හමුවීම

රාස්සිගේ අව්‍ රශ්මියෙන් මුලු මුහුදු වෙරළම වසා ගනිද්දි ක්ෂිතිජය දෙසවත් නොබලා නිලේකා රැල්ල පාගමින් පුංචිත්තෙක් සේ විනෝදවන සැටි සිනිඳු වැලි පොළොව මත හිඳගෙන බලාසිටි නිසල් නැගිට තම කලිසමේ ඇලී තිබූ වැලි කැට දෑතින් ම ගසා දමමින් ඇය වෙත පියමැන්නේය.

“බබා, දැන් හොඳටම හවස් වුණානේ… අපි යමුද?”

“මොනාද නිසල්.. ඔයාට මාත් එක්ක තමයි කාලය ගත කරන්න බැරි.. ඒ වුණාට අර ඔෆිස් එකේ ඉන්න චිංචිමානවිකාව එක්ක ඉද්දි නම් කාලෙ යනව තේරෙන්නෙත් නෑ නේද “

නිලේකා සැමවිටම නිසල් සමඟ කෝප ගන්නීය. රණ්ඩු කරන්නීය. ඔවුන්ගේ රණ්ඩු වලට තැනක් නොතැනක් නැත. එහෙත් එසැනින් දෙදෙනා ම තරහ අමතක කරති. පෙම් කරති.
නිසල්ගේ දිවියට නිලේකාගේ පැමිණීම අහම්බයකි. මීට මාස කිහිපයකට උඩදී නිසලුත් නිලේකාත් අතර තිබුණේ හදිසි හමුවීමකි. එය හරි අපූරු සිද්ධියකි. එදින නිසල් තම දෙමාපියන් දැකීමට පිටත් වූයේ මාස තුනක දීර්ඝ කාලපරායාසයකට පසුය. කුරුණෑගලට නුදුරෙන් පිහිටි ග්‍රාමයක පදිංචි නිසල්ගේ දෙමාපියන් දෙපලම විශ්‍රාමික ගුරුවරුන් ය. කොළඹ නගරයේ පෞද්ගලික කන්තෝරුවක රාජකාරියේ නියුතු නිසල් අලුත් අවුරුද්දට තම දෙමාපියන්ට ඇඳුම් ද රැගෙන කොළඹ 05 බසයට නැගුනේ කුරුණෑගල බලා පිටත් වීමටය. බසයේ කෙලවරේම අසුනක වීදුරුව අයිනට ගිය නිසල් සාක්කුවේ වූ අයිපොඩය කනේ රඳවාගෙන හිඳගත්තේ පැය දෙකක කෙටි නින්දකට සමවැදීමට සිතමිනි.

The car in the shadows with glowing lights in low light, or silhouette of sport car dark background. Selective focus

“අයියා.. මට අයිනෙ ශීට් එක දෙන්න පුලුවන් ද?”

සවනේ වැකුණු මියුරු කටහඬින් දෑස් විවර කළ නිසල් එක එල්ලේම බලා සිටියේ ඇගේ චාම් බව දෙසය. රූපලාවණ්‍ය කිසිවක් භාවිතා නොකළත් ඇගේ සුන්දරත්වය මනාව පිළිඹිබු විය.

“මට බස් වල යද්දි වමනෙට එනව. ඒකයි අයිනෙ ශීට් එක ඉල්ලුවෙ…ප්ලීස්..”

නිසල්ගේ මුනිවත ඉදිරියේ ඇය තම අවශ්‍යතාවය ද පැහැදිලි කරන්නට විය. එහෙත් නිසල් කිසිත් නොදොඩා ඇය දෙසම බලා සිටින්නට වූයේ ඇයට වශීවූවාක් මෙනි.

“අයියේ…”

“අහ්.. සොරි නංගා.. මම වෙන කල්පනාවක හිටියෙ.. මොකක්ද කිව්වේ?”

තම කනෙහි රඳවාගෙන සිටි අයිපොඩය සම්බන්ධ කර තිබූ එක් වයරයක් ඉවත් කරමින් නැවතත් විමසුවේය.
“නෑ… මට අයිනෙ ශීට් එක දෙන්න පුලුවන් ද කියල ඇහුවෙ?”

“අහ්.. ඕක මොකක්ද ..එන්න…” නිසල් අනෙක් අසුනට පැන ඇයට වීදුරුව සහිත මුල්ලට යෑමට ඉඩ සකසා දුන්නේය.

“තෑන්ක්ස් අයියා… මම හැමදාම මෙතන ඉඳගන්නේ… මේක මගෙ තැන…”

“මම ඒක දැනන් හිටියෙ නෑනේ… නංගි කොහෙද?” මඳ සිනහවකින් මුව සරසාගත් නිසල් ඇයත් සමඟ දොඩමලු විය.

“මම නාරම්මල අයියේ… කලාපෙ වැඩ කරන්නෙ… මේ ගෙදර යන ගමන්…”

” මම කුරුණෑගල … කුරුණෑගල කීවට ටිකක් දුර යන්නෝන… නංගි මට කලින් බහීවි…”

“ඔව් අයියෙ… ඒ අර මනුස්සයා කන්න වගේ බලන් ඉන්නව.. ෂික්.. අසහනකාරයො…”

“අපෝ ගණන් ගන්නෙපා නංගි… ඔහොම තමයි පොදු ප්‍රවාහනයේ… හෙහ් හෙහ්…”

දෙදෙනාගේ සුහද කතාබහ දුරකතන අංක හුවමාරුව දක්වා දුරදිග ගියෙන් ඔවුන් නිතරම එකින්එකා සමඟ කතාබහ කරන්නට ද විය.

මෙසේ කාලයේ ඇවෑමෙන් පෙම්වතුන් වූ මොවුන් දෙපල පෙම්බස් අවසානයේ රණ්ඩු දබර වලට හුරු වූයෙන් ඔවුන්ගේ සෑම හමුවීමක් ම දුරකතන ඇමතුමක් ම නතර වූයේ දබරයකිනි. කෙතරම් රණ්ඩු වුවත් ඔවුන් දෙදෙනාට ඔවුන් දෙදෙනා නැතිව බැරිය.

ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය පොදු ස්ථානවල ඔවුන්ව කැපී පෙන්වූ අතර සියලුම පුද්ගලයින් ඔවුන් දෙසම බලා සිටීමත් විටෙක රණ්ඩුවකට හේතුවක් විය. නිලේඛා සැමවිටම නිසල්ට දොෂාරෝපණය කරන්නට වූයේ ඔහු ඇය පිළිබඳ අවධානය නොදෙන බව පවසමිනි. එදින ද මුහුදු වෙරළෙහි ඇති කරගත් සිත් අමනාපකම දුරුකරනු වස් නිසල් ඇයව ආපනශාලාවකට කැඳවාගෙන ගියේ ආහාර වලට දැඩිලෙස ලොල් වූ නිලේකාව යලිත් සැනසීමට එයිට වඩා හොඳ ස්ථානයක් සිතාගන්නට නොහැකි නිසාය.

“සර් මොනාද ඕන…”

හීන්දෑරි උස තරුණයකු පැමිණ නිසල්ගෙන් විමසුවේය.

“මට කොත්තුවක්.. මෙයාට ඕන දෙයක් අහල ගේන්න..”

නිලේකා දෙසට ඉඟි කරමින් නිසල් පැවසුවත් තරුණයා නිලේඛා දෙස බැල්මක් හෙලා යළිත් නිසල් වෙත හැරී,

“හරි සර්… සර්ට ඕන චිකන් කොත්තු ද? චීස් කොත්තුද? අද අපේ ස්පෙෂල් මික්ස්ඩ් කොත්තු එකකුත් තියෙනව. ඒකට මීට් වර්ග සේරම සහ සීෆුඩ්ස් දාල තියෙන්නෙ.. හැබැයි ටිකක් ගණන්…”

තරුණයා වේගයෙන් කියවන විට නිලේකාගේ මුහුණ කෝපයෙන් රත්පැහැ ගැන්විය.

“තමුසෙ කොත්තුම ගිල ගිල ඉන්නව.. මම යනව යන්න.. හැමදාම කොහෙහරි ගියාම මට ඕඩර් කරන්න කිව්වම වෙන දේ දන්නවනෙ.. කෝමත් කෙල්ලන්ගෙන් ඕඩර් ගන්නෑ.. තමුන් දැනගන්නෝන තමුන්ගෙ ගෑනි මොනාද කන්නෙ කියල …කොහෙද ඉතිං බඩජාරිකම ගෑණිට වඩා වටිනවනේ…”

“හෝව් හෝව්… පොඩ්ඩක් හුස්ම ගන්න.. ඔහොම කියෙව්වොත් පුපුරල මැරෙයි…
මල්ලි, මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස් විත් ෆ්‍රයිඩ් එග් ගේනවද?”

“එතකොට සර් කොත්තු…?”

” ඒකත් ගේන්න..”

“හරි සර්…”

වේටර්වරයා කිසිත් නොදොඩා ඇතුළට ගියෙන් නිසල් නිලේකා දෙසම බලා සිටින්නට විය.

“මගෙ චූටියට ඩෝං ඇවිත්.. හරි ඉතිං සමාවෙන්නකො.. ඔයා කියන ඕනම දෙයක් මම කරනවනෙ අනේ.. ඉතිං තරහ අමතක කරන්නකො…”

“හරි එහෙනම් අද, මේ දැන් , මාත් එක්ක අපේ ගෙදර යන්න එනවද?”

” මේ දැන්.. කොළඹ ඉඳල නාරම්මල යද්දි ගොඩක් රෑවෙයි ළමයෝ…”

“කමක් නෑ .. දැම්ම ගිහින් අපි තාත්තාට අම්මට මේක කොයන්නෝන.. මට ඔයාව ෂුවර් නෑ  ..”

නිලේකා නැවතත් කෝප ගැනීම වළකනු වස් නිසල් ඇයත් සමඟ නාරම්මල යෑමට තීරණය කළේය. ඇයවන් චාම් තරුණියක් විවාහ කරගැනීමට ඇත්නම්,

නිසල් ඇයට වශී වූවකු සේ ඇය ඔහුට කෙතරම් නපුරු වුවද ඇගේ බසට ඔහු කීකරුය. ඇයගේ ඉල්ලීම පරිදි කොත්තුව ඈ අනුභව කරද්දි ෆ්‍රෙන්ඩ් රයිස් සහ බැදපු බිත්තරය ඔහු ආහාරයට ගත්තේය. ඉනික්බිතිව කොළඹ 05බසයක් සොයා කොටුවට ගියේය.

“ආ මහත්තයා හුඟකාලෙකින් … හොඳටෝම කෙට්ටුත් වෙලා…”

බසයේ කොන්දොස්තරවරයා නිසල්ට සිනහවකින් සංග්‍රහ කළේය.

“අන්කල් මාව දන්නවද?”

“මහත්තයව කොහොමද නොදන්නෙ.. මහත්තයා එදා ඇවිත් අර අපි අසුන්ගන්න තහනම් කරපු සීට් එකේනෙ වාඩිවුණේ.. මම කොච්චර කීවත් ඇහුවෙ නෑනේ.. ඒකෙන්.මට මහත්තයා හොඳට මතකයි…”

“මොකක් මොන සීට් එකද?”

“අර කෙළවරේ සීට් එක..”

“අපි යමු බබා ඒකට.. මේ මිනිහගෙ විකාර අහන්නැතිව.. පිස්සෙක්..ඔයාව පටලන්.  හොඳ මහතට ඉන්න ඔයාට කෙට්ටුයිත් කීවා…”

නිලේකා නිසල්ගේ කණට කර කොඳුරන්නට වූයෙන් නිසල් ඇයත් සමඟ කොන්දොස්තරවරයා පෙන්වූ අසුනටම යළිත් පියමැන්නේය.

“කිව්වා නාහන ගුරූ ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි…”

නිසල්ට මේ සිදුවන සියල්ල ප්‍රහේලිකාවකි. ඔහු තම දෑස් වසාගෙන අසුනට බර දුන්නේ සිදුවන සියල්ල මොහොතක් කල්පනා කිරීමටය.

නිසල් පළමුවෙන් එම බසයට නැගුණ දින කිහිප දෙනෙකුම හිටගෙන සිටි මුත් මෙම අසුන මත කිසිවෙකුත් වාඩි වූයේ නැත. තමන් අසුන්ගත් පසු සියල්ලෝම තමන් දෙස බැලූ ආකාරය නිසල්ට අද වූවාක් සේ මතකය. ඉනික්බිතිව නිලේකා එහි පැමිණි අතර ඇයට බස් ටිකටයක් කොන්දොස්තරවරයා කැඩුවේද නැත, තමන්ද අරන් දුන්නේද නැත. ඉනික්බිතිව ඔවුන් ගිය සෑම ස්ථනයකදීම සිය්ල්ලෝම තමන් දෙස බැලුවේද උන්මන්තකයකු දෙස බලන ආකාරයටය. කිසිදු ආපනශාලාවක නිලේකා වෙනුවෙන් ඇණවුම් බාරගත්තේ ද නැත. එසේ නම් තමන් සිතනා දෙය ඇත්තක් ද?

නිසල් තම අසුනෙන් නැගිට වහාම කොන්දොස්තරවරයා වෙත ගියේය.

“අන්කල්, අර මාත් එක්ක ඉන්න ගෑණුළමයා පේනවද?”

“කවුද? කහපාට මල් ගවුමක් ඇදන් ඉන්න චාම් ගෑණුළමයෙක්…”

“ඔව් ඔව්.. ඇතියාන්තම් ..මම බයවුණා.. හරි අන්කල් …ගොඩක් ඉස්තූයී ..”

සැනසුම් සුසුමක් ඉහළට ගත් නිසල් ආපසු නිලේකා වෙත යෑමට හැරුණා පමණි.

“මහත්තයා.. මම ඉවර කළේ නෑනේ… එහෙම ගෑණු ළමයෙක් මට පේන්නෙ නම් නෑ .. ඒත් ඔය සීට් එකේ ඉඳගත්ත හැමෝම අන්තිමට ඇවිත් මගෙන් ඇහුවෙම ඔය විදිහෙ ගෑණුළමයෙක් ගැන … හැබැයි එහෙම ගෑණු ළමයෙක් හිටිය, අපේ මේ බස් එක අයිති මහත්තයට.. එයාලා බස් එකේ වන්දනාවෙ යද්දි ඇක්සිඩන්ට් වෙලා සේරම අය මළා.. ඒ ගෑනුළමයා හිටියෙ ඔය සීට් එකේලු… ඉතිං ඕකෙ ඉඳගන්න අයව එයා බිලිගන්නවලු.. ඒකයි අපි ඒකේ කාටවත්ම ඉඳගන්න නොදෙන්නේ…”

“අපොයි.. දැන් මම මොකද කරන්නෙ අන්කල්… බස් එක නවත්වන්නකො… මම හිමිහිට බැහැල දුවන්නම්.. නැත්නම් අපි පිරිත් දාමුද?”

“අපි ළඟ පිරිත් නෑ මහත්තයා…”

“අහ්.. පොඩ්ඩක් ඉන්න…”

නිසල් තම ජංගමය ගෙන තුන්සූත්‍රය සහිත රෙකෝඩය ක්‍රියාත්මක කළේය.

“ඕක් නවත්වනවා…”

එකපාරටම තමන් ඉදිරියේ වූ කොන්දොස්තරවරයා යටිගිරියෙන් ගොරෝසු හඬින් කෑමොර දුන්නෙන් නිසල් තම දුරකතනයෙන් දෑස් ඉවතට ගෙන ඔහු දෙස බැලුවේය.

පුදුමයකි…!

ඔහුගේ මුහුණ දැඩි කලුපැහැයට හැරී ඇත. මොහොතින් මොහොත ඔහුගේ මුහුණ විකෘති වෙයි. නිසල් බසය තුළට නෙත් යොමු කළවිට දුටුවේ එහි අසුනක් පිරෙන්නම සිටින්නේ එවන් විකෘති ස්වරූප ඇත්තවුන් බවය. නිලේකා ද යක්ෂණියක් සේ දිස්වූවාය. සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගත නොහැකිව නිසල් බසයේ දොර අසලට දුවන්නට වූයේ බසයෙන් බිමට පැනීමටය.

“මහත්තයා එපා….”

කොන්දොස්තරවරයාට පවසන්න හැකිවූයේ එපමණකි. නිසල් වේගයෙන් දිවගොස් බසයෙන් එළියට පැන්නෙන් විරුද්ධ දෙසින් වූ විදුලි කණුවක ඔහු වේගයෙන් හැපී ජීවිතක්ෂයට පත්විය.

“ඈ බං සයිමන් මොකද ඒ වුණේ..” සිදු වූ කිසිවක් සිතාගත නොහැකි වූ රියදුරු වේගයෙන් තිරිංග තදකර බසය නවත්වාගත් විගසම බියෙන් තැතිගෙන විමසන්නට වූයේ එයත් තමන්ගේ පිටින් යාවිදෝයි බියෙනි.

“අනේ මංද පියදාසයෝ.. ඒ මනුස්සයා එකපාරටම දුවන් ඇවිත් මාව තල්ලු කරල ගිහින් බිමට පැන්නා.. අර සීට් එකේ ඉඳගන්න හැම එකාටම මොකක් නමුත් වෙනව… අනේ මංද මෙව්වා…”

……………….සමාප්ති………..

©හංසි රණසිංහ

More Stories

Don't Miss


Latest Articles