“Underpants Thief ” හෙවත් “ජංගි හොරා ” මේ දිනවල සාර්ථක අන්දමින් සිනමාහල්වල තිරගත වෙනවා.සමාජයෙන් කොන්වන මානසික රෝගයක් සම්බන්ධයෙන් කියවෙන සිනමා නිර්මාණයක් වන “ජංගි හොරා “චිත්‍රපටයේ අධ්‍යක්ෂක ප්‍රවීණ කලාකරු සෝමරත්න දිසානායක මෙවර අපේ කතාබහට එකතු වුණා. ඒ “ජංගි හොරා “ගැන කියන්නටයි.
සෝමරත්න දිසානායක ළමා, පවුලේ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂකවරයෙක්. “ජංගි හොරා ” වැනි චිත්‍රපටයකට අතගැහුවේ ඇයි..? මේ හැරවුම සිදුවුණේ කොහොමද..?
මම එක සීමාවකට කොටුවෙලා නේද කියලා මටම මම බය වුණා. ළමා චිත්‍රපට, පවුලේ චිත්‍රපට කියන මාතෘකා තුළ මම හිරවෙලා නේද කියන බය මට දැණුනා. “ළමයින්ට පමණක් චිත්‍රපට හදන ” ලේබලයට මම කැමති නැහැ.මම “සිනමාකරුවෙක්” විදිහට හඳුන්වා දෙනවාට මම කැමතියි. මම ළමා සිනමාකරුවෙක් නෙවෙයි. ඒකෙන් ගැළවෙන්න මට ඕන වුණා. කිසිම කලාකරුවෙක් කිසියම් වයස් සීමාවකට, හෝ කිසියම් මාතෘකාවකට සීමා විය යුතු නැහැ කියලයි මම විශ්වාස කරන්නේ . අපි විවෘත වී අපිට දැනෙන හැඟීම්, සංවේදනා, නිර්මාණ තුළින් විවෘතව ඉදිරිපත් කිරීමට සියලුම කලාකරුවන් උත්සාහ ගන්න ඕනේ. ඒක සියලුම ක්ෂේත්‍රවල කලාකරුවන්ට පොදු දෙයක්. කිසිම කෙනෙකු එකම තැනක සීමා විය යුතු නැහැ කියලයි මම විශ්වාස කරන්නේ. මම කලින් කළ නිර්මාණවලට ඉල්ලුමක් හැදුණු නිසා මම එකම තැනක සීමා වුණා නේද කියන බය මට තිබුණා. ඒ නිසා මම දාලා තිබුණ කොටුව කඩාගෙන ඒමක් විදිහටයි මම “ජංගි හොරා” හඳුන්වන්නේ.
මෙවැනි පිටපතක් ලියවෙන්න ප්‍රබල හේතුව වුණේ මොකක්ද..?
මම සාමාන්‍යයෙන් අපිට සමාජයේ පෙනෙන, දකින, අපිට හැඟෙන වස්තු බීජයන් මූලික කරගෙන නිර්මාණ කරන කෙනෙක්. මෙතෙක් මා කළ “ළමා චිත්‍රපට ” යැයි හැඳින්වෙන චිත්‍රපට වුණත් සමාජයේ තිබෙන දැවැන්ත මාතෘකා ගැන කතා කරපු නිර්මාණයි. ජනවාර්ගික අර්බුදය, සිංහල දෙමළ ප්‍රශ්නය, ත්‍රස්තවාදී යුද්ධය, පරිසර විනාශය, රටේ පවතින අධ්‍යාපන ගැටලු, අලි මිනිස් ගැටුම වැනි දේ ගැන මම කතා කළා . මේවා ළමයින්ගේ ප්‍රශ්න නෙමෙයි. නමුත් සමාජයේ පවතින, සමාජයේ කාලීනව ඇතිව තියෙන ගැටලු මම වස්තු බීජ කරගත්තා. මනෝ වියාධි වලින් පෙලෙන පිරිස අපේ රටේ ඕන තරම් සිටිනවා. මොවුන් කෙරෙහි සමාජය දක්වන ආකල්පය ගැන මගේ ගැටලුවක් තිබුණා. මොවුන් සමාජයෙන් කොන් කල යුතු, සමාජයෙන් අපහාස කලයුතු, දඬුවම් කළ යුතු, පිරිසක් නෙවෙයි කියන මතයේ මම හිටියා. එවැනි රෝගීන් මම දැකලා තියෙනවා. මොවුන් කෙරෙහි සමාජය දක්වන ආකල්පය ගැන මට ගැටලුවක් තිබුණා. සමාජය මේ අය ගැන කතා කරන්නේ නැහැ. ඒ අයට සමාජයෙන් අපහාසය,දඩුවමක්, තමයි ලබලා දෙන්නේ. ඒ අයත් මනුස්සයන් විදිහටයි මම දකින්නේ. මානව දයාවෙන් බැලූ කළ ඒ අයට දඬුවමක්, නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒ අයට අවශ්‍ය වෙන්නේ මානව දයාවෙන් පිරි ප්‍රතිකර්මයක්. ඒ අය ගැන අපි කතා කළ යුතුයි .වැඩි දෙනෙක් මේ ගැන කතා කරන්න බයයි. අදටත් “ජංගිය” කියල කිව්වහම බය වෙන පිරිසක් ඉන්නවා. හැබැයි ඒ අය “ජංගි හොරා ” චිත්‍රපටය බැලුවට පස්සේ “මේක හොඳ සංවේදි කතාන්දරයක් ” කියලා තේරුම් ගන්නවා.
මීට පෙර ඔබ තිරගත කළ “සුනාමි “කොවිඩ් නිසා කිහිප වතාවක්ම නතර කර දමන්න සිදු වුණා. මෙවැනි කාලවකවානුවක “ජංගි හොරා “සිනමා පටයක් එළි දැක්වීම අභියෝගයක් නේද..?
ඔව්. ඇත්තටම අභියෝගයක්. “ජංගි හොරා “චිත්‍රපටය විතරක් නෙවෙයි මේ වකවානුවේදී සිනමා පට මුදාහැරීම සියලු දෙනාටම අභියෝගයක්. ලංකාවේ විතරක් නෙවෙයි මුලු ලෝකයේම සියලුම කර්මාන්ත ව්‍යාපාරිකයන් මේ අභියෝගයට මුහුණ දීලා තියෙනවා. එතන අවදානමක් වගේම අභියෝගයක් තියෙනවා. හැබැයි මේක කොච්චර කාලයක් අපි විඳ දරා ගෙන ඉවසගෙන ඉන්නද..? ඒ නිසා ඒ අවදානමත් සහිතව, කිසියම් සංකාවක් සහිතව අපි මේක තිරගත කලේ. දැනට පෙනී යන සාධක අනුව ඒක බලපාන්නේ නැහැ. මිනිසුන්ට බලන්න චිත්‍රපටයක් තියෙනවානම්, හොඳ සිනමා පට තියෙනවානම් ඒ වටා එකතු වෙන සිනමා රසිකයින් පිරිසක් ඉන්නවා.
අද වෙද්දී ඉතා සාර්ථක ලෙස “ජංගි හොරා “තිරගත වෙනවා.එයට හේතුව සාර්ථක අධ්‍යක්ෂකවරයෙක් ලෙස ඔබ ගැන ප්‍රේක්ෂකයන් තැබූ විශ්වාසයද..? මේ කතා තේමාවද..?
මම හිතෙන විදියට ඔය හේතූන් දෙකම වෙන්න පුළුවන්.මට ප්‍රතිරූපයක් තිබුණා කියලා, මම මීට පෙර කල චිත්‍රපට ජනප්‍රිය වුණා කියලා මගේ සෑම චිත්‍රපටයක්ම කුමක් හෝ දෙයක් කලාට ප්‍රේක්ෂකයන් වැළඳ ගන්නේ නැහැ. ඒ තුල ඔවුන් සොයන, ඔවුන් බලාපොරොත්තු වෙන සිනමාව තිබිය යුතුයි. ඒ නිසා ප්‍රේක්ෂකයන් ඉල්ලන, ඔවුන් සංවේදී කරන, අපි කතා කරන්නේ, අපි අතරේ තියෙන කතාවක් මානව දයාවකින් නිර්මාණ කලාට පසුව ප්‍රේක්ෂකයන් ඒ වටා එකතු වෙනවා. මෙයින් මම පිළිගත්ත දෙයක් තියෙනවා. ප්‍රේක්ෂකයන් අපිට නැති වෙලා නැහැ. සිනමා රසිකයෝ ඉන්නවා.ඔවුන්ට අවශ්‍ය නොවන නිර්මාණ බිහි නොවීමේ අඩුවක් අපිට තියෙනවා. ඒ නිසයි සිනමා ශාලා වලට ප්‍රේක්ෂකයන්ගේ අඩුවක් අපිට දකින්නට ලැබෙන්නේ. ප්‍රේක්ෂකයන් ඉල්ලන සිනමාරෑපි නිර්මාණ තියෙනවානම් ඒවට එකතු වෙන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නව කියල අපිට දැන් සනාථ වෙලයි තියෙන්නේ.
නිර්මාණයක් කිරීමට පෙර ඒ සම්බන්ධව අධ්‍යනයක් කළ යුතු වෙනවා. විශේෂයෙන් මෙවැනි මානසික රෝගයක් වටා ගෙතුණු නිර්මාණයක් කරද්දී ඒ සම්බන්ධයෙන් මූලික කටයුතු සිදු වුණේ කොහොමද..?
මේ සම්බන්ධයෙන් මම වෙනමම වෛද්‍ය කණ්ඩායමක් සම්බන්ධයෙන් සාකච්ඡා කළා . එහිදී ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් වෛද්‍යතුමා මානසික රෝග සම්බන්ධයෙන් හොඳ ගවේෂණය හා විශ්ලේෂණයක් ඇති වෛද්‍යතුමෙක්.එතුමාගේ රෝගීන්, ප්‍රතිකාර කළ රෝගීන් සමඟ සොයා බැලීමක් කරලා තමයි මෙම පිටපත ලියවුණේ. ඒ නිසා මෙහි ඇති කරුණු මම මනඃකල්පිත හිතපු කරුණු පමණක් නොවේ. ඒ චරිත ඒ විදිහටම වුණා කියලා මම කියන්නේ නැහැ. නමුත් මේ විදිහේ චරිත තිබුණා. මේ චරිත මගේ මූලික සංකල්පයට අදාළ ව නිර්මාණ වුණු චරිතයි.
දිල්හානි අශෝකමාලා, පුබුදු චතුරංග සිනමාවට අලුත් අය නොවෙයි. නමුත් “ජංගි හොරා “සිනමා පටයේ ප්‍රබල චරිතයක් වුණු “කරුණා”ගේ චරිතයට ඔබ සිනමාවට අලුත් මුහුණක් හඳුන්වා දුන්නා.ඒ බුද්ධි රන්දෙණියයි. ඇයට ඔබට මුණගැහුණේ කොහොමද..?
ඒ චරිතය මට විශේෂ චරිතයක්. ඒ චරිතයට මට ගැහැණු ශරීරයක් පමණක් අවශ්‍ය වුණේ නැහැ. හොඳ රංගන කුසලතා තියෙන නිළියක් මට අවශ්‍ය වුණා. මේ පිළිබඳව මම ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ නිලියන් කීපදෙනෙක් සමගද කතා කළා. සමහරු ඉදිරිපත් වීම් පවා කළා . නමුත් මට ශරිරය පමණක් නොව රංගන හැකියාවත් අවශ්‍ය වුණා. මේක හරිම සංකීර්ණ චරිතයක්. ඒ නිසා මම ඔවුන් සමග මගේ වැඩමුළු තිබුණා. සම්මුඛ පරීක්ෂණ පැවැත්වුවා. ඒවලදී සිනමාවට අලුත් මුහුණක් වුණු බුද්ධිව සනාථ වුණා. ඇය නිලියක් හැටියට ජනප්‍රිය නොවුනත් ඇය විශ්ව විද්‍යාලයේ අධ්‍යයනය කරල තියෙන්නේත් මනෝ විද්‍යාව හා නාට්‍ය හා රංග කලාවයි. ඒ නිසා ඇයට ඒ දැණුම හා හැකියාව තියෙන බව සනාථ වුණා. ඒ නිසා” කරුණා”ගේ චරිතය බුද්ධිට දෙන්න මම පැකලුණේ නැහැ.මම බලාපොරොත්තු වුණා වගේම ඉතාම සාර්ථකව ඇය ඒ චරිතය නිරූපණය කලා. මේ චිත්‍රපටිය රූගත කරන්න ලොකු කාලයක් ගත වුණේ නැහැ. පුස්සැල්ලෑව පාරේ සුදු මහත්තයෙකුට අයිති තේ වත්තක තමයි මේ රූගත කිරීම් සිදු කලේ. ඒකේ මම හොයපු විදිහටම සුදු මහත්තයාට අයිති වුණු ගල් බංගලාවක්ද තිබුණා.
බොහෝ දෙනා “සිනමාව “කඩා වැටිලා කියල චෝදනා කරනවා. ඔය අතරේ සිනමා ශාලා වලට කඩා වැදුණු “ජංගි හොරා “අද යම් සාර්ථක ගමනක් පැමිණ තිබෙනවා. අධ්‍යක්ෂකවරයා විදිහට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද..?
ඔව්. මට අද ඇත්තටම සෑහීමකට පත් වෙන්න පුළුවන්. මටත් ඒ භීතිය තිබුණා. තවමත් කොවිඩ් වසංගතය සියයට සියයක්‌ම සමනය වෙලා නැති නිසා සිනමාවක් බලන්න මිනිස්සු ගෙදරින් එලියට බහීවිද කියන දෙගිඩියාව මට තිබුණා. මේ වෙද්දි පවතින ආර්ථික ගැටලු එක්කත් ඒක ලොකු අභියෝගයක්. හැබැයි හොඳ නිර්මාණ එනතුරු ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නවා. හොඳ නිර්මාණයක් ආවොත් මිනිසුන් චිත්‍රපටය බලන්න සූදානම් කියල සනාථ වෙලයි තියෙන්නේ.
මීට වසර ගණනාවකට පෙර රාත්‍රී දර්ශනයට විශාල ප්‍රේක්ෂක පිරිසක් හිටියා. කාලයකට පසුව රාත්‍රී දර්ශනය ඉවත් කලා. නැවතත් මේ වෙද්දී “ජංගි හොරා “බලන්න කට්ටිය රාත්‍රීයට එන බව ආරංචියි..?
ඔව්. 60-70-80-දශකවලදී රාත්‍රී දර්ශන ඉතා ජනප්‍රිය දර්ශනයක්. නමුත් රටේ තිබුණ ප්‍රශ්න, සිනමා ශාලා වැසී යාම, නිසා ඒ රාත්‍රි දර්ශන නතර කලා. නමුත් මේ වෙද්දි “ජංගි හොරා “එක්ක ඇතැම් සිනමාහල් රාත්‍රී 9.30 දර්ශන ආරම්භ කරලා තියෙනවා. ඒ සදහා විශාල පිරිසක් ආකර්ෂණය වෙමින් පවතිනවා. “ජංගි හොරා” හරහා සිනමාවේ රාත්‍රී දර්ශනය යලි ස්ථාපිත වෙලා තියෙනවා.
සෝමරත්න දිසානායකයන්ගේ ඊලග නිර්මාණය කුමක් විය හැකිද..?
මට දරුවන්ගෙන් ලොකු චෝදනාවක් තියෙනවා. සෝමේ මාමාගේ චිත්‍රපටයක් එනතුරු බලාගෙන ඉන්නා ළමා පිරිසක් ඉන්නවා. ඔවුන් ගැන මට වගකීමක් තියෙනව කියල මට හිතෙනවා. ඒ වගකීම මම මඟහරින්නේ නැහැ. “සෝමේ මාමාගේ ජංගි හොරා චිත්‍රපටය දුවේ පුතේ ඔයාලා බලන්න එපා. “ඔයාලට ඒක බලන්න තවම මෝරලා මදි. අම්මා, තාත්තා, නැන්දා, මාමාට ඒක බලන්න කියන්න. ඔයාලා වෙනුවෙන් මම චිත්‍රපටයක් ඉක්මනට නිර්මාණය කරන්නම්. මගේ ලඟ එවැනි හොඳ නිර්මාණ කීපයක්ම තියෙනවා. නමුත් ආර්ථික ප්‍රශ්න ඒකට බලපාලා තියෙනවා. “සුනාමි “චිත්‍රපටිය හරියට පෙන්නගන්න බැරි වුණ නිසා ආර්ථික අර්බුදයකට අපි මුහුණ දුන්නා. තවමත් ඒ අර්බුදය තියෙනවා. හොඳ ආයෝජකයෙක් මුණ ගැහුණොත් ඉතා ඉක්මනින් තවත් නිර්මාණයකට අපි අත ගහනවා. මෙතෙක් මම වෙනත් නිෂ්පාදකයින්ට නිර්මාණ කළේ නෑ. නමුත් කවුරුන් හෝ හොඳ ආයෝජකයෙක් ඉන්නවානම් ඔවුන් සමඟ හොඳ නිර්මාණයක් කරන්න මම සූදානම්.
ඡායාරූප- උපුල් නිශාන්ත