(අ)හිමි සිහින -9

ඒ මම උසස් පෙළ අවසන් වෙලා හිටිය කාලය.soft toys මහන්න උගන්වන පන්තියකට දෙල්කඳට ගිය කාලය.උසස් පෙළ අවසන් වෙලා හිටියත් මම ගෙදර වාහනයකින් පුංචි එක්ක යා යා යුතුයි.එහෙම තමයි නීතිය.

සුධාරක පන්තියේ දොර ගාවට ඇවිත් මාව වාහනයට නංගා ගත්තේ එවැනි මොහොතක.අවුරුදු තිස් ගණනක හිටිය ගුරුතුමී බයෙන් මුසපත් වෙලා බලාගෙන ඉන්නවා.ඇය මගේ ආදර කතාව දැනගෙන හිටියා.නමුත් මේ වෙන දේ ගැන මම ඇයට කිව්වේ ඊට මොහොතකට කලින්.ඒ වෑන් රථයේ බිම දිගා වෙලා මගේ ගෙදර වාහනයෙන් එළියට යන්න මට සිද්ධ වුණා.ඉන්පස්සෙ තමයි කෙලින් කටින් වෙලා හුස්මක් ගත්තේ.

ඒ යන අතර මට අපි පහු කරපු අතීත අසීරු දවස් මතක් වුණා.මොන තරම් අමාරු කාලයක් ද ඒ පහුකරගෙන ආවේ?

අපේ ගෙදරට දුරකථනයක් ගැනීම රසවත් සිද්ධියක්.මුල්ම මාසේම අස්ප ගාණක බිලක් ආවා.වැඩේ මාට්ටු.ඉන්පස්සේ අලවන යතුරක් සහිත ලොක් එකක් දුරකථනයට දැම්මේ තාත්තා.මම ඒ යතුර ගලවලා ඇමතුම අරගෙන ආයේ අලවලා තියනවා.ආයෙත් ලොකු බිලක්.තාත්තාගේ කේන්තිය මොනතරම්ද කියනවානම් අරගෙන ආවා ලී පෙට්ටියක්. ඒ පෙට්ටියට දුරකථනය දමා රිසීවරය පමණක් එළියට එන විදියට ලොක් කරා.බොත්තම් එළියේ නෑ.ඇමතුමක් ගන්න යතුර අත්‍යවශ්‍යයි.සුධාරකට මට ඇමතුම් ගන්නත් බෑ.එතකොටත් මාට්ටු.මම ඇමතුම් ගන්න ක්‍රමයක් කල්පනා කරා.

රිසීවර් එක කට් කරන බට්න් එකෙන් බිංදුව එන්න දහපාරක් එක වෙනුවෙන් එක පාරක් හය වෙනුවෙන් හය පාරක් විදියට රහස් ක්‍රමයක් තියනවා.මම ඒක පුරුදු වුණා.වැඩේ අසාර්ථක වුණේ නෑ.සාර්ථක වීම කොහොමද කියනව නම් අද ජීවිතේ දශක හතරක් විතර පහුකරලා ඉන්න මට තාමත් ඒ ක්‍රමයට ඇමතුම් ගන්න පුලුවන්.ඒ ක්‍රමය ලේසි නෑ.වැරදුණාම මුල ඉඳන් උත්සාහ කරන්න ඕන.නමුත් ඉතින් මට පුරුදු වුණා.

couple in love

තාත්තා අන්තිමට දුරකථනය අත් ඇරලා දැම්මා.

ඉතින් දවස ගාණේ ගුටි නොකා ඉඳීවිද? හැබැයි මම මොනතරම් ශක්තිමත් කෙල්ලක් ද කියනවා නම් නොකා නොබී ඇඬුවේ නෑ.ශක්තිමත්ව ජීවත් වුණා.බය සැක සහ ඇට්ටරකම මට ඒ කාලේ නොඅඩුවම තිබුණු බව නොකියාම බෑ.

ආදරය නිසා මගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා ද කියලා ඔබ හිතනවා ඇති.ඇත්තටම එහෙම වුණේ නැහැ.මම පාඩම් නොකර අඬ අඬ හිටියත් මතක ශක්තියෙන් ඉහළ කෙල්ලක්.ඒ නිසා කොහොමහරි රෝල ගහගන්න මට බැරි වුණේ නෑ.

සාමාන්‍ය පෙළ විභාගය ලියන්න කලින් මම ඔහුට ලිපියක් ලිව්වා.

“මට විභාගය මෙන්න මේ දවසේ පටන් ගන්නවා..මං පාඩම් කරලා නම් නෑ.මට විභාගයට යනකොට ඔයාගේ කකුල් දෙක අල්ලල වැඳලා යන්න ඕන.”

එතකොට ඔහු හමුදාවේ උසස් මට්ටමේ නිලධාරියෙක්.ඒ යුධ සමය.ඔහුට නිවාඩු ගන්න අසීරු වෙන්න ඇති.අනිත් කාරණාව ඔහු උතුරේ ඉඳලා කොළඹට එන එක අසීරු ගමනක්.නමුත් ඔහු ආවා.මගේ විභාගයට පෙර මාව බලන්න ආවා.හොරෙන් ආවට කතා කරන්න බැරි නිසා ඔහු එන්නෙ හේතුවක් අරන්.

“සම්බන්ධෙ නවත්තන්න කලින් කතා කරන්න ආව..”

එහෙම කිව්වම විනාඩි පහක විතර සමාවක් ලැබෙනවා.බැනුම් වරුසා මැද අවසාන හමුවීමට ඉඩ ලැබෙනවා.අම්මලා ඈතින් එහෙ මෙහෙ ඇවිදිනවා.මම ඔහුගේ කකුල් දෙක ළඟ වාඩි වෙලා අඬනවා.හැබැයි අම්මලා හිටියත් මම ඔහුට කකුල් දෙක අල්ලලා වැන්ද බව මට මතකයි.ඉන්පස්සේ බැන්නත් මම ඔහුට වැන්දේ ආදරෙන් සහ ගෞරවයෙන්.

ඔහු එහෙම ආවට මම ඔහු ගැන හරි බයයි.ඥාති සහෝදරයෝ සුධාරකට අල්ලගෙන ගහයිද කියන බය නිසාම “තනියම එන්න එපා,යාලුවෙක් එක්කවත් එන්න..”කියලා මම කියනවා.ඒත් වීරයා සටනට එන්නේ තනියම.ඒ නිසා මම ඔහුව ඒ අවස්ථාවල තනි කරන්නේ නෑ.ඔහු ළඟ ඉඳගෙන ඉන්නවා.ඒක ඒ තරම් හිතලා නොකරත් මම එහෙම කළා.

“මැණිකේ,ඔයාගේ ආදරේ කවදාවත් වෙනස් වුණේ නෑ.මට ඒ ආදරේ ගැන පුදුම විශ්වාසයක් තිබුණා.ගල කෙටුවා සේ මගේ හිතේ හැමදාටම ඒ ආදරේ තිබුණා.මොනතරම් පුංචි කෙල්ලක් වුණත් ඔයා මං වෙනුවෙන් පෙනී හිටිය හැටි මගේ හිතේ ගල කෙටුවා සේ තියනවා..”

මේ ඔහුගෙම වචන.තව ආත්ම දාහක් ගියත් ඔහුගේ මේ ආදරණීය වචන මට අමතක වෙන එකක් නෑ.

ඒ ආදරේ එහෙම තුරුළු කරගෙන මම කොහෙද එදා ගියේ? ඉවසීමෙන් ඉදිරියටත් අහගෙන ඉන්න.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles