේ දොරකඩ පහල වී හිටියේ ය. සිත් හි නො රිස්සුමක් ඇති වුණත් මම ඒ බව නො පෙන්වූයෙමි. ඔහු රට සුවඳ හමන බෑග් එකක් මවෙත දිගු කළේ ය.

“මොනාද අයියෙ..”

මම එය අතට නො ගනිමින් ද ලොකු උනන්දුවක් නො පෙන්වමින් ද ඇසුවෙමි.

“චූටි චූටි දේවල් ටිකක්. ඔයාට”

“ඇයි අනේ මට ඊයෙ තෑගි දුන්නෙ”

“හරි හරි කමක් නෑ ඉතිං ගන්නකො. මන්නෙ දෙන්නෙ”

මම අම්මා දෙස බැලුවෙමි. මේ විශේෂ තෑගි ගැන මගේ කිසිදු කැමැත්තක් ඇත්තේ නැත. නමුත් මූණට ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ඇත්තේ ද නැත. ඔහු ද අම්මා ගේ සොයුරෙකු ගේ පුතෙකි. ලොකු අයියා සේ ම දිලුම් ද මට අයියා ය.

“ගන්න ඉතිං. අයිය දෙන එකනෙ”

අම්මා කීවා ය.

“අම්ම අරං තියන්නකො එහෙනං. දැන් මට ලේට් වෙනව”

 කියමින් මම ගේට්ටුවෙන් පිටතට පියවරක් තැබුවෙමි. එතකොට ම ලොකු අයියා ඉදිරි අසුනෙහි හිඳ උන් රවීන් ගේ රිය එතැන නතර විය.

“කුණ්ඩුමනී….එනව එනව යන්න”

ලොකු අයියා රියෙහි සිට ම මට හඬ ගෑවේ ය.

“මං යනව අම්මෙ එහෙනං”

කියා ගෙන මම රියට ගොඩ වීමි.

 “දිලුවා…සෙට් වෙමු ආ..”

රිය ඉදිරියට ඇදෙත්දී ලොකු අයියා දිලුම් ට අතක් වැනුවේ ය. ලොකු අයියා එදා රවීන් ගේ රියෙන් මගකදී බැස්සේ නැත්තෙන්, අපට තනි ව කතා කිරීමේ අවස්ථාවක් උදා වූයේ නැත. නමුත් උදේ පාන්දරින් ම ඔහු ගේ සුවඳ තැවරුණ මානයක හෝ රැඳෙන්නට ලැබීම දවස ප්‍රබෝධවත් කරවයි.

දිලුම් වදයක් වී ගෙන එන බව මට දැනෙන්නට ගත්තේ උදේ සිට ම ඔහු ගෙන් මගේ දුරකතනයට පැමිණි ඉමෝජි හා ස්ටිකර තොගය දුටු විට ය. දෙතුන් වරක් මම ඔහු ගේ ඇමතුම් ද මගහැරියෙමි. ව්‍යසනයක් කලින් හැඳිනීමේ ඉව, ගැහැනු හිතකට වන්නේ ය. පසුව එක් වරක් මම ඔහු ට පිළිතුරු දුන්නෙමි

“මොකද හලෝ ආන්සර් කරන්නැත්තෙ…”

ඔහු කතාව පටන් ගත්තේ ම නෝක්කාඩුවකිනි.

“වැඩ කරද්දි ෆෝන් ආන්සර් කරන්න බෑනෙ අයියෙ”

මම අතිශය සාමාන්‍ය ලෙස කීවෙමි.

“මේ…කවුද අර පොර..”

“පොර…කවුද…”

“උදේ ඔයා කා එහෙකට නැගල ගියේ…”

“ඇයි අනේ ලොකු අයියව ඇඳිරුවෙ නැද්ද…”

“ඌ නෙවෙයි. මං අහන්නෙ අනිත් එකා ගැන”

“අනිත් එක්කෙනා ලොකු අයියගෙ යාළුවෙක්නෙ. එහෙ තමයි නතර වෙලා ඉන්නෙ”

“ඉතිං ඔයා මොකටද ඒ එක එකාලගෙ කාර් වල නගින්න යන්නෙ..”

“හරි වැඩක්නෙ. ලොකු අයියත් ඉන්නෙ කා එකේ”

මා නොරිස්සුම පිට කොට දැම්මේ ඔහු ට දැනෙනා ලෙස ම ය. ඔහු මගේ පෞද්ගලික ජීවිතයට අත පොවන්නට එන එක මේ මොහොතේ ම නතර කළ යුතු යයි මට සිතිණ. අප කුඩා කාලයේ දී වුව මා දිලුම් ගැන ඒ හැටි කැමැත්තක් දැක්වූයේ නැත. අප යොවුන් වියට එළඹෙත්දී ඔහු ආසන්න වයස් වල බාලිකාවන් සමග නිතර ම සබඳකම් ඇති කර ගත්තේ ය. අප පාසල් බස් රථ වලට ගොඩ වූයේ එක බස් නැවතුමකින් වන නිසාවෙන්, එතැනින් බසය ගන්නට ආ වෙනත් පාසල් බොහොමයක ළමයි අප ඥාතීන් බව දැන සිටියහ. දිලුම් ගේ ‘කුකුළා’ ගති නිසා අපහසුතාවට පත් ඇතැම් යුවතියක, “දිලුම් ඔයාගෙ අයිය නේද” කියා මා ප්‍රශ්න කොට තිබේ.

 “මගෙ අයිය නෙවෙයි. කසින් අයිය කෙනෙක්”

මම අනන්තවත් එහෙම කියා මගහැර ගොස් ඇත්තෙමි. ඔහු ගේ හැසිරීම ගෑනු ළමයින්ට හිසරදයක් වන තරමට අයහපත් වූයේ ය. උපකාරක පන්ති නිමා වන සන්ධ්‍යා කාලයන් හි නුගේගොඩ ළමයින් ගෙන් පිරී යන්නේ ය. දිලුම් ඒ කොයි තැනක හෝ යුවතියක සමග කතා කරමින් සිටිනු දකිත හැකි විය. එවන් විටෙක ඔහු නො දුටුවා සේ හෝ නො හඳුනන්නා සේ යාම මගේ සිරිත බවට පත් විය.

කෙසේ වෙතත් ඒ කාලයේ දී ඔහු ගෙන් මට කිසිදු ආකාරයක බලපෑමක් වූයේ නැත. කොටින් ම, නළුවෙකු සේ කෙල්ලන් ගේ ඇස් වසඟ කර ගත් දිලුම් මාව නම් ගණං ගත්තේ හෝ නැත. මම අග්ලි ඩක්ලි කෙනෙකු වීමි!

හැන්දෑවේ මා යහනට වැටී විවේක ගනිමින් සිටියදී, යටි පතුලක් කිති ගන්වනු දැනිණ. නමුත් මා ඇස් හරින්නට හෝ උනන්දු වූයේ නැත.

“නිකා ඉන්නවකො නංගි…චුට්ටක් ඇස් දෙක පියං ඉන්න දීල”

මම ඒ කකුල නවා පහරක් ගසන්නට සේ දිගු කළෙමි. එතකොට ඒ පාදය අල්ලා ගැනිණ. ඒ ග්‍රහණය නංගි ගේ එකක් නොවන බව වහා දැනුණෙන් මා නැගිට ගන්නට ගියේ කලබලයෙනි. නමුත් කකුල අල්ලා ගෙන සිටි නිසා මට නැගිටිය හැකි වූයේ නැත. දිලුම් සෙල්ලක්කාර සිනහවකින් මදෙස බලා සිටියේ ය. මා හැඳ සිටියේ ගවොමක් නිසාවෙන් මම වඩාත් කලබල වීමි.

“අත අරින්න…දිලුම් අයියෙ අත අරින්න හොඳේ”

“අත ඇරියෙ නැත්තං…”

“අම්මෙ මේ…”

“ෂ්…විහිළුවක් වත් කරන්න බෑනෙ මෙයාට”

කියමින් ඔහු මගේ පාදය අත්හැරියේ ය. මම ලහි ලහියේ ඇඳෙන් බැස ගතිමි. හදවත ගැස්ම වේගවත් වී තිබුණේ ය. ඒ බිය මම කේන්තියක් බවට පෙරලා ගතිමි. නමුත් කේන්තිය වැඩි වූයෙන් මට වචනයක් හෝ කතා කර ගත හැකි වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා....

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content