(අ)හිමි සිහින -3

එක වතාවක් වුණු වරද ආයේම කරන්න මට උවමනා වුණේ නැහැ.ඔහුට ආදරේ කරන එක වගේම ලිපි ලියන එකත් බොහොම ප්‍රවේසම් සහගත විය යුතු බව මං මම එක්කම එකඟතාවයකට ආවා.

ලියුම් එන වෙලාව ගැන අවබෝධයකින් ඉඳිමින් ඒ ලියුම් අම්මට හොරෙන් අතට ගත්තු කාලය! මතක් වෙනකොටත් සුන්දරයි.

දෛවය ඔහුවත් මාවත් මීට පෙර වතාවක් මුණ ගස්සලා තිබුණා.ඒ 1988 වසරේ.ඔහුගේ පාසින් අවුට් එකට දියතලාව කඳවුරට මම ගිහින් තිබුණේ මගේ ඥාති සහෝදරයා වෙනුවෙන්.එතකොට නම් මම මීටත් පුංචි කෙල්ලක්.කොහොම හරි අපි හමු වෙලා තිබුණු බව දැන ගත්තු එක මට මහා සතුටක් වුණා.

දැන් මම ආදර සබඳතාවයක් සහිත කෙල්ලක්.හැරුණත් ගුටි කන්න මට සිද්ධ වුණා.මම ගැන අම්මා හිටියේ පුදුම අවධානයකින්.නිතරම බැනුම් අහමින් මම ජීවත් වුණා.

වර්තමානයේ ගැහැනු ළමයින්ට තරම් ඒ කාලේ අපිට ආදරේ පහසු නෑ.මට ඔහු මුණ ගැහෙන්න කොහොමටත් බෑ.ආදරේ බව කතා කරලා කියන්න? ඒකත් බෑ.ඒ කාලේ දුරකථනය මේ වගේ සුලබ දෙයක් නෙවෙයි.ගෙදර ෆෝන් එකක් තිබ්බේ නෑ.එලියේ තැනකින් ඇමතුමක් ගන්න මට හැකියාවක් තිබුණෙත් නැහැ.ඒ වුණාට ආදරේට කොතැනහරි චාන්ස් එකක් තියනවා.අපේ ලොකු අම්මලාගේ ගෙදර දුරකථනයක් තිබුණා.ඉතින් මං ඒ කාලේ කැමති එහෙ ඉන්න.
රෑට කළුවරේ හොරෙක් වගේ අඩි තියමින් දුරකථනය වෙතට ඇවිදගෙන ගිය හැටි මට තවම මතක් වෙන්නේ හිනාවක් එක්ක.

කඳවුරේ දුරකථනයට අමතලා ඔහුව ඉල්ලුවාම ඔහු පැමිණෙනවා.ඒ ආවා කියල හයියෙන් හොඳට කතා කරන්නයැ.මං ගෙදර කාටවත් අවදි වෙන්න නොදී රහසින් ඔහුව අමතනවා.කතාබහ විතරක් නෙවෙයි ඔහුව ඇමතුමට ඉල්ලා හිටියෙත් රහසින් කියලා මතක් වෙනකොට දැන් නම් මට හොඳටම හිනා යනවා.

“මොන විකාර වැඩක් ද මං ඒ කරලා තියෙන්නේ..”මා තුළ ඉන්න පරිණත ගැහැනිය අර පුංචි කෙල්ලට හිනා වෙන්නේ එහෙම.ඇත්තටම ඒ කළ යුතු තරමේ වැඩක් නෙවෙයි.ඒත් ආදරේ කියන්නේ අන්ධ වීමක්.ඉතින් මං ඒ වගේ විකාර වැඩ ඒ කාලේ කරපු බව නොකියාම බැහැ.ඒ යුධ සමය.ඔහු ඒ යුද්ධයට විතරක් නෙවෙයි.පෞද්ගලික ජීවිතේ යුද්ධයකටත් මැදි වුණේ මගේ ආදරය නිසා.

මං ලියුම් ලියමින් ඉඳහිට ඔහුට අමතමින් ආදරය වර්ධනය කරගන්නට වුණා.මම මගේ ඡායාරූපයක් ඔහුට යැව්වෙත් අපි හොඳටම ආදරෙන් බැඳිලා කාලයකට පස්සේ.ඒ එවන ලියුම් බොහොමයක් අපේ අම්මට අහුවුණ නිසා දඬුවම් ලැබීම මට අතිශය සාමාන්‍ය කාරණයක් වෙලයි තිබුණේ.මෝඩ තරම් ගුටි කෑවත් අම්මා හංගලා තියෙන තැනින් ලියුම හොයාගෙන කියවන එක ඒ දවස් වල මගේ ලොකුම වීර ක්‍රියාව වුණා.ගුටි කමින් දුක් විඳිමින් අපි ආදරේ කරාට අපිට අපි මුණ ගැහුණේ ආදරේට අවුරුදු එකහමාරක් පිරුණටත් පසුවයි.

ඒ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකදී.මගේ තාත්තා සැත්කමක් වෙනුවෙන් රෝහල් ගත වෙලා හිටපු දිනයක.මම ලොකු අම්මලාගේ දුරකථනයෙන් ඒ ගැන ඔහුට කිව්වා.ඔහු කොළඹ හරහා පලාලි හමුදා කඳවුරට යන බව ඔහු මට කිව්වා.එතකොට අපිට මුණ ගැහෙන්න පුළුවන් නේද කියලා සුදාරකගෙන් ඇහුවෙත් මම.ආදරය කරමින් ඔහු වෙනුවෙන් දඬුවම් ලබමින් හිටියට මම දැකලා නෑ.ඉතින් මට මගේ ආදරවන්තයා දකින්න තිබුණේ පුදුමාකාර නොඉවසිල්ලක්.මගේ තාත්තා හිටපු කාමරේ දොර ඇරලා ඔහුගේ මිතුරා වුණු හමුදා නිලධාරියා “සමාවෙන්න වැරදි කාමරයක්” කියපු හැටි මට අද වගේ මතකයි.ඒ මම ඔහුව දැකපු පළවෙනි වතාව.මම මගේ පුංචි එක්ක ආපහු ගෙදර යන්න පිටත් වෙනකොට ඔහුත් මිතුරාත් විදුලි සෝපානයට ගොඩ වුණා.මුහුණෙන් මුහුණ බලාගෙන වචනයක්වත් කතා නොකර අපි ඒ තත්පර කිහිපය පසු කළා.ඒ අපේ මුල්ම මුණගැසීම.යුද්ධය බිහිසුණු වෙමින් පැවති කාලයක මගේ ප්‍රේමවන්තයා හමුදා නිලධාරියෙක් කියන දේ මට මහා අභිමානයක් වුණා.නැඹුරු පෙම්වතියක් වීම ගැන මම ආඩම්බර වුණා.එනිසා වචනයක්වත් කතා නොකළත් ඔහුව ඒ ඇඳුමෙන් දැකීමම මට මහා සතුටක් වුණා.අභිමානයක් වුණා.

ඒ ඔක්කොම අමතක කරද්දි හමුදාවේ කොල්ලෙක් එක්ක තිබ්බ මගේ සම්බන්ධය ගැන නෑදෑයෝ සේරම දැනුවත් නිසා පුංචිත් ඒ ගැන දැනගෙන හිටිය කියලා මම හොඳටම දන්නවා.ඒ වෙලාවේ ඔහුත් එක්ක කතා කරන්න ගියා නම් මටත් සිද්ධ වෙන්නේ ඒ රෝහලේම කාමරයක නවතින්න.ඒ හින්ද එදා අපි වචනයක්වත් කතා කලේ නෑ .හැබැයි මං ගෙදර ගිහින් ආදරේ තව තවත් වැඩි කරගෙන

අපි සංසාරගත ප්‍රේමයක්.මං ඒක හැමදාම විශ්වාස කරන දෙයක්.අපේ ජීවිතේ පුරා හමපු හැම කුණාටුවකම නොසැලී ඉන්න අපිට පුලුවන් වුණේ අපි මානසිකව ආදරේ කිරීම නිසා කියලා මං කියන්නෙ තද විශ්වාසයකින්.අපි එකිනෙකා වෙනුවෙන් මානසිකව බැඳිලා හිටියා.මේ පුදුමාකාර සහ කුණාටුසහගත ආදර කතාවක්.ඒ ආදරේ එපමණකට ප්‍රවේසම් වුණේ අපේ සංසාරගත බැඳීම නිසා කියලා ඔබටත් ඉදිරියේදී වැටහෙයි.

වැලන්ටයින් වෙනුවෙන් ලියූ ආදර කතා බෙදාගත් තෑගි දැන් මම ෆේස්බුක් අවකාශයේ නිතර දකිනවා.මා සමග රැකියාව කරන තරුණ මිතුරු මිතුරියන් වැලන්ටයින් දවස සමරන ආදරණීය ආකාරය මටත් ගෙන එන්නේ සන්තෝසයක්.හැබැයි මම ආදරේ කරන කාලේ ඔය වැලන්ටයින් දවස ගැන මම දන්නේ නෑ.අපිට ඒ වගේ කාරණා ගැන අවබෝධයක් තිබුණෙත් නෑ.හැබැයි ආදරේට සීමාමායිම් තිබුණෙත් නෑ.

එක දිගට ගුටි කමින් ගෙදරින් ගුටි කන එක පුරුද්දක් වෙලා තිබුණු ඒ කාලේ එක දවසක් මම පාන්දරම ඇහැරුණේ තාත්තගේ ගුටියකින්.කොහොමත් ඒ කාලේ මම පහර කාපු තරමට මම අම්මට තාත්තටත් විරුද්ධව පොලිසි ගියා නම් ඒ දෙන්න තාම හිරේ.දැන් දරුවන්ට වගේ මානව අයිතිවාසිකම් ගැන අපට තේරුමක් තිබුණේ නෑ.වර්තමාන දෙමව්පියෝ වන අපිට වගේ දරුවන් සම්බන්ධ මනෝ විද්‍යාව ගැන එකල දෙමව්පියන්ට අවබෝධයක් නැති නිසාම දරුවන්ගෙ වරදට ඒගොල්ලන්ට තෝරගත් එක්කම පාර දඬුවම් කිරීම.ආදරේ සම්බන්ධව ගුටි කන එක පුරුද්දක් හින්දම උදේ පාන්දරම ගුටිකන්න අලුතෙන් සිද්ධ වුණේ මොකක්ද කියලා මම කල්පනා කරා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles