නටාෂා යනු ඉහළ මධ්‍යම පන්තිය නියෝජනය කරන පවුලකින් පැවත ආ තරුණියකි. ඇය ගේ මව බර්ගර් පරපුරක කාන්තාවක වූ අතර, සූර්යා ගේ දුර ඥාතියා වූයේ ඇගේ පියා ය. කොළඹ කන්‍යාරාමයක උගත් නටාෂා පාසල් ජීවිතයෙන් සමු ගත් පසු ඩග්ලස් ගෝමස් සමගින් විවාහ වූවා ය.
ඊට පෙර ඇය තරුණයන් දෙතුන් දෙනෙකු ම ඇසුරු කොට තිබේ. නටාෂා ඒ කාලයේ ලස්සන කෙල්ලකි. බර්ගර් මිශ්‍රණය නිසා දෝ ඇය ට කහ පාට සමක් තිබිණි.
“මන්දා සූර්යා. ලව් එකක් ගැනනං මන් දන්නෙ නෑ. ඩගී ගෙන් ප්‍රපෝසල් එක ආපු වෙලාවෙ මගෙ මමීයි තව අපේ රිලේශන්ස්ලයි කිව්වෙ සල්ලි තියෙන මනුස්සයෙක් මැරි කරනව කියන්නෙ දිව්‍යලෝකෙට ටිකට් එකක් ගන්නව වගේ තමයි කියලයි. සල්ලි තියෙනවනං මොනාද කරන්න බැරි…අපිව සතුටෙන් තියන කොයි දේටත් සල්ලි ඕන කියලයි කිව්වෙ. ඉතිං මාත් ඩගී ව මැරි කළා”
ඉතා දිගු පාපොච්චාරණයක් ඉතාමත් කෙටියෙන් කළ නටාෂා සූර්යා දෙස බලා නො තේරුම් බැල්මක් හෙළුවා ය.
“ඉතිං අර කිව්ව සතුට තියෙනවද ඇත්තටම…”
“ඩගී…සල්ලිනං මට ඕන තරං දෙනව සූර්යා”
“ඔව්. ඒ සල්ලි වලින් ඔයාට සැලෝන් යන්න පුළුවන්..ශොපින් කරන්න පුළුවන්…බිස්නස්මන්ලගෙ වයිෆ්ල හරි වෙන යාළු ලේඩීස්ල එක්ක හරි එන්ජෝයි කරන්න පුළුවන්…බට්…මං අහන්න ඒ සල්ලි වියදං කළාට පස්සෙ අන්තිමට ඉතුරු වෙන ෆීලින් එක ගැන ඔයාට මොනාද කියන්න තියෙන්නෙ නටාෂා…සතුටක් තියනවද…ආ යූ හැපි ෆො යූ…”
ඒ ප්‍රශ්නය පපුවට පිහියෙන් අනිනා එකක් සේ ය නටාෂා ට දැනුණේ. මොනවා කළත්, කොයි තරම් සල්ලි වියදම් කළත් යම් හිස් තැනක් හැම දාමත් හදෙහි විය. ඇතැම් විට ඒ කුමක් ද කියා හෝ නටාෂා දැන නො සිටියා ය. සල්ලි කන්දකින් වුව තෘප්ත කර ගත නො හැකි හිතේ හිස් කම සතුට ය!
නටාෂා බිම බැලුවා ය. ඩග්ලස් ගේ වෙනත් සබඳකම් ගැන ආරංචි වෙන්නට ගනිත්දී මුලදී ඇය සසැලී ගියා ය. ඩග්ලස් අතැර යළි මහ ගෙදර ගියා ය. නමුත් ඇගේ මව් දුන්නේ එක අවවාදයකි.
“එහෙම නොකරන මිනිහෙක් හොයනවට වැඩිය හුඟක් ලේසියි ඒ මිනිහගෙ සල්ලි වලින් අපි ආස ජීවිතේ ගත කරන එක. එයා ඕන දෙයක් කර ගත්තාවෙ. ඒව හොයන්න යන්න එපා. නටාෂාව අත්අරිනව කිව්වොත් තමයි අපි කලබල වෙන්න ඕනෙ. එන්ජෝයි යුව ලයිෆ්”
ඒ අනුව නටාෂා මව ගේ අවවාදය තදින් සිත්හි දරා ගත්තා ය. නමුත් වත්සුණු වලින් වැසිය නොහැකි යමක් සිය හද නිධානයෙහි වන බව ඇය මැනවින් වටහා ගත්තේ සූර්යා ගේ මේ ප්‍රශ්න කිරීම් හමුවේ ය.
අනිත් අතට ආත්මයෙහි වූ යම් අඩුවක් සපුරා ගනු වස් කිහිප වතාවක් ඕ වෙනත් පුරුෂයන් කිහිප දෙනෙකු ගේ මන දොළ පුරවා ලන කෙළි බඩුවක් වූවා ය. ඔවුන් ද සදහට ම ඇය ලං කර ගත්තා නොව තාවකාලික ව ඇගෙන් යම් පහසක් විඳ ගත්තා පමණකි. හිතේ වන ඒ කැළැල් ද නටාෂා වන් ගැහැනුන් වසා ගෙන ඉන්නේ වත්සුණු සහ මුදල් වලිනි. වත්සුණු වල දේදුනු වර්ණ සෝදා හළ කල දුක්ඛිත ගැහැනු ආත්මය නිරුවත් වේ.
“ආදරේ කියල දෙයක් තියෙනව නටාෂා. සමහර විට ඔයාට ඒක හම්බ වෙලා නෑ. මට හම්බ වෙලත් අයිති වුණෙ නෑ. ඒ තුවාල කැළැල් අපි අස්සෙ තියෙනව නටාෂා. ඒව වහගන්න අපි එක එක දේවල් කරනව. ඔයා සමහර දේවල්…මං තව සමහර දේවල්…ප්‍රවීන් ල වගේ ගොඩක් පිරිමි එන්නෙ ඒ තුවාල සනීප කරන්නයි කියල හිතන ගෑනු හැමදාම රැවටෙනව. හැමදාම තුවාල වෙනව. කැළැල් ගොඩක් එක්ක ජීවත් වෙලා මැරිල යනව”
සූර්යා කතා කර ගෙන ගියේ මඳහසකිනි. නටාෂා දෑස් විදා ගෙන බලා සිටියා ය.
“ඔයා මාව බය කරනව”
“නෑ. මං මේ ඔයා නොදන්නව වගේ ඉන්න දේවල් චුට්ටක් මතක් කරල දෙනව. මීට අවුරුදු විසි ගාණකට කලින් හම්බ වෙලත් මට අයිති කර ගන්න බැරි වුණ ඒ ආදරේ තමයි නටාෂා ආලෝක කියන්නෙ..ඔයාගෙ මිස්ට හැන්ඩ්සම්…සුමන්…”
“ආහ්..”
නටාෂා සිය පපුවෙහි අතක් තබා ගත්තා ය. සූර්යා ගේ දෙතොල් මත්තෙහි තිබි සිනහව අනුව ඇය මේ මොහොතෙහි පවතින්නේ කෙබඳු තත්වයක දැයි නටාෂා ට අනුමාන කළ හැකි වූයේ හෝ නැත.
මීටියාගොඩ යන ඊළඟ උදයේ ආලෝක සූර්යා ට කතා කළේ ය.
“එනවද යන්න…”
ඔහු එ් ඇරයුම කළේ නිදිමත පිටින් ම ය.
“අනේ…ඇත්තටමද…”
සූර්යා ගේ සතුට ඔහු ව නින්දෙන් මුළුමනින් පුබුදුවන ලදී.
ආලෝක සූදානම් වූයේ සිය පෙම්වතිය සමග කුළුඳුල් හමුවට යන යොවුන් පෙම්වතෙකු ගේ නැවුම් ප්‍රබෝධවත් ප්‍රීතියෙනි. කැඩපත ළඟ ඔහු වෙන කවදාටත් වැඩි වෙලාවක් ගැවසුණේ ය. තැන් තැන් වලින් සුදු වී ඇති කොණ්ඩයේත් රැවුලේත් කේෂයන් දෙස බලා සිනහවක් නගා ගත්තේ ය.
“මේ කාලෙ පොඩි උන්ගෙත් කොණ්ඩ ඉදිලා”
සිතින් එසේ සිතා ගත්තේ ය.
අපාට්මන්ට් එක ඉදිරියේ දී ඔහු ගේ රියට නැගුණේ අවුරුදු විසි ගණනක පුංචි කෙල්ලකි. අවුරුදු දහ අටක දියණියක් හිඳිනා අම්මා කෙනෙකු නොවේ!
“මං එමිලිට කතා කළා ටිකකට කලින්..ඔයා එක්ක ඔයාගෙ සිනමන් එස්ටේට් එකට යනව කියල කියන්න”
ඈ කතා කළේ උතුරා දෝරෙ ගලනා සතුටෙනි.
“හ්ම්…”
“එයා කියනව මමාගෙ වොයිස් එකේ මේ තරං සතුටක් තිබුණ එක ම දවස අද කියල”
ආලෝක මඳ සිනහවකින්, වමතින්, ඇගේ උකුල මත වූ අත අල්ලා ගත්තේ ය. කුළුඳුල් පෙම්වතියක ගේ කෝල බවින් සූර්යා රතු ව ගියා ය.
“අද හරියට මීට අවුරුදු විසි ගාණකට කලින් නුගේගොඩ නාවල පාර ළඟදි මං ඔයාව මීට් වුණ පළවෙනි දවසෙ වගෙයි ඔයා”
එදා තිබුණ ලැජ්ජාව, බය සේ ම කුළුඳුල් හැඟීම ද නො වෙනස් ව මේ මොහොතේත් හදෙහි ස්ඵන්දනය වනයුරු සූර්යා ට දැනිණ. එදා ඔහු එකසිය හැත්ත හයේ යුගල අසුනක හිඳ ඇගේ අත පටලා ගත් වෙලාවේ දැනුණ ලෝභී හැඟීමත් මෙය ම ය! ආදරය වනාහි වයසට යන්නේ හෝ කල් ඉකුත් වන්නේ නැති හැඟීමක් වත් ද?
සියතෙහි පැටලී තිබූ ආලෝක ගේ අත ඇය සිය කොපුලත් උරහිසත් අතරේ තද කොට සිප ගත්තා ය. දරා ගත නො හැකි මේ ලෝභ කම දැනෙන්නේ වසර විසි ගණනකට පසු ය.
“මිනිස්සුන්ට ජීවත් වෙනව කියන ෆීලින් එක දෙන්නත්..මැරිල ගිහිං කියන ෆීලින් එක දෙන්නත් ආදරේට පුළුවන් ආලෝක”
ඒ දවස සුවිශේෂී එකකි. ආලෝක සිය කුරුඳු ඉඩම් පමණක් නොව දැන් බාප්පාට අයිති ව ඇති මහ ගෙදර ද සූර්යා ට පෙන්වූයේ ය. වෙනදාට ඉවත බලා ගෙන යන කඩ මණ්ඩියේ දී, තාත්තා ව දැවූ ටයර් සෑය ඇවිලුණ තැන ද පෙන්වූයේ ය. ඊට පස්සේ ඇයත් එක්ක උණවටුන මුහුදු තීරයට ගියේ ය. සූර්යා පොඩි දැරියක සේ ආලෝක ගේ අතේ එල්ලී වෙරළ දිග ඇවිද ගියා ය. තඹ පාට වැලි ඇගේ රෝස දෙපතුල් වැළඳ ගෙන තිබිණ.
සංචාරකයන් වෙනුවෙන් විවර ව ඇති ආභරණ හලකින්, චන්ද්‍ර කාන්ත පාෂාණ යොදා සකස් කළ අබරණ කට්ටලයක් මිල දී ගෙන ඇය ට තිලිණ කළේ ය. අතීතයේ දී හැබෑ කර ගත නො හැකි වූ හීනයක් මේ අත් භවයේ දී කෙසේ හෝ හැබෑ කර ගන්නට ලැබීමේ සැහැල්ලුව ඔහු ගේ පපුවේ විය.
“රෑ වුණාට කමක් නෑ නේ…”
ඇය ඔහු ගේ අතේ එල්ලී අත් ගොබයේ කොපුලක් තද කර ගත්තා ය.
“කිසිම කොන්දේසියක් නෑ ආලෝක..ඔයාට මාව ඕන ඕන ම වෙලාවක මං ඔයා ළඟ ඉන්නව. ඒ වගේම ඔයාට මාව එපා කියල හිතෙන ඕන ම වෙලාවක යන්න ලෑස්ති පිට ඉන්නව. ඒක ආදරේ පුදුම නිදහස් ෆීලින් එකක්. දැන් මං ඉන්නෙ ඒ නිදහස විඳින්නයි ඔයාට දෙන්නයි කියන දෙකම කරන්න පුළුවන් තත්වෙක…”
ඒ හැන්දෑව ගත වූයේ ගාලු කොටුවේ ය. දිවා ආහාර සඳහා සුඛොපභෝගී හෝටලයකට පිවිසි ඔවුහු විවේක ගැනීම සඳහා එහි කාමරයක් වෙන් කර ගත්හ. හවසට ගාලු කොටුවේ වන්නේ මේ කුඩා දිවයිනේ වෙන කිසිදු තැනක නො දැකිය හැකි විදිහේ සුන්දරත්වයකි. විදුලි පහන් දැල්වෙනා විට, පවුරෙන් වට වුණ වපසරිය වෙනම ම ලෝකයක් බවට පත් වේ. ආලෝක, සූර්යා ගේ සිනිඳු අතකින් අල්ලා ගෙන මනසින් සිය යෞවනයෙහි පවතිමින් කොටුව පුරා ඇවිද ගියේ ය. ඇය කුඩා දැරියක සේ අයිස් ක්‍රීම් කමින් ද, කොටු පවුර මත සිට සයුරට පනිනා තරුණයන් ගේ ජල ක්‍රීඩා නරඹමින් ද, සංචාරකයන් වෙනුවෙන් අලෙවි කරනා සැමරුම් තෝරමින් ද සතුටු වූවා ය. ආලෝක සිය ජීවිතයෙහි නතර වී උන් එක ම ගැහැනිය ගේ සතුට දෙස බලාන සතුටු වූයේ ය.
“මේක කාලයක් තිස්සෙ මං දැක්ක හීනයක් සූර්යා. ඔයා බැඳල ගියාට පස්සෙ…මීටියාගොඩ කුරුඳු තලල හවස් වෙද්දි මං යන්නෙ බීච් එකට. පුළුවන් වෙලාවට ගාළු කොටුවට එනව. තට්ට තනියම ඔය කොහෙං හරි වාඩි වෙලා රෑ වෙනකල්ම මුහුද දිහා බලං ඉඳල යනව. එහෙම ඉන්න හැම වෙලාවෙම හිතෙං මං ඔයාගෙ අතිං අල්ලගෙන මේ කොටුව පුරා ඇවිද්දා. පුංචි කාලෙ ඉඳන්ම මගෙ හිතේ අමුතු හැඟීමක් ඇති කරවපු කොටුව ඇතුළෙ එක වතාවක් හරි ඔයාගෙ අතිං අල්ලං ඇවිද්න්න තිබුණනං කියල හැම දවසකම මං හිතල ඇති. මට කවදාවත් ඒ හීනෙ හැබෑ කරගන්න බෑ කියල දැනුණ වෙලාවල තනියෙං අඬපු තරං මේ මුහුද බලං හිටියා සූර්යා. ජීවිතේ මොන තරං පුදුම සහගතද…”
ආලෝක ගේ අතක් සිය දෑතින් ම වැළඳ ගනිමින් සූර්යා ඔහු ගේ උරහිසේ හිස රැඳවූවා ය. මුහුදු තීරය පේන සේ තැනූ කොංක්‍රීට් බංකු හිස් වෙමින් තිබුණේ ය. එක බංකුවක තරුණ පිරිමි ළමයෙකු දුක්බර බැලුමකින් මුහුද දෙස බලා හිඳිනු දුටු ආලෝක ට සිහිපත් වූයේ ඔහු ගේ ම අතීතයයි.
“මටත් එහෙම අසාවල් දෙක තුනක් තියෙනව”
සූර්යා හුරතලයකින් කීවා ය.
“මොනාද…”
“සේන් ගඟ දිගේ ඔයත් එක්ක බෝට්ටු පදින්න…නොත්‍රදාම් පල්ලිය බලන්න යන්න…ඒක පුදුම හැඟීමක් ආලෝක…පල්ලියට ගිය හැම වතාවක ම මගෙ ඇස් දෙකෙන් මං නොදන්න හේතුවකට කඳුළු කඩං වැටුණා. මන්දා…ඔයත් එක්ක පල්ලියට එන්න බාර වෙන්න කවදාවත් මං හිතුවෙ නෑ. මට එහෙම කරන්න අයිතියක් නෑ කියල මං දැනං හිටියා.. ජනිත් ගෙන් ඩිවෝස් වෙන්න කලින් වුණත්….නොත්‍රදාම් ගිය හැම වතාවකම හිතේ හිටියෙ ඔයා. නොත්‍රදාම් ගිනිගත්ත දවසෙ…දෙදාස් දහ නවයෙ අප්‍රේල් පහළව…එදා සේන් ගඟ දිගේ යන යමන් මං ඉකි ගගහ ඇඬුවා. කවදාවත් මට ඔයා එක්ක නොත්‍රදාම් යන්න බැරි වෙයි නේද කියන මහා දුක හතර පැත්තෙන්ම මාව යට කර ගෙනයි තිබුණෙ. ආයෙ පල්ලිය හදනව කියල ප්‍රංශෙ ප්‍රසිඩන්ට් පොරොන්දු වුණ වෙලේ..මං හිතන්නෙ ප්‍රංශ ජාත්කයෙක්ටත් වඩා මං සතුටු වෙන්නැති. මට ඔයත් එක්ක එහෙ යන්න ඕන ආලෝක. මං ඇඬුවෙ කවුරු වෙනුවෙන්ද කියල සේන් ගඟ දැක ගන්න ඕනෙ”
“යමු”
අකුරු දෙකේ තනි වචනයක් වූවා ට එය ස්ථිර පොරොන්දුවකි. සූර්යා ගේ මුහුණේ ඉර පෑයුවා වන් එළියක් ඇඳිණි.
“ඊට කලින් තව පොඩි ආසාවක් තියෙනව. එදා ඒ ආසාව ඉෂ්ට කර ගන්න බැරි තරං හිතේ කලබල ගතිය වැඩි වෙලයි තිබුණෙ…නුවර…වැව රවුමෙ ඔයත් එක්ක ඇවිදින්න…රෑ වෙලා…කැන්ඩි වල අර සෙනග වැඩි පටු පාරවල් වල ඇවිදින ගමං ශොපිං කරන්න…”
ආලෝක සිය පෙම්බරිය ගේ උරහිස වටා අතක් යවා ඇය ව සිය සිරුර ට වඩාත් ලං කොට ගත්තේ ය. මේ විදිහට හිස සිඹ සිඹ හැම දා මත් ඇය ව ළඟින් තියා ගන්නට පැතූ පැතුම් අතීතය විසින් උදුරා ගනු ලැබිණ.
ආපසු යන්නට අධිවේගී මාර්ගයට රිය ඇතුළු කරත්දී සූර්යා අත් දෙකෙන් මුහුණ වසා ගත්තා ය.
“ඇයි…”
“ලෝබයි. ඒ ෆීලින් එකත් මාරයි ආලෝක”
“ආයෙ එමු”
“හ්ම්..මන්දා..මං අනාගතේ ගැන වං මොනාත් කියන්න දන්නෑ. ඒක අතීතෙං ඉගෙන ගත්ත පාඩමක් වෙන්න ඇති. ඒ නිසා වෙන්නැති මේ තරං මං මේ මොහොතෙ ජීවත් වෙන්නෙ…මේ මොහොතට ආදරේ කරන්නෙ…”
අතීතය නැවත සිදු නොවනු වස් සැලසුම් කළ යුතු යයි ආලෝක සිතා ගෙන සිටියේ ය. දැන් ඔහු ට ඕනෑවටත් වැඩි තරමින් මුදල් තිබේ. ඔහු දිවි හිමියෙන් පෙම් කළ ඇය ඔහු අස හිඳී. ඉතින් ඉතිහාසය යළි සිදු වෙතැයි බියක් කුමට හිත තබා ගනු ද?