‘සිනමන්’ ආයතනයේ ගිනුම් අංශය ඇතුළු කාර්යාලීය කටයුතු සිදු කෙරෙන ගොඩනැගිල්ල පිහිටියේ බත්තරමුල්ලේ ය. මහල් දෙකකින් සමන්විත එම ගොඩනැගිල්ල, ආලෝක විසින් බද්දට ගනු ලැබූවකි. එහි මතු මහලේ විශාල කාමරයක් ආලෝක වෙනුවෙන් වෙන් වී තිබේ.
සූර්යා ව පිළිගනු ලැබූ පිළිගැනීමේ නිලධාරිනිය, ඇය ව ආලෝක ගේ කාමරයේ දොරකඩ වෙත ඇරලා ආපසු ගියා ය.
සූර්යා ඇතුළට එන විට ආලෝක සිටියේ පුටුව මේසයෙන් ඉවතට හරවා ගෙන ලිපි ගොනුවක් දෙස දෑස් යොමු කර ගෙන ය. නමුත් ඇත්තට ම ඔහු ඒ ලිපි ගොනුව වෙත සිත යොමු කර ගෙන උන්නා නොවේ. එක්වර ම මේ හමු වීම දරා ගන්නට සූර්යා ට නො හැකි වන බව දන්නා නිසා, ඒ සඳහා මඳ කාලයක් ගන්නට ඔහු මෙහෙම කළා පමණකි.
“මේ අයි කම් ඉන් මිස්ට සුමන්..”
සූර්යා ආචාර ශීලී ව විමසුවා ය.
“යස් සූර්යා. ප්ලීස් හෑව් අ සීට්”
“තෑන්ක්ස්”
සූර්යා ගේ ළයෙහි ආගන්තුක ගැස්මක් විය. මේ මොකක් දැයි ඇය ට තේරෙන්නේ නැත. නමුත් යමක් වන බව දැනේ. හැම හුස්මකට ම ආලෝක ඇවිත් තියෙන්නේ ඇයි කියාත් ඇය ට සිතා ගත නො හැකි ය.
තත්පර කිහිපයක් එසේ උන් ආලෝක, ලිපි ගොනුව රාක්කයෙහි රඳවා හෙමිහිට පුටුව හැරවූයේ ය. ඔහු සිය මුඛ ආවරණය ඉවත් කර ගෙන සිටියේ හිතා මතා ම ය.
සූර්යා දෙදරා ඉරි තලා ගියා ය. එහෙම පිපිරීමක් මතක ඇති කාලයක ඇය අත් විඳ නැත්තේ ය. ඇගේ තොල් ආලේපන පවා ගැල්වූ දෙතොල් සුදු මැළි වූයේ ය. කන් වලින් දුම් පිට වෙන්නා බඳු අසීරු සංවේදනයක් විඳ දරා ගන්නට ඇයට සිදු විය. ඇගේ හිත ‘අනේහ්’ යනුවෙන් කෙඳිරියක් පිට කරන ලදී. එහෙම ම ඕ අප්‍රාණික ව අසුනේ පසු පසට බර වූවා ය.
ඉතා හෙමිහිට අසුනෙන් නැගිට ගත් ආලෝක වටෙන් විත් සූර්යා හිඳ උන් අසුන ළඟ නතර වූයේ ය. අවුරුදු විසි ගණනක් තිස්සේ මිදී තිබි කඳුළු කැටිය එසැනෙන් දිය වෙන්නට පටන් ගත්තේ ය. සූර්යා එහෙම ම හිඳ හිස ඔසවා තමන් ළඟ හිට ගෙන ඉන්නා අසීමිත පිරිමි පෞරුෂය දෙස බැලුවා ය. අයිෆල් කුළුණ සේ හැමදාමත් ඔහු සිය හදවත මැද්දේ වැඩ සිටි බව ඇය ට සිහි කර ගත හැක.
“ආ…ලෝ…ක…”
කියා ගෙන අසුනෙන් නැගිට ගත් ඕ ඔහු ගේ පපුව මැද්දේ නතර වූවා ය. ආත්ම ගණනක් මේ මොහොත පතා සිටියා සේ ආලෝක සිය විසල් දෑත්න් ඇය දැඩි ව වැළඳ ගත්තේ ය.
ටර්නාඩෝ සුළි කුණාටු හැමුවේ ය. සුනාමි ඇති විය. මුහුද ගොඩ ගැළුවේ ය. කඳු නාය ගියේ ය. භූමි කම්පන සිදු විය. ඒ සියල්ල සිදු වී අවසානයේ ඔවුන් ඉතිරි විය. උනුන් දැඩිව වැළඳ ගෙන සිටියහ.
වසර පහළොවක් පුරාවට ජනිත් ගේ යහන පසෙක නිදා ගත්තත් සූර්යා ට ඒ කිසි දාක මේ උණුහුම විඳින්නට ලැබී නැත. මේ වූ කලී හදවතින් පතා උන් යමකි.
එදා ඇගෙන් සමු ගත් දා ට පස්සේ බොහෝ දේවල් සිදු විය. අතීතය යළි කිසි දාක ඔහු ඉදිරියට එතැයි බලාපොරොත්තුවක් ආලෝක ට වූයේ නැත. ස්ත්‍රීන් ඇසුරට වැටී සූර්යාව අතීතයේ වළ දමන්නට ඔහු සිතා නො සිටියා නොවේ. නමුත් ලැගුම් හලක ශරීරයට ලං වුණ කිසිදු ගැහැනියකට සූර්යා විය නො හැකි බව ආලෝක ඉක්මනින් ම පසක් කොට ගත්තේ ය. දැන් මේ මොහොතේ ඇය වැළඳ ගැනීමෙන් ලබන්නා වූ සුවය, ඔහු ඒ කිසි දා ක අත් විඳ නැත්තේ ය.
සුසුමක් අත් හළ ආලෝක, සිය ග්‍රහණයෙන් සූර්යා ලිහිල් කළා ය. ඇය හිස නගා ඔහු ගේ මුහුණ දෙස බලා ගත්තා ය. ආයේ ම පපුව පත්ලේ සිට මහා දුකක් ඉකිබිඳුමක් වී නැගී ආවේ ය. සූර්යා තොල් පට සපා ගෙන ඒ කඳුළ යටපත් කර ගත්තා ය.
මඳක් පුෂ්ටිමත් වී සිටියා ට සූර්යා ඉස්සර වාගේ ම ය. රතු පාටින් වර්ණ ගැන්වූ හිස කේ පමණක් අලුත් යමකට කියා වේ. ආලෝක ගේ නම් අතරින් පතර කෙස් සුදු වී තිබිණ.
ආලෝක සූර්යා ගේ හිස් මුදුනේ අතක් තබා සිය අසුන වෙත ගියේ ය. ඔහු ගේ කාමරය අපමණ සුසුම් වල්න් ගහන ව ගියේ ය. සූර්යා විසල් වීදුරුවක් ඇතිරූ මේසයේ දාරයක නිකට හොවා ගත්තා ය.
“කොහොමද මං මේ හැම දේම ඇත්ත කියල හිතන්නෙ…”
ඇය කෙඳිරුවේ ඈ අභියස ඉන්නා සිය ජීවිත කාලය තුළ පෙම් කළ එක ම මිනිසා ට නොව තමන්ට ම සේ ය.
ආලෝක මේසය මත තිබූ සීනුවක් හැඬවූයේ ය. සුවඳ හමන ඉඟුරු මිශ්‍ර කුරුඳු තේ දෙකක් සහිත බන්දේසියක් මේසය වෙත ගෙනැවිත් තැබිණි. ඉන් එකක් තෙමේ ම අතින් ගෙන ආලෝක එය සූර්යා ඉදිරියේ තැබුවා ය.
“කුරුඳු සුවඳ. ඔයා ඉස්සර කියනව සීයා ගෙ කුරුඳු වත්තේ කුරුඳු නටු කකා සෙල්ලං කරපු හැටි. ෆ්‍රාන්ස් වලදිත් මට ඉඳ හිට ඒ කතාව මතක් වුණා. එහෙ සුපර් මාකට් එකක ලංකාවෙ සිනමන් ජින්ජර් ටී පැක්ස් වගයක් තියෙනව. මං ඒව අරං පාළු දැනෙන වෙලාවට හදං බොනව”
ඒ කුරුඳු සුවඳ හදවතේ ගිනි අවුළුවන්නට ද යටපත් කරන්නට හදන ශෝකයක් හිත මතුපිටට ගන්නට ද සමත් වූ බව ඇය නො කියා සිටියා ය.
පැරිස් නුවරට කුරුඳු හා ඉඟුරු මිශ්‍ර තේ යවන්නේ ඔහු ගේ සිනමන් ආයතනයෙන් පමණක් බව ආලෝක නොකියා සිටියේ ය. මේ ඈ පැරිසියේ දී බිව් කුරුඳු- ඉඟුරු තේ එක ම යයි සූර්යා ද නො කියා සිටියා ය. නමුත් කුරුඳු, සැතපුම් දහස් ගණනක් එපිට සිටියදී ද ඔවුන් දෙදෙනා වෙන් නොකරනා සාධකයක් සේ කටයුතු කොට තිබේ.
“ඉතිං…කොහොමද ළමයි එහෙම…”
ආලෝක කතාව වෙනත් පැත්තකට හරවන්නට ඉක්මන් වූයේ ය. ඉතාමත් හෙමිහිට හා නෙත් පැහැර ගන්නා ලෙස සූර්යා තේ උගුරක් තොල ගෑවා ය. රිදී පැහැත් ඉරක් දාරයෙහි වන සුදු ම සුදු පොසිලේන් කෝප්පය සිය සිත මෙනැයි ඇය ට සිතිණ.
“එයාල දෙන්නම ෆ්‍රාන්ස් වල”
සූර්යා පීරිසි කෝප්පය මේසය මත වන මැට් එක මතින් තැබුවා ය.
“මෙහෙ වගේ පේරන්ට්ස්ලට ඇලිල ඉන්නෙ නෑනෙ එහෙ හැදෙන ළමයි. දැන් එයාල එයාලගෙ වගකීම් දරා ගෙන ජීවත් වෙනව. අනික එයාලගෙ ඩැඩා එහෙ ඉන්නවනෙ”
සූර්යා සිය ඇස් ඇතුළේ යමක් සඟවන්නට උත්සාහ කළා ය. ඒ ඇගේ ජීවිතය පුරා වන අසීමිත හිස් කමයි.
“ඉතිං…ඔයාගෙ බබාල…වයිෆ් එහෙම කොහොමද…”
“සූර්යා මොන වගේ බිස්නස් එකක් ගැනද හිතන්නෙ…”
ආලෝක වහා ම මාතෘකාවෙන් පිට පැන්නේ ය. සූර්යා විසින් ඔහු විවාහක පුරුෂයෙකු සේ සිතා ගෙන ඉන්නා එක ඉතා හොඳ ය. ඇය වූ කලී උස් මහත් වූ දරු දෙදෙනෙකු ඉන්නා විවාහක ගැහැනියකි. ප්‍රේම පුරාණය වෙනම ම එකකි. බිඳ ගෙන යළි ලං වෙන්නට බැරි තරමට ඔවුන් අතරේ සීමා දැඩි වන එක හොඳ ය.
“මන්දා. මට කිසිම අයිඩියා එකක් නෑ මිස්ට සුමන්”
සූර්යා හැබෑ ලෝකයට අවතීර්ණ වූයේ අන්තිම වචන දෙක කටින් පිට වූවාට පස්සේ ය. ඊළඟට ඕ හයියෙන් සිනහ වන්නට වූවා ය. අතැඟිලි වලින් මුව වසා ගෙන ඈ දඟකාර කෙල්ලක සේ සිනහ වූයේ ඔහු ව අතීතයේ අතරමං කරමිනි. සූර්යා බිඳකුදු වෙනස් වී නැත! ඇය තවමත් ඇය ම ය!
“සුමන්…ඒක මරු නම”
ඇය තව දුරටත්, නතර කර ගත නො හැකි ව සිනහ වූවා ය. ආලෝක, දෙතොල් පෙති මත නලියනා අඩ සිනහවකින් හිස පසෙකට හරවා ගෙන සිය අතීත පෙම්වතිය දෙස බලා සිටියේ ය. මහත් වූ තෘෂ්ණාවක් සිය පිරිමි හදවතට කාන්දු වෙන හැටි ඔහු සිය ආත්මයෙන් පිටතට ගොස් බලා සිටියේ ය.
“මන්දා ආලෝක. මට ඕන වුණේ කාලෙ ගත කර ගන්න මොනා හරි කරන්න විතරයි”
දැන් නම් මොනවාවත් ම කරන්නට ඇයට උවමනා නැති බවක් දැනෙයි. ජීවිතය විසින් ඉල්ලා සිටි බොහෝ දේවල්, ආත්මය විසින් අතෘප්තිමත් යයි කියනු ලැබූ බොහෝ ඉසව් හිටි හැටියේ ම සංතෘප්ත වී ඇති සෙයක් ඇයට දැනේ.
“තවත් ෆ්‍රාන්ස් වලම හිටියනං අකාලෙ මං මැරිල යන්න තිබුණා. ඔයාට එදා එහෙම නොකර ඉන්න තිබුණා ආලෝක”
ඈ කෙළින් ම ආලෝක ගේ දෑස් දෙස බලා ගෙන කීවා ය. සඳ කත් මිණි ඇස්! ඒ ඇස් වලින් කාන්තිමත් කිරණක් විහිදෙමින් තිබිණ.
ඉතාමත් මෘදු වූ ස්ත්‍රී භාෂිතයකින් මිමිණුවාට ඒ වූ කලී ඉතාම දරුණු ගණයේ චෝදනාවක් බව ආලෝක ගේ පපුවට දැනිණ. එදා සිටි ඔහු දෙස අද දැන් මේ මොහොතේ පවත්නා ඔහු දෙස බලනාකාරයෙන් බැලීම බලවත් අසාධාරණයක් යයි කියන්නට ඕනෑ වුණත් ආලෝක ගේ උගුර හිර වී තිබිණි.
“මං නුගේගොඩ අපාට්මන්ට් එකක් අරං ඉන්නෙ ආලෝක. මොනා වුණත් අම්මලට මගෙ ජීවිතේ බරක් විදිහට දැනෙනවට මං කැමති නෑ. බිස්නස් එකක් පටං ගන්න ඕනෙ. ඉඳ හිට ෆ්‍රාන්ස් ගිහිං එන්න ඕන දරුවො බලල. ඔයාවත් බලා ගත්තනෙ හීනෙකින්වත් නොහිතපු විදිහට. දැං මට බිස්නස් තියා මොනාත් ඕන්නෑ කියල ආයෙ ෆ්‍රාන්ස් යන්න වුණත් පුළුවන්. මේක නිකං හරියට…නිවන වගේ සිටුවේශන් එකක්”
නිර්වාණය ක සැනසිල්ල ඇගේ කොළ පාට ඇස් වලත් කැළතී තිබුණේ ය. අනන්ත අපරිමිත විශ්වයක් සරා යන කුරු කුහුඹු ආත්මයකට එය වූ කලී අනන්තාපරිමාණ වූ යමකි.
එදා ඔවුන් සමු ගෙන ගියේ සූර්යා සඳහා ව්‍යාපාරයක් ගැන තීරණයක් නොගෙන ම ය. එපමණක් නොව සිය පෞද්ගලික ජීවිත පිළිබඳ පූර්ණ විවෘත කිරීමක් උනුන් කෙරේ නොකර ය.
එදා රාත්‍රියේ සූර්යා සිය හිටපු සැමියා ට දුරකතන ඇමතුමක් ගත්තා ය. සැබවින් එය වීඩියෝ ඇමතුමක් වූයේ ය.
“ගියාට පස්සෙ කෝල් එකක්වත් නැති නිසා මං සූර්යාට ගන්නයි හිටියෙ. ඒත් බිසී වුණා”
ඇය මඳහසක් නගා ගත්තා ය. ඇය ට මෙතෙක් දවස් ඔහු ට කතා කරන්නට සිහිපත් වූයේ නැත.
“ඉතිං…”
“දැං තමයි මාත් සෙට්ල් වීගෙන එන්නෙ ජනිත්. අපාට්මන්ට් එකක් ගත්තා. බිස්නස් ෆීල්ඩ් එකට එන්නයි දැං හිතං ඉන්නෙ”
“මට කැමිල් කිව්ව. සූර්යා ඉන්නෙ සතුටෙන් කියල පේනව”
ඇගේ සිනහව ලස්සනට ඔහු ට සිය ජංගම දුරකතන තිරයෙන් දැකිය හැකි විය.
“මට හිතෙන්නෙ සූර්යා ආදරේ කරපු කෙනා මීට් වෙලා වගෙයි”
ඇය තිගැස්සී ගියා ය. වසර පහළොවක් වූ යුග දිවිය පුරාවට සූර්යා කිසි දාක ආලෝක ගැන යමක් ජනිත් ට කියා නැත.
“වට් ඩූ යූ මීන්…”
“මං දන්නව සූර්යා. අපේ මැරේජ් ලයිෆ් එක ඇතුළෙ කවදාවත් ඔයා මට ආදරේ කළේ නෑ. ඔයා මායි දරුවොයි වෙනුවෙං යුතුකං ඉෂ්ට කරන්න මාර විදිහට මහන්සි වුණා. හැබැයි ආදරේ තිබුණෙ නෑ. ඔයා නොකිව්වත්…මං දැනගෙනයි හිටියෙ…මගෙත් එක්ක ජීවත් වුණාට ඔයාගෙ හිත තියෙන්නෙ වෙන තැනක කියල”
සූර්යා සුසුමක් හෙළුවා ය. ජනිත් ඔහු සමග එකම රෝහලේ සේවය කළ පිලිපීන ජාතික හෙදියක සමග ඇසුරක් වන බව දැන ගත් වේලේ සූරියා ට නො රිදුණේ ත් ඒක ය. මේ විකාර රංගනයේ තව දුරටත් වෙහෙස විය යුතු නැතැයි තීරණය කළ ඕ, ජනිත් ට ඇගෙන් මිදී යන්නට දුන්නා ය.
“දැන් හරි ඔයා සතුටෙන් ඉන්නයි ඕනෙ. අයි විශ් යූ ඕල් ද හැපිනස් රයිට්..”
සූර්යා දුරකතන සම්බන්ධය හමාර කළේ තනිව සිනහ වෙමිනි. ඇය පසු කර යන්නට යෙදුණ ජීවිතයේ හැම සන්ධිස්ථානයක් ම විහිළුවක්, විකාරයක් සේ දැන් ඇය ට දැනේ. නමුත් ආලෝක යළි නෙතු ඉදිරියේ පහළ වීම විහිළුවක් විය නො යුතු ය!
ඔහු හැමදාමත් වැඩ සිටියේ ඇගේ හදවතේ ඉහළ ම මළුවේ ය. හරියට සඳරැස් වැටුණ වෙහෙරක් සේ ය. ආලෝකයෙන් සැරසුණ අයිෆල් කුළුණ සේ ය!
යළි කිසි දාක ආලෝක මුණ නොගැහෙන්නට ඒ රාත්‍රියේ දී සූර්යා තීරණයක් ගත්තා ය.