සැරිසරන්නී – 33

රවීන් ව මගෙන් ඈත් කොට තබත්දී මා වැඩි වැඩියෙන් ඔහු කෙරේ ප්‍රේමයෙන් බැඳුණා ය කියා සිතමි. දින කිහිපයක් පුරාවට මා ඔහු නො දැක සිටියදී, මට ඔහු වැඩි වැඩියෙන් පෙනෙන්නට විය. ඇඟිලි තුඩකුදු ස්පර්ශ නොකොට ඔහු මට දුරකින් සිටියදී, වැඩි වැඩියෙන් මට ඔහු දැනෙන්නට විය. ඒ ඈත් කිරීම අපට අප නැති ජීවිතයක විය හැකි හිස් කම ගැන පාඩමක් කියා දුන්නේ ය. රවීන් ගේ ආත්මය, පොළොව බදා ගසක මූල පද්ධතිය විහිද යන්නා සේ මා බදා මා මත ද මා තුළ ද ඔඩු දුවන්නට විය. අතු ඉති ලා වැඩෙන්නට විය. එහෙයින් ම හදවත මත ප්‍රේමය නිසාවෙන් අතිරික්ත බරක් පැටවී ඇති සෙයක් ද මට දැනිණ.

කෙසේ වතුදු ඔහු සමග වැඩිපුර දුරකතන සංවාද නො පවත්වන්නට මම පරිස්සම් වුණෙමි. ඒ අම්මා ගේ රේඩාර් පද්ධතිය නිතර මා වටා ක්‍රියාත්මක වෙමින් පවත්නා බව දැන උන් නිසා ය. නමුත් හැකි හැම විටෙකම අපි දුරකතන පණිවිඩ ඔස්සේ හමු වුණෙමු. කතා කළෙමු. අප කන බොන වෙලාවත්, නිදන වෙලාවත්, වෙනත් විශේෂ යමක් විණි නම් එය සිදු කරන වෙලාවත්, අප ගැන සියලු දේත් දැන සිටියෙමු. සන්නිවේදනය වැඩි වෙත්දී දැන හැඳින ගැනීම් වැඩි වේ!

රවීන් මගේ හුදෙකලා ස්ත්‍රී ආත්මය ඉදිරියේ මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි මහා පුරුෂයෙකු ලෙස වැඩෙමින් සිටියේ ය. මම තව තවත් ඔහු වෙත බැඳෙමින් සිටියෙමි.

“මං දැං අඬන්නෑ. මේ විදිහට කොටි කාලයක් මාව හිර කරල තියල ඔයාගෙන් වෙන් කරන්නද…මට අඬන්න වෙන්නෙ ඔයා අතර මගක මාව අත් ඇරියොත් විතරයි”

වතාවක් මම රවීන් ට වට්ස් අප් පණිවිඩයක් යවමින් කියා සිටියෙමි.

“ඔයාට අඬන්න වෙන එකක් නෑ කවදාවක්”

ඔහු ගේ ප්‍රතිචාරය එබඳු විය.

“මලිත් මගෙන් අහනව ඉස්සරහට ඔයාට මොකද වෙන්නෙ කියල”

“ඉතිං…ඔයා මොකද කිව්වෙ…”

“මං කිව්ව උඹලගෙ අනිත් නංගි ශෙහාරාට වෙච්ච දේම වෙයි කියල”

“ලොකයියගෙන් බැනුං අහගන්න ඇති”

“මලිතය ටිකක් වෙලා මං දිහා බලං ඉඳල මගෙ උරිස්සට තට්ටුවක් දාල ගියා”

“ලොකයියට මං මහ ගොඩක් ආදරෙයි”

“ඊට වඩා මලිත් ඔයාට ආදරෙයි”

ආදරය කියන හැඟීම අප උනුන් තේරුම් ගන්නා ආකාරය අනුව එහි ඵල ලබන්නට පුළුවන් යයි සිතමි. දිනෙක මා වෙනකෙකු සමග විවාහ වෙත්දී ලොකු අයියා සමග තියෙන ඔය ආස්සරේ නවත්වන්නට වෙතැයි නැන්දලා කිහිප වර කියා තිබෙනු මට මතක ය.  පිරිමින්, ඔහු ගේ පෙම්වතිය හෝ බිරිඳ සහෝදර හැඟීමෙන් හෝ වෙනත් පුරුෂයෙකු වෙත ලං වීම ඉවසන්නේ නැති බව, අත්දැකීම් වලින් ඔවුන් උගෙන ඇති පාඩම වී තිබිණි. කාලය ගෙවුණාට සහ පරපුර ඉදිරියට ගියාට, ජාන තුළින් ම මිනිස් වර්ගයා ඉදිරියට ගෙන ආ සහ වර්ධනය කර ගත්තා වූ එවන් ගති ස්වභාවයන් අභාවයට යන්නේ නැත. නමුත් රවීන් මා හා අයියා අතර වන බැඳීම වටහා ගත් තැනැත්තෙකු වීම මගේ ගැහැනු හද සුවපත් කරවනා හේතුවක් විය.

“ගමනක් යමුද…”

එක රාත්‍රියක ආච්චා රහසිගත ස්වරයකින් ඇසුවා ය. පාඩම් කරමින් උන් නංගී වහා හැරී අප දෙස බැලුවා ය.

“ඒ ගමන ඔයා හදන්නෙ මේ දෙන්නව හොරෙං බන්දන්නද ආච්චා…”

නංගී ගෙන් පැනයෙන් මා ගල් ගැහී ගිය මුත් ආච්චා හඬ නැගෙන සේ සිනහ වූවා ය.

“ඕන වුණොත් එහෙමත් කරමු. හැබැයි මේ යන්නෙ වෙන ගමනක්”

“කොහෙද ආච්චා…”

“අර කෙල්ලව බලල එන්න. ශෙහාරාව”

පපුව දඩස් ගා හෙළවිණ. මට ඕන කර තිබූ, නමුත් කර ගත නො හැකිව තිබූ, ආයේ වැඩට යන්නට අවසර ලැබෙනතුරු කර ගත නො හැකි වෙතැයි සිතූ දෙයක් මේ හදිසියේ කරන්නට ලැබෙනවා ය කියන සතුට මා ගොළු කොට තිබුණේ ය.

“ඔයා නිමාලි නැන්දගෙන් හොඳවයිං අහගන්න තමයි ඔයනං ආච්චා”

නංගී ද සිය ස්වරය පහල දමා තිබිණ.

“අනේ. තව ටික දවසකින් යසට යාළු වෙලා තියෙයි. ඔහොම පැනල ගිහිං මරණෙටවත් එපා කියල අයිති කරපු ළමයි දරුවොත් කර පින්නගෙන ගෙදර එද්දි දොර වහපු එක අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ඉතිහාසෙන් හොයා ගන්න පුළුවන් කියල හිතනවද කෙල්ලනේ. එහෙම හොයන එක අර නොමළ ගේකින් අබ හෙව්වා වගේ තියෙයි”

ආච්චා වගේ රැඩිකල් මනසකින් හිතනා කාන්තාවක් ඒ වයසේ දී දැක ගත හැකි වීම ම භාග්‍යයක් කියා සිතමි.  නංගී පවා ඇගේ එඩිතරකම ගැන සසැලී ගිහින් සිටියා ය.

“ශෙහාරාටත් හෙට අනිද්දට දරුවෙක් එහෙම හම්බ වෙන්න ඉන්නව කියල දැන ගත්තට පස්සෙ නිමාලිලට ඔය ඔක්කොම අමතක වෙනව. ඊට පස්සෙ ඒ බෑණාට වඩා හොඳ කෙනෙක් නැති වෙයි. උඹලගෙ අම්මටත් දවසක එහෙම තමයි”

ආච්චා ඒ අන්තිම වාක්‍යය ඉක්මනින් කියා දමා පිටුපස හැරී දොර දෙස බැලුවේ අම්මා එතැන සිටගෙන සියල්ල අසා හිඳිතැයි යන හදිසි සිතිවිල්ල පහල වූවා සේ ය.

“හැබැයි මේ වෙලාවෙ අපේ ශෙහාරා කෙල්ලට අසරණ හැඟීමක් දැනෙනව ඇතිනෙ මොනා වුණත්…ඒකිට කාත් කවුරුත් නෑ වගේ…ඒක නිසා කවුරුත් නැති මේ වෙලාවෙ ඒකිව බලන එකයි යුතුකම. මගෙ අතේ පොඩි ගාණක් ඇති. ඒකෙං ඔය මොනාහරි අරං ගිහිං එනව. මේ නහින දෙහින කාලෙ යන තැනකට හරි දෙයක් කර ගන්න එපැයි ළමයිනේ”

“මගෙ ළඟ සල්ලි තියෙනව ආච්චා. අපි යමු”

“මටත් ආසයි එන්න”

නංගී ගේ ඒ හදිසි ප්‍රකාශය තුළ මා කැළඹී ගිය බව සහතික ය. සාමාන්‍යයෙන් ඒ ඇගේ විදිහ නොවේ. ඇය නිතර ම ක්‍රියා කරන්නේ බහුතරයක් හරි යයි කියන පැත්තේ සිට ය. හැඟීම් කියන දේ ගැන ඇය සැලකිල්ලක් දැක්වූයේ ම නැත. නීතිය ඇගේ ආගම විය. ප්‍රේමය වාගේ කාරණා ගැන මිනිසුන් වද වෙන්නේ මෝඩ කමටයයි වතාවක් ඇය කීවා මට මතක ය. සොබා දහමට උවමනා වර්ගයා බෝ කරනු වස් අභිජනනය සඳහා ස්ත්‍රී පුරුෂයන් ගේ එක් වීමක් පමණකැයි ඇගේ මතය ය. ඒ කාර්යය සඳහා අවශ්‍ය වන්නේ ගැහැනියක හා පුරුෂයෙකු පමණි. ප්‍රේමය කියන්නේ මනස්ගාතයකැයි ඇය කීවා ය.

“අපි යමු”

ආච්චා ගේ ඇස් දිළිසිණ.

අම්මා මා පිටතට යන එක කැමැත්තක් දැක්වූයේ ම නැත. ආච්චා මේ වෙලාවේ තදින් සිටියා ය.

“ඒ කෙල්ල යන්නෙ මාත් එක්කනෙ. උඹට උඹව වදපු අම්මව විශ්වාසත් නෑ උඹ වදපු දරුවව විශ්වාසත් නෑ. ඔහොම සැකෙං බයෙං ජීවත් වෙන්න පුළුවන්ද ජනරංජනී. අනික මේ කෙල්ලව තව කොයි කාලයක් මෙහෙම ගෙයි හිර කරං ඉන්නද…ඒකි රස්සාව කර ගන්නෙ නැද්ද…අනේ හැබෑට උඹ මේ තරං පටු විදිහට හිතන ගෑනියෙක් වුණේ කොහොමද බං…මතක තියා ගනිං එක්ටැම් ගේක හිර කළත් චිත්‍රාව ආදරෙං හංගන්න පුළුවන් වුණෙ නෑ. උඹල මේ කෙල්ලො දෙන්නව හොඳට හැදුවනෙ. උන්ගෙ ඇස් පෑදුවනෙ. එච්චරයි. උන්ට නිදහසේ ජීවත් වෙන්න දීපල්ල. නිදහසේ උන්ගෙ ජීවිතේ හොයා ගන්න දීපල්ල. දෙමව්පියො වුණා කියල දරුවන්ගෙ ජීවිත වට කරල වැටවල් ගහන්න අයිතියක් නෑ. එහෙම කරන්න ලිහි අපේ දෙවෙනිටයි නිමාලිටයි වෙච්ච දේ දැක්කනෙ. උංව තේරුං අරං අඩුපාඩු පෙන්නල දීල ආශිර්වාද කළානං අද උන් පැනල ගියා කියන කතාවක් නෑනෙ”

“සනූ ගිහිං ආපුදෙන්. අම්ම එක්ක ටවුන් එකටනෙ යන්නෙ”

තාත්තා එතෙක් නිහඬව හිඳ තීන්දුව දුන්නේ ය. අම්මා හොස්ස ගස්සා මූණ ලොකු කර ගත්තා ය.

“ජනරංජනී ඔය මැෂින් එකටම මූණ ඔබා ගෙන ඉන්නෙ නැතුව ටිකක් සමාජෙට ගිහිං ඇවිදලා විනෝද වෙලා චිත්‍රපටියක් බලල අයිස්ක්‍රීම් එකක් එහෙම කාල ගෙදර එන්න. දුනුකේ ඒක මෙයාට තේරුං කරල දෙන්නකො”

ආච්චා වූ කලී උසස් විභාග සමත් කළ මහා දැනමුතු ගැහැනියක නොවේ. නමුත් ඇගේ දර්ශනය, ජාත්‍යන්තර මට්ටමේ විශ්ව විද්‍යාලයකින් සමාජ විද්‍යා උපාධියක් හැදෑරූ කෙනෙකුට දෙවෙනි නොවෙතැයි මුල් ම වතාවට මට සිතිණි. එහෙව් නිවහල් චින්තනයක් මට හෝ මෙතෙක් නොවීම ගැන මම කණගාටු වුණෙමි.

“මං ක්ලාස් යනව වගේ ගිහිං ටවුන් එකේදි සෙට් වෙන්නං. නැත්තං මොනා වුණත් අම්මගෙ හිත රිදෙයිනෙ”

කියා නංගී ගෙදරින් නික්ම ගියා ය. මම ආච්චා සමගින් ඊට පස්සේ පිටත් වුණෙමි. ආච්චා කීවේ වෛද්‍යවරයා වෙත ගොස් ප්‍රෙශර් චෙක් කරගෙන, ටවුමේ ටිකක් ඇවිද අත්‍යවශ්‍ය කලමනා කිහිපයක් මිලදී ගෙන එන බවයි. හිතුණොත් චිත්‍රපටයක් ද බලා එන බව ගෙදරින් දොට්ට බැසීමට පෙර ඇය කීවා ය.

“අනේ මේ කෙල්ලොත් අරං අම්ම ෆිල්ම් හෝල් ගානෙ යන්නෙ නැතුව ඉන්න”

අම්මා නො රිස්සුමෙන් කීවා ය.

“ඇයි බං ඒවා තියෙන්නෙ මිනිස්සුන්ට යන්න නෙවෙයිද…”

ආච්චා සිනහ වෙවී ගෙන් පිට වූවා ය. මම රූකඩයක් සේ ඈ පසු පස ඇදී ගියෙමි.

හිතට දැනුණේ අපමණ නිදහසකි. ඒ මා පිටතට ගියේ සතියකටත් වැඩි කාලයකින් වන නිසාවෙනි. මගේ ප්‍රශ්නය ගැන සුනෙත් ආයතන ප්‍රධානියා සමග කතා කොට තිබිණ. ඒ නිසා රැකියාව ගැන බයක් නැතිව මට මේ දින ටික තරණය කළ හැකි විය. කෙසේ වෙතත් සිර වීම කෙතරම් දැවැන්ත දඬුවමක් දැයි මා වඩාත් හොඳින් පසක් කර ගත්තේ යළි පිටතට ආ ඉක්බිතිව ය.

“ඔනනං අර ඉලන්දාරිය එක්ක ටෙලිෆෝන් එකෙන් කතා කර ගන්න පුළුවන්නෙ”

ත්‍රීරෝද රියකට අත දමන ගමන් ආච්චා කීවා ය. ඇය වෙත ස්තූති පූර්වක බැල්මක් හෙලූ මම වහ වහා රවීන් ට දුරකතන ඇමතුමක් ගතිමි. මා බිය වී සිටියත් ආච්චා සිටියේ සිනහ වෙවී ය.  

“කොල්ලට කෙල්ලව බලන්න ආසත් ඇතිනෙ. ඕනනං ටික වෙලාවකට ඇවිත් යන්න කියමු. හැබැයි මේව ආරංචි වුණොත් මට යන එන මං නැති වෙනව ගොයියො”

ඒ වගේ අභියෝගයක් දරන්නට ඒ වගේ වයසක දී ආච්චා ට හැකි වීම ගැන මම සොම්නසින් පිරී ගියෙමි. දවසක ඒ වාගේ පුළුල් මනසක් ඇති ගැහැනියක වීමේ ක්ෂණික සිහිනයක ද මම මොහොතකට අතරමං ව සිටියෙමි.

ශෙහාරා ට කතා කොට ඈ හිඳිනා ඇනෙක්ස් එකේ ලිපිනය අසා ගෙන අප කෙලින් ම ගියේ එහි ය. සිවුරු හැරියාට අප ඔහු ව මවාගෙන සිටියේ සිවුරක් සමගින් නිසා ද මන්දා මට සාගරව පෙනුණේ තව දුරටත් ශේෂ වූ ශාසනික හැඩහුරුකම් සහිතව ය. ඒවා ඉක්මනික් අකා මකා දමනු හැකි වෙතැයි කියා ද මම සිතා ගතිමි.

අප දුටු ශෙහාරා ගේ ඇස් වල කඳුළු පිරිණි. එක මොහොතක බර වැඩි වූ ඒ කඳුළ ඇගේ කම්මුල් දිගේ කඩා ගෙන වැටිණ.

“අනේ මට හිතා ගන්නත් බෑ. මං හිතුවෙ ආයෙ කවදාවත් මට පවුලෙ අයව දකින්න  ලැබෙන එකක් නෑ කියලයි”

“අපි නැති වුණත් ශෙහාරා සතුටෙන් කියලනං පේනව”

ආච්චා කෙල්ලක සේ විහිළුවක් කළා ය. අපි සැවොම සිනහ වුණෙමු. නංගී සිටියේ ඇයට විෂය නොවුණ ජීවිතයේ එක් පැතිකඩක් හදිසියේ දුටුවා වන් විපිළිසර තත්වයක ය. මම විටෙන් විට ඇගේ අතින් අල්ලමින් ද උරහිසට තට්ටු කරමින් ද ඇය සන්සුන් කරවූයෙමි.

“ගෙදර ගිහිං කියන්නෑ හරිද…අපි ශෙහාරා බලන්න ගියා කියල”

මම ඇයට එවන් තර්ජනයක් කරන්නට ද අමතක නොකළෙමි. ඒ, මෑතක් වන තුරු ම ඇය අම්මා ට කේලාම් කියමින් මට වඩා හොඳ වෙන්නට දැරූ උත්සාහය තවමත් මට අමතක නැති නිසාවෙනි.

“ඔව් ඔව්. මං මෙයාගෙ ලව් එක ගැනත් කිව්වනෙ අම්මට”

“හරි හරි. කිව්වෙ නෑ තමයි. ඒකනෙ බය නැතුව මෙහෙම හොර ගමනක් ඔයාව එක්කං ආවෙ”

මම ඇය ව මේ ප්‍රායෝගික ජීවිතය තුළ පොළොවේ පය ගසා රඳවා ගනු වස් තව දුරටත් තැත් කළෙමි.

දවසේ හොඳ ම කොටස උදා වෙන්නේ අප තේ පැන් සංග්‍රහයක් භුක්ති විඳ ශෙහාරා ගේ ගෙදරින් නික්මුණ පසු ය. ඔවුන් ගේ ඇනෙක්සිය ආසන්න බස් නැවතුමේ අපි බලා සිටියෙමු. කියා තිබූ පරිදි ම රවීන් ගේ රිය එහි විත් නැවතිණ.

මා ඒ ඔහු ව දුටුවේ සතියකට වැඩි කාලයකට පසු ය. එක වත්තේ, පර්චම් තිහක වපසරිය තුළ ජීවත් වූව ද සුවඳ දැනුණා මිස අපේ ඇස් වලට අප හසු වී තිබුණේ නැත. ඒ නිසාමද මන්දා මා බලා සිටියේ සිහිනයකින් සේ ය. රියදුරු අසුනෙහි රවීන් ද පාෂාණිභූත ව සිටියේ ය. අප දෙදෙනා ගේ ම සිතිවිලි එක් ප්‍රවාහයක් බවට පත් වී එකට මුහු ව මහෝඝයක් වී මා යට කර ගන්නවා මට දැනිණ.

නංගී ඉදිරි දොර හැර මා රිය තුළට එබුවේ ඒ වෙලාවේ ය. අසුන් ගත්තත් තව දුරටත් මා හිටියේ ඒ මහෝඝයෙහි ගිලෙමින් හා ගොඩ එමිනි. රිය දොරවල් නැසෙනා හඬවල් ඇසිණි. නමුත් මා පියවි සිහිය ට පිළිපන්නේ රවීන් මගේ උකුල මත වූ අතක් තදින් අල්ලා ගනු දැනෙත්දී ය.

“ඔන්න අපි මුකුත් දැක්කෙ නෑ”

නංගී ගේ හඬ කොහේදෝ සුර ලොවක් දෙසින් ඇසිණි. ආච්චා හඬ නගා සිනාසුණා ය. මම හදවත තුළ වූ මහෝඝයෙන් ගොඩ විත්, හඬාගෙන ම  රවීන් ගේ උරහිස මතට කඩා වැටුණෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content