විහඟ පියාපත් 14

ශයිනි අකලංක දෙස බලා සිටියදි ඔහු ඇය තුළට  පිවිසෙනවා වැනි හැඟීමක් පිටතින් බලා සිටින්නෙකුට පෙනේ. ඇය උන්නේ එතරම් කලබලයකිනි. ඔහු උන්නේ කිසිඳු කලබලයක් නැතිවය. 

තත්පර තිහක් පමණ එලෙස ඉන්නට ඇත.ඔහු කිසිත්  නොපවසා සිනාසී හිස මදක් පසෙකට  ඇල කර ඇය පසු කර ගියේය. ශයිනි පියවි සිහියට එළඹියේ තිළිණි ගේ හඬිනි.

“මොකෝ.. මේ…යකෙක් දැකලා වගේ…”

ශයිනි ඇයට කිසිත් නොපවසාම ඉස්සර වූවාය

“ඔය කොහෙද යන්නේ.. ලන්ච් ගන්නෝන් කීවා නේද ?”

ශයිනි හිස සළා වහා අනෙක් පසට හැරුණාය. තිළිණි ඇය පසුපසින් වැටුණේ ශයිනිට කුමක් සිදුවූවාදැයි සිතාගන්නට නොහැකිවය. එහෙත් ඒ ගැන වැඩි වේලා සිතන්නට ඉඩ නොදීම චරිත් දෙදෙනාගේ සමාගමයට එක් විය. 

ශයිනි හැකි තරමේ මවාපෑමක් සමඟ උන්නාය. එහෙත්  සිත තුළ අසීමාන්තික කලබලයක් විය.  සවස කාර්‍යමණ්ඩල රැස්වීම මෙහෙයවීමේදීද ඕ කිහිප වතාවක්ම අවධානය බිඳ  ගත්තාය. එහෙත් තිලිණිට ඒ වෙනසක් අසු වූයේ නැත. ඒ නිසා ශයිනි තම සිත තුළ වූ තිගැස්සුම් හොරය සඟවාගත්තාය. 

සැලසුම් කර තිබුණේ අද රාත්‍රියද හෝටලයේම ගෙවා දැමීමට වුවද, ශයිනි නිවෙසට යෑමට තීරණය කලාය. රියැදුරා පැමිණෙන තෙක් කැබිනය තුලම සිටින්නට සිතා ශයිනි රැස්විම් ශාලාවේ සිට කැබිනය තෙක් ඇවිද ගියේ, සවස නිවෙසට පැමිණෙන වගට පවසා අම්මාට කෙටි පණිවිඩයක්  යවමිනි. ඒ අතරේ බැංකුවකින් පැමිණ තිබූ කෙටි පණිවිඩයක් විවෘත වූ නිසාවෙන් ඕ එය කුමක්දැයි සිහි කර ගන්නට උත්සාහ කරමින් පැමිණියේ , හිස බිමට නැඹුරු කරගෙන, ජංගම දුරකතනයේ නෙතු අලවාගෙනය. 

එක්වරම ජංගම දුරකතනය විසිවී ගියේ ඉදිරියෙන් පැමිණි කිසිවෙකු ඇය හා ගැටුණ නිසාය. ඇය විසිවී ගොස් වැටෙන්නට නොදී අල්ලා ගන්නට ඉදිරියේ උන් තැනැත්තා සමත් විය. ශයිනි ඒ කවුරුන්දැයි බලන්නට ඇස් එසවූයේ අසිහියෙන් ඇවිද යනවාට බැණ වදින්නටම සිතමිනි. එහෙත්; දෛවය ඇයට අවස්ථා මවමින් තිබුණි. 

අර මැජික්මය ඇස් දෙකත්, ඇස් අග්ගිස්සේ වැටුණු රැලි තුනත්  , ඉතා ඝණ ඇහි බැම යුග්මයත් සහිත තරුව උන්නේ ඇයව ඔහුගේ ළමැද්දට තුරුලු කරවාගෙනය. ශයිනි වහා දෑතම ඔහුගේ පපුව මැදට තබා ඔහු කෙරෙන් මිදුණාය.  අකලංක ද වූයේ කුමක් සිදුවූවාදැයි සිතා ගත නොහැකිවය. ශයිනි තවත් අඩි කිහිපයක් ආපස්සට ගියාය. අකලංක වහා පසෙකට විසි ව ගොස් තිබූ ජංගම දුරකතනය අහුලා ගත්තේය. 

ශයිනි ඔහු සහ ජංගම දුරකතනය දෙස බලා උන්නාය.

“සොරි.. මම ආවේත් ෆෝන් එකේ සිහියෙන්.. මල්ලී ට ට්‍රාන්ස්වර් එකක් කරගන්න බලාගෙන .. “

ඔහු තමා අතැතිව තිබූ ජංගම දුරකතනය ඇය වෙතට පාන්නට හදිසි නොවෙමින් කීවේය. ශයිනි හිස සැලුවාය.  අකලංක ඒ අතරේ ජංගම දුරකතනය දෙස බැලුවාය. එහි තිරයේ වූයේ මකුණු දැලක බිඳී යාමකි. අකලංක එය ශයිනිට පෑවේය. ශයිනි එය කම් නැති වග පෙන්වන බැල්මකින් ඔහුගෙන් එය ඉල්ලා සිටියේය. 

එහෙත් අකලංක එක්වරම ජංගම දුරකතනය ඇයට දුන්නේ නැත. ඒ වෙනුවට ඉරි තලා තිබුණ තිරය ඇය වෙත පෑවේය.

“ඒකට කමක් නෑ… දෙන්නකෝ ඔක…”

“එහෙම හරි නෑනේ. මං මේකට ග්ලාස් එකක් දාලා දෙන්නම් හෙට…”

“අය්යෝ එහෙම අවුලක් නැහැ.. දෙන්නකෝ. මම අද කොළඹ යනවා.  ඒ යමින් ගමන් ඒ වැඩේ කරගන්න පුලුවන් …”

ශයිනි ජංගම දුරකතනය ඉල්ලා උන්නාය. එහෙත් අකලංක එය තමා අතේම තබාගෙන උන්නේය

” එහෙනම් ..,”

“ඉට්ස් ඕකේ මිස්ටර් අකලංක .. ප්ලීස්.. ෆෝන් එක දෙන්න…”

අකලංක ට එය ඉක්මවා යන්නට නොහැකි විය . ශයිනි එවෙලෙහි ඇයට දැනෙමින් තිබුණු තත්වය මරා දමා, දැඩි ස්ත්‍රී පෙනුමක් මවා ගත්තාය. අකලංක එය ඉක්මව නොගොසින් ඇයට ජංගම දුරකතනය පැවේය

“මගේ බිල් එකට ඇඩ් කරන්න …”

ඔහු ඇය පසු කලේය. ශයිනි තමාට පිටුපා යන  ඒ මැජික්මය ඇස් දෙකට එරෙව්වාය. මඟ හරින්නට හදන සැලසුම් ව්‍යර්ථව ගොස් මෙවැනි මුණ ගැසීම ම යෙදෙන්නේ ඇයිදැයි ඇයට වැටහුණේ නැත. ඕ ගවුම සකසා ගත්තා ය. අකලංක ගේ දැඩි දෑත් තමා වට කැරකී තිබුණ උණුසුම ඒ ඇසිල්ලේම ගත පුරා පැතිරුණ හැඟීමක් වූයේය. 

ඕ වහා එතැනින් නික්මුණාය.

අකලංක ට රූගත කිරීම් අවසන් වූයේ රාත්‍රී අටට පමණය. ශයිනිගේ මෝටර් රිය හෝටලයේ ගේට්ටුවෙන් පිටත්ව යනු ඔහු දුටුවේ රූගත කිරීම් වල සිටින අතරවාරයේය. තත්පර කිහිපයකට ඔහුගේ හැසිරීම්ද නොසන්සුන් නොවූවා නොවේ. එහෙත් අකලංක ඉතා ඉක්මනින් යලි පිටපත තුළට පිවිසියේය. 

ඔහු කාමරයට පැමිණියේ රාත්‍රී ආහාරය කාමරයට ගෙන්වා ගන්නට බලාපොරොත්තුවෙනි. සැබැවින්ම අවැසිව තිබුණේ බන්ධනා මඟ හරින්නටය. එහෙත් අධ්‍යක්ෂවරයා රාත්‍රී ආහාරයෙන් පසුව පැය භාගයක පමණ කෙටි සාකච්ඡාවක් ඇතැයි පැවසූ නිසා ඔහුට ඒ සැලැස්ම වෙනස් කරන්නට සිදුවිය. 

පැය භාගයක පමණ දිය නෑමකින් පසුව අකලංක කෙටි කලිසමක් සහ අත් කොට ටීශර්ටයක්  හැඳ ගත්තේය. මේසය මත වූ වතුර බෝතලයෙන් අඩකටත් වඩා  හිස් කලේය.  

අනතුරුව පිටපත අතට ගත්තේය. යළි එය පසෙක තැබුවේය. 

අනතුරුව මිනි පරිඝනක පණ ගන්වා ගත්තේය. එය ක්‍රියාත්මක වන තෙක් තිරය දෙස ඔහේ බලා උන්නේය.

අනතුරුව අමයුරු දිසානායක මුහුණු පොතට පිවිසියේය. පෙර දිනෙක ශයිනිගේ ව්‍යාජ ගිණුම හා සමඟින් කෙරුණ පණිවිඩ හුවමාරුව සොයා ගත්තේය. ඒ දෙස විමසිල්ලෙන් බැලුවෙය.

“උද්දච්ච ගෑණි…”

ඔහුට ඉබේම එලෙස කියවිණි. ශයිනි ඇගේ ව්‍යාජ ගිණුමෙන් ඔහුව අවහිර කර තිබුණි. අකලංක ගේ මුව මත වූයේ මන්දහාසයකි. ඇය එක් දොරක් වසද්දී, තවත් ද්වාර දෙකක් සඳහා වන විවෘත කිරීමේ යතුරු තමා සතුය. 

ඔහු ශයිනිගේ සැබෑ ප්‍රොෆයිලය අවහිර කෙරූ පිරිසේ ගොනුවෙන් ඉවත් කලේය. අනතුරුව ඇයට පණිවිඩයක් තැබුවේය.

“හොයලා බැලුවද මම කියපු කාරණා ගැන ? ….”

අනතුරුව මුහුණ පොත් තිරය එහෙමම තියෙන්නට හැරියේය. යාබද ටැබ් එකක යූ ටියුබයේ ගීත ගොන්නක් එක් වර වාදනය වන සේ සකස් කලේය. පණිවිඩයක් පැමිණියහොත් එය ඇසෙන පරිදි   පරිඝනකයේ සැකසුම් තැනුවේය. 

දෙපා මේසය මතට වන සේ අසුන මත හිඳ ගත්තේය. යළි  ඉතිරි  වතුර බෝතලයෙන් තවත් අඩක් හිස් කලේය. 

එහෙත් ඔහු රාත්‍රී ආහාර ගෙන, කෙටි සාකච්ඡාවද නිම කර පැමිණෙන තෙක් පිළිතුරු තිබුණේ නැත. ඔහුට කිසිඳු හැඟීමක් නොදැනුනා යැයි කීම නිවැරදි නොවේය. එහෙත්  එය මෙය යැයි වෙන් කර පැවසිය හැකි හැඟීමක් නොවේය. 

අකලංක ප්‍රබාත් ට ඇමතුමක් ගෙන ටික වේලාවක් කියවමින් උන්නේය. එහෙත් එක්වරම මුහුණු පොත් තිරයේ ශයිනිගේ නම පෙනුනි.

“තවම නැහැ.. මේ දවස් ටික චුට්ටක් බිසී….  “

” ප්‍රයෝරිටි දෙන්න ඕනි දේවල් වෙන් කරගන්න.  නැත්නම් පස්සේ පසුතැවෙන්න වේවි..”

“අපේ හොටෙල් එකේ අලුත් වැඩක් කෙරෙනවා. අලුත් ටෙලි ඩ්‍රාමා එකක ශූටින් … ඉතින්  මේ දවස් ටික ඒකට වෙන් වුනේ…”

පෙර දිනයක වූ අමනාපකම ශයිනිට අමතකව ගොස් ඇති සෙයකින් ඕ දොඬමළු වෙමින්  උන්නාය. 

“ආහ්…”

” මං ඒ හැම අඩුපාඩුවක් ම හොයලා හදනව….”

“නියමයි…  මොකද එදා මාව බ්ලොක් කරලා අතුරුදන් වුණේ…”

අකලංක, අමයුරු ගේ වේශයෙන් විමසුවේය.

“ඔයා ඉතින් බ්ලොක් කරනවය කියන එක නුහුරු කෙනෙක් නෙවෙයි නේහ්…”

අකලංක සිනහව ගිල ගත්තේය.

“හරි.. එහෙනම් ආයේ ෆේක් ඕනි වෙන එකක් නෑ..”

ශයිනි ට එයට පෙරළා පැවසිය යුතු පිළිතුර සිහි වූවද , ඕ එය නොපවසා ඉවසූවාය. ඔහු ව්‍යාජ ගිණුමකින් සිටිමින්, තමාට ව්‍යාජ ගිණුම් ගැන පවසන්නේය. අකලංක නිසා කලබලව ගොස් තිබූ සිත පිළිවෙල වී අඩුක් වුන වග දැනෙයි.  මැජික්මය ඇස් වෙනුවට, අපැහැදිලි නිල් පාට ඇස් ද්විත්වයක පැටලීම සුව බව ඇයට සිතෙයි. 

ශයිනි පෙරළා ඔහුට යැව්වේ කළු පැහැති හදවත කි. කතා බහ එතැකින් අවසන් විය.  

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles